මොරටු සරසවි වෘත්තීය සමිති නායකයා සසප සාමාජිකයාට තර්ජනය කරයි

දේහින් වසන්ත විසිනි, 2016 මාර්තු 08

වැඩි වැටුප් ඉල්ලා, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් පසුගිය පෙබරවාරි 18 දා පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට පෙර දින, මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මන්ඩල වෘත්තීය සමිති රැස්වීමක් ඇමතූ එම විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බල මන්ඩලයේ සභාපති කේ. එම්. සිරිසේන, වැටුප් සටනට දේශපාලනය ගෙන ඒමට ඉඩ නොදෙන බවට තර්ජනය කලේය.

වැටුප් වැඩිකර ගැනීමේ සටන “දේශපාලනයෙන් තොර” බවත්, පසුවදා සිදුකරන පිකට් කිරීමේදී “තමන් ලබාදෙන පිකට් පුවරු හැරුන විට වෙනත් කිසිම සටන් පාඨයක් සහිත පිකට් පුවරුවක් ප‍්‍රදර්ශනය කිරීමට ඉඩනොදෙන” බවත් සිරිසේන එහිදී පැවසීය. තම කාර්මික පොලිස්කාරකම එලිපිටම ප‍්‍රදර්ශනය කල සිරිසේන, තවදුරටත් කියා සිටියේ පත‍්‍රිකා බෙදීම “හොඳින් හෝ නරකින් වැලැක්වීමට” තමන් තීරනය කර ඇති නිසා කිසිවෙකු එවැනි උත්සාහයක් නොකලයුතු බවයි.

එම රැස්වීම නියෝජනය කල අනෙකුත් සියලු වෘත්තිය සමිති නිලධාරීහු නිහඬබව රකිමින් සිරිසේනගේ තර්ජනය අනුමත කලහ.

ඒකාබද්ධ බල මන්ඩලය යනු ලිපිකාර හා කාර්මික සේවා සංගමය, කාර්මික නිලධාරීන්ගේ සංගමය, ජාතික සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට අයත් අන්තර් විශ්ව විද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය වැනි වෘත්තීය සමිති ගනනාවක එකමුතුවකි.

සිරිසේන මෙම තර්ජනය කලේ, එම සරසවියේ සේවකයෙකු සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෙකු වන දේහින් වසන්ත එම රැස්වීම අමතමින්, අනධ්‍යන කම්කරුවන්ගේ සටනට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක අත්‍යවශ්‍යභාවය පැහැදිලි කිරීමෙන් පසුවය.

වසන්ත මෙසේ පැවසීය: “දශකයකටත් අධික කාලයක් පුරා ඇදී යන අනධ්‍යන සේවකයන්ගේ වැටුප් විෂමතා ප‍්‍රශ්නය ගලා එන්නේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ පිලිවෙත් තුලින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත සෑම ආන්ඩුවක්ම අනුගමනය කරන්නේ අධ්‍යාපනය ලාභ උපයන කර්මාන්තයක් බවට පත් කෙරෙන පිලිවෙතක්.

“උග‍්‍රවී ඇති ලෝක ධනේශ්වර අර්බුදය මධ්‍යයේ මෙම පිලිවෙත් වඩාත් වේගයෙන් කි‍්‍රයාවට දැමීමට පාලක පන්තීන්ට බල කෙරී පවතිනවා. මෙම තතු තුල වෘත්තීය සමිති නිලධරය විසින් මෙම අරගලය ආන්ඩුවලට බලපෑම් දැමීමේ බංකොලොත් කි‍්‍රයා මාර්ගය තුල දිගටම සිර කර තබාගෙන සිටිනවා. කම්කරුවන් දුර්මුඛ කොට ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට යටත් කිරීමේ මෙම ප‍්‍රතිගාමී කි‍්‍රයා මාර්ගයට එරෙහිව කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී, තමන්ගේම ස්වාධීන සංවිධාන, එනම් කි‍්‍රයාකාරී කමිටු පිහිටුවා ගත යුතුයි. ධනපති ආන්ඩුවලට එරෙහි දේශපාලන අරගලයක් සඳහා කම්කරුවන් මෙහෙයවා ගැනීමට එම සංවිධාන සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක කර ගත යුතුයි.”

සිරිසේන කුලප්පු වූයේ කම්කරුවන් මෙම වැඩපිලිවෙල මත පාදක වෙතැයි යන භීතියෙනි. සිරිසේනගේ තර්ජනයේ එල්ලය නිසැක වශයෙන්ම වසන්ත සහ ඔහු නියෝජනය කරන සසප යි. කම්කරුවන් අතර සසප වැඩකටයුතු වැලැක්වීම මෙම තර්ජනයේ කේන්ද්‍රීය අරමුනයි.

සිරිසේන ගේ මෙම තර්ජනාත්මක මැදිහත්වීම කම්කරුවන්ගේ මුලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් වන අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ලද බලවත් පහරකි. අනෙක් අතට, මෙම තර්ජනය එල්ල වී ඇත්තේ, අනධ්‍යන සේවකයන්ට හා ශිෂ්‍යයන්ට එරෙහිව මෙම වෘත්තීය සමිති පාලකයන් සමග සහයෝගිතාවයේ යෙදී සිටින තතු තුලයි.

නිලධරයේ අපසරනයන් තිබියදීම දිවයින පුරා සියලුම සරසවිවල අනධ්‍යන සේවකයන්ගෙන් බහුතරයක් මෙම විරෝධතාවට සහභාගිවූයේ තම ජීවන කොන්දේසි වලට එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ තම සූදානම ප‍්‍රකාශ කරමිනි.

කම්කරුවන්ට එරෙහිව පාලක පන්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් කි‍්‍ර‍්‍රයාත්මක වන මෙම සමිති නිලධරය, අරගලය නැවත වරක් පාවාදීමට කැසකවමින් කියා සිටින්නේ, තමන් සියයට හැටපහක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියත් ඉන් “සුලු ප‍්‍රමානයක් හෝ ලැබුනොත් ඇති” බවයි.

පසුගිය වසර තුන තුල ඔවුන් ගේ පොලිස්කාර වාර්තාව මෙසේය.

2010 දී ඉලෙක්ට්‍රොනික ඇඟිලි සටහන් යන්ත‍්‍රයක් මගින් පැමිනීම හා පිටවීම සටහන් කිරීම හඳුන්වාදුන් අවස්ථාවේ සේවකයන් එම යන්ත‍්‍රය ප‍්‍රතික්ෂේප කරමින් පැවැත්වූ පිකට් වැටේදී සමිති නිලධරය කම්කරුවන් අතට ලබා දුන්නේ වැටුප් ඉල්ලීම් පමනක් ඇතුලත් සටන් පාඨ පුවරු පමනි. ඇඟිලි සටහන් යන්ත‍්‍ර හඳුන්වා දීමට විරුද්ධ සටන් පාඨයක් ප‍්‍රදර්ශනය කල දේහින් වසන්තගේ පුවරුව උදුරා ගැනීමට ගමගේ නම් වෘත්තීය සමිති නිලධාරියා කිහිපවිටක්ම උත්සාහ දැරීය. සිරිසේන ද එයට අනුබල දුන්නේය. කම්කරු ශ‍්‍රමය වඩවඩාත් උකහා ගැනීමට හඳුන්වාදුන් මෙම යන්ත‍්‍ර පිලිගැනීම සඳහා සේවකයන් පොලඹවාගනු ලැබුවේ අලුත් ක‍්‍රමයේ වාසි ඇතැයි බේගල් ඇද බාමිනි.

අතිකාල වැඩ කිරීම වැලැක්වීමට නීතිරීති ගෙනෙනු ලැබීම ද ඇඟිලි සටහන් යන්ත‍්‍රයට සමගාමීව සිදුවුනි. 2011වසරේ අවසානයේ පැවති සමාරම්භක උත්සවය ඇමතු සිරිසේන, තම පාලක ගැති පිලිවෙත එලිපිටම ප‍්‍රදර්ශනය කරමින්, “යම් හිත රිදීමක් සිදුවුවානම් සමාවන ලෙස” උපකුලපතිගෙන් ඉල්ලා සිටියේය.

මින් අවුරුදු තුනකට පෙර සිදුවූ ශිෂ්‍ය ගැටුමක් දඩමීමා කර ගනිමින් විශ්වවිද්‍යාලය තුල සීසීටීවී කැමරා පද්ධතියක් හා පොලිසියක් ස්ථාපිත කලේ ආරක්ෂාව සඳහා අවශ්‍ය බව පවසමිනි. දැනටමත් එය ශිෂ්‍ය මර්දනය සඳහා ප‍්‍රයෝජනයට ගැනේ. අවශ්‍ය අවස්ථාවක සේවක මර්දනයට ද යොදා ගැනෙනු ඇත. මෙහිදීද සමිති නිලධරය නිශ්ශබ්දතාව රකිමින් එම රුදුරු පියවරයන් අනුමත කරන ලදී.

පසුගිය දිනවල ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර ගාස්තු දශ ගුනයකින් ඉහල දැමීමට උත්සාහ කරන විට එයට විරුද්ධ වියයුතුයැයි මෙම ලිපියේ ලේඛක වසන්ත කාර්මික නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමකදී යෝජනා කලවිට එය අනවශ්‍ය දෙයක් බව කියමින් මෙම සමිති නිලධාරීන් එය ඉවතලීය.

පසුගිය දිනවල මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනමට විරුද්ධව සිසුන් ගෙනගිය අරගලයේදීද මෙම සමිති, පාලකයන්ගේ එම රුදුරු මර්දන පියවර ඉවසා වදාරමින් නිහඬව සිටියහ.

මේ සියල්ලෙන්මත් පැහැදිලි වන්නේ, අනධ්‍යන සේවක වෘත්තීය සමිතිය ඇතුලු ශී‍්‍ර ලංකාවේ සහ ලොවපුරා සමස්ත වෘත්තීය සමිති නිලධරය, පාලක පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් කාර්මික පොලීසි ලෙස කි‍්‍රයාත්මක වන තතු තුල එම සමිති හරහා කම්කරුවන්ට කවර හෝ අයිතියක් ආරක්ෂා කරගත නො හැකි බවයි.

Share this article: