ගම්මන්පිල සහ මුසම්මිල් අත් අඩංගුවට ගැනීමේ දේශපාලන ඇඟවුම්

පානි විජේසිරිවර්දන විසිනි, 2016 ජූනි 28

පිවිතුරු හෙල උරුමය (පිහෙඋ) පක්ෂයේ නායක, විපක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මුදල් වංචාවක් පිලිබඳ චෝදනාවක් මත, පසුගිය 18 වන දා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගැනින. එදින කොලඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය ලබා දුන් නියෝගයක් මත, ජූලි පලමුවන දා තෙක් ඔහු රිමාන්ඩ් භාරයේ රඳවා සිටී.

මීට අමතරව, විමල් වීරවංශ විසින් නායකත්වය දෙන විපක්ෂ ජාතික නිදහස් පෙරමුනේ (ජානිපෙ) මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ද, පසුගිය 20 දා මහජන මුදල් අවභාවිතයේ යෙදීමේ චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන ජූලි 4 වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුනි.

අර්බුදයෙන් වෙලුනු සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, තමාට එරෙහිව වේගයෙන් වැඩෙන මහජන අතෘප්තිය වෙනතක හැරවීම සඳහා ඊනියා දූෂන විරෝධී උද්ඝෝෂනය වඩා ඉහල මට්ටමකින් ඉදිරියට ගනිමින් සිටින අතර ගම්මන්පිල සහ මුසම්මිල් අත් අඩංගුවට ගැනීම එහි කොටසකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත, සහනාධාර කප්පාදු කරමින්, පුද්ගලීකරනය වේගවත් කරමින් සහ අධික බදු පනවමින්, ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටිති. මෙම අරගල මැඩීම සඳහා ආන්ඩුව විසින් සෑම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී විධික‍්‍රමයක්ම යොදා ගැනීමට තීන්දු කොට ඇති බව විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ගෙනයන දැඩි මර්දනයෙන් ප‍්‍රකාශයට පත් වෙයි.

ආන්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගනිමින් ඊනියා දූෂන විරෝධී උද්ඝෝෂනය ඉස්මත්තට ගෙන ඇත්තේ මෙම මර්දනයට සමගාමීව ය.

ගම්මන්පිල සහ මුසම්මිල් යනු හිසේ සිට දෙපතුල දක්වාම දෙමල-විරෝධී දේශපාලනයෙන් වෙලීගත් අන්ත දක්ෂිනාංශික දේශපාලනඥයන් දෙදෙනෙකි. කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල ජනයාට එරෙහිව කොලඹ පාලක පන්තීන් විසින් ගෙනගිය කුරිරු යුද්ධයෙන් මියගිය ජනයාගේ රුධිරයෙන් මොවුන් දෙදෙනාගේම දෑත් නැහැවී ඇත. ඔවුන් දෙදෙනා ම, ධනපති පන්තියේ හා දේශපාලන සංස්ථාපිතයේ අනෙකුන් මෙන්ම දූෂනවල යෙදීමේ ඉඩ කඩ ගැන සැකයක් නැත. ආන්ඩුවේ ඊනියා දූෂන විරෝධය හා විමර්ෂනය පචයකි. ආන්ඩුව කරවන්නේ ද තවත් දූෂිතයන් කොටසකි.

ගම්මන්පිල යනු, ‘සිංහල-බෞද්ධ රාජ්‍යයක් ගොඩ නැගීම අරමුනු කරගත් ආන්තික සිංහල වර්ගවාදී සංවිධානයක් වන ජාතික හෙල උරුමයේ (ජාහෙඋ) නායක කාර්ය භාරයක් ඉටුකල තැනැත්තෙකි. ඔහු, දෙමල පීඩිත ජනයාගේ ලේ ඉල්ලා හඬ තැලූ, ජාහෙඋ යුදවාදී උද්ඝෝෂනයේ ප‍්‍රමුඛයෙකි.

එක්සත් ජනපදයේ මූලෝපායික අවශ්‍යතාවන්ට අනුකූලව හැසිරෙන තන්ත‍්‍රයක් ශී‍්‍ර ලංකාව තුල බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනය විසින් කරන ලද කුමන්ත‍්‍රනයක කොටසක් ලෙස, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිත්වය සඳහා ගෙන ඒමේ ව්‍යායාමයේ දී ගම්මන්පිල ජාතික හෙල උරුමයේ නායකයෙක් ලෙස පලමුව එම කඳවුරට එකතු විය.

ඉන් දින කීපයකට පසු ඔහු ජාහෙඋ හැර යන විට ගම්මන්පිල පැවසුවේ, සිරිසේන-එජාප සන්ධානය යටතේ ‘රට බෙදීම’ ට නියමිත බැවින්, ‘වසර 15 ක් පුරා තමා ආරක්ෂා කල ජාහෙඋ යේ ‘ප‍්‍රතිපත්ති’ රැකීමට තමා ඉවත්ව යන බවට වර්ගවාදී ප‍්‍රකාශයක් කරමිනි.

ඔහු ‘පිවිතුරු හෙල උරුමය’ පිහිටුවා ගනු ලැබුවේ ජාහෙඋ යේ එම දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති වඩාත් ඉදිරියට ගෙනයාම සඳහා වන බව, පසුගිය වසර එකහමාර පුරා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ‘ඒකාබද්ධ විපක්ෂය’ තුල ඉටු කරන කි‍්‍රයා කලාපය මගින් මනාව තහවුරු වෙයි.

‘රට බෙදීමේ අන්තරායක්’ පවතින බවත්, කොටි සංවිධානය යලිත් ‘හිස ඔසවමින්’ සිටින බවත් පවසමින් රාජපක්ෂ කඳවුර ගෙනයන වර්ගවාදී උද්ඝෝෂනය තුල ගම්මන්පිල ප‍්‍රමුඛතම භූමිකාවක් ඉටු කරයි.

මුසම්මිල් නියෝජනය කරන ජානිපෙ හි දේශපාලන ප‍්‍රතිගාමිත්වය පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රතිගාමිත්වයට අඩු නොවේ. ජානිපෙ හි නායක විමල් වීරවංශ, සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) ඉවත් වූයේ, කොටි සංවිධානය පරාජය කොට ‘රට එක් සේසත්’ කල මහින්ද රාජපක්ෂ ගේ ‘අත ශක්තිමත්’ කිරීමට ඔහු සමග එක්වන බව පවසමිනි. මුසම්මිල් ද වීරවංශ සමග එක්ව රාජපක්ෂ ගේ අත ශක්තිමත් කිරීමට ජවිපෙ හැරගිය තැනැත්තෙකි.

රාජපක්ෂ යෙදී සිටියේ, යුද්ධය මධ්‍යයේ ශක්තිමත් කරගත් දැවැන්ත පොලිස්-මිලිටරි හස්තය සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති යොදා ගනිමින් කම්කරුවන් සහ පීඩිතයන් මඩිමින් ගෙනගිය රුදුරු කප්පාදු වැඩපිලිවෙලකය. ඔහු ජනාධිපතිවරනය මත් වසර එකහමාරකට කලින් කැඳවූයේ ඉන් ජයගෙන වඩාත් දරුනු ප‍්‍රහාරයකට යෑමටයි. වීරවංශ සහ ජානිපෙ රාජපක්ෂට එක්වී එම ආන්ඩුවේ ඇමතිකම් දරමින් සිදු කලේ රාජපක්ෂගේ මෙම ප‍්‍රහාරාත්මක හස්තය ශක්තිමත් කිරීමට දායක වීමයි.

ගම්මන්පිල සහ ඔහු එවකට නියෝජනය කල ජාහෙඋ ද රාජපක්ෂගේ ආන්ඩුවට වැදී මෙම ප‍්‍රහාරයන්ට තම පූර්න සහයෝගය ලබා දුනි. ගම්මන්පිල ගේ පිවිතුරු හෙල උරුමයේ සහ විමල් වීරවංශ ගේ ජානිපෙ හි පොදු අංග ලක්ෂනයක් වන්නේ කම්කරු පන්තිය සම්බන්ධයෙන් දක්වන මෙම පරම සතුරු ආකල්පයයි.

සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය සම්බන්ධයෙන් මහජනතාව අතර වැඩෙන අතෘප්තිය පිලිබඳව උත්සුක වන තවත් කන්ඩායම් කීපයකි. මෙම තන්ත‍්‍රය බලයට ගෙන ඒම සඳහා දරදිය ඇදි ජවිපෙ සහ ව්‍යාජ-වාම සංවිධාන ද ‘පුරවැසි බලය’ සහ ‘සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය’ වැනි මධ්‍යම පන්තික නඩ ද ඒ අතර ප‍්‍රමුඛය.

වැඩෙන මහජන අතෘප්තිය ස්වාධීන කම්කරු පන්තික ව්‍යාපාරයක් දෙසට යොමුවීම සම්බන්ධයෙන් ඔවුන් දක්වන්නේ මාරක භීතියකි. දූෂිතයන්ට දඬුවම්දීම මන්දගාමී යැයි ද එය වේගවත් කලයුතු යැයි ද කියමින් ඔවුන් මොර දෙන්නේ මෙම මහජන අතෘප්තිය සමස්ත ධනේශ්වර සංස්ථාපිතයටම එරෙහිව වැඩෙතැයි යන උත්සුකයෙන් එය අවමංගත කිරීම සඳහා ය.

මෙම ව්‍යාපාරයන් තතනන්නේ ‘යහපාලනයෙන්’ යුත් ‘දූෂනයෙන් තොර’ සමාජයක් ධනේශ්වර ක‍්‍රමය තුලම ස්ථාපිත කල හැකිය යන මුසාව කම්කරු-පීඩිත ජනයා ට ගිල්ලීමටයි. මොවුන්ගේ ‘යහපාලනය’ යනු, තමා නියෝජනය කරන මධ්‍යම පන්තියට දැනට වඩා වරප‍්‍රසාද සහිත ධනේශ්වර ක‍්‍රමයකි. එක් පන්තියක් විසින් තවත් පන්තියක් සූරා කැවෙන ධනපති ක‍්‍රමයට හා එහි පාලනයට ඔවුන් විරුද්ධ නැත.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තම පන්තියේම සගයන් මැඩීමේ දී ආන්ඩුව කම්කරු පන්තියට හා දුගීන්ට කර ඇත්තේ අනතුරු ඇඟවීමකි. ආන්ඩුවේ අනතුරු ඇඟවීම නම් කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව මොන තරම් රුදුරු ලෙස තමන් කඩා පැනීමට සූදානම් වන්නේ ද යන්නයි.

Share this article: