ජීවන තත්වයන්ට පහර ගැසීම නතර කරනු! සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සටන් කරනු!

Halt the attacks on living conditions! Fight for socialist policies!

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින්, 2016 ජූලි 12

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යන්තම් 18 මාසයක් වන සිය ධුර කාලය නිමා කරමින් සිටියදී, ඔහුගේ “ජාතික එකමුතුවේ ආන්ඩුව” කම්කරුවන්ගේ ද තරුනයින්ගේ ද ගම්බද පීඩිත ජනතාවගේ ද වැඩෙන විරෝධයකට මේ වන විටත් මුහුනපා සිටියි. ඒ ආන්ඩුව විසින් ක‍්‍රියාත්මක කර තිබෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග වලට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙමින් ඇති ප‍්‍රහාරයන්ට විරුද්ධවය.

පසු ගිය සති හයක කාලය තුල තැපැල්, සෞඛ්‍ය, අධ්‍යාපන මෙන්ම මිනිරන් පතල්වල හා වතුකරයේ කම්කරුවෝ වැඩවර්ජන හා විරෝධතා උද්ඝෝෂන වලට සම්බන්ධ වූහ. වෛද්‍යවරුන් වැනි වෘත්තිකයින් ද සිය රැකියා හා සේවා කොන්දේසි මුල්කරගෙන විරෝධතාවන්හි යෙදුනි. මෙම අරගල කඩින් කඩ පැන නගින හුදෙකලා ඒවා බවට පත්ව ඇත්තේ, ආන්ඩුව රැකීමට කැපවී සිටින වෘත්තීය සමිති, කුමන හෝ දේශපාලන අරගලයක් කිරීම හිතාමතාම කඩාකප්පල් කිරීමට ක‍්‍රියා කරන නිසා ය.

පසුගිය සතියේ රටේ විවිධ ප‍්‍රදේශවලදී ගොවීහු, මේ වසරේ දෙවන වතාවටත් මාර්ග හා වීදි වලට පැමින, පොහොර සහනාධාරය ගෙවීම ප‍්‍රමාද කිරීමට විරෝධය දැක්වූහ. දහස් ගනන් විශ්වවිද්‍යාල සිසුහු අධ්‍යාපනය පෞද්ගලීකරනයට හා සිය උද්ඝෝෂන වලට එල්ල කෙරෙන පොලිස් ප‍්‍රහාරයන්ට එරෙහිව අඛන්ඩ විරෝධතාවන්හි යෙදී සිටිති.

කුඩා ව්‍යාපාරිකයින් හා සාප්පු සේවකයෝ ද එකකින් පසුව තවෙකක වශයෙන් නගර සිසාරා පෙලපාලි දක්වමින්, වැට් හෙවත් එකතු කල අගය මත අයකරන බද්ද පහත හෙලන ලෙසට බල කලහ. ආන්ඩුව ජාමූඅ නියෝග මත වැට් බද්ද සෑම අංශයකටම බලපාන පරිදි පුලුල් කර ඉහල දැමීය.

උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමල ජනතාව දුෂ්කර සමාජ කොන්දේසි හා සිය ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඩීමට විරෝධය පල කරති. එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය 2009දී නිමා වුව ද ආන්ඩුව, යුද කලාපයන්හි, තවමත් මර්දනකාරී මිලිටරි ග‍්‍රහනය පවත්වාගෙන යයි.

ජූලි 3දා සන්ඬේ ටයිම්ස් පත‍්‍රයේ දේශපාලන ලියුම්කරු, පාලක පන්තිය මුහුනපා සිටින අස්ථාවර තත්වය ගැන, තැතිගත් ආකාරයකින් පවසා ඇත්තේ, “රජයේ සිවිල් ඔත්තු සේවා හෙලිදරව් කරගෙන ඇති ආකාරයට මහජන නොසංසුන්තාවන්හි පරිමානය සලකා ගත හැකිය. මේ සතිය තුල රට පුරා විවිධ කාරනා මුල්කරගෙන විවිධ කන්ඩායම් විසින් විරෝධතා 56ක් පවත්වා තිබේ. එහෙත් සියල්ල යොමුව ඇත්තේ ආන්ඩුවට එරෙහිවය. එහි ඇත්තේ ප‍්‍රබල පනිවිඩයකි.”

සිරිසේන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන බවටත්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය අවසන් කරන බවටත් පොරොන්දු දුන් ව්‍යාජ මැතිවරන ව්‍යාපාරයක් මත පදනම්ව, 2015 ජනවාරි ජනාධිපතිවරනයෙන් බලයට පත් විය. රාජපක්ෂ ආන්ඩුවේ හිටපු ඇමතියෙක් ලෙස සිරිසේනට, තම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර කොටස් වල ද එක්සත් ජාතික පක්ෂයේ ද සහාය ලැබුනි.

වෘත්තීය සමිති රැලක් ද ඊනියා සිවිල් සමාජ සංවිධාන මෙන්ම, නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් ද රාජපක්ෂගේ පොලිස් රාජ්‍ය විධික‍්‍රමයන්ට හා ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කල ප‍්‍රහාරයන්ට “ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක්” ලෙස සිරිසේන හුවා දැක්වූහ. විපක්ෂයේ දෙමල ජාතික සන්ධානය ද ජනතා විමුක්ති පෙරමුන ද සිරිසේනගේ ව්‍යාපාරය පිටුපස තම ශක්තිය පෙලගැස්වූහ.

සිරිසේන බලයට පත්වීම “ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක්” ලෙස පෙන්වා දීම සාකල්‍යයෙන්ම වංචාවකි. රාජපක්ෂ නෙරපා හැරීම වනාහි, වොෂින්ටනය හා නව දිල්ලිය සමග සමීපව වැඩ කල ශ‍්‍රීලනිපයේ හා එජාපයේ ප‍්‍රමුඛ චරිත සම්බන්ධවූ, ප‍්‍රවේසමෙන් ක‍්‍රියාත්මක කල තන්ත‍්‍ර මාරුවකි. ඇමරිකාව, රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන් නොදුටුවාක් මෙන් සිටිමින්, යුද්ධයට පිටුබලය දුන් නමුත් ඔහු බීජිනය සමග පවත්වාගත් සමීප සම්බන්ධතා නොඉවසීය.

සිරිසේන හා අගමැති ලෙස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් මෙහෙයවන, නව “ජාතික එකමුතුවේ” ආන්ඩුව, චීනයට එරෙහි යුද්ධයට සූදානම් වන ඇමරිකාවේ “ආසියාවට හැරීම” න්‍යායපත‍්‍රයට දිවයින ක‍්‍රමානුකූලව ගැටගසා ඇත. ඒ අතරම ආන්ඩුව, බීජිනයට එරෙහි වොෂින්ටන් යුද ධාවනයේ මූලෝපායික සහචරයෙක් වන ඉන්දියාව සමග ද සමීප සම්බන්ධකම් ගොඩනගාගෙන ඇත.

දිවයිනේ වර්ගවාදී යුද්ධය අවධියේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය ගැන පරීක්ෂන පවත්වන බවටත්, ආඥාදායක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවටත් සිරිසේන දුන් පොරොන්දු ඇතුලත් “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” මවාපෑම්, ඉක්මනින්ම වලලා දමා තිබේ. යම් මතුපිට වෙනස්කම් කිහිපයක් හැරෙන්නට සිරිසේන, රාජපක්ෂ විසින් හරඹ කරන ලද විධායක ජනාධිපති ක‍්‍රමයේ සියලු බලතල සතුකරගෙන සිටියි.

දැන් ගැඹුරු වන ලෝක ධනවාදී අර්බුදයේ බලපෑමට දිවයින ද හසුව තිබියදී ආන්ඩුව, එහි බර වැඩකරන හා පීඩිත ජනතාවගේ කර මතට හෙලීමේ කප්පාදු න්‍යායපත‍්‍රය ද තව තවත් රට විදේශ ආයෝජකයින් සඳහා විවෘත කිරීමේ කටයුතු ද වේගවත් කර තිබේ. ආර්ථිකය නැගෙන නය බරින් මිරිකී ඇති අතර ඇමරිකාවේ හා යුරෝපීය සංගමයේ ආර්ථික පසුබෑමෙන් ද ඇමරිකාව රුසියාවට විරුද්ධව ඇතිකරමින් තිබෙන යුද සූදානමෙන් හා මැද පෙරදිග යුද්ධ වලින් ද රටේ අපනයන ක්ෂේත‍්‍රයට දැඩි ලෙස පහර වැදී ඇත.

ජාමූඅ බරපතල ගෙවුම් ශේෂ අර්බුදය ලිහා ගැනීම පිනිස ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක නයක් ලබා දීමට එකඟවී ඇත ද ඒ, දරුනු කොන්දේසි යටතේය. ඊට දල දේශීය නිෂ්පාදිතයට අනුව පසුගිය වසරේ තිබුනු අයවැය හිඟය 2020 වන විට අඩකින්, සියයට 3.5 දක්වා කපා හැරීමත්, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය, මිල සහන අවම කිරීම හා මූල්‍ය ක්ෂේත‍්‍රය ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සඳහා මුලූමනින්ම විවෘත කිරීම ද ඇතුලත්ය.

බ්‍රිතාන්‍යය යුරෝ සංගමයෙන් ඉවත්වීමේ තීරනයට ප‍්‍රතිචාර වශයෙන් වික‍්‍රමසිංහ කියා ඇත්තේ, ආන්ඩුව, ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය, ජපානය හා සිංගප්පූරුව සමග නිදහස් වෙලඳ ගිවිසුම් ඇතිකරගන්නා බවයි. මෙරට නිෂ්පාදකයින් සිය “ජාත්‍යන්තර තරගකාරිත්වය” නගා සිටුවීමට තල්ලුවන තතු හමුවේ මෙම ගිවිසුම්, කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන් මත තව තවත් ප‍්‍රහාර එල්ල කිරීමට කොන්දේසි සකසනු නොඅනුමානය.

ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර උග‍්‍ර කරන අතර ආන්ඩුව, තිස් වසරක සිවිල් යුද්ධය අවධියේ සකසා ගත් පොලිස් රාජ්‍ය මෙවලම තවත් ශක්තිමත් කරමින් සිටියි. ආන්ඩුව ජාතික ආරක්ෂාව, සංවිධානගත අපරාධ හා ජාතික ඔත්තු සේවා පිලිබඳ නව නීති ගෙන එමින් සිටියි. සිසුන්ට එරෙහිව එල්ල කෙරෙන ප‍්‍රචන්ඩ පොලිස් ප‍්‍රහාර, ආන්ඩුව සිය ප‍්‍රතිපත්ති වලට පල වන ඕනෑම මහජන විරෝධයක් තලා දැමීම පිනිස රාජ්‍යයේ මුලු බලය නිර්දය ලෙස යොදාන්නා බවට අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

සෑම රටකදීම පාහේ පාලක පන්තිය, ගෝලීය අර්බුදය තුලින් බිහි කරන, නැගී එන සමාජ ආතතීන් හමුවේ අවුලට පත්ව ඇත. පාලක ශ‍්‍රීලනිප හා එජාප අතර හවුල පලුදුවී ඇත.

විසංවාදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 30 කන්ඩායමට හා තවත් සහචර කන්ඩායම් වලට රාජපක්ෂ විසින් නායකත්වය දෙනු ලබන අතර ඔවුන් උත්සාහ කරන්නේ, මහජන නොසංසුන්තා ගසාකෑමටය. සිංහල වර්ගවාදය අවුස්සමින්, බෞද්ධ භික්ෂූන්ට, මිලිටරියට හා සිංහල සමාජයේ සිටින අනෙකුත් ප‍්‍රතිගාමී කොටස් වලට ඔවුන් ආයාචනා කරයි. රාජපක්ෂ වෑයම් කරන්නේ, බලය සඳහා ඔට්ටු විය හැකි අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩනැගීමටයි. ඒ තුලින් වැඩකරන ජනතාව සමග ගනුදෙනු බේරාගැනීමටයි.

සිරිසේන බලයට ගෙන ආ, ව්‍යාජ වම්මුන් ද සිවිල් සමාජ කන්ඩායම් ද වෘත්තීය සමිති ද මීට ප‍්‍රතිචාර වශයෙන්, ඇමරිකානු ගැති ආන්ඩුව ආරක්ෂා කර ගැනීමේ හා එහි කම්කරු පන්ති විරෝධී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට මුක්කු ගැසීමේ උත්සාහයන් දැඩි කර ඇත. නිදසුනක් ලෙස පුරවැසි බලය හා සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, “නිවැරදි මාවතට ගැනීමේ” අර්ථයෙන් ආන්ඩුව විවේචනය කරයි. පිලිවෙත් මාරු කිරීම සඳහා සිරිසේනට බලපෑම් කල හැකිය යන භයානක මිත්‍යාව වැපිරීමකි මේ.

පසුගිය 18 මාසය තිස්සේ ආන්ඩුව ආරක්ෂා කිරීමේ ලා, විශේෂයෙන්ම විසකුරු ක‍්‍රියාකලාපයක් ඉටුකර තිබෙන නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, ඊට තරමක් වෙනස් මගක් ගෙන තිබේ. “රාජපක්ෂ මිලිටරි කුමන්ත‍්‍රනයක ආධාරයෙන් දේශපාලන වෙනසක් කිරීමට සැලසුම් කරන” බවට ඔහු මෑතදී අනතුරු ඇඟවීය. මෙම ආස්ථානය උදව් කරන්නේ, නැගී එන මහජන විරෝධය ධනපති “ජාතික එකමුතුවේ” ආන්ඩුවට යටත්කර දීමටයි.

තවත් ව්‍යාජ වාම කන්ඩායමක් වන එසප, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට මුහුන දීම සදහා “වැඩපොලවල එක්සත් කමිටු හා ජාතික මට්ටමෙන් කම්කරු මධ්‍යස්ථානයක්” වෙනුවෙන් උද්ඝෝෂනය කරයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, “වාම” කන්ඩායම්වල මධ්‍යස්ථානයක් ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටියි. ඔවුන්ගේ ලිබරල් සහචරයින් මෙන්ම පෙසප හා එසප ද කම්කරු පන්තියේ මොනම ස්වාධීන ව්‍යාපාරයකටවත් දැඩි ලෙස සතුරු වන අතර කුමන හෝ අරගලයක් සීමා කිරීමට උත්සාහ දරමින් ආන්ඩුව රැක දෙති.

කම්කරුවන් හා තරුනයින්, නව ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරි දර්ශනයක් කරා හැරෙමින්, සිරිසේන-වික‍්‍රමසිංහ හා රාජපක්ෂ පෙරමුනෙන් ද ඔවුන්ගේ සියලු දේශපාලන සහචරයින්, ක්ෂමාලාපීන් හා හෙංචයියන් ඇතුලු සමස්ත පාලක පන්තියෙන්ම දේශපාලනිකව බිඳී වෙන් විය යුතුය.

ලංකාවේ පැනනැගී ඇති වර්ජන හා විරෝධතා වනාහි -ප‍්‍රන්සයේ, ග‍්‍රීසියේ හා යුරෝපයේ අවශේෂ තැන් වල ද එක්සත් ජනපදයේ මෙන්ම ඉන්දියාවේ, චීනයේ හා ආසියාවේ වෙනත් තැන් වල ද වැඩෙන ප‍්‍රතිරෝධයන්ගෙන් හා විරෝධයන්ගෙන් සලකුනු වන්නා වූ- ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයන් යලි පිබිදී ඒමේ කොටසක් වන්නේ ය. මෙරට කම්කරුවන්ගේ සමාජ අයිතීන් ආරක්ෂා කරන මිතුරන්, කොලඹ ධනපති පාලකයින් තුලින් සොයා ගත නොහැකිය. ඔවුන් සොයාගත යුත්තේ ලෝකය පුරා සිටින සිය සහෝදර සහෝදරියන් අතරිනි.

යුද්ධයට හා කප්පාදුවට එරෙහි සටන තුල කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කරන දේශපාලන අරගලයක් ගෙන යන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි සහෝදර පක්ෂ සමග එක්ව, සමාජවාදී සමානතා පක්ෂය පමනි.

2015 ජනවාරි ජනාධිපතිවරනය ආසන්නයේ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ පැහැදිලි කලේය: “අධිරාජ්‍යවාදී යුද්ධයට හා කප්පාදුවට එරෙහි අරගලය පරිමාවෙන් අනිවාර්ය ලෙස ජාත්‍යන්තරය. අධිරාජ්‍යවාදයේ හෝ ගෝලීය සංගත හා මූල්‍ය ආයතනවල කොල්ලකාරී කටයුතු වලට, කෙතරම් ලොකු හෝ කුඩා වුව ද එක් ජාතියක පදනම මත විරුද්ධ විය නොහැකිය.”

දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සදහා අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වදින ලෙස සසප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියි. එවන් ආන්ඩුවක්, සියලූ මහා සමාගම් ද වතු ද බැංකු ද කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයක් යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට නගනු ඇත. ඒ අනුව සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය තර්කාන්විත ලෙස සංවිධානය කරනු ඇත. එය සියලු විදේශ නය අහෝසි කරනු ඇත.

එවන් පදනමක් යටතේ පමනක් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා ශුභ සාධන සේවා ද කම්කරුවන්ගේ හා නාගරික, ග‍්‍රාමීය පීඩිත ජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගන්නා අව්‍යාජ දේශපාලන අරගලයක් දියත් කල හැකිය. මෙම අරගල මෙහෙයවීමට අවශ්‍ය කෙරෙන මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: