වර්ගය, ලිංගිකත්වය හා එක්සත් ජනපද ජනාධිපතිවරන ව්‍යාපාරය

Race, gender and the US presidential campaign

2016 ජූනි 13

හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා බිලියනපති දේපල ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක නාමයෝජනා හිමි කර ගැනීමත් සමග, එක්සත් ජනපදයේ ජනාධිපතිවරන උද්ඝෝෂනය නව අදියරකට එලැඹ තිබේ. අපේක්ෂකයින්ගේ වත ගොත පමනක් නොව, දෙපැත්තේ ම උද්ඝෝෂනයන්හි දේශපාලන මුහුනුවර ද පැහැදිලිව ඉස්මතු වෙමින් ඇත.

මේ දක්වා මැතිවරන උද්ඝෝෂනයේ වඩා වැදගත් අංගය, සමාජ අසමානතාවට එරෙහි ප්‍රබල මහජන විරුද්ධත්වය හා වැඩෙන ධනපති විරෝධී මනෝගතියෙන් සමන්විතව තිබුනි. මෙය, “බිලියනපතියන්ගේ පන්තිය“ හෙලා දැකීම මත සිය උද්ඝෝෂනය පදනම් කරමින්, “දේශපාලන විප්ලවයක්“ සඳහා කැඳවුම් කල, “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෙක්“ වසයෙන් තමන් හඳුන්වා ගත් බර්නි සෑන්ඩර්ස්ට සහාය දීමේ රූපාකාරය ගෙන තිබුනි. මෙම දේශපාලන රැඩිකලීකරනයේ ප්‍රධාන ගාමක බලය වූයේ, 2008 ආර්ථික කඩා වැටීම යි. මිලියන ගනන් මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ව්‍යසනකාරී ප්‍රතිපල අත්කර දෙමින් එය, පන්ති සම්බන්ධතාවන්ගේ ප්‍රතිව්‍යුහකරනයට මග හෙලි කලේ ය.

පාලක පන්තිය හා විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය, හිලරි ක්ලින්ටන්ට දේශපාලන අර්බුදයක් නිර්මානය කරමින් ඇය සැලසුම් කර තිබූ අභිෂේක මංගල්‍යයට බරපතල බාධාවක් බවට පත්ව තිබූ සෑන්ඩර්ස් වෙත පලවූ මහජන සහාය කෙරේ දැක්වූ තරම් සැලකිල්ලක්, ඩොනල්ඩ් ට්‍රම්ප් නැගී ඒම කෙරේ දක්වනනේ නැත. සෑන්ඩර්ස් වෙත ලද සහයෝගයේ උදම් රැල්ල, සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම- සෑන්ඩර්ස් ද ඇතුලුව- සහ ව්‍යාපාරික සංගත-පාලිත මාධ්‍යවලට බියකරු කම්පනයක් ඇති කලේ, ධනපති-විරෝධී, සමාජවාදී අදහස් සඳහා දැවැන්ත මහජන යොමුවක් එයින් පිලිබිඹු කෙරුනු බැවිනි.

පූර්ව මැතිවරනවලදී සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනයෙන් ඉදිරියට ගෙන ආ පන්ති ප්‍රශ්න, මහ මැතිවරන උද්ඝෝෂනයේදී වලලා දැමිය යුතු ය යන්න පිලිබඳව දේශපාලන පක්ෂ දෙක ම පුලුල් එකඟත්වයක සිටී. සමාජය තුල වඩාත් මූලික ආර්ථික බෙදීම කෙරෙන් ජනතාව නොමග යැවීම පිනිස, වර්ගය හා ලිංගිකත්වය පිලිබඳ ප්‍රශ්න කෙරේ විවෘත අවධානයක් යොමු කිරීමට- එවැනි ප්‍රශ්න සිතාමතා ම ඇවිස්සීම ද ඇතුලත් කරගත්- දේශපාලන සංස්ථාපිතයේ ඉහල ම මන්ඩලවලදී තීන්දුව ගෙන තිබේ. විදේශයේදී යුද්ධය පවත්වා ගෙන යාමටත්, රට තුල කම්කරු පන්තිය මත පුලුල් හා ගැඹුරු කෙරෙන ප්‍රහාරය දියත් කිරීමටත්, වඩා අධිකාරිවත් හා විස්වාසනීය කෙනා වන්නේ, වෝල් වීදියට හා මිලිටරි-බුද්ධි සංස්ථාපිතයට ඇති සමීප සම්බන්ධතා සහිත ක්ලින්ටන් ය යන වැටහීම තුලින් රිපබ්ලිකන් පක්ෂයේ කොටස් වෙතින් සහයා දිනාගැනීමේ ඉලක්කය ඇතිව ඩිමොක්‍රටිකයන් විසින් දියත් කරනු ඇති අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයක් සමග මෙය අත්වැල් බැඳගනු ඇත.

ඇගේ අපේක්ෂකත්වය ශතවර්ෂ දෙකක් පුරා විහිදී යන කාන්තා අයිතීන් සඳහා අරගලයක කූටප්‍රාප්ත වීමක් ද කාන්තා ජන්ද අයිතිය සඳහා සහයෝගයේ පලමු රැලි කරා පෙරලා යාම ද වසයෙන් ඉදිරිපත් කල උද්ඝෝෂන වීඩියෝවක් පූර්වයෙන් ප්‍රදර්ශනය කරමින්, පසුගිය අඟහරුවාදා ඇයගේ ජයග්‍රාහී කතාව තුලින් ක්ලින්ටන් මෙයට තාලය ඇල්ලුවා ය.

ඔබාමා, උප ජනාධිපති බිඩෙන් හා සෙනේට් ඩිමොක්‍රටික් නායකයින් සමග බ්‍රහස්පතින්දා පැවති රැස්වීම් දිනයක් අතුරතුර බර්නි සෑන්ඩර්ස් ඔහුගේ හඬ මෙයට එක් කලේ ය. ඔහුගේ උද්ඝෝෂනය ආරම්භ කල දිනවලදී ම ඔහු සඳහන් කල පරිදි, තමන් ක්ලින්ටන් සමග සමීපව වැඩකිරීමට සැලසුම් කරමින් සිටි බව, ධවල මන්දිරයෙන් පිටතදී මාධ්‍යයට කතා කරමින් සෑන්ඩර්ස් පැහැදිලි කලේ ය. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් හෙලා දැක්කේ, “ජනාධිපති සඳහා රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා, 2016 වර්ෂය තුල ස්වෝත්තමවාදය හා වෙනස්කම් කිරීම සිය උද්ඝෝෂනයේ මුල්ගල බවට පත් කරගත් අයෙක් බව විස්වාස කිරීම, මට නම් අසීරු බව හා එය පූර්න අවංකභාවයකින් යුක්තව පැවසිය යුතුය“ යනුවෙනි.

සෑන්ඩර්ස් විසින් ට්‍රම්ප් බිලියනපතියෙකු ලෙස විස්තර කිරීම හෝ එක්සත් ජනපද දේශපාලනය මත ආධිපත්‍ය පතුරන “මිලියනපතියන් හා බිලියනපතියන්ගේ“ ආධිපත්‍යයට එරෙහිව වසරක කාලයක් තිස්සේ තමන් ඇමරිකානු දේශපාලනය තුල ගෙන යන උද්ඝෝෂනය ට්‍රම්ප්ට සම්බන්ධ කොට හෝ නොදැක්වීම කැපී පෙනුනි. ඔහු සුවිශේෂිතව ම සැලකිල්ලට ලක් කලේ, ආර්ථික පන්තිය විසින් නොව මෙක්සිකානු සංක්‍රමනිකයන්, මුස්ලිම්වරුන්, කාන්තාවන් හා ආගම, වර්ගය, භාෂාව හෝ ලිංගිකත්වය මගින් නිර්නය කෙරුනු අනෙකුත් කන්ඩායම්වලට එරෙහිව ට්‍රම්ප්ගේ ස්වෝත්තමවාදී ප්‍රහාර ගැන ය.

2016 වසරේ උද්ඝෝෂනය තුල කේන්ද්‍රීය ප්‍රශ්නය වසයෙන්, අනන්‍යතා දේශපාලනය උලුප්පා දැක්වීමට දැරෙන මෙම ප්‍රයත්නයේ කොටසකි, ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ සිදුවූ ලිංගික අතවරය පිලිබඳ ආරාවුලට උප ජනාධිපති ජෝ බිඩෙන් විසින් සිදුකල අසාමාන්‍ය මැදිහත්වීම. විනිසුරුගේ තීන්දුව අතිශයින් ලිහිල් ය යන පදනම් මත ලිංගික අතවර නඩුවේ මූලිකත්වය දැරූ විනිශ්චයකරුගේ තීන්දුව යලි සලකා බලන ලෙසත්, විශ්වවිද්‍යාල ආධුනිකයා වරදකරු කරන ලෙසත් ඉල්ලා ස්ටැන්ෆෝඩ් මහාචාර්යවරයෙකුගේ මූලිකත්වයෙන් ගෙන යන උද්ඝෝෂනයකට බිඩෙන් පසුගිය සතියේදී සිය සහාය පල කලේ ය.

ප්‍රාන්තයක සිදුවූ සාපරාධි ක්‍රියාවක් සම්බන්ධයෙන් මැදිහත්වීමට මධ්‍යම ආන්ඩුවට පදනමක් ඇත්තේ නැත. මිචිගන්, ෆ්ලින්ට්හි ජලසම්පාදන මාර්ගයන්ට ඊයම් විෂ එක්වීම නිසා අසාධ්‍යවූවන් කෙරෙහි හෝ එක්සත් ජනපදයේ පොලිස් ඝාතනවලට ලක්වූ නිමක් නැති අය කෙරෙහි එවැනි උනන්දුවක් බිඩෙන්ට නොතිබූ අතර මැදපෙරදිග එක්සත් ජනපද මිලිටරිය විසින් බෝබ්බ හෙලා අලු ධූලි කරන ලද හෝ හිසට නිවහනක් නැති කල සරනාගතයින් සම්බන්ධයෙන් කීමට කිසිවක් ද ඔහුට නැත.

ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය වෙනුවෙන් පෙනී සිටින බිඩෙන් ගනන් බලන්නේ, විද්‍යාල තරුනයින්ගේ පුලුල් සහායක් කැටිකර ගත් සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනයේ නිසැක අභාවය සමඟ, වත්මන් දේශපාලනයේ දූෂිත පුද්ගලාරෝපනය වශයෙන් පුලුල්ව අවමානයට පාත්‍රව සිටින ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය හා ඩිමොක්‍රටිකයන් වටා සිසුන් ගොනුකර ගැනීමට නව පදනමක් නිර්මාන කල යුතුය යන සිතුවිල්ලෙනි.

පන්ති ප්‍රශ්න පරයා වර්ගය හා ලිංගිකත්වය පෙරමුනට ගෙන ඒමේ වඩාත් ම නිර්ලජ්ජිත තර්කය පැමිනෙන්නේ, මැතිවරන උද්ඝෝෂනය පුරාම ක්ලිටන් ඔසවා තැබීමට සහ සෑන්ඩර්ස්ගේ ආධාරකරුවන්ට අවලාද නැගීමට තමන්ගේ තීරු ලිපිය යොදාගත් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ විචාරක පෝල් කෘග්මාන් වෙතිනි. පසුගිය 11දා “හිලරි හා තිරස් අතට යන්නෝ“ යන සිරස යටතේ ප්‍රසිද්ධ කල කොලමක් තුලින්, ආර්ථික තත්වය හෝ ආදායම විසින් මනිනු ලබන පන්ති අසමානතාවට (ඔහු මෙය විස්තර කලේ, “පුද්ගල අසමානතාව“ වසයෙනි) එරෙහිව වර්ගය, ලිංගිකත්වය හා තවත් ඒවා මත පදනම්වූ සමාජ කන්ඩායම් අතර “තිරස් අතට ඇති අසමානතාව“ නිර්වචනය කරයි. “කැමති වේවා හෝ නොවේවා, තිරස් අතට ඇති අසමානතාව, සියල්ලටත් වඩා වාර්ගික අසමානතාව මගින් මහා මැතිවරනය තීන්දු කරනු ඇත“, ඔහු සටහන් කරයි.

ආර්ථික අසමානතාවට එරෙහි සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනය “මායාකාරී ස්වප්නයක්“ ලෙස කෘග්මාන් විස්තර කරයි. මන්දයත්, කෘග්මාන්ගේ දැක්ම අනුව, එක්සත් ජනපදයේ කම්කරු පන්තිය සමහන් කල නොහැකි ලෙස වර්ගය මගින් බෙදා ඇතිය යන කාරනය එමගින් නොතකා හරින බැවිනි. “කෙනෙකු අඩුගානේ පාර්ශවීය වසයෙන්වත් [වාර්ගික හෝ ජාතික] කන්ඩායමක සාමාජිකත්ව මගින් නිර්වචනය කිරීම මානව ස්වභාවයේ කොටසකි“, හෙතෙම කියයි. ඔහුගේ ගනන් බැලීම අනුව, රිපබ්ලිකන් පක්ෂය බොහෝ කාලයක් එය පෝෂනය කරගෙන ඇත්තේ, “කම්කරු පන්තික සුද්දන් තමන් වට කිරීමට ලක්ව ඇති කන්ඩායමක් ලෙස සිතීමට හා රජයේ වැඩසටහන් එම මිනිසුන්ට ලැබෙන සහනාධාර ලෙස දැකීමටත් සැලැස්සීමෙනි“.

සෑන්ඩර්ස් වෙත පලවූ සහාය වනාහී, කම්කරු පන්තියේ ස්වභාවය පිලිබඳ මෙම නිග්‍රහාත්මක ගුනාංගීකරනය ප්‍රතික්ෂේප කිරීමක් ය යන්න ටයිම්ස් තීරු රචකයා විසින් නොතකා හරියි. එමෙන්ම ඔහු ඩිමොක්‍රටික් පක්ෂය මාරාන්තික ලෙස දකුනට මාරුවීම ගැන ද නොතකා හරියි. ඉහල මධ්‍යම පන්තික කොටස් භුක්ති විඳිමින් සිටි අනන්‍යතා දේශපාලනයේ විවිධාකාර රූපකාරවලට හිතකර ලෙස, 1930 ගනන්වල සිට 1960 ගනන් දක්වා කම්කරු පන්තියට සීමිත සහන සැලසීමේ පදනම මත පවත්වා ගෙනගිය ප්‍රතිසංස්කරනවාදී ලිබරල් වැඩසටහන මෙම පක්ෂය විසින් අත්හැර දැමුවේ බොහෝ කලකට ඉහතදී ය.

කෘග්මාන්, ඔබාමා පාලනයේ ආර්ථික පිලිවෙත්වල ක්ෂමාලාපකයෙක් ලෙස ක්‍රියාත්මක විය. එහි සුව ආරක්ෂක වැඩසටහන, වෛද්‍ය වියදම් සමාගම් වලින් කම්කරුවන්ගේ කරමතට හැරවීමේ ප්‍රයත්නයකට වඩා, නිව් ඩීල් හා ග්‍රේට් සොසයිටි වැඩසටහන් වලට සමාන වන තරම් ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරනයක් ලෙස ඔහු විසින් ගෙන හැර පායි. රැකියා, වැටුප් හා ජීවන තත්වයන් විනාශ කිරීමේදී මහා ව්‍යාපාර සඳහා පෙරටු බල ඇනිය ලෙස ඔබාමා පාලානාධිකාරිය ඉටුකල භූමිකාව ම, වැඩකරන ජනයාට ට්‍රම්ප්ගේ ආයාචනය සඳහා අතිමූලික පදනමවී තිබෙන බව ඔහු සිතාමතාම වහංගු කරයි.

ඒ වෙනුවට ඔහු කියන්නේ, 2016 උද්ඝෝෂනය, “වැඩිමනත්ම අනන්‍යතාව ගැන මැතිවරනයක් බවට පත්වීමට යන“ බව යි. ඔහු දිගට ලියාගෙන යයි: “රිපබ්ලිකන් පක්ෂය, වෙනස්වන ජාතියක් කෙරේ සුදු මිනිසුන් තුල ඇති වෛරයට වඩා යමක් නියෝජනය කරන්නේ යාන්තමිනි. ඔහුගේ ඡන්ද පදනම වෛර කරන සහ බිය දනවන එම සමාජ කන්ඩායම්වලින්ම සිය නාමයෝජනාවට ආධාර ලබන ගැහැනියකට- ඔව් ඇත්තෙන්ම, ලිංගිකත්වය මෙම කතාවේ තවත් වැදගත් මිනුමකි- ඔහු මුහුන දෙනු ඇත“.

ට්‍රම්ප් ඡන්දවලින් සියයට 43ක ප්‍රතිශතයක් ලබා සිටී. මෙය, “සුදු මිනිසුන්ගේ වෛරය“ පිලිබඳ මිනුමක් ලෙස යෝජනා කිරීම, කම්කරු පන්තියට කෙරන දේශපාලන නිග්‍රහයක් වන අතර ගනිතමය අභූතයක් ගැන කුමන කථා ද? සත්‍යය වන්නේ, වැඩකරන ජනයා සහජාශයෙන්ම හා හොඳ හේතුවක් ඇතිව, ට්‍රම්ප් හා ක්ලින්ටන් යන දෙදෙනාම ගැන පිලිකුලෙන් සලකන බව යි. මොවුන් වනාහී ජනාධිපතිධුරය සඳහා මේ දක්වා ඉදිරිපත්ව ඇති වඩාත්ම අප්‍රසන්න පුද්ගලයන් ය. ඇමෙරිකානු මහජනයාට තම දේශපාලන පද්ධතිය විසින් ලබා දෙන එවැනි “තේරීමක්“,එක්සත් ජනපද මූලම්‍යමය කතිපයාධිකාරයේ හුදකලාවීම හා බංකොලොත්කම පිලිබඳ මිනුම් දන්ඩක් වන්නේ ය.

පැට්‍රික් මාටින්

Share this article: