පෙරටුගාමී සමාජවාදී පක්ෂය ස්පාඤ්ඤයේ ව්‍යාජ වාම හවුලට ආවඩයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 ජූනි10

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අනුබලය ලබන අක්ෂය නමැති වෙබ් අඩවියේ ජාත්‍යන්තර විශ්ලේෂන තීරුව යටතේ පසුගිය මැයි 19 දින පල කල ලිපියක ස්පාඤ්ඤයේ පොඩෙමොස් සහ එක්සත් වාමාංශය අතර ඇති කර ගත් “වාම හවුල” උත්කර්ෂයට නංවා ඇත. එම සන්ධානය අටවාගෙන ඇත්තේ මෙම මස අගදී පැවැත්වෙන එරට මැතිවරනය සඳහා එකාබද්ධව තරඟ වැදීම සඳහා ය.

පොඩෙමොස් සංවිධානයේ වර්ධනය උද්යෝගයෙන් පුනරුච්චාරනය කරමින් කතෘ ලිපිය ලියන්නේ ජුනි මැතිවරනයේදී ස්පාඤ්ඤයේ සමාජවාදී කම්කරු පක්ෂය පරදවා දෙවන තැනට පැනගැනීමට පොඩෙමොස්-එක්සත් වාමාංශ හවුලට ඉඩ ලැබේය යන බලාපොරොත්තුව සහිතව ය.

ජාත්‍යන්තරව පොඩෙමොස් හා ග‍්‍රීසියේ සිරිසා බඳු උගුල්වලට උඩගෙඩි දෙන අතරම “වමේ කේන්ද්‍රයක්” තැනීම, “වාම සංවිධානවල එකතුවක්” ගොඩනැගීම ආදී සූත‍්‍ර පෙසප නායකයන් තොරොම්බල් කරන්නේ ලංකාවේ කම්කරුවන් හා තරුනයන් කොටු කිරීමට එවන් ව්‍යාපාරයකට කැසකවමිනි. අක්ෂය ලිපිය එහි කොටසකි.

අක්ෂයට අනුව “පොඩෙමොස් - එක්සත් වාමාංශ හවුල ප‍්‍රභූ දේශපාලන සංස්ථාපිතය විසින් සමාජය මත පටවා තිබෙන නව ලිබරල් කප්පාදු වැඩපිලිවෙත්වලට එරෙහිව සමාජයේ පහල මාලය තුලින් පැන නැගී තිබෙන පුලුල් දේශපාලන ප‍්‍රතිවිරෝධයක ප‍්‍රකාශනයකි.”

එම ප‍්‍රකාශය අමු බොරුවකි. මෙම ව්‍යාජ-වාම හවුල ධනේශ්වර ක‍්‍රමයට එරෙහි මොනම ආකාරයේ හෝ දේශපාලන ප‍්‍රතිවිරෝධයක ප‍්‍රකාශනයක් නොවේ; ඉන් නියෝජනය වන්නේ කම්කරු පන්තිය හා අවශේෂ පීඩිතයන් කෙරෙන් ධනේශ්වර කප්පාදු පිලිවෙත් වලට එරෙහිව නැගී එන විරෝධය සිරකර තබා ඔවුන් මත මුල්‍ය ප‍්‍රාග්ධනයේ අධිපත්‍යය පවත්වා ගැනීම සඳහා මතුවන නව ධනේශ්වර උගුලකි.

පොඩෙමොස් වාම වෙස්ගත් ධනේශ්වර සංස්ථාපිතයේ සංවිධානයකි. එය ස්පාඤ්ඤ දේශපාලන දර්ශන පථයට අවතීර්න වීම, ධනේශ්වර විරෝධී වාමාංශය නම් පැබ්ලෝවාදී සංවිධානය හා විවිධ සුලු ධනේශ්වර කන්ඩායම්වල පෙල ගැසීමක ප‍්‍රතිපලයකි. මෙය ජාත්‍යන්තර මට්ටමේ එවන් සංවිධාන වල කාන්ඩ ගැසීමේ කොටසක් විය. පොඩෙමොස් නායකත්වයට තෝරා ගැනුනු පැබ්ලෝ ඉග්ලේසියාස් ධනේශ්වර සහ රැඩිකල් මාධ්‍යයන්ට ප‍්‍රතිපදානයන් එකතු කල දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ “වාමාංශික” වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද විය.

2014 යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයේ දී පොඩෙමොස්හි මතු වීම වටහා ගැනීම එහි ක‍්‍රියා කලාපය තේරුම් ගැනීමට වැදගත් වේ. 2008 මුල්‍ය කඩාවැටීම් ඉක්බිත්තෙහි ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ප‍්‍රමුඛ යුරෝපා ආර්ථිකයක් වූ ස්පාඤ්ඤය ද ඇතුලු රටවල් රැසක සමාජ අයිතීන් කප්පාදු කරමින් ක‍්‍රියාවේ යොදවන ලද ප‍්‍රතිපත්තිවලට එරෙහිව යුරෝපයේ කම්කරුවන් හා තරුනයන් අතරින් වැඩ වර්ජන සහ විරෝධතා මාලාවක් පැන නැග්ගේය. එම සන්දර්භය තුල පොඩෙමොස් කලඑලි බැස්සේ වැඩෙන මහජන විරෝධය මොට කිරීමේ ධනේශ්වර කොන්ත‍්‍රාත්තුවට අතගසා ගත් එහි ගැලවුම්කරුවෙකු ලෙසය.

2015 දෙසැම්බරයේ ස්පාඤ්ඤ මහමැතිවරනයට ඉදිරිපත් කල ක‍්‍රියා මාර්ගයේ පොඩෙමොස් සඳහන් කලේ තමන් “වගකීම බාර ගන්නා කලමනාකරනයේ උපරිම ආරක්ෂාව ද විශ්වාසය ද ඇති කරවමින් දේශපාලන ස්ථාවරත්වය සහතික කරනු ඇත” යනුවෙනි. තමන්ගේ පාලනයක් යටතේ වුව මුල්‍ය කතිපයාධිකාරය විසින් ගෙනයන වැඩපිලිවෙල ආරක්ෂිත කෙරෙන වගට පොඩෙමොස් හි ප‍්‍රතිඥාව වූයේ එයයි.

දෙසැම්බර් මහමැතිවරනයෙන් පසු කිසිදු පක්ෂයක් බහුතර බලය දිනා ගැනීමට සමත් නොවීය. පොඩෙමොස් උත්සුක වූයේ එම තත්වය ගසා කමින් මැතිවරනයෙන් දෙවන තැන ගත් ධනේශ්වර සමාජවාදී පක්ෂය සමග ගොඩනගාගන්නා සන්ධානයකින් ආන්ඩු බලයට හවුල් වීමටයි. එහිදී එම සන්ධානය ශක්තිමත් කර ගැනීම සඳහා දක්ෂිනාංශික පුරවැසි පක්ෂයේ සහයෝගය ලබාගැනීමට පවා පොඩෙමෝස් එකඟව සිටියේ සිය පන්ති අවශ්‍යතා වෙනුවෙන් වඩාවඩාත් දකුනට ගමන් කිරීමට තම සූදානම පෙන්වමිනි. ඉග්ලේසියාස් තමන්ට උප අගමැතිකම ඉල්ලා සිටි අතර තවත් ඇමති පට්ටම් පක්ෂ නායකයන්ට ලබා ගැනීමට කේවල් කලේය.

පොඩෙමෝස් සිය ප‍්‍රථම දේශපාලන මතුවීම සිදු වූ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයේදීම සියයට 8ක ඡන්ද ප‍්‍රමානයක් ලබාගැනීමත් ඉන්පසුව එලඹි ස්පාඤ්ඤ මහමැතිවරනයේදී 20ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීමත් සම්බන්ධයෙන් අක්ෂය සිය ලිපිය තුල උදම්අනයි. ලිපියේ සඳහන් කර ඇත්තේ පොඩෙමොස් එම සීග‍්‍ර වර්ධනය අත්පත් කරගනු ලැබුවේ “2014 ට පසු කාලය තුල ස්පාඤ්ඤය තුල ක‍්‍රියාත්මක කප්පාදු පිලිවෙත් ආපසු හැරවීමේ වැඩපිලිවෙලක් මත සටන් කල” නිසාය.

එය කම්කරුවන්ට හා තරුනයන්ට ගිල්ලවීමට උත්සුක වන තවත් බේගලයකි. පොඩෙමොස් සංවිධානයට එම වර්ධනය අත්පත් කරගත හැකිවූයේ කප්පාදු පියවරයන්ට එරෙහිව ඔවුන් ගෙන ගිය මොනම අරගලයක් හෝ නිසා නොවේ; වැඩෙන සමාජ අසමානතාවය, විරැකියාව, දරිද්‍රතාවය සහ අධික ජීවන බර හේතුවෙන් අසහනයට පත් ස්පාඤ්ඤ මහජනතාව තුල පාලක ප‍්‍රභූවට එරෙහිව කැකෑරෙමින් තිබූ වෛරය ගසා කෑමෙනි. එය ඒ මොහොතේ ග‍්‍රීසිය තුල සිය සහෝදර පක්ෂය වූ සිරිසාව ප‍්‍රමුඛ කරගත් ලොවපුරා ව්‍යාජ වාම ඒජන්තයින් කර උර දීගෙන සිටි රාජකාරියයි.

ග‍්‍රීක කම්කරු පන්තියේ විරෝධය මතට පැනගෙන ග‍්‍රීසිය තුල කප්පාදු පියවර අවසන් කරන බවට ප‍්‍රතිඥා දෙමින් බලයට පැමිනි සිරිසාව ඉතා කෙටිකලක් තුලදී කප්පාදු පියවර ඉදිරියට පවත්වාගෙන යාම පිලිබඳ තමන්ම කැඳවූ ජනමත විචාරනයේදී “එපා” යයි පලවූ දැවැන්ත මහජන විරෝධයට පයින් ගසා අලුත් කප්පාදු ද අනුමත කර ගත්තේ ග‍්‍රීක කම්කරු පන්තිය කම්පනයට ලක් කල දැවැන්ත පාවාදීමකට ලක්කරමිනි.

සිය රටේ බලය ගැනීමට සිරිසා අඩිපාරේ යන ඉග්ලේසියාස් එහි පාවාදීම ගැන මෙසේ කිවේය: “සිප්රාස් ඉදිරියේ තිබුනු විකල්පය නම් එක්කෝ එකඟතාවය නැතිනම් යුරෝවෙන් එලියට යෑමයි. කප්පාදු කෙරේ ඇලෙක්සිස් ගේ ප‍්‍රතිපත්ති ඉතා පැහැදිලි නමුත් ලෝකයේ දේශපාලන බලවේගවල සම්බන්ධතාවය (තුලනය) ගනනට ගැනීමට ඔහුට සිදුවිය. ශෝකභරිතව නමුත් කිව යුත්තේ ග‍්‍රී‍ක ආන්ඩුව කර ඇත්තේ එයට කල හැකිව තිබුනු එකම දෙයයි.”

ඉග්ලේසියාස් සිරිසාවේ පාවාදීම සාධාරනීකරනය කරන්නේ තමන් බලයට පත්වුවද ඉන් එහා දෙයක් නොකරන්නේ යන්න හොඳාකාර දැනුවත් කම නිසාය. පෙසප න්‍යායාචාරීන්ගෙන් ගුරුහරුකම් ලබන අක්ෂය, සිරිසා, පොඩෙමොස් ආදී තම ව්‍යාමජ වාම සගයින් විසින් කරන මෙම පාවාදීම්වලට සුදුහුනු තවරමින් සිටින්නේ එම පක්ෂ සමග එක්ව තමන් ද යෙදී සිටින පොදු අභ්‍යාසයට සුජාත භාවයක් අත්පත් කර ගැනීමටයි.

අක්ෂය ලිපියට ග‍්‍රීසියේ පාවාදීම සම්බන්ධයෙන් එකතු කර ඇති කොටස කුහකත්වයෙන් පිරි පිලිකුල් සහගත එකකි. ලිපිය මෙසේ කියයි: “මෙවැනිම දේශපාලන පෙල ගැස්මක් (පොඩෙමොස්- එක්සත් වාමාංශය හවුල) හරහා 2016 වර්ෂයේ දී ග‍්‍රීසියේ සිරිසා පක්ෂය එරට ආන්ඩු බලය ලබාගත් අතර කෙසේ වූවද යුරෝපා සංගමයේ බලවතුන් දැඩි ආර්ථික හිරකිරීම් මධ්‍යයේ සිරිසා ආන්ඩුව දන ගැස්සීමට සමත් විය. ඒ අනුව බලයට පැමිනීමට පෙර සිරිසා පක්ෂය විසින් ප‍්‍රතික්ෂේප කල කප්පාදු පිලිවෙත් එම ආන්ඩුව ලවාම ක‍්‍රියාවට නැංවීමට යුරෝපා බලවතුන් කටයුතු යෙදූහ.”

සිරිසා ආන්ඩුවේ තුච්ඡ පාවාදීම යුරෝපා සංගමයේ ආර්ථික හිරකිරීම් මධ්‍යයේ සිදුවූ අසරන දනගැසීමක් බවට කෙරෙන මවාපෑම මෙම ලිපිය පුරා දිවෙන දැනුවත් වංචාවේ කූට ප‍්‍රාප්තියයි. පෙසප වර්ගයේ ව්‍යාජ වාම පක්ෂ සහ විවිධ මධ්‍යම පන්තික කල්ලි කන්ඩායම් විසින් ග‍්‍රීක අර්බුදයට තිබුනු එකම ශක්‍ය පිලිතුර සිරිසාව යුරෝපා සංගමය ඉදිරියේ දනගැසීම බවත් එය කිසිඳු ආකාර පාවාදීමක් නොවේයැයි යන මතය ඉදිරිපත් කරනු ලැබීමත් ඔවුන්ගේ න්‍යායික දුර්වලතාවයක් හෝ අත්වැරැද්දක් නොවේ. පැහැදිලි ලෙසම එම සියලු වංචනික යුක්තිසහගත කිරීම් ගලා එන්නේ සිරිසාව සහ එහි ක්ෂමාලාපකයන් නියෝජනය කරන සමාන පන්ති අවශ්‍යතා තුලිනි.

දැන් සිරිසාව දනගසා ඇතැයි බොරුවට කෙඳිරිගාන නමුත් 2015 ජනවාරියේ මැතිවරනය ජයගෙන සිරිසාව බලයට පැමිනීමෙන් පසුවත් ඊට පලමුවත් පෙසප සිය පුවත්පත වන ජනරළ හරහා ඇති තරම් සිරිසාව උත්කර්ෂයට නැංවිය. කොලඹදී ප‍්‍රසිද්ධ රැස්වීමක් කැඳවා සිරිසා අත්දැකීම ගැන සාකච්ඡා පැවැත්වීය. ඒ සියල්ල තුල පෙසප යෝජනාව වූයේ ලංකාව තුල ද සිරිසා මොඩලයේ සංවිධානයක් ගොඩනැගීමයි. කම්කරු පන්තියේ ඇස් පනාපිටම සිරිසාවේ පාවාදීමෙන් පසුව පොඩෙමොස් වග වර්නනා කරමින් පෙසප එම ව්‍යායාමයම ගෙන යයි.

පොඩෙමොස් සංවිධානයේ අනාගත “දනගැසීමක්” පිලිබඳව පෙර දක්නා නුවනින් දුටුවා සේ අක්ෂය ලිපියේ මෙසේ ලියා ඇත: “පොඩෙමොස්-එක්සත් වාමාංශ හවුල ස්පාඤ්ඤයේ බලය ගත්තත් එවැනි ආන්ඩුවකට වුව ග‍්‍රීසියේ සිරිසා රජය මුහුන දුන් තර්ජනයට මුහුන පෑමට සිදුවීම වැලැක්විය නොහැක”.

පෙසපට මෙන් කම්කරුවන්ට හා තරුනයන්ට පොඩෙමොස්හි අනාගත පාවා දීමක හා පරාජයක අත්දැකීම් ලබා ගැනීමට උවමනා නැත. සිරිසා ද පොඩෙමොස් ද පෙසප ද අන් එවන් සංවිධාන ද දැන් හා අනාගතයේ සිදුකරන්නේ කම්කරුවන්ට හා තරුනයන්ට පාවාදීම් හා පරාජයන් අත් කර දීමය.

සිරිසාව පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සඳහන් කල පරිදි “එලඹෙන පන්ති අරගල වලදී සිරිසාව කම්කරුවන්ට සලකනු ඇත්තේ, සතුරෙකු ලෙසය. බලයේ සිටියදී වේවා බලයෙන් තොරව වේවා එහි අරමුන වනු ඇත්තේ, කප්පාදු ප‍්‍රතිපත්ති කෙරේ මහජන විරෝධය සිරකොට රඳවා තබා කම්කරු පන්තිය මත මූල්‍ය ප‍්‍රාග්ධනයේ දේශපාලන ආධිපත්‍ය පවත්වා ගැනීමයි.”

ලංකාව සම්බන්ධයෙන් ගත්කල පෙසප ඇතුලු සියලු ව්‍යාජ වාම කන්ඩායම් අතගසා සිටින නිශ්චිත කර්තව්‍යය මෙයයි. ඔවුහු කම්කරු පන්තියේ ප‍්‍රමුඛ විප්ලවවාදී ක‍්‍රියා කලාපයට පහර දෙති. ඔවුහු කම්කරු පන්තියේ විප්ලවාදී පක්ෂය තැනීම යල් පැන ගිය දෙයක් ලෙස පහර ගසති. කොටින්ම, මෙම “වම්මු” ලෝක සමාජවාදී විප්ලවයට සතුරු ය.

ප‍්‍රමුඛ කාර්යය වන්නේ කම්කරු පන්තිය ධනේශ්වරයේ සියලු කන්ඩායම් වලින් දේශපාලනිකව ස්වාධීන කරගනිමින් සමාජවාදී ක‍්‍රියාමාර්ගය මත බලමුලු ගැන්වීමට සටන්කරන සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමයි.

Share this article: