නේටෝව සීතල යුද්ධයෙන් මෙපිට විශාලතම රුසියානු විරෝධී යුද අභ්‍යාසය අරඹයි

NATO launches largest anti-Russian war game since Cold War

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2016 ජූනි 07

ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවාහල 1991න් පසුව අවසන්වූ සීතල යුද්ධයෙන් වසර විසි පහකට පසුව, නැගෙනහිර යුරෝපයේ පැවැත්වෙන ඔපරේෂන් ඇනකොන්ඩා යුද අභ්‍යාසය ජූනි 6දා නේටෝව විසින් දියත් කරනු ලැබීමත් සමග යුරෝපයේ මිලිටරි ආතතීන් තියුනු ලෙස ඉහල නැගී ඇත.

සෙබලු 31000, වාහන 3000, ගුවන් යානා 105, යුද නැව් 12ක් සහභාගී වන අභ්‍යාසය පැවැත්වෙන්නේ, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධයක් හටගෙන ඇතැයි යන අභ්‍යුපගමය මතය. වෝර්සෝවේ යුරෝපීය නිලධාරීන් පැවසුවේ, “අහම්බයක්, වැරදි ගනන් බැලීමක්, රුසියානුවන් විසින් සතුරු ක්‍රියාවක් ලෙස හෝ සතුරු ක්‍රියාවක් බවට හරවා අර්ථදැක්විය හැකිය” යනුවෙනි.

අභ්‍යාසයට ඇමරිකානු හමුදා භටයින් 14000, පෝලන්ත හමුදාවේ 12000, බ්‍රිතාන්‍යයේ 800ක් හා නේටෝ නොවන රටවල භටයෝ සහභාගී වෙති. ඔවුන් පෝලන්ත ලුතිනන් ජෙනරාල් මරෙක් ටොමසිකිගේ ආඥාපතිත්වය යටතේ තබා ඇත.

ඇනකොන්ඩා මෙහෙයුම දැවැන්ත ප්‍රකෝපකරනයකි. එය නේටෝවේ රුසියානු ආක්‍රමනයක් සඳහා පෙරහුරුවකට සමානය. දෙවන ලෝක යුද්ධයේදී නාසීන් පෝලන්තය හා රුසියාව ආක්‍රමනය කිරීමෙන් පසුව ප්‍රථම වතාවට මේ අභ්‍යාසයේදී ජර්මානු යුද ටැංකි බටහිර සිට නැගෙනහිර දක්වා මුලු පෝලන්තය හරහාම ගමන් කරනු ඇත.

උපරිම ලෙස ඉවබව නැතිකම පෙන්වන නේටෝ නිලධාරීහු, රුසියානු භූමියට අන්තරාදායක ලෙස සමීපයෙන් අභ්‍යාස පවත්වන අතර ආරක්ෂක විශ්ලේෂකයින් පවා මෙය, අතපසුවීමකින් නොටෝව හා රුසියාව අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාව සහිත ක්‍රියාන්විතයක් බව පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයේ ගාඩියන් පත්‍රයට අනුව, “ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවන්නේ, අතපසු වීමක් මොස්කෝවේ ඉක්මන් ප්‍රතික්‍රියාවක් ඇති කල හැකි බවටයි.” පුවත්පත, යුරෝපීය ප්‍රතිපත්ති විශ්ලේෂන මධ්‍යස්ථානයේ මාසින් සබරොව්ස්කි උපුටා දක්වමින් පවසන්නේ, ඇනකොන්ඩා මෙහෙයුම වටා ඇති ජාත්‍යන්තර තත්වය “ආතතියෙන් යුත්, අනතුරු ඇතිවීමේ හැකියාවෙන් යුතු” එකක් බවය.

රුසියානු දේශසීමාව දිගේ නේටෝ මිලිටරි කටයුතු වලට එරෙහිව රුසියානු නිලධාරීහු ප්‍රහාරාත්මක ලෙස ප්‍රතික්‍රියා දැක්වූහ. නේටෝවේ පෝලන්ත යුද අභ්‍යාස පැවැත්වෙන්නේ, 5000ක් භටයින් සහභාගී වන ලිතුවේනියාව තුල විශාලතම නේටෝ මෙහෙයුම ලෙස සැලකෙන ඔපරේෂන් අයන් වුල්ෆ් හා රුසියාවට මායිම්ව ඇති තවත් බෝල්ටික් රටක් වන ලැට්වියාවේ මිලිටරි අභ්‍යාස පැවැත්වෙන අතරතුරය.

“නේටෝව අපගේ දේශසීමාන් අසලට මිලිටරි මෙහෙයුම් පුලුල් කිරීම ගැන අපට නිෂ්ක්‍රීයව සිටිය නොහැකිය. එයට අනෙක් රටවල මිලිටරි ඒකක ද සම්බන්ධ කරගෙන තිබේ.” රුසියානු විදේශ ඇමති සර්ගෙ ලැව්රොව් මොස්කව්හිදී පැවසීය. අද දිනයට අවදානම් වලට ගැලපෙන තමන්ගේ ආරක්ෂක ක්‍රමෝපායන් යොදා ගනිමින් රුසියාව තම ස්වෛරීය අයිතිය ක්‍රියාවට නංවනු ඇත.”

නේටෝවේ රුසියානු ස්ථාවර නියෝජිතයා වන ඇලෙක්සැන්ඩර් ගෲෂෝ 06දා පැවසුවේ, කලාපය තුල යුද අභ්‍යාස පැවැත්වෙන අතරතුර රුසියාව, නේටෝවේ මිලිටරි කටයුතු සමීපව නිරීක්ෂනය කරනු ඇති බවයි. රුසියානු මිලිටරි මූලාශ්‍ර හෙලි කලේ ඔවුන්, එකක භටයින් 10000ක් සිටින යාන්ත්‍රික රයිෆල් ඒකක තුනක් රුසියානු දේශසීමා ආසන්නයට යවනු ඇති බවයි.

ඇමරිකාවේ හා නේටෝවේ ඇනකොන්ඩා මෙහෙයුම, බෝල්ටික් කලාපයේ සිට නැගෙනහිර යුරෝපයේ බෝල්කන් ප්‍රදේශ දක්වා වන රුසියාවේ සමස්ත බටහිර දේශසීමාවම වැටලීමේ අරමුන සහිත ඒකාබද්ධ වැඩසටහනකි. පසුගිය සතියේ නේටෝව රුමේනියාවේ ඩෙවෙසිලුහි මිසයිල් කඳවුරක් පිහිටවූ අතර එවැනිම කඳවුරක් උතුරු පෝලන්තයේ රෙඩ්සිකෝවෝහි පිහිටුවීමේ කටයුතු ආරම්භ කර ඇත.

06දා ඇමරිකානු යූඑස්එස් පෝටර් යන මිලයිල් ඩිස්ට්‍රෝයර් යාත්‍රාව බොස්ෆෝරස් හරහා කලු මුහුදට ඇතුල් විය. එය නවීන මිසයිල් ආම්පන්න වලින් සන්නද්ධ කර ඇත. මෙය සිදුවන්නේ යූඑස්එස් රොස් යන ඇමරිකානු යුද නැව, රුසියානු දේශසීමා උල්ලංඝනය කිරීම මුල්කරගෙන රුසියානු ප්‍රහාරක යානා සමග ගැටුමක් ඇවිලී යාමේ තත්වයකට මුහුනපා වසරකට පසුවය.

මේ සියලු ආක්‍රමනික කටයුතු සිදුවෙමින් ඇත්තේ, ජූලි 8-9දිනවල වෝර්සෝවේ පැවැත්වෙන නේටෝ සමුලුවට පෙරාතුවය. එය ද යොදාගනු ඇත්තේ, බෝල්ටික් කලාපයේ නේටෝ බලමුලු ශක්තිමත් කිරීමට හා නේටෝව හා කෝකසස්හි යුක්‍රේනය, ජෝර්ජියාව ඇතුලු පැරනි සෝවියට් සමූහාන්ඩු සමග බැඳීම් ශක්තිමත්කර ගැනීමටය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් 25 වසරකට පසුව, මෙම සිද්ධියේ ව්‍යසනකාරී භූදේශපාලනික ඇඟවීම් ඕනෑවටත් වඩා පැහැදිලිය. පැරනි යුගයේ සිටි ධනපති ප්‍රචාරකයින් කියාපෑ “කොමියුනිස්ට් තර්ජනය” අවසන් කිරීම, ධනපති යුරෝපීය සංගමය පිහිටුවීම හමුවේ සාමයේ හා සෞභාග්‍යයේ අවධියකට තුඩුදුන්නේ නැත. ඒ වෙනුවට සෝවියට් සංගමය හා වෝර්සෝ සංවිධානය විසුරුවා හැරීම, වොෂින්ටනය ප්‍රමුඛ එහි යුරෝපීය සහචර අධිරාජ්‍යවාදීන්ගේ උපාමාරු හා යුද කුමන්ත්‍රන වලට නැගෙනහිර යුරෝපය විවෘත කලේය.

දශක ගනනකට පෙර, රුසියාවේ මූලෝපායික අවශ්‍යතාවන්ට තර්ජනයක් නොවන බවට නේටෝව මොස්කෝවට දුන් සහතික වැදගැන්මකට නැති දේ බවට පත්ව තිබේ. 1997 නේටෝ-රුසියානු ආරම්භක ගිවිසුම තුල මෙසේ සඳහන් විය: වර්තමානයේදී හා පෙර දැකිය හැකි ආරක්ෂක වාතාවරනයකදී (නේටෝ) සන්ධානය, සිය සාමුහික ආරක්ෂක හා අනෙකුත් දූත මෙහෙවර මගින්, අවශ්‍ය පද්ධති සම්බන්ධකම්, ඒකාග්‍රකරනය හා අමතරව සැලකියයුතු ස්ථාවර සටන් සේනාංක රැඳවීමට වඩා යලි බලමුලුගැන්වීමේ හැකියාව ඇතිකිරීම”

ඒ වෙනුවට නේටෝව, නැගෙනහිර යුරෝපය පුරා රටවල් ඊට ඈඳාගෙන තිබේ. දක්නට ඇත්තේ මහාද්වීපය පුරා නේටෝ යුද්ධ හා සටන් සේනාංක විසිරුවාලීමයි. 1990 ගනන්වල පැරනි යුගෝස්ලාවියාවේ ලේවැකි නේටෝ යුද්ධවල සිට ඇමරිකාවේ ආධාරය ඇතිව ජෝර්ජියාව වගකීම් විරහිත ලෙස රුසියාවට එරෙහිව දියත් කල 2008 කෙටි යුද්ධය දක්වාත් දැන් එම මිලිටරි මැදිහත්වීම් විවෘත ආක්‍රමනයක තර්ජනය ගෙන එමින් රුසියාව වැටලීමේ තැනටම ගෙන ගොස් තිබේ.

යුක්‍රේනය තුල රුසියාවේ ආක්‍රමනකාරිත්වය නිසා යුරෝපයේ ආරක්ෂක වාතාවරනය වෙනස්වීමට දක්වන නීත්‍යානුකූල ප්‍රතිචාරයක් ලෙස නේටෝව මෙම මෙහෙයුම ඉදිරිපත් කරනු ලැබීම අමූලික දේශපාලන ප්‍රෝඩාවකි. යුක්‍රේනයේ යුද්ධය අවුලුවනු ලැබුවේ, 2014දී කියෙව්හි රුසියානු ගැති ආන්ඩුව පෙරලා දමන ලද, සීඅයිඒ හා යුරෝපීය අගනුවරවල සහයෝගය ඇතිව, ෆැසිස්ට්වාදී දක්ෂින නිකායේ මිලිෂියාවන් විසින් මෙහෙයවන ලද ප්‍රචන්ඩ කුමන්ත්‍රනයකිනි. ඇනකොන්ඩා මෙහෙයුම සමගින් දැන් වර්ධනය කෙරී ඇති මිලිටරි වාතාවරනය පැහැදිලි කරන්නේ, එය, යුරෝපය දිග් විජය කිරීමේ රුසියානු මහා සැලස්මක් නොව, මූලෝපායිකව රුසියාව හුදෙකලා කිරීමේ නේටෝවේ නිර්දය හා ආක්‍රමනික කඩාවැදීමක් බවයි.

ක්‍රෙම්ලිනයේ රුසියානු ධනපති කතිපයාධිකාරයේ කටයුතු දේශපාලනිකව ප්‍රතිගාමීය යන කාරනය මෙයින් කිසිසේත්ම වෙනස් කරන්නේ නැත. යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට අසමත් හා ඊට මුලුමනින්ම සතුරු එම තන්ත්‍රය, අධිරාජ්‍යවාදී බලවතුන් සමග සම්මුතියක් වෙනුවෙන් ද රුසියානු මිලිටරි ශක්තිය සමගින් ඔවුන්ට තර්ජනය කිරීමත් අතර එහා මෙහා පැද්දෙයි.

විශේෂයෙන්ම රුසියාව, ඔවුන්ගේ නේටෝ සහචරයින්ගේ පිටුබලය සහිතව, පෝලන්තයේ ද යුක්‍රේනයේ ද නැගෙනහිර යුරෝපයේ ද අතිශයින්ම යුදවාදී හා දක්ෂිනාංශික තන්ත්‍ර බලයට ඒමේ තත්වය හමුවේ, එල්ල කරන එවන් තර්ජන හුදෙක්ම න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය උග්‍ර කරනවා පමනි.

පෝලන්තයේ දක්ෂිනාංශික තන්ත්‍රය විශේෂකොටම, පසුගිය ඔක්තෝබරයේ බලයට පත්වූදා පටන්ම ඇනකොන්ඩා මෙහෙයුම උපයෝගී කරගෙන, රටේ ජෙනරාල්වරුන්ගෙන් හතරෙන් එකක්ම නෙරපා හැර, 35000ක ජාතිකවාදී ප්‍රදේශීය මිලිෂියාවන් ගොඩනැගීමට උත්සාහ කරයි. මෙම ප්‍රදේශීය මිලිෂියාවන් බඳවාගෙන ඇත්තේ, වර්ගවාදී හා රස්තියාදුකාර පෝලන්ත පාපන්දු කන්ඩායම් සමග බැදීම් ඇති පෝලන්ත තුවක්කු සමාජ, පැරාමිලිටරි කන්ඩායම් වලින් බවට නොයෙකුත් වාර්තා පලව තිබේ.

මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ යුරෝපීය සංගමය හා පෝලන්ත ආන්ඩුව අතර ආතතීන් උග්‍ර අතට හැරෙමින් තිබියදීය. ආන්ඩුව රටේ ව්‍යවස්ථාපිත අධිකරනය මගහැරීමට උත්සාහ කරයි. ජූනි 01දා යුරෝපීය කොමිසම, “පෝලන්තයේ නීත්‍යානුකූල පාලනය ක්‍රමානුකූලව අවදානමේ හෙලීම වැලැක්වීමට නිශ්චිත පියවර ගැනීමේ” අවශ්‍යතාව අවධාරනය කරමින් නියෝගයක් නිකුත් කලේය.

පෝලන්ත හමුදාව තුල මෙන්ම නේටෝවේ ජාත්‍යන්තර කවයන්හි ද මේ ප්‍රාදේශීය මිලිෂියාවන් පිලිබඳ කනස්සල්ලක් වැඩෙමින් තිබේ. ගාඩියන් පත්‍රය නම සඳහන් නොකල “බටහිර ආරක්ෂක විශේෂඥයෙකු” උපුටා දක්වමින් මෙසේ සඳහන් කරයි. “පෝලන්තය දැඩි ජාත්‍යන්තර අවධානයකට ලක්ව ඇත. පසුගිය 15 වසර තුල ඔවුන් විශාල මුදල් කන්දරාවක් වියදම් කරමින් කලාපයේ හොඳම හමුදාවක් නිර්මානය කර තිබේ.... ආන්ඩුවට තවත් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යවී ඇත්තේ කුමක් ද යන්න පැහැදිලි නැත.”

Share this article: