කොලඹ සේදවත්තේ දුගී නිවාස ගනනාවක් තෙල් මිශ‍්‍රිත ජලයට යටවෙයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

කොලඹ සේදවත්තේ දුගී නිවාස ගනනාවක් තෙල් මිශ‍්‍රිත ජලයට යටවෙයි

විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම විසිනි ,2016 ජූනි 10

පසුගිය මාසයේ ඇති වූ ගංවතුර තත්වය තුල, ඛනිජතෙල් මිශ‍්‍රිත ජලයෙන් යටවීමෙන් සේදවත්ත තුඩුගල පාරේ හා පෙරේරා පාරේ දුගී නිවාස 60ක් පමන ජීවත් වීමට නුසුදුසු තත්වයට පත්ව ඇත. ප‍්‍රදේශ වාසින් පවසන අන්දමට මෙම තෙල් ගංවතුරට මිශ‍්‍ර වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි තුනකට තෙල් ගෙන යන නල කාන්දු වීමෙනි.

තෙල් නල ආශ‍්‍රිතව මෙම ජනතාව පදින්චිව සිටින්නේ ඔවුනට ජීවත්වීමට සුදුසු වාසස්ථාන පෙර පැවති කිසිදු ආන්ඩුවකින් ලබා නොදුන් තත්වයේදීය.

මෙම ප‍්‍රදේශවාසීන් ‘යලි පදිංචි කිරීම සඳහා යොදා ගතහැකි රජයේ හෝ පුද්ගලික ඉඩමක් සොයන ලෙස නිලධාරීන්ට පවසා’ ඇති බවක් ආපදා කලමනාකරන අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. නියන්වල සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත. එහෙත් ඒ සමගම ඔහු කියා ඇත්තේ අනවසර පදිංචිකරුවන්යයි ආන්ඩුව නම්කරන ජනයාට කුමක් කරන්නේදැයි තව දුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

ආන්ඩුව මහ නගර සැලසුම් (මෙගාපොලිස්) වේගවත් කරන බව පවසන අතර මේ යටතේ සේද වත්ත වැනි ප‍්‍රදේශයන්හි මහජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම තීව‍්‍ර කෙරෙනුු ඇත. දුගීන් පලවා හරිමින් නිදහස් කර ගන්නා ඉඩම් මහා පරිමාන ආයෝජකයන්ට පවරාදීම දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

ජූනි 5 දින පැවති ගම්පහ දිසා සම්බන්ධීකරන රැස්වීමේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජනයාට මෙසේ තර්ජනය කලේය. “නීති විරෝධී ඉදිකිරීම් කල හොත් මමත් රජයත් ඒවාට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා.”

ආන්ඩුව ජලගැලීම් සිදුවූ ප‍්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඒවායේ ජීවත්වූ ජනයා ඉවත් කිරීමට අර අදින අතර ජනතාවගෙන් මතුවන විරෝධය මැඞීම සඳහා හමුදාව යොදා ඇත.

වතුර ආපු මට්ටම පෙන්වන නිවැසියෝ

ගංවතුර බැසගොස් සති දෙකක් ගතව ගියත් තවමත් තම නිවෙස් වලට යා ගත නොහැකිව දුම්රිය මාර්ගය පසෙක මඩු අටවාගෙන සිටින සේදවත්ත තුඩුගල පාරේ පවුල් දාහතක නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට තමා මුහුන දී ඇති තත්වය පිලිබඳව කරුනු දැක්වූූහ.

කුලී වැඩ කරන කම්කරුවෙකු වන සෙල්වලිංගම්: “වතුර දැම්මේ මැයි 15 වෙනිදා, එදා ඉඳන් අපි තවම මෙතන. අපේ වත්ත, පොඩි වතුරටත් යට වෙනවා. නමුත්, මෙතරම් විශාල ගංවතුරක් එනව කියල අපිට මොනම විදියකින්වත් දැනුම් දුන්නේ නෑ. වතුර වැඩිවෙනකොට අපි අතට අහුවෙන වටිනා දේවල් ඇරෙගෙන රේල් පාර උඩට ආව. අනිත් ඔක්කොම යට වුනා. මේ තෙල් නිසා දැන් අපිට යට වෙච්ච කිසිම දෙයක් ආයිත් ගන්න විදියක් නැහැ.”

ගෘහනියක් වන පුෂ්පා ස්වර්නලතා: “වතුරෙන් මගේ ගෙයින් බාගයක් විතර කැඩුන. තෙල් වල ගඳ නිසා තාම ගෙයි පදිංචි වෙන්න බැහැ”. තම නිවස අසල ඇති විශාල කුනු කන්ද පෙන්වමින් ඇය පැවසුවේ “එක පැත්තකින් තෙල් වල සැරට කකුල් පැලෙනවා අනිත් පැත්තෙන් මේ කුනු කන්දෙන් ආපු දහජරාව නිසා අපි ලෙඩ වෙනවා”.

නිවැසියන් පවසන අන්දමට ග‍්‍රේලයින් නම් සමාගකට අයත් ඉඩමක ඉතා අවිධිමත් හා අනතුරු දායක ආකාරයෙන් ගොඩගසා ඇති මේ කුනු-කන්ද, කලකට ඉහතදී කොම්පෝස්ට් පොහොර සෑදීමට යයි කියමින් බ්ලූමැන්ඩල් කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානයෙන් ගෙන ආ කසල වලින් සෑදුනු එකකි.

මීතේන් වැනි වායූන් හා කසල වල ඇති සියලු දුෂක සහ විෂබීජ නිසා නිවැසියන්ගේ ජීවිතවලට හා සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

තවත් ගෘහනියන් දෙදෙනෙක් ලෝසවෙඅ වෙත ප‍්‍රකාශ කලේ හමුදාවෙන් පැමින සමහර ගෙවල් ජල පොම්ප යෙදා ගනිමින් පිරිසිඳු කලත් එමගින් හරි ආකාරව තෙල් ඉවත් වී නැති බවයි. “සමහර ගෙවල් සෝදාගන්න වුනේ මිනිස්සුන්ටමයි නිකම්ම වතුර ගහල. ඇලෙනුයි කුනු කන්දෙනුයි ආපු කුනු වලින් අපේ වත්ත වැහුන, ඒ කිසිවක් තාම සුද්ද කරලා නැහැ, මිනිසුන්ට විතරක් තනියම සුද්දකරගන්නත් බැහැ. ඒත් ඉතින් අපිට තව ටික දවසකින් ලමයින් එක්ක ඒ ගෙවල් වලටම යන්න වෙනවා”.

බොරතෙල් වලින් පිටවිය හැකි ශරීරයට අහිතකර මීතේන් වැනි වායූන් හා කසල වල ඇති සියලු දුෂක සහ විෂබීජ නිසා ඔවුන් කලින් ජීවත් වූ නිවාස මිනිස් වාසයට කිසි සේත්ම නුසුදුසු තැන් බවට පත්වී ඇතත්, ඔවුන් දැනටමත් එම නිවාස වලටම නැවත යමට සුදානම් වන අයුරු දැකගන්නට ලැබිනි. මේ නිවාස සියල්ල සාදා ඇති පරන ලෑලි වලට ඛනිජතෙල් උරා ගැනීම නිසා, ඒවා වහා ගිනි ඇවිලෙන සුලු, ඉතාම අන්තරායකර තත්වයකටද පත්ව ඇත.

ඇලෙනුයි කුනු කන්දෙනුයි ආපු කුනු වලින් අපේ වත්ත වැහුන

“අපේ මෙට්ට, කොට්ට, ලමයින්ගේ ඉස්කෝල ඇඳුම්, පොත්, ඉලෙක්ට්‍රික් බඩු, පිඟන් කෝප්ප, උයන භාජන මේ එකක්වත් ආයේ ගන්න බැහැ තෙල් නිසා. මෙච්චර විනාශයක් වෙලත්, මේ වෙනකම්, රජයෙන් මොනම දෙයක්වත් ලැබුනේ නැහැ. එක මහත්තෙයෙක් විතරක් ඇවිත් එකපාරක් බොරුවට මොනවද ලියාගෙන ගියා. ඒ ඇරෙන්ඩ ග‍්‍රාම සේවක, ප‍්‍රාදේශීය ලේකම්, පලාතේ මන්ත‍්‍රී මේ කවුරුවත් ආවේ නැහැ.”

තෙල් කාන්දු වීම පිලිබඳව, ඛනිජ තෙල් ඇමති චන්දිම වීරක්කොඩි මාධ්‍ය අමතා පවසා තිබුනේ, මෙය ප‍්‍රදේශයේ පුද්ගලයන් හොරෙන් තෙල් නල වලින් තෙල් ලබාගැනීම නිසා ඇති වූ අලාබ හානි වලින් සිදුවූවක් බවයි. අන්ත දුගී භාවයෙන් පෙලෙන අති බහුතරයක්වූ සේදවත්ත ප‍්‍රදේශයේ ජනතාවට එල්ල කෙරෙන මේ චෝදනාවට කිසිදු පදනමක් නැත.

2015 පෙබරවාරි මාසයේදී මෙම ප‍්‍රදේශයට මඳක් ඔබ්බෙන් ඇති කම්බිකොටුව ප‍්‍රදේශයේ දී මෙම තෙල්නල පද්ධතියේම විශාල කාන්දුවක් ඇතිවිය. එහිදී මාධ්‍ය වාර්තා කලේ වසර ගනනාවක නඩත්තු පැහැර හැරීම නිසා අබලන්ව ඇති තෙල් නල වලට ලී ඇබ ගසමින් කාන්දුව නැවත්වීමට ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන්ට සිදු වී ඇති අයුරුයි. වසරක පාඩුව රුපියල් බිලියන 13 ඉක්මවන ඛනිජ තෙල් සංස්ථාවේ වියදම කපාහැරීම හා සේවක කප්පාදුව නිසා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ඇනහිට ඇති තත්වයකට පත්ව තිබේ.

තෙල් කාන්දුවට අමතරව කොලඹ නගරයේ කැලිකසල බැහැර කිරීම හා ඇල පද්ධති නඩත්තු කිරීම ආශ‍්‍රිතව ඇතිවී ඇති ගැඹුරු අර්බුදය මගින් ජනතාවගේ එදිනෙදා ජීවිත වලට එල්ලවී ඇති ඉමහත් අනතුරද, සේදවත්ත නිවැසියන් මුහුන දී ඇති තත්වයෙන් පැහැදිලි වෙයි.

මේ නිවාස අසලින් ගලන රජ්ජුරුපිටිය ඇල, කැලිකසල හා රොන්මඩ වලින් පිරී සම්පූර්නයෙන්ම ජලය බැස නොයන තත්වයක පවතී.

නිවාස වලට එපිටින් ඇති පුද්ගලික සමාගමකට අයත් කුනුකන්ද, විද්‍යාත්මක අපද්‍රව්‍ය කලමනාකරනය පසෙක තබා දශක දෙකක් පුරා කොලඹ නගරයේ කුනු වලින් ලාභ ගරන ව්‍යාපෘති ඇරඹීමට අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් ගත් උත්සාහයන්ගෙන් එකකි.

මෙම නිවැසියන්ගේ ප‍්‍රශ්න වහා විසඳනු වෙනුවට, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යත්න දරන්නේ, ගංවතුර විපත දඩමීමා කරගනිමින් එම ප‍්‍රදේශ ‘අනතුරුදායක’ ලෙස නම් කොට ජනතාව ඉවත් කර එම ඉඩම් තම මහ නගර සැලසුම් ව්‍යාපෘතියට ඈඳා ගැනීමට යි.

මේ ගැන අදහස් දැක්වූ පියවතී නම් ගෘහනියක්: “අපිට මේ ඇල අයිනට එන්න වුනේ මීට උඩින් රේල්පාර අයිනේ අපි අවුරුදු විස්සකටත් වඩා ජීවත් වෙච්ච ගෙවල් කඩපු නිසා. එතකොටත් අපිට කිව්වා ගෙවල් දෙනවා කියල. එහෙම කියල දැන් අවුරුදු නමයක් වෙනවා. අපිට හරියට ජීවත් වෙන්න පුලුවන් ගෙයක් දුන්නොත් අපි ඕන වෙලාවක යනවා, නැත්නම මැරෙන්න හරි දරුවොත් එක්කම මෙතන ඉන්නවා.”

තම කැඞී ගිය නිවාසය වෙනුවට තවත් පැලක් අටවමින් සිටි දෙදරු පියෙක් මෙසේ පැවසුවේය: “කොලඹ මිනිස්සු මහින්ද රාජපක්ෂ පරාජය කරන්න එක ප‍්‍රධාන හේතුවක් ගෙවල් කඩන ප‍්‍රශ්නේ, දැන් මේ ආන්ඩුව පත්වෙච්ච තැන ඉඳන්ම ඒ වැඬේ පටන් ගෙන තියෙනව. මම වසර පහක් අරාබියේ වැඩකරලා, ඒකේ ඉඳල වැඩක් නැති තැන ආපහු අවා. මේ පලාතේ හුඟ දෙනෙක්ට එහෙම ආපහු එන්න වුනා. දැන් අපිට ඒ හම්බ කරගත්තු දේත් වතුර නිසා නැති උනා.”

සේදවත්ත නිවැසියන්ගේ ජීවිතවලට හා සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වූ මෙම අනතුර වසර ගනනාවක් පුරා රාජ්‍ය අංශයේ සේවාවන්ගේ ඇතිවී තිබෙන සෝදාපාලුවේ බියකරු ප‍්‍රකාශනයකි.

තවමත් කොලඹ නගරයේ ඇති පොදු හා යටිතල පහසුකම් බ්‍රිතාන්‍ය පාලන කාලයේ හෝ 50-60 දශක වලදී එකල නගරයේ සිටි ජනගහනයටවත් කිසිසේත්ම නොගැලපෙන ආකාරයෙන් සැලසුම් කල ඒවාය. නිමක් නැති ප‍්‍රතිපාදන කප්පාදුව නිසා, නගරයේ සේවාවන් බොහොමයක් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තැනට වේගයෙන් ඇද වැටෙමින් ඇත.

පොදු පහසුකම් හෝ යටිතල පහසුකම් පිලිබඳව කිසිඳු සැලසුමකින් තොරව, කොලඹ වරාය නගරය (පෝට් සිටි) වැනි මහා ඉදිකිරීම් ව්‍යාපෘති වලට රජය යොමු වී ඇත්තේ, පොදු මහජනතාවගේ වියදමින් ධනපතීන් අතලොස්සකට නිදහසේ ආයෝජනය කලහැකි දුගීන්ගෙන් තොර සුපිරි කලාප කිහිපයක් තනා දීමටය.

Share this article: