දකුනු චීන මුහුද සම්බන්ධ හේග් තීරනය: යුද්ධය දෙසට තැබූ අනතුරුදායක පියවරකි

The Hague ruling: A dangerous step toward war

2016 ජූලි 14

දකුනු චීන මුහුදේ සියලු චීන නාවුක ගමනාගමන අයිතිවාසිකම් නිෂේධනය කරමින් අඟහරුවාදා නෙදර්ලන්තයේ හේග් නුවර දී එක්සත් ජාතීන්ගේ ස්ථාවර බේරුම්කාර අධිකරනය දුන් ඉවබව නැති තීරනයෙන් අනතුරු ව, එක්සත් ජනපදයේ මුලිකත්වයෙන් චීනයේ “නීති විරෝධී කටයුතු” හෙලාදැකීම්, බීජීනය එම අධිකරන තීරනයට බැඳී සිටින බවත්, තීරනය බලගැන්වීම සඳහා එක්සත් ජනපද මිලිටිරි හා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් වෙනුවෙන් කරන ඉල්ලීම් සමග අත්වැල් බැදගෙන ඇත.

“දකුනු චීන මුහුද තුල නීතියේ අන පිරික්සා බැලීම” යන ශීර්ෂයෙන් යුත් නිව් යෝක් ටයිම්ස් කතුවැකියක් ප්‍රකාශ කලේ, “බීජීනය දඩබ්බර ලෙස ජාත්‍යන්තර බේරුම්කාර අධිකරන තීරනය ප්‍රතික්ෂේප කර ඇතැ යි” යන්න හා “වැදගත් විනිශ්චය” පිලි නො ගනී යන “ඇගවුම් කනස්සල්ලට” හේතුවන බව යි. ඔබාමා පාලනාධිකාරිය විසින් “ආසියානු ජාතීන් සමග වඩා කිට්ටු ආරක්ෂක බැඳීම්” ශක්තිමත් කිරීමට හා “චීනයේ හිමිකම් පෑම” නවතා දැමීම පිනිස නාවුක මුර සංචාර වැඩි කිරීමට ද කතුවැකිය තම අනුමැතිය පල කරයි.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත තම කතුවැකිය තුල, “ආසියාවේ නීතිය මත පාදක පටිපාටීන්ට තර්ජනයක් වන” චීනයේ ස්වාධිපත්‍ය අයිතිවාසිකම් පෑම හා “ඒවා බලගැන්වීමේ ආක්‍රමනකාරී උත්සාහයන්ට” එක්සත් ජාතීන්ගේ අධිකරනය “නො වැලක්විය හැකි තරවටුවක්” එල්ල කල බව පවසයි. එය, දකුනු චීන මුහුදේ චීනය පාලනය කරන කොදෙව් වටා ඇති මුහුදු ප්‍රදේශයට එක්සත් ජනපද නාවුක හමුදාවේ ප්‍රකෝපකාරී “නාවුක ගමනාගමනයේ නිදහස” නාමයෙන් සිදු කෙරෙන බලහත්කාරී කඩාවැදීම් වල “අවකාශය හා වාර ගනන වැඩි කරන ලෙස” ඉල්ලා සිටියේය.

මෙහි ඇත්තේ දැඩි කුහකත්වයකි. ජාත්‍යන්තර නීතිය පිලිබඳව එක්සත් ජනපදය දක්වන්නේ දැඩි පිලිකුලකි. මිලියන ගනනාවකගේ ජීවිත බිලිගෙන ඇති ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව හා ලිබියාවේ නීති විරෝධී යුද්ධ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කිසිදු අධිකරනයක් මගින් ඇමරිකාවෙන් කිසි දා නිදහසට කරුනු විමසා නැත. චීනයට එරෙහිව එක්සත් ජනපද “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස ඔබාමා පාලනාධිකාරය, දකුනු චීන මුහුදේ දිගු කලක් පැවත එන සුලු කලාපීය ගැටුම්, නව හා ඉතාමත් විනාසකාරී යුද්ධයක් ඇවිලවීමට තර්ජනය කරන ජ්වලනාංකයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වග කිව යුතු ය.

හේග් නුවර නඩුව අසන ලද ජාත්‍යන්තර නීතිය ― සාගර නීතිය පිලිබද එක්සත් ජාතීන්ගේ ගිවිසුම (යූඑන්සීඑල්ඕඑස්) ― ස්ථීර කිරීම වොෂින්ටනය විසින් ප්‍රතික්ෂේප කර ඇත. එබැවින්, එජා උසාවිය ඉදිරියේ එක්සත් ජනපදයට පෙනී සිටිය නො හැකි බැවින්, එහි පැරනි යටත් විජිතයක් වන පිලිපීනය, බලල් අතක් ලෙස යොදා ගත්තේ ය. (පිලිපීනය වෙනුවෙන්) නඩුවට පෙනී සිටියේ වොෂින්ටනයේ ෆොලේ හෝග් නම් නීති සමාගම යි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ධවල මන්දිරයේ කිට්ටුම සහයෝගය එයට තිබෙන්නට ඇති බව නිසැකය.

පිලිපීනයේ ඉල්ලීම පිලිගැනීම වනාහි සැබවින් ම කලින් එලඹගත් නිගමනයකි. දීර්ග විභාගය ප්‍රවේසමෙන් සැලැසුම් කෙරුනු අතර ඒ,කලාපීය මතභේද ― එනම් දකුනු චීන මුහුදේ භූමිභාග හා මුහුදු ප්‍රදේශ සැබවින් ම අයිති කාට ද යන්න ― විනිශ්චය කිරීමට අධිකරනයට බලයක් නැතැ යි යන කාරනය මග හැරීමට ය. එහෙත් හරියටම ඉටුවී ඇත්තේ එයයි.. දකුනු චීන මුහුදේ විශාල ප්‍රදේශයකට චීනයේ ඓතිහාසික අයිතිවාසිකම් කියා පෑම අධිකරනය විසින් ඉවත දැමුවා පමනක් නො ව, චීන පාලනය යටතේ තිබෙන ගල්පර හා කොදෙව් වටා මුහුදු ප්‍රදේශවලට එරටේ අයිතිවාසිකම් බරපතල ලෙස සීමා කල අතර ඉඩම් ගොඩකිරීම ඇතුලු කටයුතු නීති විරෝධී යැයි හෙලා දැක ඇත.

තීරනය නැවත වතාවක් තහවුරු කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි විවිධ ආයතන ක්‍රියාකරන්නේ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ, විශේෂයෙන් ම එක්සත් ජනපද “හොරුන්ගේ කුස්සිය” ලෙස බව යි.

වොෂින්ටනය සම්බන්ධයෙන් ගත් විට, කලාපීය මතභේද හා “නාවුක ගමනාගමනයේ නිදහස” සඳහා වන ඇමරිකානු බලකිරීම්, දකුනු චීන මුහුදේ මිලිටිරි තරකිරීම් සහ ගිනිකොන දිග ආසියාවේ මූලෝපායික මිත්‍රත්ව හා හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සඳහා උචිත කඩතුරාවක් වී ඇත. පසු ගිය වසර පහ තිස්සේ එක්සත් ජනපදය උතුරු ඕස්ට්‍රේලියාවේ හා පිලිපීනයේ නව කඳවුරු ස්ථාපිත කර ඇත, සිංගප්පූරුවේ අලුත් ම වෙරලබඩ යුද යාත්‍රා ස්ථානගත කලේ ය, වියට්නාමය, මලයාසියාව හා ඉන්දිනීසියාව සමග බැඳීම් ශක්තිමත් කල අතර කලාපය පුරා ඇමරිකානු ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස දැඩි කර පුලුල් කලේය.

“නාවුක ගමනාගමනයේ නිදහස” ගැන එක්සත් ජනපදය කරන අවධාරනයට, කලාපීය වෙලඳාම ආරක්ෂා කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැති අතර චීන භූමියට ආසන්න මූලෝපායිකව සංවේදී මුහුදු ප්‍රදේශයන් තුල එක්සත් ජනපද යුද නැව් හා ගුවන්යානා සඳහා ප්‍රවේශ මාර්ග තහවුරු කර ගැනීමට ඔවුන් උත්සාහ කරයි. චීනය සමග යුද්ධය සඳහා පෙන්ටගනයේ මූලෝපාය යටතේ, ―“ගුවන් මුහුදු සටන” ― බටහිර ශාන්තිකර මුහුදේ නවතා ඇති නැව්, සබ්මැරීන හා අවට කඳවුරු වල සිට දැවැන්ත ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීමට අපේක්ෂා කරන අතර එය සමග අත්වැල් බැඳගෙන, චීන ආර්ථිකය දුර්වල කිරීම අරමුනුකොටගත් නාවික අවහිර කිරීම් සිදුවනු ඇත. ගිනිකොන දිග ආසියාව තුල මිලිටරි තර කිරීම් චීනය වට කිරීම ඉලක්ක කෙරුනු පුලුල් ව්‍යාප්තියක කොටසකි. 2020 වන විට ඇමරිකානු මිලිටරි ගුවන්යනා හා නෞකාවලින් සියයට 60ක් ඉන්දු-ශාන්තිකර මුහුදේ රැඳවෙනු ඇත.

එක්සත් ජනපද ආන්ඩුවට චීනය සමග යුද්ධයක් අවශ්‍යම නැති නමුත් එය තම ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට ඇති සෑම මාධ්‍යයක් ම පාවිච්චි කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින අතර, ඒ සඳහා ඇති ප්‍රධාන බාධකය චීනය ලෙස සලක යි. චීනය සමග මෙන් ම රුසියාව සමග ද එහි උග්‍ර අතට හැරෙන ගැටුමේ ඉලක්කය, එම රටවල් දුබල කර, කැබලි කර, අධිරාජ්‍යවාදයේ යටත්විජිත බවට පිරිහෙලීමයි.

හේග් තීරනෙයෙන් සලකුනු කෙරෙන්නේ, බීජීනයේ චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රයේ පරිපූර්න බංකොලොත්කම යි. එය නියෝජනය කරන්නේ කම්කරු පන්තියේ අතිමහත් බහුතරය නොව, තුනී හා සුපිරි ධනපති ප්‍රභූවකගේ උත්සුකයන් ය. චීන ජාතිකවාදය තොරොම්බල් කරමින්, එහි සන්නද්ධ හමුදා පුලුල් කරමින් හා දකුනු චීන මුහුදට ඉහලින් ගුවන් ආරක්ෂක හඳුනා ගැනීමේ කලාපයක් පැනවීමට තර්ජනය කරමින් සීසීපී නායකත්වය, ඍජුවම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ග්‍රහනයට අසුවී ඇති අතර ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල බෙදීම් වපුර යි.

උසාවි තීන්දුව සලකුනු කරන්නේ, හිතාමතා හෝ නොමැති ව දකුනු චීන මුහුදේ පසමිතුරු අයිතිවාසිකම් කියන්නන් පැටලෙන ගැටුමක්, පාලනයෙන් පිටත, සර්පිලාකාරව කැරකී ගොස්, එක්සත් ජනපදය හා චීනය අතර― න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර ― ගැටුමක් අවුලුවනු ඇති බව යි. ධනවාදයේ ගෝලීය ආර්ථික අර්බුදය වඩ වඩා නරක අතට හැරීමත් සමග, බංකොලොත් ලාභ පද්ධතිය හා එහි යල්පිනූ පසමිතුරු රාජ්‍යයන්ට ලෝකය බෙදී තිබීම මගින් මනුෂ්‍යත්වය නැවත වතාවත් ඇදගෙන යමින් පවතින්නේ ලෝක යුද්ධය දෙසට ය.

සුපිරි පොහොසතුන්ගේ ලාභ අවශ්‍යතාවන් නොව බහුතරයේ සමාජ අවශ්‍යතාවන් සාක්ෂාත් කිරීමට ධනවාදය තුරන් කිරීම හා සමාජවාදී මාවත් ඔස්සේ සමාජය අතිමූලික වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ එක්සත් අරගලයක පදනම මත පමනක් යුද්ධයට වන තල්ලුව නතර කල හැකිය. එය කල හැකි එක ම සමාජ බලවේගය, ජාත්‍යන්තර කම්කරු පන්තියයි. අපගේ සියලු පාඨකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා එහි ශාඛාවන්ට සහාය ‍දෙන ලෙස යි. මෙම සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට උද්ඝෝෂනය කරන්නේ ඒවා පමනි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: