නාගරික සංවර්ධන අධිකාරිය තොටලඟ ඇපල් වත්තේ නිවාස නවයක් බුල්ඩෝසර කරයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

නාගරික සංවර්ධන අධිකාරිය තොටලඟ ඇපල් වත්තේ නිවාස නවයක් බුල්ඩෝසර කරයි

ජෝතිපාල දැදිගම හා සුසාර විශ්කම් විසිනි, 2016 මාර්තු 23

මාර්තු 16 දින කොලඹ තොටලඟ මුවදොර උයන මහල් නිවාසය හා ජපන් මිත‍්‍රත්ව පාලම අසල පිහිටි ඇපල්වත්ත නිවාස 9ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් (නාසඅ) පැමින බුල්ඩෝසර කර බිමට සමතලා කර ඇත්තේ නිවෙස් වල තිබූ ලී බඩු, ලමයින්ගේ පොත් පත්, මුලූතැන්ගෙයි බඩු භාන්ඩ විනාස කරමිනි.

සමතලා කල තම නිවස අසල රැඳී සිටින ලමයෙක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ක‍්‍රියාවට දමන මහා නගර ව්‍යාපෘතිය යටතේ දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැර ඉඩම් ආයෝජකයන්ට පවරාදීමට කොන්දේසි සැකසීම වේගවත් කිරීමේ අලුත්ම ප‍්‍රහාරය මෙයයි.

තොටලඟ කජීමා වත්තේ නිවාස 200ක් පමන කඩා දැමීමෙන් පසුව එම ස්ථානයේම ඉටිකොල ආවරන සකස් කර ගනිමින් ජීවත් වන නිවැසියන් ද ඇපල්වත්ත හා ගුනපාල සිල්වා ක‍්‍රීඩාංගනය අවට සාදා ඇති නිවාස ද මාර්තු 29 වන දිනට ප‍්‍රථම ඉවත් කල යුතු බවට නසඅ නිලධාරීන් තර්ජනය කර තිබූනි. එසේ වුවද නාසඅ නිලධාරීන් පැමින ඇපල් වත්තේ නිවාස ඉවත් කිරීම හදිසියේම සිදු කර ඇත. නිවැසියන් පවසන්නේ එකවර නිවාස ඉවත් කරන විට ඔවුන් සංවිධානයවී පියවරක් ගැනීම වලැක්වීම සඳහා සිදු කෙරුනක් බවයි.

ඇපල් වත්ත නිවැසියන්ට ඉටිකොල ආවරන තුල හෝ එම ස්ථානයේ රැඳීසිටීම වැලැක්වීමට එසැනින්ම කටු කම්බි ගසා නිවාස ප‍්‍රදේශය ආවරනය කර ගේට්ටුවක් දමා ඇත. කිසිදු ආවරනයකින් තොරව තම ඉතිරිවූ භාන්ඩ ද කුඩා ලමයින් ද සමග නිවැසියන් ඒ අවට ගස් යට රැඳී සිටිති. දුගී නිවැසියන්ට උන්හිටි තැන් නැති කරමින් ඇති කරන සංවර්ධනය කුමක්දැයි නිවැසියෝ ප‍්‍රශ්න කරති. ආන්ඩුව, එදිනෙදා කුලී වැඩක් කරගනිමින් ජීවත්වන මේ දුගී ජනයාට යන එන මං අහිමි කර ඇත.

අටවාගත් වහලක් යට දිවි ගෙවන නිවාස අහිමි වූ පවුලක්

තම ඉඩම අහිමි වූ අබ්දුල් කාදර් සිත්ති ෆරීඩා ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට පැවසූ විස්තරය කියා පාන්නේ පසුගිය රාජපක්ෂ පාලනය මෙන්ම මෙම ආන්ඩුව ද ආයෝජකයන් සඳහා යටිතල පහසුකම් සැදීම සඳහා දුගීන් මහමගට ඇද දමන බවය.

ෆරීඩා මෙසේ පැවසුවාය: “අපි ඇපල්වත්තට පැමින අවුරුදු 5ක් වෙනවා. කලින් අපි හිටියෙ වත්තල, ඔලියාමුල්ලෙ, වැලි පාරෙ. එම ඉඩම් පසුගිය රජය විසින් වෙන්කර දුන් ඉඩම්. එම ඉඩමක් ලැබූ අයෙක් ගෙන් රුපියල් 67,000 මිල ගෙවා අපි ඉඩම මිලදී ගත්තා. මේ තියෙන්නෙ ඔප්පුව. තවත් ලක්ෂ දෙකක් පමන වියදම් කරලා ඉඩමේ නිවස සාදා ගත් නමුත් එම ඉඩම පෑලියගොඩ සංවර්ධන අධිකාරියට බලෙන්ම පවරා ගත්තා. එවිට නිවාස 105ක් කඩා දැමුවා. තැන තැන ඉඳල අපි මෙතනට පැමිනියා කුලියට.”

“මුසම්මිල් මහත්තයා බලයට එනකොට කොලඹ මහා නගර සභාවෙන් නිවස ලියාපදිංචි කලා. අංකයක් සහිත මෙම තුන්ඩුව අපට දුන්න නිවසක් දෙන බවට සහතික කරල. (ඇය අපට අංකයක් සහිත් කාඩ් බෝඩ් කැබැල්ලක් පෙන්නුවාය. එහි සීල් එකක් ගසා 2011/4/30 දිනය දමා අත්සනක් ගසා අත.) උතුරු කොලඹ 2015 සංගනනයට අපි අතුලුවුනේ මෙහෙන්.” ඇය නිවසක් ලැබීමට අති සුදුසු කම් එසේ පැහැදිලි කලාය.

පලාත්පාලන මැතිවරනයේදී නගරාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් 2011දී බලයට පත්වූ ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජපක්ෂ ආන්ඩුව නිවාස කඩා දමීමට එරෙහි බව වංචාකාරී ලෙස පෙන්වමින් චන්ද ලබා ගත්තේ බොරු පොරොන්දු දෙමිනි.

ලෝක සමාජවාදී වෙබි අඩවි වාර්තාකරුවන් සමග සාකච්ඡාවේ යෙදෙන නිවාස අහිමු වූ පිරිසක්

තවත් කාන්තාවක් ගෙවල් කැඩූ සැටි විස්තර කලාය: “අපි පස් දෙනෙක් එදා බත්තරමුල්ලෙ සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමාගෙ කාර්යාලයට ගියා අපිට ගෙවල් දෙන්න කියලා ලියුමක් දෙන්න. සජිත් මහත්තයා හිටියෙ නෑ. එතන හිටිය නිලධාරියෙක් තමයි ලියුම ගත්තෙ. අපිට කිව්වා ආයෙ තව ලියුම් ගේන්න එපා කියලා. ඒක ඇති කියලා. ඒක බාර දීල එනකොට තමයි අපේ ගෙවල් කඩලා තියෙන්නෙ.

“අපි එනකොට දුව කතා කරලා කිව්වා දැන් ගෙවල් කඩනවා කියලා. අපිට එකපාරටම බත්තරමුල්ලෙ ඉඳලා එන්න බෑනෙ. වෙලාව යනවා. අපි එනකොට ගෙවල් කඩලා.

“මගේ ලොකු දුව (18) කිව්වා එයා වැන්දෙ නැති ටික විතරයි කියලා. ඒත් නිලධාරීන් ඒක ගානකට අරගෙන නෑ. බඩු ටිකවත් එලියට ගන්න දීල නෑ. ඩෝසර් කරලා. යටවෙලා තිබ්බ දේවල් වලින් අපි පුලුවන් දේවල් බේර ගත්තා. හැබැයි ගොඩක් ඒව විනාශ වෙලා. වහලෙ සීට්, වලන් ඔක්කොම කැඩිල ගියා. ලමයින්ගෙ පොත් ටික නම් යන්තම් බේර ගන්න පුලුවන් වුනා.

“ලොකු දුව දැන් ඉස්කෝලෙ යන්නෙ නෑ. උසස් පෙල දක්වා ඉගෙන ගත්තා. උසස් පෙල කරන්න නම් ටියුෂන් පන්ති යන්න ඕන. ඒත් අපිට ටියුෂන් පන්ති වලට යවන්න සල්ලි නෑ. පොඩි ලමයි දෙන්නා තවම ඉස්කෝලෙ යනවා. මහත්තයට දවසකට රුපියල් 700 ක් විතර හම්බ වෙන්නෙ. ඒකෙන් තමයි අපි ඔක්කොම කරන්නෙ. මේ දවස් වල වැඩට යන්ඩ බැරි වෙච්ච නිසා ඒකත් නෑ.”

“මම ඉපදුනේ මට්ටක්කුලියෙ. පහුගිය අවුරුදු 18ම මේ වටේම තමයි කුලියට හිටියෙ. අවුරුදු පහකට විතර ඉස්සෙල්ලා තමයි ඇපල් වත්තට කුලියට ආවෙ. චන්ද ලැයිස්තුවට දීල තියෙන්නෙ අක්කලගෙ ගෙදර ලිපිනය, අපිට ස්ථිර ලිපිනයක් නැති නිසා.” යයි ඇය තව දුරටත් සඳහන් කලාය.

“අපිට වෙන යන්න තැනක් නැති නිසයි මෙතන ඉන්නෙ. වැස්ස දවසට කුනු වතුර පිරෙනවා. අඩියක් ගහන්න බෑ. බලන්න මගේ කකුල් දෙක. මේ වන වෙලා තියෙන්නෙ ඒක නිසයි.” තවත් කාන්තාවක් කීවාය.

නිවාසය අහිමිවූ 67 හැවිරිදි මහලු මවක් දරුවන් පස් දෙනෙක් බලාගැනීමට සිදුව ඇති තැනත්තියකි. ඇය මෙසේ පැවසුවාය. “මගේ දුව අංගොඩ (මානසික) රෝහලේ දැන් ටිකට් කපලා. මගේ ස්වාමි පුරුෂයා කොලඹ ජාතික රෝහලේ 44 වෙනි වාට්ටුවේ ටිකට් කපලා. මම මේ අයව කැටුව එන්නෙ කොහාටද?” ඇයගේ විලාපය ආන්ඩුවට හෝ නාසඅ නිලධාරීන්ට ප‍්‍රශ්නයක් නොවේ. ඔවුන් සූදානම් වන්නේ මහජනයා විනාශයට ඇද දමා හෝ ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට ය.

කඩා දැමූ නිවසක ටකරන් කැබලි අතර හිරවී සිට පන බේරා ගත් 26 හැවිරිදි මවක් මෙසේ විස්තර කලාය: “ලොකු දරුවො මොන්ටිසෝරි යනවා. බාලම ලමයට මාස 2යි. ලමයින්ගෙ සීය තමයි කුලී වැඩ කරලා අපට කන්න දෙන්නෙ. දැන් ඔහුටත් වැඩ කරන්න අමාරුයි. නය වෙලා තමයි සේරම කර ගන්නෙ. පසුගිය 15 වෙනිදා ලිප්ටන් වට රවුමෙ ආන්ඩුවෙ උද්ඝෝෂනයට අපිව එක්ක ගියා. එහෙම ගිය අපේ නිවාස දවස් දෙකකට පස්සේ කැඩුවා. ”

සුන්බුන් අතර තම මව් ඇකයේ නිදන දෙමස් දරුවෙක්

ඇය තවදුරටත් කියා සිටියේ ගෙවල් කඩා දැමූ නිසා සිය පියාට වැඩට යාමට නොහැකි වූ බවයි. දවසට සියයට පහේ පොලියට ගත් නයෙන් ජීවිතය ගැට ගසා ගත් බව කී ඇය, මොන මනුස්සකමක් වත් ආන්ඩුවෙ අයට නැතැයි චෝදනා කලාය. “දැන් අපි කාට කියන්නද? මොනවා කරන්නද? අපි හැම තැනම යනවා ගෙවල් හොයන්න. රුපියල් ලක්ෂයක් ඇඞ්වාන්ස් ඉල්ලනවා. අපිට කොහෙන්ද ඒවගේ මුදලක්” ඇය ප‍්‍රශ්න කලාය.

මෙම මහජනයා මුහුන දෙන විනාශකාරී තත්වය ගැන සියලුම ජන මාධ්‍යයන් නිහඬය. ඒවා ඒ ගැන වාර්තා පල කලත් බොහෝ විට ඒ ආන්ඩුව නිවාස කඩාදැමීම යුක්ති සහගත කිරීම පිනිස ය.

රාජපක්ෂ ආන්ඩුවේ කොලඹ සංවර්ධන ව්‍යාපෘතිය ද වත්මන් ආන්ඩුවේ බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය ද ලංකාව දකුනු ආසියාවේ ප‍්‍රධාන වෙලඳ, මුල්‍ය හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම අරමුනු කර ගත් එකකි. ආන්ඩු දෙකම දුගීන්ගේ වියදමින් මෙම ව්‍යාපෘති ක‍්‍රියාවට දැමීම සැලසුම් කලේය.

රාජපක්ෂ ආන්ඩුව චීන ආයෝජකයන්ට මුල් තැනක් දුන් අතර සිරිසේන ආන්ඩුව ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන් හා ඉන්දියාව සමග වඩා කිට්ටුවෙන් කි‍්‍රයා කරයි. බරපතල ආර්ථික අර්බුදයක තතු යටතේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත තව දුරටත් සුබසාධන සේවා, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ ද පුද්ගලීකරනය පුලුල් කිරීමට ද කි‍්‍රයා කරන අතර විදේශ හා දේශීය ආයෝජකයන් ට වාසිදායක කොන්දේසි හැදීමට කැපවී සිටියි. මහා නගර ව්‍යාපෘතිය තුල දුගීන්ගේ අයිතීන් තලා දැමීම මෙම වැඩපිලිවෙලේම කොටසකි.

Share this article: