ඩේවිඩ් නෝර්ත් <em>රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස</em> ග්‍රන්ථයේ සිංහල සංස්කරනය එලිදැක්වීමේ ශ්‍රී ලංකා සසප රැස්වීම අමතයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ඩේවිඩ් නෝර්ත් රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග්‍රන්ථයේ සිංහල සංස්කරනය එලිදැක්වීමේ ශ්‍රී ලංකා සසප රැස්වීම අමතයි

David North addresses Sri Lankan SEP launch of Sinhala edition of The Russian Revolution and the Unfinished Twentieth Century

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 මාර්තු 22

පහත පල වන්නේ, මාර්තු 15 දා කොලඹ දී පැවති සසප ප්‍රසිද්ධ රැස්වීමට ඩේවිඩ් නෝර්ත් විසින් අන්තර්ජාලය හරහා සජීවී ලෙස ඉදිරිපත් කරන ලද සුභපැතුම් පනිවිඩයයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති මෙන්ම එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ද වන නෝර්ත් රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග්‍රන්ථයේ කතුවරයාය.

ප්‍රිය සහෝදරවරුනි, මිත්‍රවරුනි,

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග්‍රන්ථයේ සිංහල සංස්කරනය එලිදැක්වීමේ මෙම අවස්ථාවට, සැලකිය යුතු දුරක සිට වුවත්, මම සහභාගි වන්නේ ඉමහත් සන්තුෂ්ටියකිනි.

මාගේ පොත පරිවර්තනය කිරීම මගින් මා අතිමහත් ගෞරවයකට ලක් වීම පිලිබඳ මාගේ පැසසුම ප්‍රකාශ කිරීමට මට වචන නොමැත. ඒ, මෙම සිංහල සංස්කරනය ගෙන ඒමට අවශ්‍ය කෙරුනු ඉමහත් බුද්ධිමය ප්‍රයත්නය, තාක්ෂනික වැඩකටයුතු හා මූල්‍යමය පිරිවැය ගැන මා දනී යන කරුන නිසා පමනක් නොවේ. මෙම පොත එලිදැක්වීම එතරම් ම වැදගත්කමක් අත්පත් කර ගන්නේ, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස පල කරන මෙම පක්ෂයේ දේශපාලන ඉතිහාසය නිසාය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය තුල අතිමහත් දේශපාලන අත්දැකීම් සම්භාරයක් දේහානුරූපව ඇත. එම පක්ෂය සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, නියෝජනය කරන්නේ, ලියොන් ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තර පිහිටුවීම පාදක කලා වූ විප්ලවවාදී මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කිරීමේ අඩ සියවසකට ආසන්න අරගලයකි. ඉමහත් දේශපාලන අසීරුතාවන්ට මුහුන දෙමින් -- එනම්, ධනපති රාජ්‍යයේ මර්දනයට, ස්ටැලින්වාදීන්ගේ ක්ෂමා විරහිත හා සාපරාධී වෛරයට, ලංකා සමසමාජ පක්ෂයේ අවස්ථාවාදී ද්‍රෝහිත්වයට සහ විසිපස් වසරකට ආසන්න සිවිල් යුද්ධයේ භයංකරත්වයට මුහුන දෙමින් -- ශ්‍රී ලංකාවේ සසප සිය මූලධර්මවලට දිගටම කැපවී ගෙන, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ධජය දරාගෙන සමාජවාදී විප්ලවයේ මාවතට ධෛර්යසම්පන්නව හා නොසැලී කැප වී ගෙන තිබේ.

මාගේ පොතට ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ වැඩකටයුතුවල අඛන්ඩතාවයට හා වර්ධනයට ප්‍රතිපදානයක් කල හැකි බව දැනගැනීම අතිශය සතුටට කාරනාවකි.

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග්‍රන්ථයේ මූලික තර්කය නම්, පසුගිය සියවසේ දැවැන්ත ඓතිහාසික ගැටලු තවමත් නොවිසඳී පවතින බවයි. පලමු වන ලෝක යුද්ධය පුපුරායාම ද ඉන් අනතුරුව බෝල්ශෙවික් පක්ෂය විසින් දේශපාලන බලය අත්පත් කරගැනීම ද සමග 1914-17 කාලය තුල විවෘත වූ ඓතිහාසික යුගය අවසන් වී නොමැත. අප තවමත් ජීවත් වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ හා සමාජවාදී විප්ලවයන්ගේ යුගය තුලයි. 2014 මැද දී, එනම් මීට වසර දෙකකට අඩු කලකට පෙර, මාගේ ග්‍රන්ථයේ ඉංග්‍රීසි සංස්කරනය පල වූ කල, මෙම තීසිසය මතභේදයට තුඩු දෙන හා විවාදාත්මක එකක් ලෙස පෙනුනා විය හැකිය.

1991 සෝවියට් සංගමය බිඳ විසිරීම මගින් “කෙටි විසිවෙනි සියවස” අවසනායකට ගෙනවිත් තිබුනු බවට, දැන් මිය ගොස් සිටින ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම්, මහත් පිලිගැනීමක් ද සහිතව ප්‍රකාශ කොට තිබුනා නේද? 1917 බොල්ශෙවික්වරු විසින් බලය අත්පත් කරගැනීම නොවැලැක්විය හැකි ලෙසම අසාර්ථකත්වයට නියමිත දැවැන්ත වරදක් බවත් සමාජවාදී විප්ලවයේ යුගය සදහටම අවසන්ව තිබුනු බවත්, ලොව පුරා සිටින උජාරු සහගත ලිබරලුන්ට සහ නරුම අවස්ථාවාදීන්ට මහත් සන්තුෂ්ටියක් ගෙනදෙමින් ඔහු තහවුරු කලා නේද? 'කෙටි විසිවෙනි සියවසෙන්' උකහා ගත යුතු එකම පාඩම නම් ධනවාදය අනභිභවනීය බවත් එය “නිමක් නැතිව දීර්ඝ විසිඑක් වෙනි සියවස” මුලුල්ලේ පවතිනු ඇති බවත් හොබ්ස්බෝම් ඔප්පු කොට තිබුනා නේද?

නමුත් හොබ්ස්බෝම්ගේ දිරිසුන් සංකල්ප තවමත් පිලිගන්නේ කවුද? විශේෂිතව “කෙටි” දෙය ලෙස දැන් ඔප්පු වී ඇත්තේ විසිවෙනි සියවසේ කාල පාරසය නොව, හොබ්ස්බෝම්ගේ දැක්මේ සීමාවයි.

අද අප රැස්ව සිටින්නේ, පෙර නොවූ විරූ පරිමාවක අර්බුදයක් මධ්‍යයේය. ගෝලීය ධනවාදී පද්ධතිය, ආර්ථික හා දේශපාලන අර්බුදයන්ගේ සමුච්චිත පීඩනය යටතේ බිඳ වැටෙමින් පවතී. 1991 දී එතරම් පුලුල් ලෙස පෙරදකින ලද ධනවාදයේ විජයග්‍රාහී ඉදිරි ගමන සිද්ධ වුනේ නැත. සත්තකින්ම, පද්ධතිය අපාලිත ලෙස අගාධය දෙසට වේගයෙන් ගමන් කරමින් සිටි.

හෙරොයින්වලට ඇබ්බැහි වූවකු මෙන්, ගෝලීය ධනවාදී පද්ධතිය පවත්වා ගෙන යන්නේ, බැංකුවලට හා කොටස් වෙලඳ පොලවල්වලට නිමක් නැතිව නය පොම්ප කිරීම මගිනි. රටවල් හා කලාප එන්න එන්නම වැඩෙන සංඛ්‍යාවක් යුද්ධය මගින් වෙලා ගනු ලැබේ. මෙම ලේවැකි ගැටුම් පසුගිය 25 වසර තුල දී මිලියන සංඛ්‍යාවක් මරනයට පත් කොට තවත් මිලියන ගනනක් සරනගතයන් බවට පරිවර්තනය කොට තිබේ. ලේවැකි කලාපීය ගැටුම් ලෝක යුද්ධය සඳහා පෙරහුරු බව වඩවඩාත් පැහැදිලි වෙමින් පවතී. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආඥාදායකත්වයේ නව රැල්ලකට ඉඩ දෙමින් සිටී. ප්‍රජාතන්ත්‍ර පාලනයේ කුහක පුරසාරම්කාරයා වන එක්සත් ජනපදය, ෆැසිස්ට්වාදය තොරොම්බල් කරමින් සිටී. ලින්කන්ගේ දේශය ට්‍රම්ප්ගේ දේශය බවට පරිවර්තනය වෙමින් පවතී.

ධනවාදයේ ඓතිහාසික අර්බුදයෙන් ගොඩඒමේ සාමකාමී මාවතක් නැත. මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ පවත්නා විකල්පය වන්නේ, සමාජවාදය නැතිනම් ම්ලේච්ඡත්වයයි. මෙම තත්වය තුල දී, අතීතයේ විප්ලවයන් හා ප්‍රති-විප්ලවයන් පිලිබඳ පාඩම් ඉගෙන ගත යුතුයි. රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග්‍රන්ථයේ මෙම නව සංස්කරනය පල කිරීම, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී අධ්‍යාපනයට වැදගත් ප්‍රතිපදානයක් වනු ඇති බව මාගේ බලාපොරොත්තුවයි.

Share this article: