වසර එකහමාරක සිය පාලනය ගැන ජනාධිපති සිරිසේනගේ රැවටිලිකාර යුක්තිකරනය

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 ජූනි 30

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, සිය වසර එකහමාරක පාලන කාලය තුල අත්කරගත්තේ යැයි කියන ඊනියා සාර්ථකත්වයන් පිලිබඳ, කයිවාරු තොගයක් ඇද බාමින් සිටී. මහජනතාවගේ ඇසට වැලිගැසීම අරමුනු කරගත් මෙම ප‍්‍රකාශ කුහකත්වයෙන් සහ වංචාවෙන් පිරී ඇත.

ජුනි 12 වනදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලබාදුන් සාකච්ඡාවකින් ජනාධිපති සිරිසේනගේ මෙම රැවටිලිකාරී උත්සුකය හෙලිදරවු කෙරේ. සාකච්ඡාව ආරම්භයේදීම, තමන් බලයට පත්ව මුල් වසර එකහමාර ගත වී ඇති ආකාරය සම්බන්ධයෙන් තමන් තෘප්තිමත්ද යනුවෙන් නැගුනු ප‍්‍රශ්නයට පිලිතුරු ලෙස, සිය පාලනය තුල සාක්ෂාත් කරගත්තේ යැයි කියන කරුනු කිහිපයක් ඔස්සේ තමන්ට සතුටු විය හැකි බව ඔහු පවසයි.

සිය සාර්ථකත්වය පිලිබඳ උලුප්පා දක්වන කරුනු අතර ඔහු ඉහලින්ම ඔසවා තබන්නේ ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් දිනාගත හැකි වූ “පිලිගැනීමයි”. ඔහු මෙසේ පවසයි: “මා භාරගත්තේ වෙනත් ජාතීන් විසින් පිලිකෙව් කර තිබූ රටක්. ගත වූ වසර එකහමාර තුල මා කරමින් සිටියේ ඒ නරක තත්වය ආපසු හැරවීමයි.”

චීනය සහ රුසියාව වටලෑම ඉලක්ක කරගත් “ආසියාවට හැරීමේ” වැඩපිලිවෙල යටතේ වොෂින්ටනයේ අනුග‍්‍රහය ලත් තන්ත‍්‍ර මාරුවකින් 2015 ජනවාරි 8 වනදා සිරිසේන බලයට පත්විය. තමන් “ජාත්‍යන්තරය දිනුවේය”යන පුරාජේරුව දැන් මහජනතාව ඉදිරියේ දිගහරින සිරිසේන, තමන් බලයට පත් වූ දින පටන් මහජනතාවට හොරෙන් කර ඇති රාජකාරිය නම් ඇමරිකාව සහ එහි සහචර අධිරාජ්‍යවාදී බලයන් විසින් දියත් කොට ඇති භූ දේශපාලන වැඩසටහනට ශ‍්‍රී ලංකාව මුලුමනින් ගැටගසා දැමීමයි. සිරිසේන විසින් උජාරුවෙන් හුවා දක්වන “ජාත්‍යන්තර සැලකිල්ල” ඒ වෙනුවෙන් ඔහුට ලැබුනු සන්තෝසමයි.

සත්‍යය වසන් කිරීමට සිරිසේන එසේ යත්න දරතත් චීනයට එරෙහි ආතතීන් උත්සන්න කිරීමේ එක්සත් ජනපද ව්‍යායාමයට සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුවේ ඒකාග‍්‍රවීම වටහා ගැනීම සඳහා “ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික සංක‍්‍රමනය: ශ‍්‍රී ලංකා එක්සත් ජනපද සබඳතාවල නව යුගයක්” යන හිසින් යුතුව ආසියානු අධ්‍යයන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ට සාමාජිකා ලීසා කර්ටිස් විසින් ජුනි මස දෙවන සතියේ ඉදිරිපත් කල දීර්ඝ වාර්තාවක අඩංගු කරුනු විමසා බැලීම ම සෑහේ. මෙම සංවිධානය, ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපාය සමඟ ගැලතී සිටින චින්තන පර්ෂද වලින් එකකි.

වාර්තාව මෙසේ පවසයි: “චීනයේ නැග ඒමත් සමඟ වඩා වැදගත් බවට පත්ව තිබෙන, භූගෝලීයව මැදපෙරදිග සහ ආසියාව අතර සමුද්‍ර මාර්ග සන්ධිස්ථානයේ පිහිටා ඇති ශ‍්‍රී ලංකාව සමඟ ඇමරිකාවේ සමීප සබඳතාවන්ට මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිව්‍යුහකරනයන් ඉඩ සලසමින් තිබේ”

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ලංකාවට නොපැමිනි දස වසරක විරාමය අවසන් කරමින් ශ‍්‍රී ලංකාවට පැමිනි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සිට, සමන්තා පවර්, නිශා බිස්වාල් ඇතුලු ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් ගනනාවක් ශ‍්‍රී ලංකාව තුල සිය වැඩපිලිවෙලෙහි සාර්ථකත්වය නිරීක්ෂනය කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබාදීමටත්, විටින් විට දිවයිනට පැමින ඇත. ඔවුන් සියලු දෙනාගේම ප‍්‍රකාශයන් යොමු වූයේ ශ‍්‍රී ලංකාව තුල ඇති වූ “වෙනස” පැසසීමට සහ දෙරට අතර සබඳතා වර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහාය.

ශ‍්‍රී ලංකාවට එල්ල කෙරී ඇති යුද අපරාධ චෝදනාවලින් කැපී පෙනෙන අන්දමේ බුරුලක් ලබාගත හැකිවීම තමන් ලද තවත් වැදගත්ම ජයග‍්‍රහනයක් ලෙස සිරිසේන හුවාදක්වයි. ඔහු උජාරුවෙන් පවසන්නේ “යුද අපරාධ සම්බන්ධයෙන් නැගුනු මහා හඬ ගෑම් බැසගොස් ඇති ” බවයි.

යුද අපරාධ සම්බන්ධයෙන් කෙරී ඇති මෙම ලිහිල් කිරීම සිය සමබර විදේශ ප‍්‍රතිපත්තිය නිසා හටගත් “ලංකාවෙන් දුරස්ථව සිටි රටවල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මිත‍්‍රත්වය” නිසා සිදු වූවක් ලෙස සම්මුඛ සාකච්ඡාව තුලදී පින්තාරු කිරීමට දැරෙන උත්සාහය ඉඳුරාම වංචනිකය. චීනයත් සමඟ ගොඩනගාගෙන තිබූ සම්බන්ධතාවලින් ගැලවීගන්නා ලෙස රාජපක්ෂට බලකිරීම සඳහා ඇමරිකාව විසින් යුද අපරාධ චෝදනා කුහක ලෙස උපයෝගී කරගත් අතර, රාජපක්ෂ බලයෙන් පහ කිරීමෙන් පසු බලයට පැමිනි නව ආන්ඩුව ඉතා හොඳින් සිය වැඩපිලිවෙලට අනුගතව සිටින බව ප‍්‍රත්‍යක්ෂ වී ඇති තතු තුල ඇමරිකාව ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පස්සට ගෙන ඇත.

එල්ටීටීඊයට එරෙහි මෙහෙයුම් වලදී දස දහස් ගනන් දෙමල වැසියන් මරාදැමූ බවට එල්ල කෙරුනු යුද අපරාධ සම්බන්ධයෙන් සිරිසේනද වග කිව යුත්තෙකි. රාජපක්ෂ ආන්ඩුවෙන් 2014 අවසානයේ කැඩෙන තුරු එහි ප‍්‍රමුඛ ඇමතියෙක් වූ ජනාධිපති සිරිසේන යුද්ධයේ අවසන් සතියේ වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කලේය. එලෙස යුද විනාශයේ ලේ තවරාගෙන සිටින නමුත් සිරිසේන උත්සාහ කරන්නේ තමන් ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා සපැමිනි දේවදූතයෙකු ලෙස පින්තාරු කරගැනීමටයි.

කෙසේ වෙතත්, සිරිසේන ජනාධිපති ධුරය හෙබවූ කාල සීමාව තුල උතුරු-නැගෙනහිර මිලිටරි පාලනය අහෝසි කිරීම සඳහා කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත. ඊනියා යුද ජයග‍්‍රහනයේ සත්වැනි වසර සැමරීම සඳහා පැවති රැස්වීමේ දී ඊට ප‍්‍රතිපක්ෂව ඔහු පවසා සිටියේ “ජාතියේ යහපත සඳහා, මාතෘ භූමියේ යහපත සඳහා ත‍්‍රිවිධ හමුදා ශක්තිමත් කරන” බවයි.

මිලිටරිය ශක්තිමත් කෙරෙනුයේ, මූලික වශයෙන්ම, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී යොදාගත් එම පොලිස්-මිලිටරි මර්දන ක‍්‍රමෝපායන් වැඩකරන ජනතාවට එරෙහිව වැඩි වැඩියෙන් යොදාගැනීමට යි. වතු කම්කරුවන්, ගොවීන්, රැකියා විරහිත උපාධිධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු පීඩිත කොටස් තුලින් මතුවූ අරගල මැඩීමට ආන්ඩුව එම ක‍්‍රමෝපායන් යහමින් භාවිත කරන ආකාරය ගතවූ වසර එකහමාර තුල දැකගත හැකිවිය.

සිරිසේන ආන්ඩුව තම පාලන කාලය තුල නව වටයක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයක් අවුලුවාලීමේ වාර්තාවකට හිමිකම් කියතත්, සිරිසේනට අනුව නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා වන සිය රජයේ වෑයම මල්පල දැරූ කාල පරිච්ඡේදයකි. සම්මුඛ සාකච්ඡාව තුල සිරිසේන පවසන පරිදි දහනමවන ව්‍යවස්ථා සංශෝධනය “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහා ජයග‍්‍රහනයකි”. එහෙත් සත්‍ය ලෙස සිදුවූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජනප‍්‍රිය පොරොන්දුව ගසා කමින් බලයට පැමින එයට සීමිත වෙනස්කම් කිහිපයක් ඇතුලත් කරමින් බොරු මවාපෑමක් කිරීමයි.

ජාත්‍යන්තර සහයෝගීතාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව සම්බන්ධයෙන් වන පූච්චානම් කතා හැරුනු කොට ජනතාවගේ ජීවන කොන්දේසි ඉහල නැංවීම සම්බන්ධයෙන් හරිහමන් ප‍්‍රකාශයක් මුල සම්මුඛ සාකච්ඡාව පුරාවට සිරිසේනගේ කටින් පිටවී නැත. සිය පාලන කාලය තුල කම්කරු පීඩිත මහජනතාව ඉතා දුෂ්කර ජිවන කොන්දේසි තුල වඩවඩාත් ගිලෙමින් සිටින බව කුහක ලෙස යට ගසමින් සිරිසේන ප‍්‍රදර්ශනය කොට ඇත්තේ ඒ පිලිබඳව තමා විසින් නායකත්වය දෙන ආන්ඩුවේ තුච්ඡ නොතැකීමයි.

පුවත්පත් සාකච්ඡාව අවසානයේදී, ඉහල යන ජීවන වියදම සම්බන්ධයෙන් ජනතාව ආන්ඩුවට දෝෂාරෝපනය කිරීම පිලිබඳ සිය ආස්ථානය කුමක්දැයි විමසනු ලැබූ විට පැවති ආන්ඩුව විසින් ඉහල නංවන ලද විදෙස් නය ප‍්‍රමානය ඊට හේතුවක් වී ඇති බවට මැසිවිල්ලක්ද නගමින්, සිරිසේන පැවසුවේ ජනතාවගේ දෝෂාරෝපනය නිවැරදි බවත්, ඒ පිලිබඳ ඉක්මන් සහන ජනතාවට ලැබිය යුතු බවත්ය.

මෙම ප‍්‍රකාශ අතිශයින් ප්‍රෝඩාකාරී ය. සිරිසේන විසින් කියනු ලබන මෙම “ඉක්මන් සහන” ආන්ඩුවේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් කිරීමට ප‍්‍රතිකූලව ඔහු විසින් කරනු ඇත්තේ තව තවත් විදේශ නය සඳහා සුදුසුකම් ලැබීමට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) අපේක්ෂා කරන කප්පාදු කම්කරු පීඩිත මහජනතාව මත පැටවීමයි. දැවැන්ත වැට් බදු ඇතුලු ප‍්‍රහාරයන් මගින් ආන්ඩුව දැනටමත් ඊට මුල පුරා ඇත.

ජනතාවට සහන සැලසීමට කවර හෝ සූදානමක් ආන්ඩුවට නොමැතිබව පෙන්නුම් කරමින්, ගංවතුර, නායයෑම් සහ සාලාව අවිගබඩාව පුපුරා යාම වැනි විපත්වලට ගොදුරු වූූ ජනතාව තුච්ඡ ලෙස නොසැලකිල්ලට ලක්කර ඇත.

කෙසේ හෝ රාජපක්ෂ පරාජය කිරීම තුලින් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් දිනාගත හැකිය යන මිත්‍යාව වගා දිගා කොට සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇදි කොටස් අතරින් සමහරු සිරිසේනගේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පාලනය යුක්ති සහගත කරමින් ඔහු අනුයන ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සෘජුවම පෙලගැසී සිටිති. නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න ඉන් පෙරමුනේම සිටින්නෙකි.

ඉහත මිත්‍යාව වපුරමින් සිරිසේන බලයට ගෙන ඒමට බැකිම දුන් ජනතා විමුක්ති පෙරමුන ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වම්මුන් ද පුරවැසි බලය ආදී සිවිල් සංවිධානයන් ද තමන් බලාපොරොත්තු වූ වෙනස සිදු නොවුනේය යන පුහු ඝෝෂාව නගමින් මහජනතාවට එකක් පසුපස එකක් ප‍්‍රතිසංස්කරනවාදී උගුල් යෝජනා කරමින් සිටිති.

ජනාධිපතිවරනයේ ජාත්‍යන්තර ඇඟවුම් පැහැදිලි කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2015 ජනවාරි 12දා මෙසේ අනතුරු ඇඟවීය.

“රටේ කම්කරු පීඩිත ජනතාව සිරිසේන බලයට පත්වීමෙන් ලබනු ඇති සාමයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා සෞභාග්‍යයක් නැත. රට චීනයට එරෙහි ඇමරිකාවේ කුමන්ත‍්‍රනවල තවත් වැයික්කියක් බවට පත්වෙනු ඇත. නරක අතට හැරෙන ගෝලීය ආර්ථික බිඳවැටීමේ කොන්දේසි හමුවේ සිවිල් යුද්ධය පැවති 26 වසරක කාලය තුල පනවන ලද හා රාජපක්ෂ විසින් පුලුල් කරන ලද මර්දනකාරී අන පනත් යොදාගනිමින් ජීවන තත්වයන් මත තව තවත් ගැඹුරු ප‍්‍රහාර එල්ල කරනු ඇත.”

සිරිසේන විසින් සිය පාලනයට සුජාත භාවයක් අත්කර දීමට දරන උත්සාහයට විපරීතව පසුගිය වසර එකහමාර තුල සනාථ කෙරී ඇත්තේ ඉහත විශ්ලේෂනය යි. ආන්ඩුව කම්කරු පීඩිත මහජනතාවගේ ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර උත්සන්න කිරීමත්, භූගෝලය තවත් විනාශකාරී ලෝක යුද්ධයක අනතුරට ඇද දමන එක්සත් ජනපදයේ යුද සැලසුම් වලට රට ගැට ගැසීමත් වඩා ඉහල තලයකට ගෙන ගොස් ඇත.

සිංහල වර්ගවාදය පදනම කරගත් රාජපක්ෂ සහ ඔහුට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය හෝ සිරිසේන බලයට ගෙන ඒමට ඒ හෝ මේ අයුරින් සහය දුන් ජවිපෙ සහ අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් වෙතින් මෙම ගැටලු වලට කිසිඳු ප‍්‍රගතිශීලී විසඳුමක් සැපයෙන්නේ නැත. කම්කරුවන් හා තරුනයින් සසප වෙත හැරෙමින්, ආන්ඩුවට මෙන්ම සමස්ත ධනපති පර්යායටම එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීම අවශ්‍ය වන්නේ ය.

Share this article: