යුද්ධය සහ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනය

War and the Democratic National Convention

2016 ජූලි 27

ඩිමොක‍්‍රටික් පක්ෂයේ සම්මේලනය පැවැත්වෙන්නේ වෝල් වීදියට සහ පෙන්ටගනයට තදින් ගැට ගැසුන මෙම දක්ෂිනාංශික ධනපති පක්ෂය මහ ජනතාවගේ යම් වර්ගයක නියෝජිතයා ලෙස මවාපෑම සඳහා පරිස්සමින් ලියන ලද හා රඟ දක්වන වෙලඳ දැන්වීමක් ලෙස ය.

මානවහිතවාදී සදාචාර දේශනා සහ විශ්වීය සහෝදරත්වය පිලිබඳ භාවාතිශය ප‍්‍රකාශයන් තුල නැති එක් දෙයක් වන්නේ ක්ලින්ටන්ගේ ආන්ඩුවක විදේශ පිලිවෙත කුමක් ද යන්න ගැන කිසිදු බැරෑරුම් සාකච්ඡාවකි.

පහලොස් වසරක් පුරා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” පවතින නමුත් සම්මේලනයේ ප‍්‍රධාන කථිකයෝ ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆිගේ මරනය හෝ ධවල මන්දිරයේ ඩ්‍රෝන් ප‍්‍රහාර ඝාතන වැඩ පිලිවෙල ගැන කිසිවක් සඳහන් නොකලහ. එක්සත් ජනපදයේ ඉතිහාසය තුල බලයේ සිටි සම්පූර්න දුර කාල දෙක පුරා ම යුද්ධයේ නියැලුන ප‍්‍රථම ආන්ඩුව ඔබාමාගේ ආන්ඩුව වීම නිසා මෙම නිෂ්ශබ්දතාවය අතිශයින් ම සුවිශේෂී ය.

කෙසේ නමුත් න්‍යෂ්ටිකව සන්නද්ධ බලයන් අතර ලෝක යුද්ධයක අන්තරාය මතු කරන රුසියාව සහ චීනය සමග තීව‍්‍ර වන මිලිටරි ආතතීන් 2016 මැතිවරනය පසුබිමේ පවතින බව සැබෑ තීන්දු ගන්නෝ හොඳින් ම දනිති.

ලැට්වියාවේ, ලිතුවේනියාවේ හෝ එස්තෝනියාවේ අතිශයින් ම අස්ථාවර දක්ෂිනාංශික ආන්ඩු රුසියාවට එරෙහිව ප‍්‍රකෝපකරනයක් මුදා හැරියොත් එය සමග යුද්ධයකට යාමට ඔබාමා පාලන තන්ත‍්‍රය කැපවී සිටින බව සම්මේලනයේ කිසිදු කතිකයෙකු සඳහන් කලේ නැත.

එමෙන් ම උප ජනාධිපති මේ සතියේ චීන විරෝධී සන්ධානය ශක්තිමත් කිරීම සඳහා රටේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට තර්ජනය කල හා 1,700 ඝාතනය කිරීම ගැන කයිවාරු ගැසූ පිලීපීන ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේ හමුවීම ගැන ද කිසිවෙකු කථා නොකලේය.

මහ බලයන් අතර ඇතිවිය හැකි අනිෂ්ට ප‍්‍රතිවිපාක ඇතිකරන ගැටුමක් ගැන විදේශ පිලිවෙත පිලිබඳ පුවත් පත් සහ සඟරා, මිලිටරි බුද්ධි මන්ඩල හා ඉහල පෙලේ මිලිටරි නිලධාරීන් මෑත දී අනතුරු ඇඟවීම් කර ඇතිමුත් නිත්‍ය විදේශ පිලිවෙත් ප‍්‍රශ්න ගැන කිසිදු සාකච්ඡාවක් නැතිකම පුදුම සහගතය.

“පිලීපීනය විසිනුත් අයිතිවාසිකම් කියනු ලබන දකුනු මුහුදේ ගල්පර සමූහයට චීනය අයිතිවාසිකම් කීමට උත්සාහ කලොත්” එක්සත් ජනපදය වර්තමාන පිලිවෙතට වෙනස් ව “මිලිටරි බලය යෙදීමට කැමති විය යුතු” යැයි එක්සත් ජනපද පැසිෆික් හමුදාවල හිටපු අනදෙන නිලධාරි ඩෙනිස් බ්ලෙයාර් මේ මාසයේ කොන්ග‍්‍රසයට කරුනු දැක්වීමේ දී කීවේ ය. අවිනිශ්චිත දේශසීමා අයිතීන් පිලිබඳව ලෝකයේ අනෙක් පැත්තේ සිටින එක්සත් ජනපද සගයෙකු විසින් ප‍්‍රකුපිත කරන එවන් ගැටුමක් කෝටි සංඛ්‍යාත නැතහොත් සිය කෝටි සංඛ්‍යාත පවා ජනයාගේ මරනයට තුඩුදෙන න්‍යෂ්ටික යුද්ධයකින් කෙලවර වීමට හොඳට ම ඉඩ තිබේ.

එවැනි ප‍්‍රකාශ වලින් ඇඟවුම් කෙරෙන්නේ කුමක් ද යන්න ගැන මිත්‍යාවක් නැති චීන නිලධාරීහු “ආරවුල් සාකච්ඡා මගින් විසඳිය හැකි බව චීනය විශ්වාස කරන නමුත් ඕනෑම මිලිටරි ගැටුමකට එය සුදානම් විය යුතු” බව රජය විසින් පාලනය කරනු ලබන ග්ලෝබල් ටයිම්ස් පත‍්‍රයට කීහ.

ජෝන්. ජේ. මිර්ෂයිමර් සහ ස්ටෙපන් එම් වෝල්ට් “ඇමරිකානු ලේ සහ ධනයේ වියදමින් ආරක්ෂා කිරීමට වටිනා කලාප බටහිර අර්ධ ගෝලයට පිටින් තිබෙන” බව ෆොරීන් ඇෆෙයාර්ස් නවත ම කලාපය ට ලියුවෝ ය. “යුරෝපයේ සහ ගිනිකොන ආසියාවේ ප‍්‍රධාන උත්සුකය වන්නේ එක්සත් ජනපදය විසින් බටහිර අර්ධ ගෝලය මත ආධිපත්‍යය පවත්වා ගෙන යන ආකාරයේ කලාපීය ආධිපත්‍යයක මතු වීම ගැන” බව කතුවරු වැඩි දුරටත් සඳහන් කලහ.

චීනයට විරුද්ධව යෝජනා කර ඇති පිලිවෙතටත් වඩා උමතු පිලිවෙතක් රුසියාව සම්බන්ධයෙන් ප‍්‍රධාන ජෙනරාල්වරු ඉල්ලා සිටිති. එලඹෙන වසරේ රුසියාව සමග යුද්ධයක් ඇතිවිය හැකි බව යුරෝපය තුල නැටෝවේ උත්තරීතර මිත‍්‍ර බලකායේ හිටපු නියෝජ්‍ය අනදෙන නිලධාරි රිචර්ඩ් ශිරෝෆ් 2017: War with Russia: An Urgent Warning from Senior Military Command (2017: රුසියාව සමග යුද්ධය: හිටපු මිලිටරි අනදෙන නිලධාරියෙකුගේ හදිසි අනතුරු ඇඟවීමක්) යනුවෙන් කෙලින් ම නම් කර ඇති කෘතිය තුල යෝජනා කර ඇත.

එක්සත් ජනපදය පදනම් කරගත් අත්ලාන්තික් කවුන්සිලයේ බුද්ධි මන්ඩලය විසින් “Arming for Deterrence” (වැලැක්වීම සඳහා සන්නද්ධ කිරීම) නමින් මේ සතියේ නිකුත් කල මූලෝපායාත්මක ලියවිල්ල තුල ශිරේෆ් මෙම අදහස් තවදුරටත් විස්තාරනය කර ඇත. එක්සත් ජනපදයේ බෝල්ටික් සගයන් “එක රැයකින්” ආක‍්‍රමනය කිරීමට රුසියාවට හැකියාවක් තිබෙන බව ඔහු ප‍්‍රකාශ කලේ ය. මේ අරමුන වෙනුවෙන් හිට්ලරියානු උමතු සැලැස්මක් තුල වර්තමානයේ දක්ෂිනාංශික ආඥාදායක ආන්ඩුවක ග‍්‍රහනය යටතේ පවතින පෝලන්තය රුසියාවට විරුද්ධ මිලිටරි තුඩක් බවට පරිවර්තනය කලයුතු යැයි ඔහු යෝජනා කරයි. පූර්වභංග ප‍්‍රහාරයක් “රුසියාවට එල්ල කිරීමේ අයිතිය පෝලන්තය තබා ගත” යුතු ය. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වැදගත් භූමියක් බවට පත් වෙමින් රුසියාව තුල “ඉලක්කවල විභව ලැයිස්තුවක්” එය විසින් ප‍්‍රසිද්ධ කල යුතු ය.

National Interest (ජාතික උත්සුකතාවයන්) සඟරාවේ නවතම ප‍්‍රකාශනයේ කවරයේ කතාව තුල “රුසියාව සහ ඇමරිකාව ගැටුමක් වෙත සේන්දු වී ඇත් ද?” යන සිරස්තලය යටතේ පලකල ලිපියක් තුල මැතිවරනයෙන් පසු රුසියාව සමග යුද්ධයකට පැටලීමේ ශක්‍යතාව ගැන ප‍්‍රතිපත්ති සැලසුම් කවයන් විසින් විවෘත ව සාකච්ඡා කරනු ලබයි. “දෙපාර්ශවය අතර සම්බන්ධතා අනතුරුදායක මට්ටම් වලට පිරිහී ඇත.... මොස්කෝව අනුග‍්‍රහ දැක්වීමට අසමත් වුනොත්, වොෂින්ටනය එහි උත්සුකතාවයන් ආරක්ෂා කිරීම පිනිස කල හැකි හැම දෙයක් ම කල යුතු ය.”

ඇත්ත වසයෙන් ම මෑත කාලයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ නාමයෝජනා දිනා ගත් අය අතරින් මිලිටරි මැදිහත්වීමකට පක්ෂව වඩාත් ම විවෘත ව කතා කලේ හිලරි ක්ලින්ටන් ය.

Alter Egos: Hillary Clinton, Barack Obama and the Twilight Struggle Over American Power (පරම මිතුරන්: හිලරි ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ඇමරිකානු බලය සඳහා අඩඅඳුරු අරගලය) කෘතියේ කතෘ මාර්ක් ලැන්ඩ්ලර් මෙම වසර මුල දී එය මෙසේ ඉදිරිපත් කලේ ය: “ඉස්ලාමීය රාජ්‍යය මුලුමනින් ම වනසා දැමීම සඳහා බෝම්බ හෙලීම ගැන ඔවුන්ගේ සියලු ම ගර්ජනාවන් තිබියදීම විදේශයන්හි මිලිටරි මැදිහත්වීම් සම්බන්ද ක්ලින්ටන්ගේ අභිලාශයේ අසලකටවත් කිට්ටුවෙන බවක් ඩොනල්ඞ් ජේ. ට‍්‍රම්ප් සහ සෙනට් සභික ටෙඩ් කෲස් යන දෙදෙනාගෙන් කිසිවෙකුත් පෙන්නුම් කර නැත.”

මිලිටරි ආක‍්‍රමනයන් ට පක්ෂව ඔබාමාට වඩා රාජ්‍ය ලේකම් හැටියට ක්ලින්ටන් වඩා විවෘත ව කතා කරන බව ඔප්පු වී ඇත. ලැන්ඩ්ලර් මෙසේ ලියයි: “යුද්ධය හා සාමය පිලිබඳ ගැටලු සම්බන්ධයෙන් මැඩපැවැත්වීම දිසාවට කෙරෙන ඔබාමාගේ සහජාසයන් සමග ක්ලින්ටන්ගේ වඩාත් ක‍්‍රියාශීලී දර්ශනය ගැටෙයි.”

නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය මැයි මාසයේ නිරීක්ෂනය කල පරිදි ඔබාමා “බුෂ් හෝ අනෙක් කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයෙකුට වඩා දිගු කාලයක් යුද්ධයේ නිරතව සිටීම” පිලිබඳ කාරනය මිලිටරි මැඩපැවැත්වීමට උදාහරනයක් වශයෙන් ඉදිරිපත් කිරීම යුද ඝෝෂකයෙක් හැටියට ක්ලින්ටන්ට ලැබී ඇති සහතිකයට තෙස්තමේන්තුවකි.

ඊට අමතරව ඔබාමාට වඩා ආක‍්‍රමනශීලී ආකාරයකට ඇෆ්ඝනිස්තානය සහ ඉරාකය තුල මිලිටරි මැදිහත් වීම් කල යුතුයි ඉල්ලා සිටි ක්ලින්ටන් “සිරියාවේ සිවිල් යුද්ධය තුල සිටින කැරලිකරුවන්ට එක්සත් ජනපදය ආයුධ සැපයිය යුතු” බව ද බලකර කියා සිටියා ය. (පසුව ඔබාමා මේ අදහසට දෙගිඩියාවෙන් එකඟ වුවද මුලින් ඔහු එය ප‍්‍රතික්ෂේප කලේය.) සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් රසායනික අවි පාවිච්චි කල බවට 2013 එක්සත් ජනපද මිලිටරි බුද්ධි අංශ විසින් කල ප‍්‍රකාශයන්ගෙන් පසු “ඔබ පහර දීමට යන බව ඔබ කියන්නේ නම් ඔබ පහර දිය යුතු ය. වෙනත් තෝරා ගැනීමක් නැත” යි ප‍්‍රකාශ කරමින් සිරියාව තුල ඔබාමා විසින් ගුවන් ගමන් තහනම් කලාපයක් ප‍්‍රකාශයට පත් කල යුතු බව ඇය පුද්ගලික ව ඉල්ලා සිටියා ය.

ඇෆ්ඝනිස්තාන් යුද්ධය ගැන ඔබාමාගේ ආරම්භක විමර්ශනය මෙහය වූ හිටපු බුද්ධි අංශ විශ්ලේෂකයෙක් වන බෲස් රීඩෙල් “මිලිටරිය සම්බන්ධයෙන් විශ්මයක් වූයේ (මිලිටරි) ගැටලු ගැන ඔවුන්ට වඩා තරමක් නිවැරදි, ඔවුන්ට වඩා තරමක දැඩි උනන්දුවක් තියෙන රාජ්‍ය ලේකම් කෙනෙක් ඔවුන්ට සිටීම” බව ලැන්ඩ්ලර් ට කීවේ ය.

නැෂනල් ඉන්ටරස්ට්ස් සඟරාවට ලිපියක් ලියු යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් බෘම්විච් 2003 ඉරාක ආක‍්‍රමනය දියත් කිරීමට සහයෝගය දුන් ඇගේ “වාම” ක්ෂමාලාපකයන් සහ තත්වාරක්ෂකයන්ගේ පිලිවෙත් හා ක්ලින්ටන්ගේ පිලිවෙත් අතර වැඩෙන එකඟතාව නිරීක්ෂනය කලේ ය.

“කිසිවිටක මුලුමනින් ම විරසක නොවූ විදේශ පිලිවෙත් නිකායන් දෙකක් වන බුෂ් සහ චේනිගේ 2001-2006 විදේශ පිලිවෙත ආරෝපනය කරගත් තත්වාරක්ෂකයන් සහ ඉරාක යුද්ධයට, ලිබියා යුද්ධයට, ඩ්‍රෝන් ඝාතන ව්‍යාප්ත කල වැඩ පිලිවෙලකට සහ ඔබාමා ආන්ඩුව අවසර දුන්නාට වඩා සිරියාව තුල මිලිටරි මැදිහත් වීමට පක්ෂපාතී වූ ලිබරල් මැදිහත්වන්නන්ගේ අත්‍යාසාමාන්‍ය හවුලක් ට‍්‍රම්ප් පරාජය කිරීම සඳහා පසුගිය සති කිහිපය තුල පිහිටුවාගෙන ඇත.”

“රුසියානු ආන්ඩුව ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනය සමග එක්ව කුමන්ත‍්‍රනයක යෙදී සිටින බවත් ක්ලින්ටන් අපහසුවට පත් කිරීම පිනිස අනවසරයෙන් ලබාගත් ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජාතික කමිටුවේ (ඩීඑන්සී) විද්‍යුත් ලිපි මුදා හරිමින් රුසියාව මැතිවරනයට මැදිහත් වී ඇති බවත් අවධාරනය කරමින් හිලරි ක්ලින්ටන්ට පසුබිම සකසන ලිපි මාලාවක් මේ මිනිසුන් ලිවූ” බව ඔහු සඳහන් කරයි.

මෙම උද්ඝෝෂනය නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය තුලින් ගෙන යමින් සිටින ක්ලින්ටන්ගේ නිත්‍ය ක්ෂමාලාපකයෙකු වන පෝල් කෘග්මාන් ක්ලින්ටන් දැඩිව විරුද්ධ වන ඩොනල්ඩ් ට‍්‍රම්ප් “සයිබීරියානුවෙකු” සහ පුටින් වෙනුවෙන් පෙනී සිටින්නෙකු බව ප‍්‍රකාශ කලේ ය.

හිටපු රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඕල්බ‍්‍රයිට් විසින් ඊයේ රාත‍්‍රීයේ ඩීඑන්සී හි දී කල ලඝු ප‍්‍රකාශ මගින් මෙම තේමාව ඉස්මත්තට ගනු ලැබීය. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු නොඇසූ ආකාරයේ කෲරත්වයකින් ඕල්බ‍්‍රයිට් රුසියාව හෙලා දුටුවා ය. ඇගේ “උපන් රට වූ චෙකොස්ලොවැකියාව කොමියුනිස්ට්වාදීන් විසින් අල්ලා ගෙන ඇත” යි වැලපුන ඕල්බ‍්‍රයිට් යකඩ තිරයෙන් පලා ගිය කෙනෙකුගෙන් එය අත්පත් කර ගැනීමට ඔබ රුසියානුවන්ට කොල එලිය විහිද වූ විට සිදුවන්නේ කුමක් දැයි මා දන්නවා” යැයි පැවසීය.

මැතිවරනයෙන් පසුව දීර්ග කාලයක් සූදානම් කල මිලිටරි තියුනු කිරීම් ක‍්‍රියාවට දැමීමට එක්සත් ජනපද පාලක පන්තිය ඓතිහාසික ව බලා සිටින අතර එලඹෙන වසරේ ඉමහත් අන්තරායක් මතු කරනු ඇත. කවුරු බලයට පත් වුනත් යුද්ධයට විරුද්ධව එක්සත් ජනපදය හා ලෝක පරිමාන ව කම්කරු පන්තියේ ස්වාධීන, සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ මධ්‍යම අක්ෂය වන්නේ යුද්ධයට එරෙහි අරගලය යි.

ඇන්ඩ්‍රේ ඬේමෝන්

Share this article: