ඔබාමාගේ ලතින් ඇමරිකාව වෙත හැරීම- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ඔබාමාගේ ලතින් ඇමරිකාව වෙත හැරීම

Obama’s pivot to Latin America

2016 මාර්තු 26

“තමන්ගේ ම අඳුරු අතීතය පිලිබඳ සිත් පාරවන යථාර්තය හමුවේ සමාජයකට, ඊට මුහුන දීම සඳහා ධෛර්යය අවශ්‍ය යි. තම සියලු පුරවැසියන්ගේ අයිතීන්වලට ගරු කරන රටක සාමකාමී හා සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම සඳහා ඉදිරියට යාමේදී... අපගේ ම නායකයන්ම සිදු කරන ලද අපරාධ සමග ගනුදෙනු බේරාගැනීමත් අවශ්‍ය යි.”

ඉහතින් දැක්වෙනුයේ, එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ, ජෙනරල් ජෝර්ජ් විඩෙලාගේ මිනීමරු ආඥාදායකත්වය බලයට ගෙන ආ මිලිටරි කුමන්ත‍්‍රනයේ 40වන සංවත්සරය යෙදුනු මාර්තු 24 දා, බුවනෝස් අයර්ස්හි පැවති උත්සවයක දී ආර්ජන්ටිනාවේ නව දක්ෂිනාංශික ජනාධිපති මොරිෂියෝ මැක්රි උත්කර්ෂයට නංවමින් කතා කල ජනාධිපති බැරැක් ඔබාමාගේ වචන ය.

ආර්ජන්ටිනාවේ හා ලතින් ඇමරිකාවේ අනිකුත් තැන්වල එක්සත් ජනපදය සිදු කල අපරාධ ගැන ද ඔබාමාට කතා කල හැකි ව තිබුනි. එහෙත් වොෂින්ටනයේ අපරාධ වසං කිරීමේ අරමුන ඇතිව සිදු කල ඔබාමාගේ කතාවේ ඉතිරි කොටස්, ඔහුගේ පිලිවෙත්වල අරමුන, සාමය, සමෘද්ධිය හා මූලික අයිතීන් මත පදනම් වන සමාජයක් ගොඩනැගීම නොව, බඩජාරී ධනේශ්වර කතිපයාධිකාරයක ධනය හා බලය රැකගැනීම බව පෙන්වා දෙයි.

ආර්ජන්ටිනා ජුන්ටාවේ පාලන කාලය තුල, ඝාතනයට ලක් වූ හා “අතුරුදහන් වුනු” කම්කරුවන්, ශිෂ්‍යයන් හා වාමාංශිකයන් 30,000 සිහිකිරීමට බුවනෝස් අයර්ස්හි සංවත්සර උද්‍යානයට කල කෙටි සංචාරයේ දී ඔබාමා ආරක්ෂක ඒජන්තයින් විසින් වට කරගෙන, ස්නයිපර් තුවක්කු කරුවන් හා හෙලිකොප්ටර් යානා මගින් නිරීක්ෂනය කෙරුන නමුත් මෙම දිනය සිහිපත් කිරීමට වීදි බට සිය දහස් ගනනක් වූ ආර්ජන්ටිනා කම්කරුවන් හා තරුනයන්ගෙන් ඈත්ව සිටීමට වග බලා ගත්තේය. අතීත ජුන්ටාවේ පිලිවෙත් ඉදිරියට ගෙන යන ජනාධිපති මැක්රි, ඔබාමාට අත්වැල් ඇල්ලුවේය.

ආර්ජන්ටිනාවේ ලේවැකි සිද්ධීන් සම්බන්ධයෙන් වොෂින්ටනයේ ම භූමිකාව ගැන සලකන කල, මුහුන දිය යුතු යයි ඔබාමා තෝරාගත් “සිත් පාරවන යථාර්තය” හා “අඳුරු...අතීතය” කුමක් වී ද? “අප ගරු කරන පරමාදර්ශයන් වෙනුවෙන් පෙනී සිටීමට හා මානව හිමිකම් වෙනුවෙන් කතා කිරීමට එක්සත් ජනපද නිලධාරීන් අසමත් වූ බවත් අදි මදි කල බවත්” ඔහු පැවසීය.

ඇමරිකානු ජනාධිපතිවරයෙකුට මීටත් වඩා බඩජාරී හා ප්‍රෝඩාකාරී වචන කිවහැකි යයි සිතීම පවා දුෂ්කර ය.

1970 ගනන්වල ආර්ජන්ටිනාවේ “මානව හිමිකම් වෙනුවෙන් කතා කිරීමේ දී” වොෂින්ටනය “නොසැලකිලිමත්” වී නම් එයට හේතුව, එහි දේශපාලන, මිලිටරි හා ආරක්ෂක නිලධාරීන් 1976 කුමන්ත‍්‍රනය හා ඉන් පසුව සිදු වුනු දේශපාලන ජනසංහාරයකට සමාන වූ ම්ලේච්ඡ මර්දනය යන දෙක ම සූදානම් කරමින්, හසුරුවමින් හා ඒවාට සහයෝගය දුන් නිසා ය.

එරට කුමන්ත‍්‍රනය සමයේ ම සිදු කල බ‍්‍රසීල, උරුගුවේ හා චිලීහි මිලිටරි කුමන්ත‍්‍රනවලට ද නායකත්වය දුන් එවැනිම ජෙනරාල්වරුන් ද ආර්ජන්ටිනා මිලිටරි ජුන්ටාවේ ජෙනරාල්වරුන් මෙන් ම, පුහුනු කරනු ලැබුවේ ද පැනමාහි පිහිටි එක්සත් ජනපද මිලිටරියට අයත් ඇමරිකා මිලිටරි කොලීජියේ ය. සීඅයිඒ මධ්‍යස්ථාන මගින් වඩා විශාල එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් තුල ඔවුන් පුහුනු කොට උපදෙස් සපයනු ලැබුනි. මහජන මර්දන කලාව සහ ආර්ජන්ටිනා ජාතිකයන් 100,000කට වැඩි දෙනෙකු ගොදුරු කරගත් වධ බන්ධන ක‍්‍රම සම්බන්ධ ව පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය ඔවුන්ට සෘජු පුහුනුව ලබා දුනි.

මහජන මර්දනය පිලිබඳ ව මනා පුහුනුවක් ලත් එක්සත් ජනපද ආන්ඩුවේ ඉහල ම නිලධාරීහු එය අනුමත කලහ. විඩෙලා බලය ඩැහැගැනීමට යන්තම් දින දෙකකට පෙර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් හා ලතින් ඇමරිකානු කලාපීය ඔහුගේ සහකාර ලේකම් විලියම් රොජර්ස් අතර හුවමාරු වූ දේ හෙලි කෙරෙන රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් පවතී. “වැඩිකල් යාමට පෙර ආර්ජන්ටිනාව තුල මහා ලේ හැලීමක්” බලාපොරොත්තු වන ලෙස රොජර්ස්, කිසින්ජර්ට කීවේ ය. බලයට එන ජුන්ටාව “හුදෙක් ත‍්‍රස්තවාදීන් පමනක් නො ව වෘත්තීය සමිති හා ඔවුන්ගේ පක්ෂවල සිටින විසංමතිකයන් මත ද කඩා පනිනු ඇතැ” යි ඔහු කීවේ ය. පිලිතුරු වසයෙන් ආඥාදායකත්වයට පූර්න එක්සත් ජනපද පිටුබලය දෙන ලෙස කිසින්ජර් නියම කලේ ය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව, සීඅයිඒ සංවිධානය හා මිලිටරිය පමනක් නො ව ආර්ජන්ටිනාව තුල ක‍්‍රියාත්මක එක්සත් ජනපද සංගත ද කුමන්ත‍්‍රනයට හා ඉන් පසුව සිදු වූ රුධිර ස්නානයට පිටුබලය දුන්හ. ආරක්ෂක හමුදාවන් විසින් ඝාතනය කල යුතු සටන්කාමී කම්කරුවන් පෙන්වා දුන් ෆෝඩ් මෝටර්ස් වැනි සමාගම්, තමන්ගේ කම්හල් ඇතුලත රහස් රැඳවුම් හා වධබන්ධන මධ්‍යස්ථාන තැනීමට ජුන්ටාවේ රහස් පොලීසියට ඉඩ ලබා දුනි.

වොෂින්ටනයේ නව “මානව හිමිකම්” තන්ත‍්‍රය සමග කිසිදු සබඳතාවක් නැති, පුරාතන ඉතිහාසය ලෙස ඔබාමා නිසැකව ම මෙම සිද්ධීන් නො තකා හරිනු ඇත. බුවනෝස් අයර්ස්හි පැවති මාධ්‍ය හමුවක දී මිලිටරි ආඥාදායකත්වයට පිටුබලය දීමේ එක්සත් ජනපද භූමිකාව ගැන ප‍්‍රශ්න කල විට, “පසුගිය අවුරුදු සියය තුල ලතින් ඇමරිකාවේ සෑම එක්සත් ජනපද ක‍්‍රියාවක් ම” සාකච්ඡා කිරීමට තමන් උනන්දු නැති බව ඔහු කීවේ ය.

ඈත අතීතය ගැන සාකච්ඡා කරනු වෙනුවට, ආරම්භයක් ලෙස තමන්ගේ ම පරිපාලනයේ අපරාධ ගැන ඔබාමාට කතා කල හැකි ව තිබුනි. 2009 දී, හොන්ඩුරාස්හි ඡන්දයෙන් බලයට පත් ජනාධිපති මැනුවල් සෙලායා බලයෙන් පහකල කුමන්ත‍්‍රනයකට පිටුබලය දුන් ඔබාමා පරිපාලනය, විරුද්ධවාදීන් ක‍්‍රමානුකූල ලෙස ඝාතනය කිරීමට පියවර ගත් ආන්ඩුවක් බලයට ගෙන ආවේ ය. මැද පෙරදිග කලාපය තුල එක්සත් ජනපද පිලිවෙතේ මූලික ආධාරකරුවන් හා ඇමරිකාවේ මිලිටරි දෘඩාංග මිලට ගන්නා ප‍්‍රමුඛයන් වන ඊජිප්තු හා සවුදි අරාබියානු තන්ත‍්‍රයන් ගැන කීමට ඇත්තේ කුමක් ද? ජෙනරාල් සිසිගේ ඊජිප්තු තන්ත‍්‍රය, වසර 40කට පෙර ලතින් ඇමරිකානු ආඥාදායකත්වයන් සමග කරට කර හිටින ආකාරයේ, මහා පරිමාන අත්අඩංගුවට ගැනීම්, වධබන්ධන හා ඝාතන කර ඇති අතර සවුදි රාජාන්ඩුව සිය විවේචකයන්ගේ හිස් ගසා මරාදමයි.

කොයි හැටි වෙතත් ඔබාමාගේ ලතින් ඇමරිකානු සංචාරයේ කේන්ද්රීය අරමුන වූයේ “මානව හිමිකම්” වගවර්නනා කිරීම නො ව, පසුගිය දෙසැම්බරයේ ආර්ජන්ටිනාවේ ජනාධිපති තනතුරට පත් ප‍්‍රකෝටිපති ව්‍යාපාරික මැක්රිගේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත‍්‍රයට සහාය දීම යි.

භාන්ඩ, අමුද්‍රව්‍ය හා නැගී එන වෙලඳපොල උත්පාතයේ වැටීම මගින්, කලින් “වමට හැරීම” ලෙස විස්තර කල ආන්ඩු එකක් පසු පස අනෙක වශයෙන් ගැඹුරු අර්බුදයකට හෙලා ඇති තතු යටතේ, ලතින් ඇමරිකාව තුල “දකුනට හැරීමක්” ආරම්භ කරන මැක්රිගේ නැගීම මත, වොෂින්ටනය විශ්වාසය රඳවා සිටී. දකුනු ඇමරිකාවේ ප‍්‍රමුඛ වෙලඳ හවුල්කරුවා ලෙස එක්සත් ජනපදය අභිබවා ගොස් සිටින චීනය සමග වඩ වඩා කලහකාරී ස්වරූපයක් ගන්නා තම ගැටුම උත්සන්න කිරීම පිනිස එම අර්බුදයන් ගසාකෑමට එක්සත් ජනපදය අධිෂ්ඨානවත් ව සිටී.

එක්සත් ජනපද ජනාධිපතිවරයා කියුබාවට හා ආර්ජන්ටිනාවට කල සංචාරය, පෙන්ටගන මූලෝපායඥයන් “ලතින් ඇමරිකාවට හැරීම” ලෙස විස්තර කොට තිබෙන දෙයෙහි දේශපාලන ප‍්‍රකාශනයකි. එහි ඉලක්කය වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වොෂින්ටනය “තමන්ගේ පිලිකන්න” ලෙස සලකන කලාපය තුල, සිය ප‍්‍රධාන ගෝලීය තරඟකරුවා මූලෝපායික වාසියක් අත්පත් කරගැනීමෙන් වැලැක්වීම යි.

“පොරොන්දු වූ ප‍්‍රතිසංස්කරනවලින් බොහොමයක් ක්ෂනික ව ඉටු කිරීමට” ක‍්‍රියා කොට තිබීම ගැන ඔබාමා මැක්රිට ප‍්‍රශංසා කලේ ය. එක්සත් ජනපද ජනාධිපතිවරයා එතරම් මැ ආකර්ෂනය වන “ප‍්‍රතිසංස්කරන” මොනවා ද?

රාජ්‍ය අංශය තුල අවම වසයෙන් රැකියා 50,000ක් ද පුද්ගලික අංශය තුල රැකියා 75,000ක් ද විනාශ කරන මහා පරිමාන දොට්ට දැමීම් මැක්රි විසින් මෙහෙයවා ඇත. ආජන්ටිනාවේ මුදල මත පවත්වාගෙන ගිය පාලනය ඉවත් කිරීමට මැක්රි ගෙන ඇති පියවර, පෙසෝ මුදල සියයට 30කින් අවප‍්‍රමානය වීමටත් ආර්ජන්ටිනා කම්කරුවන්ගේ මූර්ත වැටුප් දැඩි ලෙස කපා දැමීමටත් හේතු වී තිබේ.

අධ්‍යාපන හා සෞඛ්‍යය යන ක්ෂේත‍්‍රවල යෝධ කප්පාදු ක‍්‍රියාත්මක කිරීම අරඹා ඇති මැක්රි විසින් විදුලිබල සහනාධාර ඉවත් කිරීම සියයට 300කින් මිල ඉහල යාමට තුඩු දී තිබේ.

දේශපාලන දක්ෂිනාංශයේ මූලික කොට්ඨාශයක් වන ආර්ජන්ටිනාවේ මහා ඉඩම් හිමියන්ට බලපාන බදු කපා හැර ඇති මැක්රි වෝල් වීදියේ “ගසාකන” ආරක්ෂක අරමුදල් (hedge funds) සමග ඩොලර් කෝටි ගනන්වල ගනුදෙනුවලට යොමු වී ඇත. එම අරමුදල්, පැහැර හරින ලද ආර්ජන්ටිනා නය මෙන් 10-15 ගුනයක්, තමන්ගේ මූලික ආයෝජන සඳහා පෙරලා ලබාගන්නවා ඇත.

ලතින් ඇමරිකාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික කක්ෂය වෙතට ගන්නා තියුනු හැරීමක් සමග මැක්රි අනුගමනය කරමින් සිටින්නේ, ආර්ජන්ටිනාවේ කම්කරුවන්ගේ සිට එරටේ හා එක්සත් ජනපදයේ පාලක කතිපයාධිකාරයන් වෙත දැවැන්ත ලෙස ධනය මාරු කිරීමේ පිලිවෙතකි. පුලුල් වපසරියකින් සලකන කල, විඩෙලා ආඥාදායකත්වය මහජන ඝාතන හා වධබන්ධනවල උදවුවෙන් අනුගමනය කලේ ද මෙම ආර්ථික න්‍යාය පත‍්‍රය ම ය. පෙරොන්වාදීන්ගේ හා සංගතවාදී වෘත්තීය සමිති නිලධරයේ කොටසක පිටුබලය කෙරෙහි විශ්වාසය තබා සිටින අතර ම තම දක්ෂිනාංශක පිලිවෙත පැටවීම සඳහා හදිසි නියෝග මාලාවක් ම උපයෝගී කරගැනීමට මැක්රි පියවර ගෙන ඇත.

ජීවන තත්ත්වයන් මත මැක්රි එල්ල කරන ප‍්‍රහාර ආර්ජන්ටිනා කම්කරුවන්ගේ මහජන පෙරලිකාරීත්වයක් අවුලුවාලන්නේ නම්, ආර්ජන්ටිනා ආන්ඩුව පැරනි මර්දන ක‍්‍රම පුනරුත්ථාපනය කරනු ඇති අතර බැරැක් ඔබාමා මානව හිමිකම් සම්බන්ධයෙන් තමන්ට පවතින්නේ යයි කියන ප‍්‍රයෝගකාරී තැකීම වහ වහා අත්හැර දමනු ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: