ජර්මනියේ ලයිප්සිග් හි “යුද්ධයේ හා ව්‍යාජ වාම දේශපාලනයේ අන්තරාය” පිලිබඳව පැවති රැස්වීමට සිය ගනනක් සහභාගී වෙති

Hundreds attend meetings in Leipzig, Germany on the danger of war and the politics of the pseudo-left

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 මාර්තු 22

මෙහ්රින් ෆර්ලැග් ප‍්‍රකාශකයන් විසින් ජර්මනියේ ලයිප්සිග් පොත් සල්පිලෙහිදී පසුගිය සිකුරාදා පැවත්වූ රැස්වීම් දෙකකට 500කට අධික පිරිසක් සහභාගී වුහ. ජර්මනියේ වර්තමාන දේශපාලන තත්වයට සමීපව සම්බන්ධ පොත් දෙකක් මෙහිදී එලිදක්වන ලදී. හවස් වරුවේ පැවති රැස්වීමකදී, ඬේවිඞ් නෝත් තම The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critique (ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පස්චාත් නුතන වාදය හා ව්‍යාජ වාම දේශපාලනය: මාක්ස්වාදී විචාරයක්) කෘතියේ ජර්මන් සංස්කරනය එලිදැක්වූ අතර, රාත‍්‍රියේ ලයිප්සිග් විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමකදී Wissenschaft oder Kriegspropaganda (ශාස්ත‍්‍ර වර්ධනයද? යුද ප‍්‍රචාරනයද?) යන කෘතිය සාකච්චාවට ගැනිනි.

ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පස්චාත් නුතන වාදය හා ව්‍යාජ වාම දේශපාලනය

මෙම සම්මන්ත‍්‍රනයේ ප‍්‍රථම රැස්වීමේදී පීටර් ස්වාර්ස්, නෝර්ත්ගේ මේ කෘතිය මාක්ස්වාදී න්‍යායික හා දේශපාලන විවේචන සම්ප‍්‍රදාය තුල පිහිටුවාලමින් “මෙම විවේචනයන්ගේ අන්තර්ගතය සැමවිටම ඒවා එල්ලවුනු පුද්ගලයන්ට වඩා වැදගත් විය” යයි සඳහන් කලේය. “ඉයුජින් ඩූරිං ගැන අද මතක ඇත්තේ අතලොස්සකට වුවත් එංගල්ස් විසින් මේ අප‍්‍රසිද්ධ විද්‍යාර්ථියා මාක්ස්වාදයට එරෙහිව කල ප‍්‍රහාරයට පිලිතුරුදෙමින් ලියූ Anti-Dühring (ඩූරිං විරෝධය) කෘතිය සමාජවාදී ව්‍යාපාරයේ අධ්‍යාපනය උදෙසා දැවැන්ත මෙහෙවරක් ඉටු කලේය.

ස්වාර්ස් තවදුරටත් පැවසුවේ, The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left (ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පස්චාත් නුතන වාදය හා ව්‍යාජ වාම දේශපාලනය) කෘතිය “පස්චාත් යුද කාල පරිච්චේදය තුල රැඩිකල් සුලුධනේශ්වර වම තුල ආධිපත්‍ය දැරූ, බොහෝ විට සාවද්‍ය ලෙස මාක්ස්වාදය යයි හඳුන්වා දෙන, සර්ව-අශුභවාදී, ගැඹුරින් ආත්මීය වූ හා අහේතුවාදී සංකල්පයන් සමග පොරබදන” බවයි. විවිධ ව්‍යාජ-වාම කන්ඩායම් - ජර්මනියේ වාම පක්ෂය, ග‍්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොදෙමොස් වැනි - කම්කරු පන්තිය අවමංගත කොට පාවාදෙන අයුරු මෙම පොතෙන් පැහැදිලි කරයි.

ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ රැස්වීමට සහභාගී වූ පිරිසෙන් කොටසක්

නෝර්ත් තම කතාව ඇරඹුවේ ඇමරිකානු මූලික චන්ද විමසීම් තුල ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නැගීම ගැන සඳහන් කරමිනි. ට‍්‍රම්ප් “ඇමරිකාව තුල පසුගාමී වන සියල්ල නියෝජනය කරයි” යනුවෙන් නෝර්ත් පැවසුවේ ඕල්ටනේටිව් ෆෝ ‍‍ජර්මනි (ජර්මනිය සඳහා විකල්පය) (AfD) යන කන්ඩායමේ නැගීමට එහි ඇති සමාන්තරය හුවා දක්වමිනි.

ට‍්‍රම්ප් ඇතුලු අනෙකුත් දක්ෂිනාංශික බලවේග වලට සමාජ වෛරය ගසා කෑමට හැකි වීමම ව්‍යාජ-වමෙහි හා වරප‍්‍රසාද ලත් මධ්‍යම පන්තියේ අනෙකුත් සංවිධාන වල ඇති දේශපාලන හා බුද්ධිමය බංකොලොත් බව හෙලිදරවු කරන බව නෝර්ත් ප‍්‍රකාශ කලේය.

නෝර්ත් තව දුරටත් ප‍්‍රකාශ කලේ ශ්‍රේෂ්ට මාක්ස්වාදීන් සැම විටම ඉදිරි දර්ශනය පිලිබඳ ප‍්‍රශ්න කෙරෙහි උත්සුක වූ බවයි. ඔවුහු වෛෂයික සමාජ වර්ධනයන් විශ්ලේෂනය කලේ කම්කරු පන්තිය බලය ලබාගැනීම සඳහා වූ අරගලයේ දෘෂ්ටි ආස්ථානයෙනි.

අද “වාම” යනුවෙන් හුවා දක්වන දෙයට මෙහි මොනම සම්බන්ධයක් වත් නැතැයි නෝර්ත් කියා සිටියේය. එයට දේශපාලනික මෙන්ම න්‍යායික ද හේතු පවතී. ව්‍යාජ වමෙහි මූලයෝ වියට්නාම් යුද්ධයට එරෙහි විරෝධතා සිදුවූ කාලය දක්වා දිව යයි. 1960 ගනන් වලදී පැනනැගුනු මෙම විරෝධතා වල ආධිපත්‍ය දැරුවේ රැඩිකලීකරනය වූ සුලුධනේශ්වර කොටස් මිස කම්කරු පන්තිය නොවේ. නොර්ත් පැහැදිලි කලේ “ඔවුන් අභාෂය ලැබුවේ හර්බට් මාකුස්, විල්හෙල්ම් රීක්, තියඩෝර් ඇඩෝර්නෝ, හා මැක්ස් හෝර්කයිමර් වැනි ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ඉහලම නියෝජිතයන්ගෙන්” බවයි.

1933 හිට්ලර්ගේ ජයග‍්‍රහනයෙන් පසු, හෝර්කයිමර් හා මාකුස් එලඹ ගත්තේ අන්ත අශුභවාදී නිගමනයන්ට ය. “ඔවුන් ජර්මන් අහේතුක වාදයෙන් අභාශය ලදහ. හයිඩෙගර්ගේ සාන්දෘෂ්ටිකවාදී ප‍්‍රපංචවේදය (existentialist phenomenology) හා මාක්ස්වාදය මුහුන් කිරීමට මාකුස් උත්සාහ දැරීය. මෙයින් පැනනැගී මාක්ස් වාදී දර්ශනය විකෘත කිරීම මධ්‍යම පන්තියේ කොටසක දේශපාලනය සඳහා පදනම දැමීය.”

නෝර්ත් තම දේශනය අවසන් කලේ සභාවට ඍජු ආයාචනයක් කරමිනි: “අප එලඹෙමින් සිටින්නේ ලෝක ඉතිහාසයේ බැරෑරුම් කාල පරිච්චේදයකටය. මෙය නැවතවරක් මහජනතාවන්ට ජීවිතය හා මරනය අතර ගැටලු වලට මුහුන දීමට සිදුවන කාලයක්ය. ෆැසිස්ට්වාදියෙක් එක්සත් ජනපදයේ ජනපති වීම යන්නෙහි අර්ථය මම ජර්මනියේ සභාවකට අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. බැරෑරුම් කාලයන් විසින් බැරෑරුම් චින්තකයන් ද ඉදිරියට ගෙන එනු ඇති බව මම විශ්වාස කරමි.”

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ගැටලු ධනවාදී සමාජයේ විවිධ රූපයන්ගෙන් ඇති අසාධාරනයට බැඳී ඇත. නමුත් මෙම ගැටලු විසඳිය හැක්කේ කම්කරු පන්තිය විසින් සමාජවාදය සඳහා කරන අරගලයක රාමුව තුල පමනි. අද යුගයේ මහා කර්තව්‍යය වන්නේ අව්‍යාජ කම්කරු පන්තික විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමයි.”

මෙම පොත “ජීවිතයත් මරනයත් අතර ගැටලු මගින් ක‍්‍රියාකාරී වන තරුන පරම්පරාවට, ඓතිහාසික භෞතිකවාදයත්, මාක්ස්වාදයේ ශ්‍රේෂ්ට පදනමත් කරා නැඹුරුවී, සුලුධනේශ්වර රැඩිකල් න්‍යායන්ගෙන් බිඳී යාමට දිරිමත් කරවනු” ඇතැයි නෝර්ත් විශ්වාස පල කලේය.

ඔහු තව දුරටත් කියා සිටියේ: “අප ඇමරිකාවේදී මුහුන දෙන ප‍්‍රශ්න ගෝලීය ප‍්‍රශ්න වේ. ජාතිකවාදයේ ඉතාම භයානක ආකාරයේ යලි පනගැන්වීමක් අප අත්දකිමින් සිටිමු. ජාතිකවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහිව අප වර්ධනය කරන්නේ ජාතියෙන්, ජාතිකත්වයෙන් හා වාර්ගික අනන්‍යතාවයන්ගෙන් සර්වප‍්‍රකාරයෙන්ම මිදුනු කම්කරු පන්තියේ හා සමස්ත මානව සංහතියේ ජාත්‍යන්තර එක්සත් බවයි.”

Scholarship or War Propaganda? (ශාස්ත‍්‍ර වර්ධනයද? යුද ප‍්‍රචාරනයද?)

ලයිප්සිග් විශ්ව විද්‍යාලයේ පැවති මෙම පොතේ එලිදැක්වීමට 400ක් පමන සහභාගී වූහ. මෙහිදී ශාස්ත‍්‍ර වර්ධනයද? යුද ප‍්‍රචාරනයද? කෘතියට අමතරව “ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පස්චාත් නුතන වාදය හා ව්‍යාජ වාම දේශපාලනය” කෘතියද සාකච්චාවට ගැනුණු අතර, ඒ පිලිබඳව කෘතියේ කතෘම කරුනු දැක්වීය. රැස්වීම අරඹමින්, ශාස්ත‍්‍ර වර්ධනයද? යුද ප‍්‍රචාරනයද? කෘතියේ සංස්කාරක ස්වාර්ස්, පොතෙහි දේශපාලන පසුබිම පිලිබඳව කථා කලේය.

ස්වාර්ස් පැවසුවේ, දෙවැනි ලෝක යුද්ධයෙන් වසර හැත්තෑවකට පසුව, කිසිවෙකුට තුන්වන ලෝක යුද්ධයක අන්තරාය ප‍්‍රතික්ෂේප කල නොහැකි බවයි, එය මානව සංහතියේම විනාශය ද වීමට ඉඩ ඇත. යුද්ධය පිලිබඳ වර්ධනය වන අන්තරාය, විශේෂයෙන්ම 2008 සිට වර්ධනය වන, ධනවාදයේ අර්බුදයේ ඍජු ප‍්‍රතිපලයකි.

“පාලක ප‍්‍රභුව හා සංස්ථාපිතයේ පක්ෂවල ඔවුන්ගේ නියෝජිතයෝ, ජන මාධ්‍ය හා විශ්ව විද්‍යාල, ධනවාදයේ අර්බුදයට ප‍්‍රතිචාර දක්වමින්, 1930 ගනන් වලදී කලාක් මෙන්, තියුනු ලෙස දකුනට හැරෙමින් සිටිති. රාජ්‍යය සන්නද්ධ කිරීම, අධිපතිවාදී පාලන විධි හා යුද්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීම හැර, ඔවුනට ඒ සඳහා කිසිදු තාර්කික විසඳුමක් නැත.”

1920 හා 1930 ගනන් වල මෙන්, විශ්ව විද්‍යාල මෙම වර්ධනයේ කේන්ද‍්‍රීය කාර්යභාරයක් ඉටු කරන්නේ යයි ස්වාර්ස් අවධාරනය කලේය. යුද්ධය මතවාදීමය වශයෙන් සුදානම් කෙරුනේ විශ්ව විද්‍යාලය තුලය. යුද්ධයට එරෙහි අරගලය, එනිසා ම, දේශපාලන පමනක් නොව න්‍යායික ද වූ ප‍්‍රශ්නයකි. ශාස්ත‍්‍ර වර්ධනයද? යුද ප‍්‍රචාරණයද? කෘතිය ලේඛනගත කරන්නේ, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය බර්ලින් හි හම්බෝල්ට් විශ්ව විද්‍යාලය තුල ජර්මානු මිලිටරිවාදයේ යලි පැමිනීමට එරෙහිව කල අරගලයයි.

දේශපාලන විද්‍යාඥ හ්ර්ෆී‍්‍රඞ් මුන්ක්ලර් පලමුවන ලෝක යුද්ධයට ජර්මනියට තිබු වගකීම නොතකා හරිමින්, ජර්මනිය නැවත යුරෝපයේ අධිපතියා හා කාර්ය නියාමකයා බවට පත්විය යුතු යයි පවසයි. ඔහුගේ මෙම ඓතිහාසික සංශෝධන වාදය ජර්මන් ආන්ඩුව 2014 ජනවාරියේ “ජර්මන් මිලිටරියේ බන්ධනය” අවසන් කරන බවට කල ප‍්‍රකාශය හා සමපාත විය. “යුකේ‍්‍රනයේදී මෙම නව විදෙස් පිලිවෙත ක‍්‍රියාවට දැමිනි” යයි ස්වාර්ස් ප‍්‍රකාශ කලේය.

නැගෙනහිර යුරෝපීය ඉතිහාසය අංශයේ (හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ) අංශාධිපති, ජෝග් බබෙරොව්ස්කි, නාසින්ගේ අපරාධ සාපේක්ෂකරනයකට ලක් කරයි. 2014 ජනවාරි මස, බබෙරොව්ස්කි ඩර් ස්පීගල් පුවත් පතට පැවසුවේ “හිට්ලර් උම්මත්තකයෙක් නොවේ, ඔහු දුෂ්ට නැත. ඔහුගේ මේසය මතදී කිසිවෙකු යුදෙව්වන් සමූලඝාතනය කිරීම ගැන කතා කරනවාට ඔහු අකමැති විය.” 1980 ගනන් වලදී ඉතිහාසඥ එර්නස්ට් නොල්ටේ මීට සමාන ආස්ථානයක් ඉදිරිපත් කල විට ඔහුට විද්‍යාර්ථින්ගෙන් එල්ල වූ දැඩි විවේචන වලට ඉඳුරාම වෙනස්ව, බබෙරොව්ස්කි ගේ මෙම ප‍්‍රකාශයන්ට සසජාතශි යෙන් හැරුනු කොට අන් කිසිඳු විරෝධයක් එල්ල නොවීය.

“මෙම පොතේ වැදගත් කම හම්බෝල්ට් විශ්ව විද්‍යාලයෙන් බෙහෙවින් ඔබ්බට දිව යයි,” ස්වාර්ස් සාරංශගත කලේය. “එය මෙම අත්දැකීමේ බුද්ධිමය ව්‍යාධිවේදය හුවා දක්වයි. ජර්මනිය සිටින්නේ දේශපාලනමය පමනක් නොව බුද්ධිමයද වූ අර්බුදයක් තුලය.”

කි‍්‍රස්ටෝෆ් වැන්ඩි‍්‍රයෙර්

කි‍්‍රස්ටෝෆ් වැන්ඩි‍්‍රයෙර් කල ප‍්‍රතිපදානය, බබෙරොව්ස්කිගේ කෘති හා ඔහුගේ අතාර්කික ඓතිහාසික න්‍යායන් තුලට ගියේය. හම්බෝල්ට් මහාචාර්යවරයා රුසියානු විප්ලවයේ ඉතිහාසය මුසාකරනය කරමින්, නාසින්ගේ අපරාධ සාපේක්ෂකරනය කරන අයුරු ඔහු පෙන්වා දුන්නේ “ඔහු (බබෙරෝව්ස්කි) ස්පීගල් වෙත කල ප‍්‍රකාශය නොදැන කල වරදක් නොව, බබෙරොව්ස්කිගේ කෘති පුරා දිවයන අන්ත ප‍්‍රතිගාමී තර්කනයට අනුගාමීය” යි පවසමිනි.

උදාහරනයක් ලෙස, බබෙරොව්ස්කි ඔක්තෝබර් විප්ලවය නොවැලක්විය හැකි ලෙස ස්ටැලින්වාදය දක්වා දිවගිය ම්ලේච්ච ප‍්‍රචන්ඩත්වයේ පුපුරා යාමක් ලෙස මුසාකරන කලේය. මේ ආකාරයෙන් ඔහු යෝජනා කරන්නේ, ජර්මනිය සෝවියට් සංගමයට එරෙහිව කල යුද්ධය නිවාරක ස්වභාවයක් ගත් බවයි. නාසින්ගේ ජන ඝාතක යුද්ධය බබෙරෝව්ස්කි හුවා දක්වන්නේ සෝවියට් සංගමය විසින් නැගෙනහිර පෙරමුනේ නිර්මානය කල ප‍්‍රචන්ඩත්වයේ ප‍්‍රතිපලයක් ලෙසයි. “ස්ටැලින් හා ඔහුගේ ජෙනරාල් වරුන් විසින් ජර්මන් හමුදාව (Wehrmacht ), තවදුරටත් සිවිල් ජනයා ආරක්ෂා නොකරන, පෙර නොවූ විරූ ආකාරයක යුද්ධයකට තල්ලු කර යැවීය.”

දැනුම පිලිබඳ අහේතුකවාදී න්‍යායක පදනම මත මිස ඉතිහාසය මේ අකාරයෙන් මුසාකරනය කිරීමට හැකියාවක් නැතැයි වැන්ඩි‍්‍රයෙර් පැහැදිලි කලේය. “ජර්මානු අධිරාජ්‍යවාදයේ අපරාධයන් සාපේක්ෂකරනය කිරීම සඳහා, බබෙරොව්ස්කිට ඉතිහාසය පිලිබඳ සියලු වෛෂයික සත්‍ය හා හේතුපල සම්බන්ධයන් ප‍්‍රතික්ෂේප කිරීමට සිදු වෙයි. මේ සඳහා ඔහු, මයිකල් ෆූකෝගේ පශ්චාත්නුතනවාදී න්‍යායන් හා මාර්ටින් හයිඩෙගර්ගේ අහේතුවාදී දර්ශනය, එම දෘෂ්ටීන්ගේ ද සීමාවටම ගෙනයමින් භාවිත කරයි.”

මෙම පදනම මත, බබෙරොව්ස්කි විසින් සමාජ අසමානතාව ආරක්ෂා කරමින්, ගසාකෑමට ලක්වූවන්ට හා පීඩිතයන්ට එරෙහි හිංසනය සාධාරනය කරන අන්ත ප‍්‍රතිගාමී ලෝක දෘෂ්ටියක් වර්ධනය කර ඇත. ඔහු මෑතදීම සරනාගතයන්ට එරෙහිව කල අපභාෂනය මෙම ප‍්‍රතිගාමීත්වයේම කොටසකි.

බබෙරෝව්ස්කි තනි උදාහරනයක් නොවේ. රුඩිගර් සෆ්රන්ස්කි, පීටර් ස්ලෝට‍්‍රජික් හා ලයිප්සිග් නීතිවේදී තෝමස් රෝෂර් වැනි දක්ෂිනාංශික බුද්ධිමතුන් ද මෙවැනිම අන්ත දක්ෂිනාංශික ආස්ථානයන් පල කර ඇත. “බබෙරොව්ස්කිගේ මෙන්, ඔවුන්ගේ ආස්ථානයන්ද බැඳී ඇත්තේ, අචල වුත්, අචින්තනීය වුත්, ලෝකයක් හා මනුෂ්‍ය සංහතියක් පිලිබඳ අදහසෙහි එල්බගත් අන්ත ගතානුගතික ලෝක දෘෂ්ටියකිනි. ඔවුන් කෙලිම බැඳී සිටින්නේ, නාසින්ට මතවාදීව මග හෙලිපෙහෙලි කර දුන්, වෙයිමර් සමුහාන්ඩුවේ අන්ත ගතානුකතික හා ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී කර්තෘන්ටය.”

මෙම දක්ෂිනාංශික බුද්ධිමය පහරදීම අවබෝධ කරගත හැක්කේ මිලිටරි වාදය හා යුද්ධය දෙසට කෙරෙන අතිමූලික ධාවනයට සම්බන්ධිතව පමනි. ගැඹුරුවන අසමානතාව හා අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වය පුපුරායාම හමුවේ, පැරනි වාම හා ලිබරල් විද්‍යාර්ථින් දකුනට තල්ලුවී ඇත. බබෙරොව්ස්කිට එරෙහිව සසජාතශි කල අරගලයේදී, ඔවුන්ට ශිෂ්‍යන්ගෙන් හා කම්කරුවන්ගේ ඉමහත් සහයෝගයක් ලැබුන ද, එකදු මහාචාර්යවරයෙක්වත් තම දක්ෂිනාංශික සගයාට විරෝධය දැක්වීමට ඉදිරිපත් නොවීම අවධාරනයට ලක්විය යුතු බව, වැන්ඩි‍්‍රයෙර් පැවැසුවේය. විශේෂයෙන්ම, වාම පක්ෂයේ සාමාජිකයෝ බබෙරෝව්ස්කිට සහයෝගය දුන්හ.

“විශ්වවිද්‍යාල තුල බබෙරොව්ස්කි වැන්නවුන්ට තම අනුහස පවත්වා ගෙන යාමට හැකි වී ඇත්තේ වාම යයි කියාගන්න විද්‍යාර්ථින් විසින් ඓතිහාසික සත්‍ය හා සමාජ ප‍්‍රශ්න සම්බධයෙන් වූ සියලු දේ අත්හැර දමා ඇති බැවිනි” යනුවෙන් වැන්ඩි‍්‍රයෙර් සාරාංශගත කලේය. “ඔවුහු සාපේක්ෂවාදී හා අහේතුවාදී න්‍යායන් තුලින් දක්ෂිනාංශයට පදනම දමති. බබෙරොව්ස්කි මෙයට හොඳම උදාහරනයයි.”

කථිකයන්ගේ ප‍්‍රතිපදානයන්ට සභාවෙන් ඉතා උනන්දු ප‍්‍රතිචාර ලැබිනි. ඇමරිකාවේ දේශපාලන තත්වය, ට‍්‍රම්ප්ගේ නැගීම හා බර්නි සෑන්ඩර්ස් ගේ අපේක්ෂකත්වය පිලිබඳව ප‍්‍රශ්න රාශියක් යොමු විය. බොහෝ ප‍්‍රශ්නවලින් ට‍්‍රම්ප් හා අන්ත දක්ෂිනාංශික ඔල්ටර්නේටිව් ෆෝ ජර්මනි (ඒඑෆ්ඩී) (ජර්මන්නිය සඳහා විකල්පය) පක්ෂයේ මැතිවරන සාර්ථකත්වය අතර ඇති සමනන්තරය තත්භව විය.

නෝර්ත් කියා සිටියේ ට‍්‍රම්ප්ගේ නැගීම කම්කරු පන්තියේ සමාජ ප‍්‍රතිරෝධයට එරෙහිව පාලක පන්තියෙන් ගත් වලක්වා ගැනීමේ පියවරක් ලෙස, කම්කරුවන් අවබෝධ කරගත යුතු බවයි. “ට‍්‍රම්ප් යනු කතිපයාධිකාරිත්වයට බලය සඳහා ඇති අභිලාෂයේ ප‍්‍රකාශනයක් බව” ඔහු ප‍්‍රකාශ කලේය.

ස්වාර්ස් ඔහුගේ හැඳින්වීමේදී ජර්මනිය තුල ඔල්ටර්නේටිව් ෆෝ ජර්මනි (ඒඑෆ්ඩී) හි නැගීම හා එයට ට‍්‍රම්ප් සංසිද්ධියේ ඇති සමාන කම ගැන කතා කලේය. “ඒඑෆ්ඩී හි, සමහරුන් නිරන්තරයෙන්ම හුවා දක්වන ආකාරෙයෙන්, පුලුල් සමාජ ස්ථරයන්ගේ දක්ෂිනාංශික චලනයක ප‍්‍රතිපලයක් නොවේ, එය ඉහලින් ගෙන එන වැඩසටහනකි” යයි ඔහු ප‍්‍රකාශ කලේය.

ඒඑෆ්ඩී සමස්ත දේශපාලන සංස්ථාපිතයේ දකුනට හැරීමේ ප‍්‍රතිපලයකි. වාම පක්ෂය (ජර්මානු), දක්ෂිනාංශයේ නැගීමට විශේෂයෙන්ම වගකිව යුතුය. “එය වාම වචන මාලාවක් දක්ෂිනාංශික දේශපාලනය සමග මුසු කරයි, එමගින් ඒඑෆ්ඩී වැනි දක්ෂිනාංශික පක්ෂ වලට සමාජ අසන්තෘප්තිය ගසාකෑමට හැකි වන සේ අපේක්ෂාභංගත්වයත් කලකිරීමත් ඇති කරයි.

සභාවේ සිටි සමහරුන්, වාම පක්ෂය ආරක්ෂා කිරීමට තැත් කරමින්, කම්කරුවන්ගේ මනෝගතිය, නැතහොත් “සමාජ අවිඥානිකභාවය” දක්ෂිනාංශයේ නැගීමට වගකිවයුතු බව පැවසුහ. මෙයට පිලිතුරු දෙමින් වැන්ඩි‍්‍රයෙර් කියා සිටියේ, හම්බෝල්ට් හා ලයිප්සිග් විශ්ව විද්‍යාල වල සසජාතශි උද්ඝෝෂන වලින් හා මෙම රැස්වීමටමත් මෙතරම් සෙනගක් පැමින සිටීමෙන්ම, යුද්ධයට හා සමාජ ප‍්‍රතිගාමිත්වයට එරෙහිව ප‍්‍රභල ප‍්‍රතිරෝධයක් ඇති බව පෙන්වා දෙන බවයි.

කම්කරු පන්තිය ධනේශ්වර හැඟීම් වලට වගකිවයුතු කරවන ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය බඳු න්‍යායන්, ස්වාධීන කම්කරු පන්තික ව්‍යාපාරයක් වර්ධනය වීමේදී විසඳා ගතයුතු දේශපාලන ප‍්‍රශ්න වලින් ඔවුන් ඉවතට හරවයි. ජර්මනිය තුල අද මෙය වඩාත්ම ඉහලින් ගම්‍ය කරවන්නේ වාම පක්ෂයේ කාර්යභාරය වටහා ගැනීමයි.

රැස්වීමට සහභාගී වූ කම්කරුවන් හා ශිෂ්‍යයින්ගෙන් විශාල පිරිසක් ඔවුන්ගේ ඇමතුම් දත්ත ලබා දුන් අතර, රැස්වීමෙන් පසුව ද බොහෝ වේලා රැඳෙමින් සාකච්චා වල නිරත වුහ.

Share this article: