බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම මුල්කරගෙන පැවැත්වූ බ්‍රසල්ස් සමුලුවේදී තියුනු ආතතීන් මතුවිය

Tensions erupt at Brussels summit on British exit from EU

ජොහැනස් ස්ටර්න් හා ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2016 ජූනි 29

28දා යුරෝපීය සංගම් නිලධාරීහු, තනතුරෙන් ඉවත්ව යන බ්‍රිතාන්‍ය අගමැති සහභාගී වූ අවසාන යුරෝ සංගම් සමුලුවේදී, ඩේවිඩ් කැමරන්ට එරෙහිව දැඩි පිලිවෙතක් අනුගමනය කලහ. රැස්වීම කැඳවනු ලැබ තිබුනේ, යුරෝ සංගමයෙන් ඉවත්වීම සඳහා පසුගිය සතියේ බ්‍රිතාන්‍ය ජනමත විචාරනයේදී දුන් ඡන්දයට ප්‍රතිචාර වශයෙනි. සමුලුවට පෙරාතුව යුරෝපීය හා බ්‍රිතාන්‍ය නිලධාරීහු යුරෝපීය පාර්ලිමේන්තුවේදී එල්ල කරගත් කටුක ප්‍රහාර ඇඟවුම් කලේ, හැර යාමට ගත් තීන්දුව වෙනුවෙන් යුරෝ සංගමයේ නිලධාරීහු බ්‍රිතාන්‍යයට දඬුවම් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

කැමරන් නිවේදනය කර ඇත්තේ, ඔක්තෝබරයේදී පාලක කොන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුලුව පැවැත්වීමෙන් පසුව තනතුරෙන් ඉවත් වන බවයි. යුරෝ සංගමයේ ලිස්බන් ගිවිසුමේ ප්‍රකාර 50 වගන්තිය ක්‍රියාත්මක කිරීම ඔහුගේ අනුප්‍රාප්තිකයාට පැවරෙනු ඇත. එය, ඉවත්වීම බ්‍රිතාන්‍යයේ කොන්දේසි වලට අනුව ක්‍රියාවට නැගීමකි. ඒ නියමය අනුව බ්‍රිතාන්‍යයට යුරෝපයෙන් ඉවත්වන තෙක්, සියලු ගිවිසුම් හා අනෙකුත් එකඟත්වයන් පිලිබඳව කටයුතු කිරීමට දෙවසරක කාලයක් හිමිවේ.

රාත්‍රී භෝජන සංග්‍රහයකින් සමන්විතවූ සාකච්ඡාවන් තුල, බ්‍රික්සිට් අර්බුදය පිලිබඳව, කැමරන් හා යුරෝපීය නිලධරුවන් අතර මොනම එකඟත්වයක්වත් ඇති නොවීය. ඊට යුරෝ සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් ද එහි කොමිසමේ සභාපති ජීන් ක්ලවුඩේ ජුන්කර් ද සහභාගී විය. දෙවන දිනයේ සාකච්ඡා වලට, තවමත් ප්‍රායෝගිකව සාමාජිකයෙක් වන බ්‍රිතාන්‍ය සහභාගී කර නොගැනීමට යුරෝ නායකයින් පියවර ගත් අතර කැමරන් හිස් අතින්ම ආපසු ගියේය.

සමුලුවට පැමිනි කැමරන් යුරෝපීය නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, එරට ඊලඟ අගමැති සමග “හැකිතාක් පලදායි ආකාරයට” කටයුතු කරන ලෙසයි. ඔහු මෙසේ පැවසීය: “අද දිනයේ සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි මා සිතන්නේ, අපගේ අසල්වැසියන්, මිතුරන්, අපගේ සහකරුවන් හා කොටස්කරුවන් වන මේ රටවල් සමග, වෙලඳාම, සහයෝගිතාව හා ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලදී හැකිතාක් සමීප ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව මත බවයි, මක්නිසාද යත් එය අපට මෙන්ම ඔවුන්ට ද වාසි සහගත බැවින්ය.”

ඒ වෙනුවට, ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ඇතුලු යුරෝපයේ ප්‍රමුඛ නිලධරයින් නිකුත් කරනු ලැබුවේ, බ්‍රිතාන්‍ය දඬුවම් සහිත ඉක්මන් පිටවීමකට යා යුතුය යන ප්‍රකාශය.

ජර්මානු පාර්ලිමේන්තුව වෙත කල නිල ප්‍රකාශකයදී මර්කෙල්, බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් දැඩි ආස්ථානයක් ගත්තාය. 50 වන වගන්තියට අනුව බ්‍රිතාන්‍යය “තවමත් පියවර ගැනීමට සූදානම් නැති” බව ජර්මානු නිලධාරීන් හොඳින් දැන සිටින බව ඇය පැවසුවාය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය, “50 වන වගන්තිය ප්‍රකාරව කටයුතු නොකරන තාක් දුරට කිසිදු සාකච්ඡාවක් හෝ පූර්ව ගනුදෙනු කිසිවක් නොකෙරෙනු ඇති බව” දැනගත යුතුය.

එම තර්ජනාත්මක ප්‍රකාශ සැඟවීමට උත්සාහ නොකරමින් ඇය, “බ්‍රිතාන්‍යය තුලදී ගත යුතු තීන්දු ගැනීමට සූදානමක් නැතිව, ඔහේ රස්තියාදු ගැසීමට අපගේ මිතුරන් සූදානම් නොවිය යුතු යයි ඔවුනට පැවසීමට මම කැමැත්තෙමි.” බ්‍රිතාන්‍ය “නේටොවේ සමීප මිතුරෙකු” වන නමුත් ජර්මනිය හා යුරෝපය “ඔවුන්ගේ අවශ්‍යතා මුල්කරගෙන” සාකච්ඡාවන්ට නොඑලඹෙනු ඇතැයි ඇය අවධාරනය කලාය. ඇය පැවසුවේ බර්ලිනය, “තම ප්‍රතිපත්ති යොමුකරන්නේ ජර්මානු පුරවැසියන්ගේ හා ව්‍යාපාරයන්හි අවශ්‍යතා මුල්කරගෙන” බවය.

පාර්ලිමේන්තුවේ සිටි සියලුම පක්ෂවල නියෝජිතයින්ගේ ඔල්වරසන් මධ්‍යයේ පැවැත්වූ ඇගේ කථාවේ වඩාත් ප්‍රකෝපකාරී කොටස මෙසේ විය: “කජු කන ක්‍රමයට සාකච්ඡා ගෙන නොයාමට අප වග බලාගත යුතුය. රටකට යුරෝපීය පවුලේ සාමාජිකයෙක් වීමට අවශ්‍ය ද නැද් ද මත අප හැසිරිය යුතු හා හැසිරෙනු ඇත. මෙම පවුල හැර යාමට යමෙකුට අවශ්‍ය නම් ඔහු, යුරෝපය සම්බන්ධ සියලු වගකීම් වලින් නිදහස්වී සියලු අයිතීන් හිමිකර ගැනීමට බලාපොරොත්තු නොවිය යුතුය.”

ආර්ථික හා දේශපාලනික වශයෙන් ලෝක බලවතෙකු ලෙස යුරෝපීය සංගමය පිහිටුවා ගැනීම පිනිස කැඳවුම් කල, වසර 2000දී සූත්‍රගත කල ඊනියා ලිස්බන් මූලෝපාය ගැන මර්කෙල් සඳහන් කලේ, එහි ස්වාධීන විදෙස් හා මිලිටරි පිලිවෙතක් යුක්තිසහගත කිරීමේ උත්සාහයක් ලෙසය. “අප සියල්ලන්ටම දැකගත හැක්කේ ගැඹුරුම නොසංසුන්තාවකට පත්ව ඇති ලෝකයකි. යුරෝපයේදී ද අප මුහුන දෙන්නේ, පීඩාව, අර්බුද, ගැටුම් හා අපගේ අසල්වැසි ප්‍රදේශයන්හි යුද්ධයන්ටය. යුරෝපීයයන් ලෙස අප අවාසනාවන්ත ලෙස වගකීම භාර ගත යුතු විදෙස් හා ආරක්ෂක ප්‍රතිපත්ති අභියෝගයන් ඇත.....”

ඕලන්ද මුදල් ඇමති ද මර්කෙල්ගේ දැඩි පිලිවෙත පුනරුච්ඡාරනය කරමින් පැහැදිලි කලේ, බ්‍රිතාන්‍යයේ පිටවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙලඳාමට හානි සිදුකිරීම යුරෝපයේ අදහස වී ඇති බවය. ඔහු බ්‍රිතාන්‍යයේ නිදහස් පක්ෂයේ (යූකේඅයිපී) නායක නිජල් ෆරාජ්ට පහර දුන්නේ, “බ්‍රික්සිට්හි අර්ථය යුරෝපය සමග වඩා වාසිදායක කොන්දේසි සහිතව බ්‍රිතාන්‍යයට වෙලඳාම් කල හැකිය කියා ඔහු සිතන්නේ නම්, “ෆරාජ්ට වැරදිලා” යනුවෙනි.” මුදල් ඇමති පැවසුවේ, ෆරාජ්, “තවමත් බ්‍රිතාන්‍යය, ලොව වෙලාගත් අධිරාජ්‍යයක් කියා සිතන්නේ නම් හා සියල්ල ඇනවීමට ඔවුන්ට හැකිය කියා නම්, එය එසේ නොවන බව දැනගත යුතු” බවය.

කැමරන් හා ජුන්කර් සමග රාත්‍රී භෝජනය ගනිමින් යුරෝ කවුන්සිලයේ සභාපති ටස්ක් සනාථ කලේ, ගෝලීය පසුබෑමක් මුදා හැරීමේ අවදානම දරමින් වුවත්, යුරෝපයෙන් ඉවත්වීමට ඡන්දය දෙමින් බ්‍රිතාන්‍ය පෙන්වූ ආදර්ශය වෙනුවෙන්, එරට මත බැරෑරුම් ආර්ථික හානියක් ඇතිකිරීම එහි එල්ලය බවය. යුරෝපීය නායකයින් විසින්, “බ්‍රික්සිට්හි අර්ථය, බ්‍රිතාන්‍යයේ සැලකිය යුතු තරම් පහත් ආර්ථික වර්ධනයක් හා ඊට වඩා අඩුවෙන් එය ලෝකය පුරා ගලා යනු ඇති බව” පැහැදිලි කර ඇති බව ඔහු පැවසුවේය.

ෆරාජ් හා යුරෝපීය කොමිසමේ සභාපති ජුන්කර්ගේ දරුනු වාග් ප්‍රහාර හමුවේ පැවති විනාශකාරී පාර්ලිමේන්තු සැසියෙන් පසුව යුරෝපීය පාර්ලිමේන්තුව, බ්‍රිතාන්‍ය වේගයෙන් 50 වන වගන්තිය ක්‍රියාත්මක කරමින් සාකච්ඡාවන්ට එලඹිය යුතුය යන යෝජනාව සම්මත කලේය. “නුඹලා වැඩි දෙනෙකුගේ ජීවිත කාලය තුල කවදාවත් හරියාකාර දෙයක් කර නැතැයි” පවසමින් යුරෝපීය පාර්ලිමේන්තු සභිකයින්ගේ මූන ඉදිරියේම ඔවුන් හෙලා දුටු ෆරාජ්, “අප වෙනස්වූ සම්බන්ධතා පිලිබඳව කටයුතු කල යුත්තේ කෙසේ ද යන්න ගැන නුවනැති ආකල්පයක් ගත යුතු” බව පැවසීය. මැද පෙරදිග සරනාගතයින්ට යුරෝපයට පැමිනීමට ඉඩ හැරීම ගැන ඔහු මර්කෙල්ට විරුද්ධව සංක්‍රමන විරෝධී දෝෂාරෝපනයක් එල්ල කල අතර “යුරෝ මුදල” අසාර්ථක ව්‍යායාමයක් බව කියා සිටියේය. “ග්‍රීසියේ හා අවශේෂ මධ්‍යධරනී ප්‍රදේශයේ ගෙන ගිය දුප්පත් කමේ පිලිවෙතක් ලෙස නම් ඔබ ඉතා සාර්ථක” යයි ඔහු පැවසීය.

බ්‍රික්සිට් ජනමත විමසුමට ගරු කරන ලෙස කියමින් ෆරාජ්ගේ කථාවට ඔල්වරසන් දුන් යූකේඅයිපී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට බ්‍රසල්ස් නුවරින් පිටව යන ලෙස ජුන්කර් පැවසීය. “නුඹලා මෙහිදී ඔල්වරසන් දෙන අන්තිම අවස්ථාව මෙයයි.... එක්තරා දුරකට නුඹලා මෙහි සිටීම ගැන මම පුදුම වෙනවා. නුඹලා පිටවීම වෙනුවෙන් සටන් වැදුනා, බ්‍රිතාන්‍යය ජනතාව ඊට පක්ෂව ඡන්දය දුන්නා, ඉතින් තොපි මොකද මෙහෙ කරන්නේ” ඔහු කඩා පැන්නේය.

විශේෂයෙන්ම 2008 මූල්‍ය අර්බුදය හා ඉන් ඉක්බිතිව පනවනලද කප්පාදු පිලිවෙත් වලින් පසුව, බ්‍රිතාන්‍ය පිලිබඳව යුරෝපය අනුගමනය කරන දන්ඩනාත්මක පිලිවෙත ද බ්‍රිතාන්‍ය හා යුරෝ නායකයින් අතර පැතිර යන ගැටුම් ද යුරෝපය පුරා ගොඩනැගී ඇති ගැඹුරු බෙදීම් ද කෙරෙහි ආලෝකයක් විහිදුවයි. දැන් ආතතීන් උත්සන්න වෙමින් ඇත්තේ බ්‍රිතාන්‍ය හා බ්‍රසල්ස් අතර පමනක් නොව සමස්ත යුරෝපය පුරාමය.

පෝලන්ත විදෙස් ඇමති විටොල්ඩ් වසිකොව්ස්කි 27දා, “වැරදි” සම්බන්ධයෙන් “යුරෝපීය සංගමයේ නායකයින්” වෙත දොස් පැවරීය. “අඩු තරමින් යුරෝපීය නායකත්වයේ කොටසක්වත් ප්‍රතිවිපාකයන්ගෙන් බැට කති.” ඔහු පැවසුවේ බ්‍රික්සිට් ඡන්දය “පරාජයක්” බවයි. එසේම ඔහු, “බ්‍රිතාන්‍ය හා යුරෝපය යන දෙකම සම්බන්ධයෙන් නව යෝජනා මත වැඩ කරන.... නව දේශපාලඥයින් හා විශේෂඥයින්” ඉල්ලා සිටියේය. “යුරෝ සංගමයේ ප්‍රධාන බලය යුරෝපීය කවුන්සිලයට නොව කොමිසමට පවරන හා නව යුරෝපීය ගිවිසුමක්” ඇතුලත් වන “රැඩිකල්” යෝජනා පෝලන්තය විසින් සමුලුවට ඉදිරිපත් කරනු ඇති බව ඔහු නිවේදනය කලේය.

දක්ෂිනාංශික හා නම ගිය රුසියානු විරෝධී පෝලන්ත හා බෝල්ටික් රටවල ආන්ඩු, බ්‍රික්සිට් ඡන්දය සලකන්නේ, පෝලන්තයේ පැවැත්වීමට නියමිත නේටෝ සමුලුවට පෙර රුසියානු විරෝධී මිලිටරි තරකිරීම් දුබල කල හැකි තර්ජනයක් ලෙසත්, සමස්ත නේටෝ සංධානයටම වල කපන ක්‍රියාවලියක් ලෙසත්ය. බ්‍රසල්ස් වෙත පැමිනි ලිතුවේනියානු ජනාධිපති ඩාලියා ග්‍රිබොස්කයිටිගෙන් මාධ්‍යවේදීන්, අවසානයේදී බ්‍රිතාන්‍ය ආපසු හැරී යුරෝපීය සංගමයේ රැඳී සිටීමට ඇති හැකියාව ගැන විමසූ කල, මර්කෙල්ට වඩා කැපී පෙනෙන වෙනස් ආස්ථානයක් ගනිමින් පැවසුවේ, “සාදරයෙන්, සාදරයෙන් පිලිගන්නෙමු!” යනුවෙනි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් සමග 27දා පැවති රැස්වීමෙන් පසුව නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැහැදිලි කලේ, මිලිටරි සන්ධානයට ලංඩනය සමග ඇති සම්බන්ධතාවයේ වෙනසක් අවශ්‍ය නොවන බවයි. “බ්‍රිතාන්‍ය යනු ශක්තිමත් හා කැපවුනු මිතුරෙකි, යුරෝපයේ නේටෝ මිතුරන් අතර ආරක්ෂක වියදමෙන් හතරෙන් එකකටම වගකියන්නේ ඔවුන්ය” යනුවෙන් ඔහු පැවසීය. “වෝර්සෝ සමුලුව සමස්ත යුරෝපයටම වැදගත්ය. මක්නිසා ද යත්, වැලැක්වීම හා ආරක්ෂාව පිලිබඳව ද අපගේ අසල්වැසියන්ගේ ස්ථාවරත්වය සැලසුම් කිරීමේදී ද යුරෝ සංගමය සමග තවදුරටත් සහයෝගිතාව ශක්තිමත් කරන්නේ හා පුලුල් කරන්නේ කෙසේ ද යන්න පිලිබඳව ද එහිදී අප තීරන ගන්නා බැවිනි.”

Share this article: