සසප ප‍්‍රසිද්ධ රැස්වීම: වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

SEP (Sri Lanka) public meeting: A socialist program to defend plantation workers

2016 මාර්තු 1

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), වතු කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා වැඩ කොන්දේසි ආරක්ෂා කිරීමට අවශ්‍ය සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් සාකච්ඡා කිරීමට, මධ්‍යම කඳුකරයේ හැටන් නගරයේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

ලෝක තේ වෙලඳපොලේ අර්බුදය හුවා දක්වන වතු සමාගම්, වසරකට ආසන්න කාලයක් තිස්සේ, වතු කම්කරුවන්ට කවර හෝ වැටුප් වැඩි කිරීමක් ප‍්‍රතික්ෂේප කරමින් සිටී. 200,000ක් පමන වතු කම්කරුවන් කම්කරු පන්තියේ වඩාත් ම පරිපීඩිත කොටසක් වෙයි.

විශාල සමාගම් 22ක් නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය, දැනට පවතින සොච්චම් දෛනික වැටුප් ක‍්‍රමය අහෝසි කොට, නිෂ්පාදන ඵලදායිතාවය මත පදනම් වූ වැටුප් ක‍්‍රමයක් යෝජනා කර තිබේ. එවැනි ක‍්‍රමයකින් කම්කරුවන්ගේ ආදායම පහත හෙලීමට අමතර ව, වැඩ බර වැඩි කොට, දැනට පවතින විශ‍්‍රාම වැටුප් අරමුදල් හා සුභසාධන පහසුකම් ද අහෝසි කරනු ඇත.

වතු වෘත්තීය සමිති, දෛනික වැටුප රුපියල් 1,000 දක්වා ඉහල දැමීම සඳහා වන සීමිත ඉල්ලීම ද අත්හැර දමා ඇත. මෙම සමිතිවලින් බොහොමයක් ලංකාවේ සභාග ආන්ඩුවේ කොටස්කරුවෝ වෙති. ආන්ඩුව හා වෘත්තීය සමිති, සමාගම්වල සැලසුම්වලට පූර්න පිටුබලය දක්වති. ඉහල දැමූ වැඩ ඉලක්කයන්ට එරෙහි ව වතු කිහිපයක ම කම්කරුවන් සටන් ක‍්‍රියාමාර්ග වලට අවතීර්න වුවත්, සමාගම් මඟින් ක‍්‍රියාවට දමන ලද පොලිස් දඩයම් කුමන්ත‍්‍රන සමඟ හවුල් වූ වෘත්තීය සමිති කම්කරුවන් පාවා දුන්හ.

වතු කම්කරුවන් මත එල්ල කරන මෘග ප‍්‍රහාර වනාහි, රටෙහි වඩ වඩා නරක අතට හැරෙමින් තිබෙන ආර්ථික අර්බුදයේ බර, කම්කරු පන්තිය හා දුගී ජනයා මත පැටවීම සඳහා දියත් කරනු ලැබෙමින් තිබෙන පුලුල් ප‍්‍රහාරයක කොටසකි.

වෘත්තීය සමිති හරහා කම්කරුවන්ට සිය අයිතීන් ආරක්ෂා කරගත නො හැකි ය. තීව‍්‍ර කරන ප‍්‍රහාරවලට මුහුන දීමට ඔවුන්ට සමාජවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍ය ය. යහපත් වැටුප් හා ජීවන කොන්දේසි වෙනුවෙන් දේශපාලන අරගලයක් දියත් කිරීමට, වෘත්තීය සමිතිවලින් ස්වාධීන, ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගන ලෙස සසප කම්කරුවන් අතර උද්ඝෝෂනය කරයි.

මෙම වතු, පුද්ගලික අයිතිය යටතේ ලාභය සඳහා ධාවනය කරවනු ලබද්දී, කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරගත නො හැක. ඒවා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන ලෙස සසප කැඳවුම් කරයි. මෙම ඉදිරිදර්ශනය සාක්ෂාත් කල හැක්කේ සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට, කම්කරු පන්තිය කරන පොදු අරගලයක කොටසක් ලෙස පමනි.

මෙම සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡාවට ගන්නා, හැටන් රැස්වීමට සහභාගි වන ලෙස, සසප හා සසජාතශි, වතුකම්කරුවන් හා අවශේෂ කම්කරුවන් ද තරුනයන් ද උනන්දු කරති.

රැස්වීම පවත්වන ස්ථානය: හැටන් නගර ශාලාව

දිනය හා වේලාව: මාර්තු 13 ඉරිදා සවස 2.00ට

Share this article: