ධනපති පක්ෂ සෝමවංස අමරසිංහගේ මරනය ගැන කනගාටුවෙති

කේ. රත්නායක විසිනි, 2016 ජූලි 2

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දීර්ඝ කාලීන නායකයෙකුව සිටි සෝමවංශ අමරසිංහ ජුනි 15 දා මිය ගියේය. ඔහු මිය යනතෙක් ගෙන ගිය දේශපාලනයෙන් නියෝජනය වූයේ සිංහල සුලු-ධනපති සංවිධානයක් ලෙස බිහිවී ධනේශ්වර දේශපාලන සන්ස්තාපිතයේ පක්ෂයක් බවට පර්වර්තනයවූ ජවිපෙ සමස්ත කුනු වීමයි.

මාස කීපයකට පෙර පක්ෂයෙන් ඉවත්ව යද්දී “පාවාදෙන්නන්” ලෙස ඔහුගේ පරිහාසයට ලක්වූ ජවිපෙ නායකයන් අමරසිංහ අමරනීය බව කියමින් ඔහුට ආචාර කිරීමට අවමගුල් නිවසේ කරක් ගසනු දක්නට ලැබුනි.

අවුරුදු පහකට පෙර “ජවිපෙ දේශපාලනයෙන් වෙන්වී” පිහිටුවා ගත්තේ යයි ප‍්‍රකාශ කල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන පුබුදු ජයගොඩ මෙසේ ප‍්‍රකාශ කලේය: “සමාජවාදය වෙනුවෙන් සන්නද්ධ අරගලයක යෙදිලා සමාජවාදය වෙනුවෙන් වධ වින්ද මුලු පරම්පරාවක සංකේතය සෝමවංශ සහෝදරයා”. පසු පාවාදීම් ගැන ජයගොඩ හීන් කෙඳිරිල්ලක යෙදුනත් අමරසිංහ සමග බැඳීම සටහන් කර ගත්තේ ජවිපෙ සමග මොන අති මූලික දේශපාලන බිඳීමක් වත් පෙසපට නැති බව පෙන්නුම් කරමිනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු හමුදාපති හා ඇමතියකු වන ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුල ධනපති පක්ෂ නායකයන් අමරසිංහට ආචාර කොට ඔහු තම පන්තිය හා ධනේශ්වර රාජ්‍යය වෙනුවෙන් ඉටුකල සේවයට ප‍්‍රසංශා කලහ. මුද්‍රිත හා විද්‍යුත් ජන මාධ්‍යවලට අමරසිංහගේ මරනය හා අවමගුල ප‍්‍රධාන පෙලේ පුවතක් වූවා පමනක් නොව සමහර ලියනප්පුලා ඔහු ගැන නොයෙකුත් ගුන කථන ද ලියා තිබුනි.

“සෝමවංශ අමරසිංහගේ සේවය අමරනීයයි” යනුවෙන් ජවිපෙ විසින් නිකුත් කෙරුනු ප‍්‍රකාශයක මෙසේ සඳහන් විය: ඔහුගේ “උත්තුංග කාර්යය” වූයේ “ජනතා විමුක්ති පෙරමුන නම් ලාංකේය නිර්ධන පන්තියේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දිවි නොතකා කැප වීමය.” “සමාජවාදය ගැන අචල විශ්වාසයක් තිබූ ඔහුගේ විශේෂම චරිත ලක්ෂනය වන්නේ ඒ විශ්වාසය වෙනුවෙන් මුලු දිවියම කැප කිරීමයි,” යනුවෙන් අමරසිංහ ගැන ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා ඇත:

අමරසිංහ කැපවූ පක්ෂය “නිර්ධන පන්තියේ පක්ෂයක්” නොවේ. ඔහු නායකත්වය දුන් ජවිපෙට සමාජවාදය සමග මොනම සම්බන්ධයක් වත් තිබුනේ නැත, ඇත්තේ ද නැත. ධනපති ජනමාධ්‍ය ජවිපෙට සමාජවාදී හා මාක්ස්වාදී යයි නම් පට බඳින්නේ අව්‍යාජ මාක්ස්වාදයට අපහාස කිරීම සඳහා ය. ජවිපෙ නායකයන් විටින් විට සමාජවාදය යන වචනය උරුහම්බාන්නේ ද මාක්ස් හා ලෙනින් ගෙන් උපුටා ගැනීම් සිය ප‍්‍රකාශවල රුවා ගන්නේ ද තම ධනපති ගැති දේශපාලනය ආවරනය කර ගැනීමට ය.

අමරසිංහගේ නායකත්වය යටතේ 2005 දී ජවිපෙ ශ‍්‍රීලනිප නායක මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට දර දිය ඇද්දේය. 2010 ජනාධිපතිවරනයේදී එම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග පෙල ගැසුනේ යුද අපරාධ පිලිබඳව චෝදනා එල්ල වී ඇති ජෙනරාල් ෆොන්සේකා ජනාධිපති කර වීමටයි. ගිය අවුරුද්දේ ඔවුන් මූලිකත්වය ගෙන සිටියේ, රාජපක්ෂ ඒකාධිපතියෙකු ලෙස නම්කර පරාජයට පත්කිරීම සඳහා ය. එමගින් ඔවුහු ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තිරයෙන් පිටුපස මෛත‍්‍රීපාල සිරිසේන බලයට දැමීම සඳහා ගෙනගිය පාලන තන්ත‍්‍ර මාරුවේ ව්‍යායාමය සමග පෙල ගැසී සිටියහ.

ගිය අවුරුද්දේ අප‍්‍රේල් මාසයේ අමරසිංහ ජවිපෙන් බිඳුනේ එය කෙලින්ම සිරිසේන පාලනයට මාට්ටු නොවීම නිසා ය. අමරසිංහ ජාතික හෙල උරුමයට ලංවී අගෝස්තු මහා මැතිවරනය තරඟ කිරීමට තැත් කලේය. එහෙත්, හෙල උරුමය එජාපය සමග මැතිවරනයට ගිවිසුම් ගැසූ තතු තුල තමන්ට අවස්තාවක් නොලැබෙන බව දැනගත් ඔහු “මට තරඟ කරන්ට පක්ෂයක් නෑ” යයි වැලපුනේය. පසුව ජනතා සේවක පක්ෂය නමින් සංවිධානයක් අටවා ගෙන අමරසිංහ අවසන් දිනවල මාට්ටු වී සිටියේ, ජනාධිපතිවරනයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ යලි බලයට ගෙන ඒම සඳහා කැස කවන වර්ගවාදී නඩ සමගයි.

ධනපති පක්ෂ සමග අමරසිංහගේ ජවිපෙ පෙල ගැසීම්, එහි ආරම්භක දේශපාලනයේ තර්කානුකූල ප‍්‍රතිපලයන් ය. කම්කරුවන්, දුගීන් හා තරුනයන් සම්බන්දයෙන් එහි දේශපාලනය ක‍්‍රියාත්මක වූයේ ඔවුන් නොමගයැවීමට, අරගල යටපත් කිරීමට හා මැඩීමට හා ධනපති පන්තියට ගැට ගැසීමට ය.

ජවිපෙ වනාහි, ලංකා සම සමාජ පක්ෂය (ලසසප), 1964 ධනපති ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය සමග සභාග ආන්ඩුවකට ඇතුලුවීමේ දුර්විපාකයක් ලෙස බිහිවූ සංවිධානයකි. දීර්ඝ කාලීන අවස්ථාවාදී පසු බැසීම් වලින් පසු සමාජවාදී ජාත්‍යන්තරවාදයේ හා කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ද පිලිබඳ මූලධර්ම ලසසපය විසින් එලෙස පාවා දෙන ලදී. එම තතු තුල, 1960 ගනන් අග ජවිපෙ මතු වූයේ ස්ටැලින්වාදය, මා ඕවාදය හා කස්ත්‍රෝවාදය සිංහල වර්ගවාදය සමග කලතා මිශ‍්‍ර කර ගත් දේශපාලනයක් මත පදනම්ව ය. කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කොට ගම්බද සිංහල දුගී තරුනයන් අවුස්සා ගෙන ජවිපෙ සංවිධානය කෙරුනා මෙන්ම දෙමල සුලු-ධනේශ්වරය මත පාදක ව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය බිහි කෙරුනි.

ජවිපෙ මෙම සුලු ධනපති දේශපාලනයේ කොටසක් ලෙස, 1970 දී ධනපති ශ‍්‍රීලනිප-ලසසප- ස්ටැලින්වාදී ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාග ආන්ඩුව බලයට ගෙන ඒමට දායක වී මාස කීපයකට පසු ඊට එරෙහිව 1971 අප‍්‍රේල් මාසයේ අතිධාවනකාරී කැරැල්ලකට ගියේය.

සභාග ආන්ඩුව විසින් කැරැල්ල ලේ විලක ගිල්වා මැඩ, ජවිපෙ නායකයන් හිරභාරයට ගෙන සය වසරකින් නිදහස් කල පසුව තමන් මෙතෙක් ගිලී සිටි මෙන්ශේවික් දේශපාලනයෙන් කැඩී මාක්ස්වාදයට පැමිනි බවට එහි නායක රෝහන විජේවීර ප‍්‍රකාශ දුන්නේ පක්ෂය තුල දේශපාලන අර්බුදය යට පත් කර ගැනීමට යි. ඇත්තෙන්ම සිදු වූයේ එම පක්ෂය තවත් දකුනට පැදීමයි. ජවිපෙ අර්බුදයට එක ප‍්‍රධාන සාධකයක් වූයේ, ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නමින් සමාජවාදී සමානතා පක්ෂයේ පුර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හිටපු ප‍්‍රධාන ලේකම් කීර්ති බාලසුරිය ජවිපෙ ජාතිකවාදී හා වර්ගවාදී සුළු ධනපති දේශපාලනය හෙලිදරවු කරමින් කල මාක්ස්වාදී විග‍්‍රහය යි.

1977 බලයට පත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ පාලනයට අනුගතව, ජවිපෙ ඊලඟ වසරවල මතුවී ආවේ එම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාකම් මත එල්ල කල ප‍්‍රහාරවලට එරෙහිව පැන නැගි කම්කරු අරගල කඩාකප්පල් කරන්නෙකු ලෙසය. ජයවර්ධන ආන්ඩුව එම ප‍්‍රහාර ගෙන යාමට 1983 ඇවිලවූ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ ප‍්‍රමුඛ කසකරුවකු ලෙස ජවිපෙ ක‍්‍රියා කලේ පක්ෂය, මත ආන්ඩුව පැනවූ තහනම ද නොතකා ය.

වර්ගවාදී යුද්ධය වනාහි, වෙසෙසින්ම, 1948 ලංකාවේ ධනපති පන්තිය බලය ගත් දා පටන් දෙමල ජනයාට එරෙහි වාර්ගික වෙනස් කම් කරමින් ගෙන ගිය දුෂ්ට ප‍්‍රතිපත්තිය කූටප‍්‍රාප්තියකි. එම වර්ගවාදී පිලිවෙත පෙරට දැම්මේ කම්කරු පන්තිය ජාතිවාදයෙන් බෙදා ධනපති පන්ති පාලනය රැක ගැනීමටයි.

ජවිපෙ 1987-1988 ඉන්දු-ලංකා ගිවිසුම රට බෙදීමේ කුමන්ත‍්‍රනයක් ලෙස වර්ගවාදී ඇවිස්සීමක යෙදෙමින් ෆැසිස්ට් පන්නයේ පහරදීම් වල යෙදී ගත්තේ සිය ගනනක් දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් හා කම්කරුවන් මරා දමමිනි. ජයවර්ධනගේ හා පසුව ආර්. ප‍්‍රේමදාසගේ එජාප ආන්ඩු ජවිපෙ කැරලි යොදා ගත්තේ එහි ක‍්‍රියාකාරීන් මෙන්ම පෙරලිකාරී වෙමින් සිටි ගම්බද තරුනයන් ද ඇතුලු හැට දහසක් පමන ඝාතනය කර දැමීමටයි. අමරසිංහ හැර විජේවීර ඇතුලු ජවිපෙ අන් සියලු මධ්‍යම කාරක සභිකයෝ ඝාතනයට ලක්වූහ.

මින් පසු කාල පරිච්චේදයේ අමරසිංහ මතු වුයේ අධිරාජ්‍ය ගැති ධනේශ්වර සංස්තාපිතයේ පක්ෂයක් ලෙසට ජවිපෙ පරිවර්තනය ස්තාපිත කිරීමේ නායකයා ලෙසට ය.

එජාප ආන්ඩුව අර්බුදයෙන් පතුරු යන හා ශ‍්‍රීලනිපය අපකීර්තියට පත්ව තිබූ කොන්දෙසි තුල, එවක ජනාධිපති වූ ඞී. බී. විජේතුංග හා අගමැති වික‍්‍රමසිංහ ද ශ‍්‍රීලනිප නායිකාව ලෙස මතුවූ චන්ද්‍රිකා කුමාරතුංග ද 1994 ජවිපෙ යලි දේශපාලන කරලියට ඒමට ඉඩ සලසා දුන්නේ මහා ජනයා අතර වැඩෙමින් පැවති නොසන්සුන්තාව පීලිපැන්න වීමේ උපකරනයක් ලෙස එම පක්ෂය යොදා ගැනීම සඳහා ය. ජවිපෙ සිය අනුගත වීම ප‍්‍රකාශයට පත් කරමින් 1994 ජනාධිපතිවරනයෙන් චන්ද්‍රිකා කුමාරතුංගට බලයට ඒමට උදව් කලේ ය.

පක්ෂයේ අධිරාජ්‍ය ගැති දක්ෂිනාංශික ගමන සලකුනු කරමින් අමරසිංහ, 2001 අග ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” හා ඇමරිකාවේ ඇෆ්ඝනිස්තාන ආක්‍රමනයට පක්ෂ වුයේය. ලංකාව තුල දී, ජවිපෙ, කුමාරතුංග සිය පාලනය වැටීම වලක්වා ගැනීමට ගත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්ට සහයෝගය දෙමින් ඇය යටතේ ‘පරිවාස ආන්ඩුවකට’ සම්බන්ධ වෙමින් ධනපති පක්ෂ සමග ආන්ඩුවලට ඇතුලුවීමේ පුර්ව අභ්‍යාසයක යෙදුනේය.

2001 අග බලයට ආ එජාප ආන්ඩුව ඇමරිකාව ප‍්‍රකාශයට පත් කල “ත‍්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය” අධිරාජ්‍යවාදීන්ගේ ද පිටුබලය ඇතිව යොදා ගත්තේ එල්ටීටීඊය බිය ගන්වා කොලඹ ආන්ඩුවේ කනිෂ්ට සහකරුවෙක් කර ගැනීමට “සාම ක‍්‍රියාවලියක්” ඇරඹීමටයි. ඊට වර්ගවාදී පදනමක විරුද්ධ වූවන් අතර මූලිකත්වයක් ගත් ජවිපෙ හා මිලිටරිය අඛන්ඩව යුද්ධය ගෙන යන ලෙස බල කලහ. සාම ගිවිසුම ඇන හිටුවීමට කුමාරතුංග 2003 නොවැම්බරයේ ක‍්‍රියා කලවිට ජවිපෙ ඊට මුලුමනින්ම සහයෝගය දුන්නේය.

අමරසිංහ 2004 පෙබරවාරි මාසයේ දී ලන්ඩනයේ සිට ලංකාවට ආවේ කුමාරතුංග යටතේ හවුල් ආන්ඩුවක් පිහිටුවීමේ නායකත්වය ගැනීමටයි. ඊට පෙර ලන්ඩනයේදී අමරසිංහ එෂ්යන් ට්‍රිබුයුන් වෙබ් අඩවියට පක්ෂයේ ධනේශ්වර ගැති දේශපාලනය ගැන මෙම අවංක ප‍්‍රකාශය කලේය:

“පක්ෂ දෙකේ සන්ධානය [ජවිපෙ හා ශ‍්‍රීලනිප] යටතේ අරඹන්නට අපේක්ෂා කරන දුෂනයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධනපති ක‍්‍රමය තුලින් ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට රට සංවර්ධනය කිරීමට පෙර නොවූ විරු වාසිදායක කොන්දේසි හැකිතරම් දුරකට නිර්මානය කෙරෙනු ඇත. ඒ සඳහා අනුගමනය කෙරෙනු ඇත්තේ, නව ආසියානු නායකයන් වන මැලේසියාව, ඉන්දියාව හා චීනය යි.”

මැතිවරනය දක්වා ඊලඟ දින ගනන ඔහු ගත කලේ ජවිපෙ ධනපති ක‍්‍රමය යටතේ ගෝලීයකරනය හා නව ලිබරල් ධනපති ප‍්‍රතිපත්ති කරපින්නා ගෙන සිටින අයුරු කොලඹ මහා ව්‍යාපාරිකයන්ට පැහැදිලි කර දීමට ය.

කුමාරතුංගගේ හවුල මැතිවරනයෙන් දිනූ පසු ජවිපෙ ආන්ඩුවට සම්බන්ධ වූයේ ඇමතිකම් තුනක් භාරගෙන ය. ආන්ඩුවේ ධනපති වැඩපිලිවෙලට උරදී 2005 ජූනි මාසයේ ආන්ඩුවෙන් එලියට බැසීමට ජවිපෙ නායකයන් තීන්දු කලේ තවත් වර්ගවාදී ප‍්‍රකෝපකරනයක් අදිමිනි. එනම්, 2004 දෙසැම්බර් ආසියානු සුනාමි ව්‍යසනයට හසුවූ 30,000කට අධික ලංකාවේ ජනයා අතුරින් උතුරු නැගෙනහිර වැසියන්ට ආධාර ලබා දීමේ යාන්ත‍්‍රනයක් එල්ටීටීඊය ද ඇතුලත් කර ගෙන හැදීම කඩාකප්පල් කරමිනි. එම යාන්ත‍්‍රනය බෙදුම්වාදයට සහාය දීමක් ලෙසට ජවිපෙ ආන්ඩුවට චෝදනා කලේය.

සුනාමි ව්‍යසනය තුල මිලිටරි මෙහෙයුම් ඇතුලු මැදිහත් වීම් වල යෙදුනු ඇමරිකාව සහකාර රාජ්‍ය ලේකම් ක‍්‍රිස්ටිනා රොකා ලංකාවට එව්වේය. අමරසිංහ තවත් ජවිපෙ නායකයන් සමග ඇය බැහැ දැකීමට ගියේ, බුෂ් පාලන තන්ත‍්‍රය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන බඩ දඟලවන ස්තෝත‍්‍ර වලින් පිරුනු සන්දේශයක් බාර දී ලංකාව තුල ත‍්‍රස්තවාදය වැලැක්වීමේ නමින් එල්ටීටීඊයට මුදල් ආධාර නොදීමට ද ඇමරිකාව තුල එහි ආධාරකරුවන් මැඩීමට ද ක‍්‍රියා කරන ලෙස ඉල්ලීමටයි.

අමරසිංහගේ අත්සනින් යුතු එම සංදේශයේ මෙසේ සහතික වී තිබුනි: “අපගේ පරමාදර්ශයට කැපවීම අත් නොහැරම, පාර්ලිමේන්තු පක්ෂයක් බවට හා මිශ‍්‍ර ආර්ථිකයකට මාරුවන පලමුවන විප්ලවවාදී පක්ෂය වීමට අපි කැමැත්තෙමු.”

“දෙවන ලෝක යුද්ධයෙන් පසු ෆැසිස්ට් ඒකාධිපතියන් විස්තාපනය කල බවට” ඇමරිකාවට බොරු චරිත සහතිකයක් දුන් අමරසිංහ “එම ජීව ගුනයෙන්ම” ලංකාව තුල ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීමට බුෂ් පාලනය සහයෝගය දෙනු ඇතැයි තම ලිපියෙන් විස්වාසය පල කලේය.

මෙම ලිපිය භයංකර ඇඟවුම් සහිත එකකි. එල්ටීටීඊය පරාජය කිරීමේ නමින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් මැදිහත්වූයේ නම් ජවිපෙ ඊට සහයෝගය දීමට ඉඩ තිබුනු බව ඉන් ඇඟවෙයි. ඇමරිකාව ලංකාවට එවැන් මැදිහත්වීමක් කිරීමට ගනන් බලා නොතිබුනේ මූලෝපායික කරුනු මත යි. කෙසේ වතුදු, ඇමරිකාව එල්ටීටීඊය මැඩීමට කොලඹ ආන්ඩුවට හැම විටම උදවු කලේය.

කුමාරතුංගගෙන් පසු රාජපක්ෂ බලයට ගෙන ඒමට 2005 නොවැම්බරයේ අමරසිංහ ඇතුලු ජවිපෙ නායකයන් තීන්දු කිරීමේ දී ප‍්‍රධාන කොන්දේසියක් වූයේ එල්ටීටීඊය සමග සාම ගිවිසුම “යලි සලකා බැලීමයි”--එනම්, ඊට එරෙහිව යුද්ධය යලි ඇරඹීමයි. රාජපක්ෂ චන්දය දිනීමෙන් පසු ආන්ඩුවට එකතුවීමට අමරසිංහ ඇතුලු කන්ඩායමක් යෝජනා කලත් අනෙක් නායකයන් අදිමදි කල නිසා එය ක‍්‍රියාවට දැමීමට නොහැකි ව ආන්ඩුවට පිටත සිට පූර්න මුක්කුව දීමට ජවිපෙ තීන්දු කල බව පෙසප සිය “ස්වයං විවේචනය” පොතේ ලියා ඇත.

ජවිපෙට වර්ගවාදී යුද්ධයට සහාය දීම පරිපූර්න ආකාරයෙන් ඉටු කිරීමට අවස්තාව ලැබුනේ දැන්ය. සොල්දාදුවන්ට යුද අගල් කපා දීම සඳහා පක්ෂ කේඩරය යැවු එය යුද්ධයට එරෙහිවූ සියල්ලන් කොටි, සිංහල කොටි, සුදු කොටි ආදී හංවඩුව ගසා රාජ්‍ය හා මැර මර්දනයට ගොදුරු කිරීමට කෙලින් ම දායක වුයේය. දෙමල සිවිල් වැසියන් දස දහස් ගනන් ඝාතනය කෙරෙමින් හා ලක්ෂ ගනනක් කඳවුරුවල සිර කරමින් අවසන් කෙරුනු යුද්ධයේ අපරාධවලට ජවිපෙ ද දේශපාලනිකව වග කිව යුතුය.

මෙහි කෙටියෙන් සඳහන් කෙරුනේ අමරසිංහගේ හා ඔහු නායකත්වය දුන් ජවිපෙ ක‍්‍රියා කලාපයයි. ලිපිය මුල යුද්ධයෙන් පසු ජවිපෙ තව තවත් දකුනට රූටා යාම අපි සටහන් කලෙමු. අමරසිංහ පක්ෂය හැර යාම නිවේදනය කිරීමත් සමග ජවිපෙ නායකයන් ඔහු තබා ගැනීමට නොගත් තැතක් නැත. සියලු ආයාචනා ප‍්‍රතික්ෂේප කලත්, ජවිපෙ කිසිදා අමරසිංහ පක්ෂයෙන් ගියේ ඇයිදැයි කිසිවක් කියා ඇත්තේ ද නැත. අමරසිංහ අවසාන දිනවල ගෙන ගිය දේශපාලනය ජවිපෙට අරුමයක් නොවේ. ඒ ඔවුන් යෙදී ගන්නා දේශපාලනයේම තවත් ප‍්‍රකාශනයක් පමනි.

ජවිපෙ ධනපති පන්තියේ අවශ්‍ය උපකරනයක් ලෙස ස්ථාපිත කිරීම ගැන හිමිකම් කීමට අමරසිංහට අයිතියක් ඇත. කම්කරුවන් හා තරුනයන් ජවිපෙ හා අමරසිංහගේ මෙම ප‍්‍රතිගාමී දේශපාලනය පිලිකුලෙන් ප‍්‍රතික්ෂේප කල යුතුය.

Share this article: