බ්‍රික්සිට් හා යුරෝපීය මිලිටරිවාදයේ පුනරාගමනය

Brexit and the return of European militarism

2016 ජූලි 05

එක්සත් රාජධානියේ පැවති ජනමත විචාරනයේ දී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ඡන්දය දීම හා එහි ප්‍රතිඵලයක් වසයෙන් යුරෝපයේ දේශපාලනික, ආර්ථික හා සමාජ අර්බුදය උත්සන්නවීම කෙරෙහි යුරෝපා සංගමය ප්‍රතිචාර දක්වා ඇත්තේ, මහාද්වීපය මිලිටරීකරනය කිරීමට හා අභ්‍යන්තර ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරමිනි. ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමේ සිට දින 11කට පසුව, අභ්‍යන්තර මර්දනයේ විස්තෘත බලතල සහිතව යුරෝපා සංගමය, මිලිටරි සන්ධානයකට පරිවර්තනය කිරීමට උපදෙස් දෙන විදේශ ප්‍රතිපත්ති ලිපි ගනනාවක් ප්‍රසිද්ධ කෙරී ඇත.

බ්‍රිතාන්‍යයේ සහභාගිත්වය ‍නොමැති ව පසුගිය බදාදා බ්‍රසල්ස්හි පැවති සමුලුවේ දී, සෙසු යුරෝපීය රාජ්‍ය නායකයෝ, යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ෆෙඩ්රිකා මෝගෙරිනී විසින් ලියන ලද “යුරෝපීය විදේශ හා ආර්ථික ප්‍රතිපත්ති සඳහා වන ගෝලීය මූලෝපාය නම්” ලියවිල්ලකට එකඟවූහ. ලියවිල්ලේ කේන්ද්‍රයේ පවතින්නේ, මිලිටරිමය වසයෙන් මැදිහත්වීමට හා අවශ්‍ය වුවහොත් , නේටෝව හා එක්සත් ජනපදයෙන් ස්වාධීනව යුද්ධය ගෙනයාමට සමත් ආක්‍රමනකාරී ලෝක බලයක් බවට යුරෝපා සංගමය පත් විය යුතු බවට කෙරෙන තර්කය යි.

නව ගෝලීය මූලෝපාය ලියවිල්ල, හතුරු ප්‍රහාරයකින් යුරෝපා සංගමයේ රටවල් ආරක්ෂා කිරීමේ දී, නේටෝ කාර්යභාරය පිලිගනී. එසේ නමුත් එය පවසන්නේ, යුරෝපය “එවැනි ඒකාබද්ධ උත්සාහයකට තීරනාත්මක ලෙස සහභාගී වීමට මෙන් ම අවශ්‍ය නම් හා අවශ්‍ය අවස්ථාවල දී ස්වාධීනව ක්‍රියා කිරීම සඳහා වඩා හොඳින් සන්නද්ධ කිරීම, පුහුනු කිරීම හා සංවිධානය කල යුතු” බව යි.

යුරෝපීය මහජනයාට හොරෙන් සූදානම් කෙරෙමින් පවතින පියවරයන් තුලට ලියවිල්ල යම් අන්තර්දෘෂ්ටියක් සපය යි. මිලිටරි හැකියාවන් වර්ධනය කල යුත්තේ “ඒකාග්‍ර මෙන් ම සහයෝගී උත්සාහකිනි.” මේ සඳහා තව දුරටත් සමාජ අවශ්‍යතාවන් වෙතින් සම්පත් හරවා යැවිය යුතු යැයි ඉඟි කෙරේ: “ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම හා පවත්වා ගැනීම ඉල්ලා සිටින්නේ, ආයෝජනය හා වඩා දැඩි සහයෝගය හරහා ජාතික සම්පත් උපරිම ලෙස පාවිච්චි කිරීම යන කාරනා දෙක යි. ”

යුරෝපා සංගමය මිලිටරි බලයේ විභව පැතිරීමට භූගෝලීය සීමාවන් නොමැති බව ලියවිල්ල පැහැදිලි කර යි. උතුරු අප්‍රිකාව, මැදපෙරදිග හා නැගෙනහිර යුරෝපය වැනි ආසන්න කලාප තුල පමනක් නො ව, ලෝකයේ ඕනෑම තැනක මැදිහත්වීමේ අයිතිය ද යුරෝපා සංගමය තමන් වෙත පවරා ගනී.

ප්‍රකාශිත යුරෝපා සංගමයේ උත්සුකයන්ට “වෙලඳාම හා ස්වභාවික සම්පත්වලට ප්‍රවේශ වීම සඳහා තීරනාත්මක වන විවෘත හා ආරක්ෂිත මුහුදු මාර්ග සුරක්ෂිත කිරීම ද” ඇතුලත් ය. මෙම අරමුන සඳහා “යුරෝපා සංගමය ගෝලීය නාවුක ගමනාගමන ආරක්ෂාවට දායක වනු ඇත්තේ, ඉන්දියානු සාගරය හා මධ්‍යධරනී මුහුදේ සිය අත්දැකීම් මත තහවුරු වෙමින්, සහ ගීනියා බොක්ක, දකුනු චීන මුහුද හා මලක්කා සමූද්‍රසන්දියේ හැකියාවන් ගවේෂනය කරමිනි. ”

යුරෝපීය මිලිටරිවාදය වෙතට වන ගමනේ ප්‍රධාන ධාවකය වන්නේ ජර්මනියයි. මෑත දිනවල නිකුත් කෙරුනු නිල ප්‍රකාශනයක ජර්මානු විදේශ ඇමති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මීයර්, “ ‘ගෝලීය මූලෝපායේ’ ඒකාබද්ධ වර්ධනය තුල කැපවීම හා දැක්ම වෙනුවෙන් විශේෂයෙන් ම මෝගෙරිනීට ස්තුති කලේය.” “එය තුල ජර්මානු සාම ප්‍රතිපත්තියේ මූලිකාංග” සොයා ගනිමින් ඔහු තෘප්තියට පත් විය.

ස්ටෙන්මීයර්ගේ “සාම ප්‍රතිපත්තිය” ― වඩා නිවැරදිව, යුද ප්‍රතිපත්තිය ―පිලිබඳ විශ්වාසය හොඳින් ස්ථාපිත ය. ජර්මානු ජනාධිපති ජෝකිම් ගෝක් සමග, ඔහු ජර්මානු ප්‍රතිසන්නද්ධ කිරීම සඳහා වන උද්ඝෝෂනයේ පෙරමුනේ සිට ඇත. 2014 මියුනික් සම්මේලනයේ දී, “පැත්තක සිට ලෝක කටයුතු ගැන හුදෙක් අදහස් දැක්වීමට පමනක් ජර්මනිය විශාල වැඩි” බව ඔහු ප්‍රකාශ කලේ “විදේශ හා ආර්ථික ප්‍රතිපත්ති අර්ධයේ දී ජර්මනිය වඩා වේලාසනින් සූදානම් වියු යුත්තේ වඩා තීරනාත්මක හා ස්වාධීන ගැටුමක් වෙනුවෙනි” යැයි ද කියා සිටිමිනි.

ඊට පසු, මෙම වසරේ ජූනි 13වැනිදා, “ජර්මනියේ නව ගෝලීය කාර්යභාරය” නමින් ෆොරීන් අෆෙයාර්ස් නම් සඟරාවේ ඔහු ලිපියක් පල කල අතර එහි ජර්මනිය “ ප්‍රමුඛ යුරෝපීය බලවතෙකු” යැයි ප්‍රකාශ කලා පමනක් නොව, එක්සත් ජනපදයේ අධිපති කාර්යභාරය ද ප්‍රශ්නයට බඳුන් කලේ ය.

දැන්, බර්ලිනයේ විදේශ ඇමති බ්‍රිතාන්‍ය ජනමත විචාරනයේ ප්‍රතිඵල ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ, ජර්මනියේ අධිකාරී බල අරමුනු ඉදිරියට ගෙන යාමට ය. ගෙවී ගිය සතියේ, ස්ටේන්මීයර් හා ඔහුගේ ප්‍රන්ස සහචරයා වන ජීන්-මාක් අයිරෝල්ට් විසින් ප්‍රසිද්ධ කරන ලද, “අඩමානයන්ගේ ලෝකයක් තුල ශක්තිමත් යුරෝපයක්” නම් ලියවිල්ලක, “පොදු යුරෝපීය පිලිතුරුවලින් පමනක් විසඳිය හැකි එම අභියෝගයන්ට අප‍ගේ ඒකාබද්ධ උත්සාහය” යොමු කිරීමට අවස්ථාවක් ලෙස දක්වමින්, යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේ ඉවත්වීමට ප්‍රශංසා කර ඇත.

බ්‍රික්සිට් ඡන්දය හා මෑත ජර්මානු ආරම්භකත්වයන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන නියෝජිතයින් බියගන්වා ඇත. පසු ගිය සිකුරාදා ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ බලගතු සාමාජිකයෙකු ද 2003 ඉරාකයේ ඇමරිකානු ආක්‍රමනයේ සැලැසුම්කරුවා ද වූ රොබට් කප්ලාන්, වෝල් ස්ට්‍රීට් ජර්නලයේ තීරුලිපියක මෙසේ අනතුරු ඇඟවී ය: “ආපසු පැමිනෙමින් තිබෙන භූදේශපාලනික ව්‍යාකූලත්වයන්, ඇතම් අංශවලින් සමාන වන්නේ, 1930ස් ගනන් වලට ය.”

“පුටින්ගේ බ්‍රෙක්සිට් ප්‍රියසම්භාෂනය විනාස කරන්නේ කෙසේ ද” නම් ලිපියක ඔහු මෙසේ පවස යි, වසර සිය ගනනක් ආපස්සට යන බ්‍රිතාන්‍ය භූදේශපාලනයේ ප්‍රධාන පරමාර්ථයකින්, “ ... බ්‍රෙක්සිට්ට වල කපා ඇත: එනම්, මහාද්වීපයේ ආධිපත්‍යය ගැනීමෙන් ඕනෑ ම බලවතෙකු වැලැක්වීම යි. නමුත් දැන් ජර්මනිය බලගැන්වෙන්නේ හරියට ම එය කිරීමට ය.”

එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය හා ජර්මනිය අතර පශ්චාත්-දෙවැනි ලෝක යුද්ධ සන්ධානය අනතුරට මුහුනපා ඇති බව කප්ලාන් දකි යි. “ජර්මනිය හා බ්‍රිතාන්‍ය පසුව මිතුරන් ව සිටි අතර, කොන්රාඩ් ඇඩිනෝර්ගේ දවස්වල සිට, ජර්මානු චාන්ස්ලර්වරුන්ගේ දීර්ග පෙලක් අත්ලාන්තික්වාදය මෙන් ම යුරෝපීය සාමය හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් ජර්මනියේ අතිවිශිෂ්ට වගකීම පිලිබඳ අවබෝධය පිලිබිඹු කර ඇත. අනාගත චාන්ස්ලර්වරුන් එසේ නොවනු ඇත.”

ජර්මනියට “රුසියාව සමග වෙන ම ගිවිසුමක් ඇති කර ගත හැක, නැතහොත් ජනප්‍රියවාදී ජාතිකවාදය වෙත අභ්‍යන්තරයට හැරිය හැක... .”

කප්ලාන්ගේ ක්ෂනික උත්සුකය වන්නේ බ්‍රික්සිට්, රුසියාව සමග යුද්ධය සඳහා වන ඇමරිකානු සූදානමට වල කැපිය හැකි බවයි. “යුරෝපය වඩ වඩා කැබලි වන විට, එක සාමාජිකයෙකු මත ප්‍රහාරය සියල්ල මත ප්‍රහාරයකැ යි ප්‍රකාශ කෙරෙන නේටෝවේ 5වැනි වගන්තියේ පිහිට පැතීමට ඉඩ ඇතැ” යි යන්න ඔහු සඳහන් කරයි. ඔහුගේ යෝජිත ප්‍රති-මූලෝපාය මෙසේ ය: “මහා බ්‍රිතාන්‍ය ඇමරිකාව සමග සිය සන්ධානය යලි ප්‍රානවත් කල යුතු ය. එකට වැඩ කරමින්, ජාතීන් දෙකට රුසියාවේ දොරකඩ දක්වා යුරෝපා මහාද්වීපය මත තවමත් බලය ප්‍රක්ෂේපනය කල හැක.”

කිසිවෙකු එවැනි ප්‍රකාශනයක ඓතිහාසික හා දේශපාලන වැදගත්කම අඩු තක්සේරු නො කල යුතු ය. සොම්මේහි රුධිරස්නානයෙන් (බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස හමුදා ජර්මානු හමුදාවන්ට එරෙහිව ප්‍රන්සයේ සොම්මේ ගඟ දෙපස කල සටන-පරි) වසර සියකට පසු හා සෝවියට් සංගමයට එරෙහිව ජර්මානු මූලෝත්පාඨන යුද්ධය දියත් කිරීමෙන් වසර 75කට පසු ව, ධනවාදයේ ප්‍රතිඝතිතාවන් නැවත වතාවක් විධානරය වෙමින් පවතින්නේ, පලමුවැනි හා දෙවැනි ලෝක යුද්ධවල සන්ත්‍රායන් පරයා යන මහ බලවතුන් අතර නව ලෝක යුද්ධයක් මුදා හැරීමට තර්ජනය කරමිනි.

යුද්ධය හරහා ධනේශ්වර පර්යාය සුරැකීමට වන අධිරාජ්‍යවාදී උත්සාහයන් පිටුදැකීමට කම්කරු පන්තිය තමන්ගේ ම මූලෝපායක් තෝරා ගත යුතු ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි “යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන,” නම් ප්‍රකාශනය තුල අවධාරනය කල පරිදි: “සියල්ලටත් වඩා නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතු ය. එය කම්කරු පන්තියේ දැවන්ත ශක්තිය අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතු ය. ධනවාදයේ නොනවතින යුද්ධයට නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතු ය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීම යි.”

ජොහන්නස් ස්ටර්න්

Share this article: