තැපැල් සේවකයන් අතිකාල වර්ජනයක

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 ජුනි 16

ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෝ 21,000 ක් සඳුදා (13) මධ්‍යම රාත‍්‍රියේ සිට අතිකාල වර්ජනයක යෙදී සිටිති. තැපැල් සේවා ව්‍යවස්ථාවක් හා නිසි බඳවා ගැනීමේ පරිපාටියක් ඇති කිරීම, සියලු පුරප්පාඩු පිරවීම, අදාල උසස්වීම් ලබා දීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, කනිෂ්ඨ කාර්යමන්ඩලයේ අහෝසි කල තනතුරු 18 ප‍්‍රතිස්ථාපනය කිරීම ඇතුලු ඉල්ලීම් 14 ක් ඔවුන් ආන්ඩුවට ඉදිරිපත් කර ඇත.

තැපැල් සේවකයන් ප‍්‍රකාශ කරන පරිදි 4,000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් දෙපාර්තමේන්තුව තුල සිටිය යුතු නමුත් මේවන විට ඉන්නේ 2,000 ක් පමනි. සංවෘත සේවාවක් (රජයේ වෙනත් ආයතනයකට මාරුවීම් නොලබන) ලෙස තැපැල් සේවකයන්ට පැවති වැටුප් තල පහත හෙලීම සහ කනිෂ්ට කාර්ය මංඩලයේ තනතුරු 18 ක් අහෝසි කිරීම මගින් තනතුරු මෙන් ම වැටුප් කප්පාදුවක් ද කි‍්‍රයාවට දමා ඇත. කප්පාදුවට පෙර විදුලි පනිවුඩකරු තනතුරට බඳවා ගන්නා සේවකයෙකුට තැපැල් ධාවක, පෝටර්, කාර්යාල කාර්ය සහායක ආදී වසයෙන් උසස්වීම්වලදී ඉහල වැටුප් තලවල පිහිටුවනු ලැබීය. විදුලි පනිවුඩ කරුවෙකුගේ ආරම්භක මාසික වැටුප රුපියල් 11,720 කි. කාර්යාල සහයෙකුගේ එය 13,060 කි. තැපැල්කරුවෙකුගේ 14,375 කි. කනිෂ්ට සේවක තනතුරු 18 ක් අහෝසි කර තැපැල් සහායක නමින් නව තනතුරක් නිර්මානය කර කනිෂ්ට සේවකයන් සියලු දෙනාගේම මාසික ආරම්භ වැටුප රුපියල් 11,720 ට සිඳුවීම මගින් දැවැන්ත වැටුප් කප්පාදුවක් ආන්ඩුව කි‍්‍ර‍්‍රියාවට දමා ඇත.

අවශ්‍ය නිලධාරී සංඛ්‍යාවෙන් සියයට පනහකට ආසන්නව පවතින පුරප්පාඩු නොපිරවීම නිසා ඔරොත්තු නොදෙන වැඩ කොටසක් සේවකයන් මත පැටවී තිබේ. 2006 සිට 2013 දක්වා වූ වසර 7ක කාලය තුල පුරප්පාඩු පිරවීමක් සිදුවී නැත. අලුතෙන් සේවයට බඳවා ගැනීම් පවතින පුරප්පාඩු සහ විශ‍්‍රාම යාමෙන් වාර්ෂිකව ඇතිවන නව පුරප්පාඩුවලට සමානුපාතිකව සිදු නොවන බව ද තැපැල් සේවකයෝ කියති. පසුගිය වසරේ රාජ්‍ය සේවකයන්ට වැඩිකල රුපියල් 10,000 දීමනාවෙන් රුපියල් 2,500 ක් මුලික වැටුපට එකතු කිරීමේ 3/2016 චක‍්‍ර‍්‍රලේඛය මගින් රාත‍්‍රී සේවය, පෝය සහ රජයේ වෙනත් නිවාඩු දිනවල හා මැතිවරන රාජකාරී වල දී ගෙවූ විශේෂ ප‍්‍රසාද දීමනාව අහෝසි කර ඇත. ඒ සඳහා දැන් ගෙවනුයේ සාමාන්‍ය අතිකාල දීමනාවක් පමනි.

වර්ජනය කැඳවුම් කොට ඇත්තේ තැපැල් වෘත්තීය සමිති පෙරමුන විසිනි. සමිති පෙරමුන යනු තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා විදුලි පනිවුඩ සේවක සංගමය, ජාතික තැපැල් හා විදුලි පනිවුඩ සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ලංකා තැපැල් සේවක සංගමය ඇතුලු සමිති 28 ක එකතුවකි.

වෘත්තීය සමිතිවලට වර්ජනයක් කැඳවීමට බල කෙරී ඇත්තේ තම සේවා කොන්දේසි කප්පාදු කිරීම සහ ජීවන තත්වයන් පිරිහීම නිසා වසර ගනනාවක් තැපැල් සේවකයන් අතර පැසවමින් තිබෙන අසතුට හා කෝපය පුපුරායාමේ කොන්දේසි වර්ධනය වන තතු තුල ය.

වර්ජනය හේතුවෙන් කොලඹ මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාලයේ සහ උතුරු මැද, උතුරු-නැගෙනහිර හා දකුන පලාත ඇතුලූ සියලුම ප‍්‍රධාන තැපැල් කාර්යාලවල මේ වන විට ලියුම් මිලියනයකට වඩා ගොඩ ගැසී ඇති බව වාර්තා වේ. වර්ජනය දිගට පැවතුනොත් ලියුම් බෙදීම බරපතල අර්බුදයකට පත්විය හැකි බව තැපැල් ඇමති ඒ.එච්.ඒ හලීම් ප‍්‍රකාශ කර ඇත.

ආන්ඩුව ඉදිරියේ මතු වී තිබෙන ගැටලුව වන්නේ හුදෙක් ලියුම් බෙදීම සම්බන්ධ කාරානාවක් නො වේ. භීතියට පත්ව සිටින්නේ අතිකාල වර්ජනය වැඩවර්ජනයක් බවට හා සිය ජීවන තත්වයන් ට එල්ල කෙරී ඇති ප‍්‍රහාරවලින් නොසන්සුන්ව සිටින සමස්ත කම්කරු පන්තියේ පුර්න පරිමාන අරගලයක් බවට එය පරිවර්තනය වීමට ඇති හැකියාව ගැන ය.

ඉල්ලීම් ගැන මුදල් ඇමති සමග බදාදා දහවල් පැවැත්වුන සාකච්ඡාවට වර්ජනය නතර කර එන ලෙස තැපැල් ඇමති සමිතිවලට දැනුම් දී තිබුනේ ඒ අනුව ය. එහෙත් වර්ජිත කම්කරුවන්ගෙන් එයට බරපතල විරෝධයක් එල්ලවිය හැකි හෙයින් සමිති නිලධරය වර්ජනය නතර කිරීමට එකඟ වුයේ නැත.

කෙසේ වුව ද ආන්ඩුව මෙන්ම වර්ජනය දිග්ගැස්සීම හා එය පැතිරීමට ඇති හැකියාව ගැන සමිති නිලධරය ද දැනුවත් ය. එමෙන් ම බිය ය. එහෙයින් හැකි ඉක්මනින් ආන්ඩුව සමග සම්මුතියකින් වර්ජනය නතර කිරීමට සමිති නිලධරය උත්සුකව සිටිති.

තැපැල් හා විදුලි සේවක සංගමයේ ලේකම් හා තැපැල් සමිති පෙරමුනේ සම ලේකම් චින්තක බන්ඩාර කල ප‍්‍රකාශය සමිති නිලධරයේ ඒ උත්සුකතාව මැනවින් ප‍්‍රදර්ශනය කරයි. “ඊයේ අගමැති තුමා සහ මුදල් ඇමති තුමා සමග කල සාකච්ඡා ඉතාම සාර්ථකයි. ඒ නිසා අද අගමැති ලේකම් සහ රාජ්‍ය පරිපාලන ලේකම් සමග පැවැත් වෙන සාකච්ඡාවෙන් සාධාරන විසඳුමක් ලැබෙයි කියල හිතනවා. නැතිවුනොත් අකමැත්තෙන් වුනත් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයකට යන්න වෙනවා.”

බන්ඩාර ගේ “අකමැත්ත” වෘත්තීය කි‍්‍රයා මාර්ගය දිග්ගැස්සීමෙන් එය පැතිරීම කෙරෙහි මෙන් ම ආන්ඩුව සමග ගැටුමකට සමිති නිලධරයේ ඇති අකමැත්ත මිස අන් කිසිවක් නො වේ. ආන්ඩුව ගැටලු පවතින බව “පිලිගෙන” ඒවාට “කඩිනම් විසඳුම්” ලබා දීමට පොරොන්දු වූ බව ප‍්‍රකාශ කරමින් මෙම ඉල්ලීම් මත ම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති වර්ජනය ද සමිති නායකයන් විසින් නතර කල බව තැපැල් සේවකයන් විසින් මතකයට නගා ගැනීම වැදගත් වේ. මෙවර ද එබඳු සම්මුතියකින් තැපැල් සේවකයන්ගේ අරගලයට සමිති නායකයන් ඇබ ගසනු ඇත.

මෙම සමිති කි‍්‍රයා කරන්නේ ධනපති පාලක පන්තියේ උපකරන ලෙස මිස කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන සංවිධාන ලෙස නොවේ. තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය ඇතුලු සමිති බහුතරයක් කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට පන්දම් ඇල්ලූහ. ජාතික තැපැල් සේවක සංගමය දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට (එජාප) හා වර්තමාන ආන්ඩුවට ඍජුව සම්බන්ද සමිතියකි. ස්වාධීන යයි කියා ගන්නා සමස්ත ලංකා උප තැපැල් සේවක සංගමය හා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඊනියා සාධාරන සමාජයක් සඳහා ව්‍යාපාරයේ පාර්ශවකරුවන් වන අතර සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇද්දාහ.

මෙම සමිති එකක්වත් වසර ගනනාවක් පවතින සේවක ගැටලු හෝ ඔවුන්ගේ රැකියා හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාර වලට විරුද්ධව මොන ම අරගලයක්වත් සංවිධානය කර නැත. යම් විරෝධතාවයක් සංවිධානය කලේ නම් එය කලේ තමන්ට එල්ල වන ප‍්‍රහාර කෙරෙහි සේවකයන් තුල පවතින විරෝධය වාෂ්පකර දැමීමේ අරමුන ඇතිව ය. ඒවා බොහෝවිට එක්කෝ තැපැල්පතිට නැතිනම් ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවලට සීමා කෙරුනි.

තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව දෙකට කඩා, පසුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව 1997 දී පුද්ගලීකරනය කලේ ය. තැපැල් දෙපාතර්මේන්තුව පුද්ගලීකරනය කිරීමේ සැලැස්මක් වසර ගනනාවක් සිට ක‍්‍ර‍්‍රමානුකුලව කි‍්‍රයාවට දමමින් ඇත.

ලිපි හා පාර්සල් බෙදා හැරීම සදහා පුද්ගලික සමාගම් හා ආයතනවලට බලපත‍්‍ර නිකුත් කිරීම, පුද්ගලික ඒජන්සි තැපැල් කාර්යාල පිහිටුවීමට අවසරදීම, සමහර ප‍්‍රධාන තැපැල් කාර්යාල උප කාර්යාල බවට පරිවර්තනය කිරීම ඇතුලුව තැපැල් සේවාව පුද්ගලීකරනය කිරීම හා තැපැල් ශ‍්‍රම බලකාය කප්පාදු කිරීම එහි කොටසකි.

අද තැපැල් සේවකයන්ගේ අයිතීන්ට එල්ල කෙරී ඇති ප‍්‍රහාර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිර්දේශ යටතේ ක‍්‍ර‍්‍රියාවට දැමුන මෙම පුද්ගලීකරන කි‍්‍රයාවලියේ ප‍්‍රතිවිපාකයකි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) හා එජාප ආන්ඩු විසින් මෙම සැලසුම් ක‍්‍රියාවට දැමුනේ සමිති නිලධරයේ උදව්ව ඇතිව ය. එබැවින් තැපැල් කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසි වලට එල්ල කෙරී ඇති ප‍්‍රහාරවලට සමිති නිලධරය ඍජුව හා මුලුමනින් ම වගකිව යුතු ය.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල දැන් මෙම කප්පාදු සැලසුම් තව තවත් වේගවත් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුවට නියෝග කර ඇත. මුල්‍ය අරමුදල දීමට එකඟ වී තිබෙන ඩොලර් බිලියන 1.5 ට අදාලව පනවා ඇති ප‍්‍රමුඛ කොන්දේසි වලට ආන්ඩුවේ වියදම් කපාහැරීම මගින් අයවැය පරතරය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 3.5 දක්වා 2020 වන විට අඩු කිරීම, රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ඒවා ලාබ ලබන වානිජ පදනමකට ගෙන ඒම “අතිරික්ත සේවකයන්” ඉවත් කිරීම, වක‍්‍ර‍්‍ර බදු පැනවීම පුලුල් කිරීම හා වැටුප් කප්පාදුව ඇතුලත් වේ.

චන්ද ගරා ගැනීමේ උපාමාරුවක් ලෙස පසුගිය වසරේ රජයේ සේවකයන් ට දුන් රුපියල් 10,000 ක දීමනාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බරපතල විවේචනයට ලක් විය. ආන්ඩුව ඒවා ආපසු හැරවිය යුතු ය. වැට් බද්ද ඉහල දැමීම එහි කොටසකි.

තෙල් සංස්ථාව, ශ‍්‍රී ලංකා ගුවන් සේවය, ධීවර සංස්ථාව හා ලංකා ගමනා ගමන මන්ඩලය හා ශ‍්‍රී ලංකා වරාය ඇතුලු රාජ්‍ය ආයතන වල “සේවක අතිරික්තය” ඉවත් කිරීමේ සැලසුම් වලට අනුව “ස්වෙච්ඡා විශ‍්‍රාම” ගැන්වීමේ යෝජනා ක‍්‍රම යටතේ සේවකයන් දස දහස් ගනනක් රැකියා වලින් නෙරපීමට ආන්ඩුව තීන්දු කර තිබේ. ගමනා ගමන මංඩලයේ පමනක් දොට්ට දැමීමට නියමිත ගනන 12,000 කි.

අයවැය මගින් රාජ්‍ය සේවක දීමනා වැඩිකිරීමෙන් තැපැල් දෙපාර්තමේන්තුව 2014 සහ 2015 වසර වල පිලිවෙලින් රුපියල් මිලියන 2,859 සහ 2,984 ක අලාභයක් ලැබූ බව ආන්ඩුව කියයි. අතිකාල කප්පාදුව, වැඩ වේගවත් කිරීම ඇතුලු ක‍්‍රමවේදයන් වඩ වඩා තීව‍්‍ර කිරීම මගින් ආන්ඩුව එම අලාභයන් සේවකයන් මතට ම පටවනු ඇත.

ආන්ඩුවේ පොරොන්දු වලට යටකර තම අරගලය ගබ්සා කිරීමට තැපැල් සේවකයන් සමිති නායකයන්ට ඉඩ නොදිය යුතුය. තැපැල් කම්කරුවන්ට සිය රැකියා හා සේවා කොන්දේසි සම්බන්ධ අයිතීන් දිනා ගත හැකිවන්නේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් වූ සමස්ත කම්කරු පන්තියේ රැකියා හා සේවා කොන්දේසි දිනා ගැනීමේ ඒකාබද්ධ අරගලයක් තුල පමනි.

Share this article: