ප්‍රන්ස කම්කරු නීතිවලට එරෙහි විරුද්ධත්වය, ක්‍රියාවේ නව ජාතික දිනය තුල ඉහල නගී

Opposition mounts to French labor law in new national day of action

ඇන්තනී ටෝරෙස් විසිනි, 2016 ජූනි 15

සමාජවාදී පක්ෂ ආන්ඩුවේ (පීඑස්) කම්කරු නීතිවලට එරෙහිව ජූනි 14 විරෝධතා දිනය, පසු ගිය මාසයට පසු පවත්වන ලද පලමු ජාතික විරෝධතාව වූ අතර, පාලක පන්තිය විසින් යුරෝපා සංගමය පුරා පටවනු ලබන කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් අතර පවතින අධිෂ්ඨානය එමගින් ප්‍රදර්ශනය කලේ ය.

වැඩවර්න කඩා දැමීම හා කම්කරුවන් බෙලසුන් කිරීමේ ආන්ඩුවේ උත්සාහය නො තකා, නගර කීපයක පැවති පෙලපාලි ඊට පෙර විරෝධතාවන්ගේ මට්ටමට වඩා සැලකියයුතු ලෙස විශාල විය. යුරෝපය පුරා විරෝධතාවන් 50ක් පමන පැවත්වීමට නියමිත තිබුනි.

රට පුරා කම්කරුවන් පැරිස් විරෝධතාවට පැමිනියේ, දුම්රිය හා ඒ වෙනුවෙන් කුලියට ගත් බස් සමූහයන්ගෙන්ය. පුද්ගලයන් 75,000ක් පමන සහභාගී වූ බව පොලීසිය පැවසූ අතර , මිලියනයකට වඩා සහභාගී වූ බව වෘත්තීය සමිති ආරංචි මාර්ග පැවසී ය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව පුද්ගලයන් 6000 -20,000ක් අතර සංඛ්‍යාවක් ටූලෝස්වල ද 4,000ක් පමන දෙනා රෙනෙස් හි ද පෙලපාලී පැවත් වූහ. ප්‍රන්සයේ දෙවැනි අග නගරය වන ලියොන් හි පුද්ගලයන් 3800 - 10,000ක් අතර සංඛ්‍යාවක් සහභාගී වූහ.

ප්‍රන්ස හදිසි නීති තත්වය යටතේ පීඑස් හා ආරක්ෂක හමුදා විසින් සංවිධානය කරන ලද මර්දනයට කම්කරුවෝ අභියෝග කලහ. 2016 යුරෝ පාපන්දු කුසලාන තරඟවලට බාධාවීම වැලක්වීමට කම්කරුවන් තමන්ගේ විරෝධතා පැවත් විය යුතු යැයි මාධ්‍ය හා පොලීසිය තරයේ කියා සිටියහ. විරෝධතාවන්ට සහභාගීවීම තහනම් කරමින් පුද්ගලයන් 150ට පැරිස් පොලිස් පාලනාධිකාරිය රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කලේ ය.

කැරලි මර්දන පොලීසිය පැරිස් විරෝධතාවට පහර දුන්නේ, ඔවුන් හුදකලා කිරීමට හා පෙලපාලිකරුවන් සිය ගනනකට එරෙහිව පමනක් මුහුන දීමට හැකිවන සේ පෙලපාලිකරුවන් වෙන්කර ලමිනි. විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් වලදී ආරක්ෂක හමුදා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කලහ. පැරීසිය තුල, අඩුවසයෙන් විරෝධාතරුවන් හය දෙනෙක් හා පොලිස් භටයෝ 20ක් පමන තුවාල ලදහ. 15 දෙනෙක් අත්අඩංගුවට පත් විය.

විරෝධතා පෙලපාලිවල සංඛ්‍යාත්මක වර්ධනයටත් වඩා, කම්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වල පරාසය හා ස්වභාවය පෙන්නුම් කරන්නේ පීඑස් ආන්ඩුවට එරෙහි කම්කරු පන්ති ව්‍යාපාරය වඩාත් කැරලිකාරීවීමේ ස්වභාවයකි.

කම්කරු නීතියට එරෙහි විරෝධතාවන්හිදී මතු කෙරෙන ඉල්ලීම්, මෙම ප්‍රතිගාමී පියවර ඉල්ලා අස් කර ගැනීමේ සීමාව ඉක්මවා යයි. පීඑස් ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට, එනම් කප්පාදු, හදිසි නීති තත්වය හා විදේශයන්හි කෙරෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට කම්කරුවෝ වඩ වඩාත් විරුද්ධත්වය පල කරති.

කම්කරුවන්ගේ විරුද්ධත්වය හා පෙලපාලි මැඩීමට උත්සාහ දරන ස්ටැලින්වාදී සීජීටී වෘත්තීය සමිතිය අතර ද්‍රාෂ්ඨිමය අගාධය ගැඹුරු වෙමින් පවතී. නව කම්කරු නීතිය පිලිබඳව පීඑස් ආන්ඩුව සමග ගිවිසුමක් ඇති කර ගැනීමට සීජීටී ප්‍රධාන ලේකම් පිලිප් මාර්ටිනස් උත්සාහ දරමින් සිටින්නේ, එය කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු කරනු ඇතැ යි කියාපාමිනි. කම්කරු නීතියේ සැලකියු යුතු වෙනසකට තමන් ඉඩ නො තබන බව ආන්ඩුව අවධාරනය කිරීමත් සමග කම්කරුවන් දැඩිව පවසන්නේ, එය ඉල්ලා අස් කර ගැනීමට වඩා අඩු දෙයක් ඔවුන් නො පිලිගන්නා බව යි.

පැරීසියේ හා මාර්සේල් හි විරෝධතාකරුවන් සමග ලෝසවෙඅ වාර්තාකරුවෝ සාකච්ඡා කලහ. පැරීසියේදී, විලේ-එව්රාඩ් මානසික රෝහලේ සේවිකාවක වන සොලේන් මෙසේ පැවසුවා ය: “කම්කරු නීතියට මෙන් ම තමන්ට ම මිස වෙන කිසි කෙ‍නෙකුට ඇහුම්කන් නො දෙන, මහජනයාගේ අදහස් වලට ඇහුම්කන් නො දෙන මෙම ඇමතිවරු ඔක්කෝටම විරුද්ධව විරෝධය දක්වන්න යි මම ආවේ. අපට දැන් හොඳටම ඇති වෙලා, එය එන්ට එන්ටම කෝපය අවස්සන සුලුයි.”

“දැනටමත් අපි ඕනෑවට වඩා වැඩියෙන් වැඩ කරනවා, අපි අවශ්‍ය තරම් විවේක ගන්නේ නෑ, ඔවුන් අපට දෙන අතිකාල ප්‍රමානය වැඩි කරන්නට පවා ඔවුන්ට අවශ්‍ය යි. මැරී වැටෙන තෙක් වැඩ කරන්න අපි සූදානම් නෑ. අපිට හොඳට ම ඇති. මම අද වීදියට බැස්සේ එල් කොම්රි (කම්කරු ඇමතිනී මීරියම් එල් කොම්රි යෝජනා කල -පරි) නීතිය එපා කියන්න යි, ඇය මෙම කුනුවෙච්ච නීතිය ඉල්ලා අස් කර ගත යුතු යි.”

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයන්ට, විශේෂයෙන් ම හදිසි නීති තත්වයට සොලේන් විරුද්ධත්වය දැක්වූවා ය.“හදිසි නීතිය, ඒක මොනතරම් පහසු සමාවක් ද? ඔවුන් ඇත්තට ම කැමතිවනවා ඇත්තේ අපි විරෝධතාවෙන් ඉවත් වෙනවාට යි, ඔවුන් මොන තීරන ගත්තත්, ඉන් මොන ප්‍රතිපල ඇති වුනත් අපි දිගටම විරෝධය දක්වනවා.” ව්‍යවස්ථාවේ 49-3 වගන්තිය පාවිච්චි කරමින්, විධිමත් ඡන්දයක් නො පවත්වා ජාතික මන්ත්‍රන සභාව මගින් කම්කරු නීතිය බලහත්කාරයෙන් පැටවීමේ පීඑස් තීරනයට ඈ ප්‍රසිද්ධියේ චෝදනා කලා ය.

ප්‍රන්ස විප්ලවය ගැන සඳහන් කරමින් ඈ මෙසේ පැවසුවා ය: “අපි ආපසු 1789, ඔවුන් හිතන්නේ ඔවුන්ට රජුන්ට වාගේ වැඩ කරන්න පුළුවන් කියා. කම්කරුවන් මෝඩයින් කරන්න ඔවුන්ට අවශ්‍ය යි, ඔවුන් නිකම්ම හැම දෙයක් ම අපට පටවනවා...තව දුරටත් මොනවා ද කරන්නේ කියලා ඔවුන් දන්නේ නෑ, කිසි දෙයක් හරියට කරන්නේ කෙසේ දැ යි ඔවුන් දන්නේ නෑ, මොනවා වුනත් ඔවන් අදක්ෂ මෙන් ම වගකීමක් නැති මිනිස්සු, ඔවුන් 49-3 වගන්තිය යොදා ගන්නේ ඔබගේ කට වහ ගනු යැයි අපට කීමට යි. ”

සීජීටීයට අනුව, 150,000 මාර්සේල් හි විරෝධතා දැක්වුව ද පොලිස් ආරංචි මාර්ග පවසන්නේ එම සංඛ්‍යාව 5,000ක් පමනක් වූ බව යි. වරාය, ඛනිජ තෙල් අංශය, එයාර් ලික්විඩ් නම් ගෑස් සමාගමේ හා රාජ්‍ය අංශයේ විරෝධතා පා ගමන් සියල්ල එක් පෙලපාලියකට එක්වුහ.

ලමා සේවාවන් පිලිබඳ විශේෂඥ අධ්‍යපනඥයෙකු වන ජූලියන්, ලෝසවෙඅට මෙසේ පැවසී ය:“ආන්ඩුව එල් කොම්රි නීතිය ඉල්ලා අස් කර ගත යුතු යි. රැකියා සුරක්ෂිතතාව විනාසකිරීම ප්‍රතික්ෂේප කරන කම්කරුවන්ට ආන්ඩුව ඇහුම්කන් දෙන්නේ නෑ. අප කරන්නේ කුමක් ද යන්න මෙන් ම සිදුවීම්වල අරමුන කුමක් දැ යි ආන්ඩුව සැලකිල්ලට ගත යුතු යැයි අපි ඉල්ලා සිටිනවා. අපි අවසාන අන්තයට ම යනවා, අපි කිසිදෙයක් අතහරින්නේ නෑ, ප්‍රන්ස මජනතාවගෙන් සියයට 70ක් නීතියට විරුද්ධය යන කාරනයට ඔවුන් ඇහුම් කන් දිය යුතු වෙනවා.”

බලමුළු ගැන්වීම සංකේත විරෝධයක් නො වන බව ඔහු අවධාරනය කලේ ය.“අද ලොකු පරීක්ෂාවක්, පසු ගිය වතාවට වඩා වැඩි ගනනක් අද ඉන්නවා, ඒක පෙන්වන්නේ බලගවේගයන්ගේ සැබෑ සම්බන්ධතාව යි. මෙය අප යටත් වීමට පෙර එක් උදාර අවසාන නැගී සිටීමක් නො වේ.” අරගලය වඩා දැඩි වනු ඇති බවත්, එම තත්වය සතුටින් අපේක්ෂා නො කරන නමුත් එය අනිවාර්ය බවත් ජූලියන් පැවසී ය.

පසු ගිය නොවැම්බරයේ තෙල් පිරිපහදු වැඩවර්ජනය අවසන් කිරීම ගැන ඔහු මෙසේ පැවසී ය“දින විසිපහක වර්ජනයෙන් පස්සේ, ඇත්තට ම අපේ සහෝදරවරුන්ට කෑම බීම අවශ්‍ය වුනා, ඒ නිසා ඔවුන්ට වර්ජනය නැවත්වීමට සිදුවුනා. අද ලොකු එක්වීමක් තියෙනවා, පිරිපහදුව සම්පූර්නයෙන් ක්‍රියාකරවීමට හැකි වන්නේ නෑ. ඉන්ධන කම්කරු අරගලය පැරදුනේ නෑ, ප්‍රන්සයේ ඉන්ධන ගබඩාවල මූලෝපායික වර්ජන දින තුනක් තියෙනවා, එක ඉන්ධන බවුසරයක් වත් පිටත්වන්නේ නෑ.”

නිල පක්ෂයකට හෝ වෘත්තීය සමිතියකට බැදී නොමති බොහෝ පුද්ගලයෝ මර්සේල් විරෝධතාවට සහභාගී වූහ. පෙර පාසල් සහායිකාවක වන ජුලියා පැහදිලි කලේ, ප්‍රන්සයේ සිදුවන හැම දෙයකට ම ඈ විරෝධය දක්වමින් සිටින බව යි. වැඩවර්ජනය බැසගෙන යමින් පවතී යැයි පැවසීම ගැන ඇය මාධ්‍ය විවේචනය කලා ය.“ විරෝධතා තව ම තියෙනවා, හැම අයෙකුට ම හැම වේලාවේ ම වැඩවර්ජන කරන්න බෑ, මොක ද ඔබට ලමයින්ට කන්න බොන්න දීමට මුදල් ඕන, නමුත් අපි මෙහේ. ඒක කම්කරුවන්ගේ ගැටළුවක් නො වේ, ඔවුන්ට නැවත වැඩ ඇරඹීම මිස වෙන තෝරා ගැනීමක් නෑ.”

“යුරෝ කුසලානය නිසා අපි විරෝධතා අත්හරින්නේ නෑ, අපි මෙහි ඉන්නවා. කවුරු හරි අපි බය කරන නිසා නොවෙයි අපි වීදිවල විරෝධය දැක්වීම් අතහරින්නේ.”

යුරෝපා අර්ධද්වීපය පුරා කප්පාදුවලට එරෙහිව යුරෝපීය කම්කරුවන් සමග ප්‍රන්ස කම්කරුවන් එක්සත්වීමේ අවශ්‍යතාව ලෝසවෙඅ විසින් මතුකල විට, ඈ මෙසේ පිලිතුරු දුන්නා ය: “ ඒකයි අපට අවශ්‍ය. ඔවුන්ගේ කොල්ලකෑමේ ව්‍යාපාරය ජාත්‍යන්තර යි.”

Share this article: