පත්මනාදන්ට එරෙහි ජවිපෙ පෙත්සම: රාජ්‍ය මර්දන හස්තය ශක්තිමත් කෙරෙන ප‍්‍රතිගාමී ව්‍යායාමයක්

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 ජූනි 02

හිටපු එල්ටීටීඊ නායකයකු වන සෙල්වරාසා පත්මනාදන් හෙවත් කේපී අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසකුරු උද්ඝෝෂනයක යෙදී සිටී. මෙය නිසැකව ම රාජ්‍ය මර්දන හස්තය ශක්තිමත් කෙරෙන සහ වර්ගභේදවාදය අවුලුවන ප‍්‍රතිගාමී ව්‍යායාමයකි.

ජවිපෙ ප‍්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, එම පක්ෂයේ පලාත් සභා මන්ත‍්‍රීවරයෙකු වන සුනිල් වටවල සමග එක්ව පසුගිය වසරේ ජනවාරි මස පත්මනාදන් ට එරෙහිව අභියාචනාධිකරනයට ඉදිරිපත් කරන ලද පෙත්සමකින් ඔහුට එරෙහි චෝදනා මාලාවක් ඉදිරිපත් කෙරුනි. “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීම”, “ජනරජයට එරෙහිව යුද්ධය කිරීමේ අභිප‍්‍රාය ඇතිව ආයුධ රැස් කිරීම”, “ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම” සහ මරන දඬුවම හෝ වසර හතකට නොඅඩු සිර දඬුවමක් දිය හැකි “කිසියම් පුද්ගලයෙකුගේ මරනයට හේතු වීම” සහ “කිසියම් පුද්ගලයෙකු පැහැරගෙන යෑම හෝ අපහරනය කිරීම” ඇතුලු චෝදනා ඒ අතර වෙයි.

විදෙස්ගතව සිටිමින් වසර ගනනාවක් පුරා බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට අරමුදල් සහ අවි සැපයූ බවට චෝදනා ලැබ සිටි පත්මනාදන්, 2009 වසරේ යුද්ධය අවසානයේදී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් මිය යාමෙන් පසු, තමන් එහි නායකයා ලෙස ප‍්‍රකාශයට පත් කලේය. කෙසේ වෙතත්, 2011 දී එවකට පැවති රාජපක්ෂ තන්ත‍්‍රය ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ මැදිහත් කොට, තවමත් නිශ්චය වී නැති ගිනිකොන දිග ආසියාවේ රටක සිටියදී පද්මනාදන් පැහැරගෙන මෙරටට ගෙන ආවේ, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මෙන්ම ජාත්‍යන්තර නීතිය ද නොසලකා හරිමිනි.

ජවිපෙ, පත්මනාදන් ට එරෙහි තම චෝදනා ඉදිරිපත් කරන්නේ ප‍්‍රතිගාමී ධනේශ්වර ඒකීය රාජ්‍යය සහ එහි ව්‍යවස්ථාව පිලිගැනීම හා රැකගැනීම තම “අනිවාර්ය යුතුකමක්” බව තම පෙත්සමේ සඳහන් කරමිනි. ඔවුන් ඉල්ලා සිටින්නේ, තමා දිවිහිමියෙන් රකින එම රාජ්‍යය බිඳ වෙන් කිරීම සඳහා ක්‍රියා කල පත්මනාදන්ට එරෙහිව කුප‍්‍රකට “ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත” යටතේ එන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති යොදා ගනිමින් දඬුවම් ලබා දෙන ලෙසයි.

මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය හරහා තම සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය නව ඉහල තලයකට නැංවීමට ජවිපෙ අර අදියි. ධනපති ආන්ඩු වලට මුක්කු ගසා ඔවුනගේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට කරබදු වීමෙන්, දෙමල පීඩිත ජනයාට එරෙහිව ගෙනගිය කුරිරු යුද්ධයේ කසකරුවෙකු බවට පත්වීමෙන් සහ පසුගිය ජනාධිපතිවරනයේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ගැති මෛත‍්‍රීපාල සිරිසේන ආන්ඩුව බලයට ගෙන ඒමට සෘජුව සේවය කිරීමෙන් ඇති කෙරුනු බලගතු මහජන අප‍්‍රසාදය හේතුවෙන් සුවිසල් ලෙස ඛාදනය වී ඇති තම ඡන්ද පදනම් මෙවන් ප‍්‍රතිගාමී උද්ඝෝෂනයන් හරහා යලි ගොඩනගා ගැනීම ජවිපෙ හි අරමුනයි.

පසුගිය 30 වන දා කැඳවා තිබූ පෙත්සම් විභාගය අභියාචනාධිකරනය විසින් ජූලි 25 දා ට යලි කල් තැබූ අවස්ථාවේ මාධ්‍යය අමතමින් හේරත් කියා සිටියේ පෙත්සම කිසිසේත් ඉවත්කර නොගන්නා බව යි. නැතහොත් තම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය ඉදිරියට ම ගෙනයන බවයි.

සුලු ධනේශ්වර රැඩිකල්වාදී සංවිධානයක් ලෙස 1960 ගනන් වල උපත ලද ජවිපෙ 1988-89 කාල පරිච්ඡේදයේ දී කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් පන්නයේ සංවිධානයක් ලෙස වැඩට බැස ගත්තේය. ඉන් අනතුරුව එය ක‍්‍රමයෙන් ධනේශ්වර පක්ෂයක් බවට පරිවර්තනය වී සංස්ථාපිතයටම ඒකාග‍්‍ර විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන්ට පරම සතුරු වූ ජවිපෙ හි ඉතිහාසය ලියැවී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ වර්ගවාදී උද්ඝෝෂන මාලාවක අඛන්ඩ සන්තතියක් ලෙසිනි.

ඔවුන් 1960 ගනන්වල අගභාගයේ තම වැඩකටයුතු ආරම්භ කලේමත් දෙමල කතා කරන වතු කම්කරුවන්ට එරෙහි ප‍්‍රකෝපකරනයක් දියත් කරමිනි. ඊනියා ඉන්දියානු ව්‍යාප්තවාදය තොරොම්බල් කරමින් ජවිපෙ කියා සිටියේ එම වතුකම්කරුවන් ඉන්දියානු බල ප‍්‍රදේශයක් නිර්මානය කරමින් සිටින බවයි. මෙය සිංහල කම්කරුවන් හා පීඩිතයන් දෙමල කම්කරුවන්ට එරෙහිව පිහිටුවීම සඳහා කොලඹ පාලකයන් ඉතිහාසය පුරා ගෙන යමින් සිටින වැඩපිලිවෙලට ඉතා හොඳින් ගැලපින.

භූගෝලීයකරන සන්තතියට ශ්‍රී ලංකාව ඒකාග‍්‍ර කරමින් ජේ. ආර්. ජයවර්දන ආන්ඩුව ක්‍රියාවට නැංවූ විවෘත ආර්ථික පිලිවෙතට එරෙහිව සටනට අවතීර්න වූ කම්කරුවන් බෙදා වෙන් කිරීමටත් ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පාගා දැමීමට අවශ්‍ය මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කර ගැනීමටත් 1983 දී ආරම්භ කල සිවිල් යුද්ධයට පූර්න සහාය දුන් ජවිපෙ ඒ සඳහා අනුප‍්‍රාප්තික සෑම ආන්ඩුවක් ම උනන්දු කරවමින් යුද්ධයේ ප‍්‍රමුඛතම උද්ඝෝෂකයෙක් ලෙස ක්‍රියා කලේය.

1987 දී, එල්ටීටීඊ ය මෙල්ල කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පලාත් වලට ඉන්දීය හමුදා සේනාංකයන් යැවීමටත් එම පලාත් වලින් නිදහස් කර ගන්නා ශ්‍රී ලංකා හමුදාවන් දකුනේ කම්කරුවන් හා අවශේෂ පීඩිතයන් මර්දනය කිරීම සඳහා යොදා ගැනීමටත් දෙරටේ පාලකයන් අතර අත්සන් කෙරුනු, ප‍්‍රතිගාමී ඉන්දු-ලංකා ගිවිසුමට ජවිපෙ විරුද්ධ වුනේ දකුනෙනි. ඉන්දියානු ව්‍යාප්තවාදයේම දිගුවක් ලෙස එය නම්කල ජවිපෙ තවත් වර්ගවාදී සංවිධාන එකතු කරගනිමින් ආරම්භ කල මවුබිම සුරැකීමේ ව්‍යාපාරය නම් වූ අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරය 1988 වන විට ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයක් බවටම පරිවර්තනය කෙරුනි. ඔවුන් විසින් තුවක්කු කටෙන් කැඳවූ ඊනියා වැඩ වර්ජනයන්ට විරුද්ධවූ කම්කරුවන් සහ කම්කරු නායකයන් සිය ගනනක් මරා දැමුනි.

2004 දී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව එල්ටීටීඊ ය සමග ඇති කරගත් සටන් විරාමයට සහ සාම ක්‍රියාදාමයට එරෙහිවූ ජවිපෙ, ඡන්දයෙන් තේරී පත් වූ එම ආන්ඩුව පලවා හැරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධායක බලතල යොදා ගන්නා ලෙස ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට බල කලේය. එහි ශක්තිය මත ද වාරු වෙමින් කුමාරතුංග ආන්ඩුව විසුරුවා හැරියාය.

2005 ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂට ඔවුන් සිය සහයෝගය ලබා දුන්නේද ඉහත සාම ගිවිසුම අහෝසි කොට යුද්ධය නැවත අරඹන පොරොන්දුව මතය.

2009 දී, චීනය සමග රාජපක්ෂට පැවති සමීප සබඳතා බිඳිනුවස් එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් කරන ලද බලපෑම් හමුවේ රාජපක්ෂ ආන්ඩුව විසින් බර අවි සහ ප‍්‍රහාරක මෙහෙයුම් නතර කරන බවට සිදු කල ප‍්‍රකාශයකට ජවිපෙ විරුද්ධ වූයේ “එල්ටීටීඊ සංවිධානය සහ මුලින්ම විනාශ කල හැකි අවස්ථාවක” එසේ නොකර සිදු කරන්නේ “ඓතිහාසික වරදක්” සහ රටේ ජනතාවට සහ හමුදාවට “ද්‍රෝහීී වීමක්” ලෙස හෙලා දකිමිනි.

කොලඹ අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය වර්ගවාදී යුද්ධයට ද එල්ටීටීඊ යේ බෙදුම්වාදී දේශපාලනයට ද එකහෙලා විරුද්ධවෙමින් ජාත්‍යන්තරවාදී ආස්ථානයක් මත සටන් කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. ඉන්දියානු උපමහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සිංහල සහ දෙමල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමටත් ඒ වටා ගොවීන් සහ අවශේෂ පීඩිතයන් රැලි කර ගැනීමටත් සසප සටන් වැදුනි.

සසප දිගින් දිගටම අනතුරු ඇඟවූ අයුරින්, ජවිපෙ ද පූර්න සහාය සහිතව “ත‍්‍රස්තවාදයට” එරෙහිවයැයි ගොඩ නගන ලද, පොලිස් මිලිටරි යන්ත‍්‍රය දකුනේ කම්කරුවන්ට සහ පීඩිතයන්ට එරෙහිව යොදා ගැනීමට රාජපක්ෂ ආන්ඩුව වැඩි කාලයක් වැය කලේ නැත. කටුනායකදී පාරිතෝෂිකය කප්පාදුවට එරහිව සටන් වැදුනුු තරුනයෙකු, හලාවතදී ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුනු ධීවරයෙකු හා රතු පස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු ප‍්‍රදේශවාසීන් වෙඩි තබා ඝාතනය කලේ උතුරේ සහ දකුනේ දෙමල පීඩිතයන් මරා දැමූ එම හමුදාවම ය.

කම්කරු පන්තිය බෙදීමේ සහ කෙටවීමේ සිය න්‍යාය පත‍්‍රය අඛන්ඩව ඉදිරිය ගෙනයන ජවිපෙ, මේ වන විට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් යෝජිත එට්කා ගිවිසුමට එරෙහිව ඉන්දියානු විරෝධයක් අවුලුවමින් සිටී. ඔවුන් යෙදී සිටින්නේ, ධනේශ්වර ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් තුල දෙරටේ කම්කරුවන් එකමුතු කිරීම වලකන ව්‍යායාමයකයි.

ජවිපෙ හි සෘජු සහයෝගයෙන් පිහිටුවා ගන්නා ලද ඇමරිකානු ගැති සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායන්ට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග‍්‍ර කරමින් සිටී. එක්සත් ජනපදය සහ චීනය අතර කවර හෝ මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලයෑමේ තර්ජනය මධ්‍යයේ ශ්‍රී ලංකාව වේගයෙන් ඇදී යමින් පවතින්නේ එම යුද ගිනිමැලයටයි.

අනෙක් අතට, දැවැන්ත නය බරින් ද ලෝක ආර්ථික අර්බුදයෙන් ද මිරිකී සිටින ආන්ඩුව ඉන් මිදීමට උත්සාහ කරන්නේ දැවැන්ත කප්පාදු හරහා තම අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනතාව මත පටවමිනි. මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව මතු වෙමින් පවත්නා පන්ති අරගල මර්දනය කිරීම සඳහා වඩාත් රුදුරු පියවර ගැනීමට ආන්ඩුව තීන්දු කොට ඇති බව ආන්ඩුවේ ප‍්‍රතිචාරයන්ගෙන්, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ගෙනයන මර්දනයෙන්, පෙන්නුම් කෙරේ.

මෙම තතු තුල ජවිපෙ ගෙනයන මෙම උද්ඝෝෂනය, එක් පැත්තකින්, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට සහ ලෝක යුද්ධයේ තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවට එරෙහිව පිහිටයි. අනෙක් අතට, රුදුරු නීති ක්‍රියාත්මක කිරීමට වරපත‍්‍රයක් ලබා දෙමින් කම්කරු පන්තියට එරෙහි ආන්ඩුවේ මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කරයි.

Share this article: