සසප හැටන් රැස්වීම වතු කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීමේ සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සාකච්ඡා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 මාර්තු 26

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) වතු කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීමේ අරගලය සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සාකච්චා කිරීමේ ප‍්‍රසිද්ධ රැස්වීමක් මාර්තු 13 හැටන් නගර සභා ශාලාවේ දී පැවැත් වී ය. හැටන් ප‍්‍රදේශයේ විවිධ වතු කිහිපයක් නියෝජනය කරමින් කම්කරුවන් හා තරුනයන් පිරිසක් රැස්වීමට සහභාගී විය.

රැස්වීම ගොඩ නැගීම සඳහා සසප සහ සසජාතශි සාමාජිකයෝ හැටන්, මස්කෙලිය, දික්ඔය ඇතුලු ප‍්‍රදේශවල වතු කම්කරුවන් සහ තරුනයන් අතර වැදගත් උද්ඝෝෂනයක් ගෙන ගියහ. මෙම උද්ඝෝෂනය තුල දී ‘වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක්’ නමැති සසප ප‍්‍රකාශය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකෙරුන තවත් ලිපි කිහිපයක පිටපත් දහස් ගනනක් වතු කම්කරුවන් අතර බෙදා හරිමින් සසප සාමාජිකයෝ වතු කම්කරුවන් මුහුන දී සිටින කි‍්‍රයා මාර්ගික, දේශපාලනික හා සංවිධානාත්මක ගැටලු පිලිබඳ ව දීර්ඝ ව සාකච්ඡා කලහ.

රැස්වීමේ මුලසුන දැරුවේ සසප සාමාජික ඒ. ශාන්තකුමාර් විසිනි. වතු කම්කරුවන්ගේ වැටුප්, රැකියා සහ යහපත් සේවා කොන්දේසි දිනා ගැනීමේ අරගලය සංධිස්ථානයකට පැමින තිබෙන බව අවධාරනය කල ඔහු මෙසේ පැවසීය: “සාමුහික ගිවිසුම අලූත් කිරීම හා වැටුප් වැඩි කිරීම වතු සමාගම් ප‍්‍රතික්ෂේප කරලා. වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් ඉතා දරදඬු පිලිවෙතක් වතු සමාගම් විසින් අනු ගමනය කරමින් ඉන්නවා. සමාගම් එසේ කරන්නේ වෘත්තීය සමිතිවල සම්පුර්න සහයෝගය ඇතිව.”

“ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී) කඳු රට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ලංකා ජාතික වතු කම්කරු කොන්ග‍්‍රසය (එල්ජේඊඩබ්ලිව්යූ) ධනපති ආන්ඩුවේ පංගු කාරයෝ. ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී) දැන් ආන්ඩුවේ කොටස් කාරයෙක් නොවුනට ඔවුන් සේවය කරන්නෙත් වතු සමාගම් සහ ධනපති ආන්ඩුවේ අවශ්‍යතාවයන්ට” බව ශාන්ත කුමාර් කීවේ ය.

කම්කරුවන්ට විරුද්ධව වතු පාලකයන් සහ ආන්ඩුව සමග පෙල ගැසී කටයුතු කරන වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත අරගලය සංවිධානය කිරීමෙන් තොර ව වතු කම්කරුවන්ට සිය අයිතීන් දිනා ගැනීමට හැකියාවක් නැති බව දැන් ඉතා හොඳින් පැහැදිලි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

එම්. දේවරාජා

සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා, මෛතී‍්‍රපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ඒමට පෙර දුන් සියලුම පොරොන්දු බිඳ දමමින් වතු කම්කරුවන්ට මෙන් ම සමස්ත කම්කරු පන්තියේ රැකියා, වැටුප්, ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට දැවැන්ත ප‍්‍රහාර මාලාවක් මුදා හැර තිබෙන බව ප‍්‍රකාශ කලේ ය.

“වෘත්තීය සමිති මුලුමනින් ම ආන්ඩුවත් වතු පාලකයනුත් සමග පෙල ගැහිලා ඉන්නේ. අපේ උද්ඝෝෂනයෙදි බොහොමයක් කම්කරුවන් පැහැදිලි කලා වැටුප් කප්පාදුවට, වැඩ ඉලක්ක ඉහල දැමීමට සහ ඒවාට විරුද්ධ වූ කම්කරුවන් මර්දනය කිරීමට වෘත්තීය සමිති සහයෝගය දුන්නේ කොයි ආකාරයට ද කියල. වැටුප් වැඩි නොකිරීමට සහ වැඩ වේගවත් කිරීමට විරුද්ධව පැන නැගුන හැම අරගලයක් ම සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව්, ඩීඩබ්ලිව්සී, යූපීඑෆ් නායකයෝ පාවල දුන්න.”

වතු සමාගම්වල වැඩ වේගවත් කිරීමේ සැලසුමට විරුද්ධ වූ මස්කෙලිය, දික්ඔය සහ යටියන්තොට ප‍්‍රදේශ වල පැන නැගුන අරගලවල දී ඒවාට මූලිකත්වය ගත් සටන්කාමී කම්කරුවන්ට විරුද්ධව බොරු නඩු ඇටවීමේ දී සහ ඔවුන්ව මර්දනය කිරීමේදී වෘත්තීය සමිති නිහඬ ව ඊට සහයෝගය දුන් බව දේවරාජා කීවේය.

“අලුත් කොන්ත‍්‍රාත් ක‍්‍රමය කි‍්‍රයාවට දාන්න වතු සමාගම් කටයුතු කරමින් ඉන්නවා. සමිති නායකයන් සමාගම්වල මේ සැලැස්ම ගැන ලස්සන පින්තූරයක් මවා පාමින් කම්කරුවන්ට ඒක පිලිගන්න කියනව. මතුරට වතු සමාගම වගේ තැන්වල දැනටමත් ඒ ක‍්‍රමය කි‍්‍රයාවට දමලා. සමහර වතු වල එය කි‍්‍රයාවට දැමීමට උත්සාහ කිරීමේදී කම්කරුවන්ගේ විරුද්ධත්වය නිසා තාවකාලිකව නතර කරලා. කම්කරුවන් සමාගම් යෝජනා කරන කොන්ත‍්‍රාත් ක‍්‍රමය පිලිගත්තොත් අර්ථසාධක, සේවක භාරකාර අරමුදල ඇතුලු සමාජ සුබසාධන ඔවුන්ට අහිමි වෙන” බව දේවරාජා පෙන්වා දුන්නේය.

“වතු සමාගම් වලට මෙන් ම අරගල පාවාදෙමින් සමාගම්වල උපකරන ලෙස කි‍්‍රයා කරන වෘත්තීය සමිති වලට විරුද්ධව ද සටන් කල යුතු” බව දේවරාජා අවධාරනය කලේ ය.

ඩබ්ලිව්.ඒ. සුනිල් රැස්වීම අමතමින්

රැස්වීමේ අවසන් කතාව කලේ සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි. වතු කම්කරුවන්ගේ වැටුප් සහ සමාජ සුභසාධන කප්පාදුව ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය මුහුන දී තිබෙන බරපතල අර්බුදයේ ප‍්‍රතිපලයක් බව සුනිල් පැහැදිලි කලේ ය.

“ලෝක ධනවාදයේ වඩ වඩා ගැඹුරුවෙන අර්බුදය මැද ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුනදීලා තියෙන්නේ. එක අතකින් තේ නිපදවන කෙන්යාව, චීනය, බංගලාදේශය, වියට්නාමය ඇතුලු රටවල් සමග තරඟය උග‍්‍ර වෙලා. අනෙක් පැත්තෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රකෝපකරනයන් විසින් රුසියාව සහ යුක්රේනය අතර හා සිරියාව සහ ඉරාකය තුල අවුලුවා ඇති මිලිටරි ගැටුම් නිසා ලංකාවේ තේ අපනයනය පහත වැටීමෙන් වතු සමාගම් වල ලාභය පහත වැටිලා. සමාගම් මේ අලාභය පියවා ගන්න හදන්නේ වතු කම්කරුවන්ගේ වියදමෙන්. ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් සුබසාධන සඳහා කරන වියදම් කපලා.” යැයි ඔහු කීවේ ය..

වතු කම්කරුවන්ගේ වැටුප් කප්පාදුව සිද්ධ වෙන්නේ අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහලයාමත් සමග වැඩකරන ජනතාවගේ ජීවන වියදම පිම්මේ ඉහල යන කොන්ද්සි යටතේ බව සුනිල් පෙන්වා දුන්නේය.

ආදායම් බෙදීමේ නව කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් වතු කම්කරුවන් මත පටවන්න යන්නේ කඩා වැටෙන ලාබ රැක ගැනීමට බව ඔහු පැහැදිලි කලේ ය.

“වතු කම්කරුවන්ගේ රැකියා සහ ජීවන තත්වයන් ට එල්ල කරන ප‍්‍රහාරය ශී‍්‍ර ලංකාවේ සමස්ත කම්කරු පන්තියේ අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයේ කොටසක්. එය ගැඹුරුවෙන ලෝක ධනවාදී අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම පිනිස හැම රටකම ධනපති පාලක පන්තීන් කි‍්‍රයාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයේ කොටසක්” බව ඔහු පැවසුවේ ය.

මෛතී‍්‍රපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව වතු සමාගම් ඇතුලු මහ ව්‍යාපාරිකයන්ගේ උත්සුකයන් ආරාක්ෂා කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමන බව සුනිල් පෙන්වා දුන්නේ ය.

“වෘත්තීය සමිති කැප වී සිටින්නේ කම්කරු පන්තිය සිය අතීත අරගල මගින් දිනා ගත් සියලු අයිතීන් කප්පාදු කෙරෙන මෙම සමාජ ප‍්‍රතිවිප්ලවයේ පිලිවෙත් කි‍්‍රයාවට දැමීම පිනිස ධනපතියන්ට සහ ධනපති රාජ්‍යයට සහයෝගය දීමට. වෘත්තීය සමිති තව දුරටත් කම්කරුවන්ගේ සංවිධාන නො වෙයි. කම්කරු පන්තියේ අයිතීන් සඳහා සටන් කරන නව සංවිධාන කම්කරුවන්ට අවශ්‍යයි. කි‍්‍රයාකාරී කමිටු ගොඩ නැගිය යුතු යැයි සසප කරන අවධාරනයේ අර්ථය එයයි” සුනිල් කීවේ ය.

තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්නවලට වැඩකරන ජනතාව මුහුන දී සිටින බව ඔහු කීවේ ය. එක්සත් ජනපදයේ පිටුබලය සහිත දේශපාලන කුමන්ත‍්‍රනයකින් බලයට පත් වූ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව හරහා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් චීනයට විරුද්ධව කරන මිලිටරි වැටලීමේ සැලසුම් සමග ලංකාව වඩ වඩා පෙල ගැසෙමින් තිබෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

“ජාත්‍යන්තරව ම කම්කරු පන්තිය මුහුන දීලා ඉන්නේ තුන්වන ලෝක යුද්ධයක අන්තරායට. අධිරාජ්‍ය ගැති ධනපති දේශපාලන පක්ෂ, ව්‍යාජ වම්මු සහ වෘත්තීය සමිති වැඩකරන්නේ කම්කරු පන්තිය මේ විනාසයට කරබදු කරන්න. අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ පොදු අරගලයක් අවශ්‍යයි. නමුත් මේ ප‍්‍රතිගාමී සංවිධාන කම්කරු පන්තිය භේද කරමින් එවන් අරගලයක් ඇතිවීම වලක්වන්න දැනුවත්ව ම වැඩකරනවා.”

වතු වෘත්තීය සමිති සහ මා ඕවාදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වතු කම්කරුවන් සඳහා වෙන ම පාලන ප‍්‍රදේශයක් පිලිබඳ ඉල්ලීම සිංහල සහ දෙමල කතාකරන කම්කරුවන් බෙදීමේ ප‍්‍රතිගාමී ඉල්ලීමක් බව පෙන්වා දුන් සුනිල් එවැනි භේදකාරී ඉල්ලීම් වතු කම්කරුවන් එකහෙලා ප‍්‍රතික්ෂේප කලයුතු බව අවධාරනය කලේ ය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම සෑම රටකම කම්කරු පන්තිය ඉදිරියේ ඇති මූලික වගකීම බව පෙන්වා දුන් සුනිල් වතු කම්කරුවන්ගේ සහ සමස්තයක් ලෙස ශී‍්‍ර ලංකාවේ වැඩකරන ජනතාවගේ අයිතීන් දිනාගැනීම තහවුරු කල හැකිවන්නේ අධිරාජ්‍ය ගැති ධනපති පන්ති පාලනය පෙරලා දමා මහ වතු ඇතුලු ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන කම්කරු-ගොවි ආන්ඩුවක් මගින් පමනක් බව කීවේ ය.

යුද්ධයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිකුත් කර ඇති ප‍්‍රකාශය සැලකිල්ලෙන් අධ්‍යයනය කරන ලෙසත් සසප කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙසත් රැස්වීමට පැමින සිටි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ය.

Share this article: