ජවිපෙ ගොවි උද්ඝෝෂන: ගොවි අරගලය දේශපාලනිකව පීලි පැන්නවීමේ තැතක් - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ජවිපෙ ගොවි උද්ඝෝෂන: ගොවි අරගලය දේශපාලනිකව පීලි පැන්නවීමේ තැතක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 මාර්තු 26

ලංකාවේ ගම්බද වැඩෙන පෙරලිකාරිත්වය පෙන්නුම් කරමින් මේ මාසය මුල උතුරු මැද, නැගෙනහිර, දකුනු හා මධ්‍යම පලාත්වල වී සහ එලවලු ගොවීන්ගේ උද්ඝෝෂන පැතිරී ගියේය. දහස් ගනන් ගොවීන් සම්බන්ධවූ මෙම උද්ඝෝෂන පුපුරා ඒමට ආසන්න හේතුව වූයේ ආන්ඩුව විසින් පොහොර සහනාධාරය කැපීමේ තර්ජනය හා ගොවි නිෂ්පාදන වල මිල පහත වැටීමයි.

ආන්ඩුව ප‍්‍රකාශයට පත්කල මුදල් ආධාර ක‍්‍රමය නතර කර පෙර මෙන් සහනාධාර මිලට පොහොර ලබාදීම සහ වී සහතික මිල යලි ලබා ගැනීම උද්ඝෝෂනයේ මූලික ඉල්ලීම් විය.

උද්ඝෝෂන ගනනාවකම මුදුනට පැනගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ඊට සම්බන්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය (සලංගොස) යි. ගොවීන් අතර වැඩෙන විරුද්ධත්වය මැදට සලංගොස මැදිහත් කරමින් ජවිපෙ ගෙනගිය උද්ඝෝෂනයේ එල්ලය වූයේ ගොවි අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නොවේ. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව මවා පෙන්වමින් තමන්ගේ නැතිවී ගිය ගම්බද පදනම් යලි ගොඩ නගා ගැනීමත් ගොවීන්ගේ පෙරලිකාරිත්වය දියකර දැමීමත් ය.

“ගොවි ගැටලුවලට විසඳුම් ඉල්ලමින් ගොවි ජනතාව ගෙනයන අරගලයට ඇහුම්කන් නොදී ආන්ඩුව කටයුතු කරන්නේනම් ඉදිරියේදී මුලු කොලඹ නගරයම වටකරන” බව ජවිපෙ දේශපාලන කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මාර්තු 5 පැවති ජවිපෙ මාධ්‍ය හමුවක දී වහසි බස් කීවේය.

සලංගොස සභාපති හා ජවිපෙ වයඹ පලාත් සභා මන්තී‍්‍ර නාමල් කරුනාරත්න මාර්තු 6 ජවිපෙ ලංකා පත‍්‍රයට මෙසේ ප‍්‍රකාශ කර තිබුනි. “...රටපුරා ගොවීන් පෙල ගස්වමින් ආන්ඩුවට අපි අනතුරු අඟවනවා. අපි මේක ලේසියන් අත අරින්නේ නැහැ. අපි එදා ගොවීන් ට කිව්වා අසාධාරනයට විරුද්ධව කොලඹ යන්න ඕන කියල. පාරවල් විතරක් නෙමෙයි අමාත්‍යංශ වටලන්න ඕන. ඔය ඇමතිවරුන් නිවාස අඩස්සියට ගන්න ඕන”

මෙම ගෝරනාඩුවලට මුවාවී ජවිපෙ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඊනියා ජාතික කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාවට දමන ලෙසයි. වී අලෙවි මංඩල පනත බලාත්මක කර “වී වල සහතික මිල නීතිගත කිරීමට නියෝගයක්” නිකුත්කරන ලෙස ඉල්ලා කුඩා හා මධ්‍යපරිමාන වී මෝල් හිමියන්ගේ සංගමය හා ඒකාබද්ධ වී මෝල් හිමියන්ගේ සංගමය ජවිපෙ පිටුබලය ද ඇතිව ශ්‍රේෂ්ඨාධිකරනයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

“ජාතික කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක්” කි‍්‍රයාවට දමන ලෙස ජවිපෙ කරන ඉල්ලීම බංකොලොත් ධනපති ජාතිකවාදී කි‍්‍රයා මාර්ගයක කොටසකි. එය, පසුගිය මහා මැතිවරනයේදී “හෘදය සාක්ෂියේ සම්මුතිය” නමින් ඉදිරිපත් කෙරුනි. මෙම වැඩපිලිවෙලින් ප‍්‍රකාශ කෙරුනේ, දූෂන සුද්ධ කර ධනපති ක‍්‍රමය ඔවුන් දක්වන ආකාරයට මනාව පවත්වා ගැනීමෙන් ගොවීන්ගේ ද කම්කරුවන්ගේ හා අනෙකුත් ජනකොටස් වල ද ප‍්‍රශ්න විසඳිය හැකි බවයි. මෙය වනාහි, ධනපති පන්තියේ මොනම කන්ඩායමකට වත් කම්කරුවන්, දුගීන් හා තරුනයන් ඇතුලු කිසිම ජන කොටසක හෝ ප‍්‍රශ්න විසඳීමට නොහැකි තතු තුල ඔවුන් ධනපති ක‍්‍රමය තුල හිර කිරීමේ උගුලකි.

ධනපති පන්තිය වෙනුවෙන් ආන්ඩුව හැරී සිටින්නේ උග‍්‍රවන්නාවූ ආර්ථික අර්බුදයක් තුල එහි බර කම්කරුවන් හා ගොවීන් ඇතුලු මහජනයා මත පැටවීමටයි. ධනපති පන්තියේ සෑම බරපතල අර්බුදයක් තුලදීම ජවිපෙ කි‍්‍රයා කර ඇත්තේ එම ප‍්‍රහාර වැඩකරන ජනයා මත පැටවීමට උදවු දීමටයි.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවට 2004 එක්වූ ජවිපෙ නායකයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි කි‍්‍රයාවට දැමීමට සහයෝගය දුන්නේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 බලයට ගෙන ඒමේ කස කරුවා වූයේ ජවිපෙයි. වර්ගවාදී යුද්ධය රැකීමේ නමින් මෙම පක්ෂය රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලට කම්කරුවන් හා දුගීන් යට කිරීමේ පොලිස් කාරයෙක් ලෙස කි‍්‍රයා කලේය.

දැන් ලොකු ආන්ඩු විරෝධයක් මවාපාන ජවිපෙ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි එක් ප‍්‍රධාන පක්ෂයකි. එක්සත් ජනපදය විසින් මෙහෙය වූ දේශපාලන තන්ත‍්‍ර මාරුවකින් සිරිසේන බලයට දමා ගැනීම මෙරටේ සිදු වූ “දැවැන්ත ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහනය” ලෙස ආන්ඩුවට සහතිකයක් දුන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එහි කම්කරු විරෝධී න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීම සඳහා පත් කල ජාතික විධායක සභාවේ ප‍්‍රමුඛයෙක් වූයේ ආන්ඩුවට ඇතලු වීමේ හැකියාව සලකා බලන බව පවසමිනි. ආන්ඩුවට විරුද්ධ බව මවා පෙන්වන්නේ එය බරපතල ලෙස අපකීර්තියට පත්ව ඇති තතු තුලය.

තරුනයන් නොමග යැවීම සඳහා සමාජවාදය ගැන ඉඳහිට වාචාල කතා දොඩවන ජවිපෙ සුලු ධනේශ්වර රැඩිකල් පක්ෂයක සිට වඩ වඩා දකුනට යමින් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වූ පක්ෂයකි. එය පෙනී සිටින්නේ කම්කරුවන්ගේ ගොවීන්ගේ උවමනාවන් වෙනුවෙන් නොව ධනපති පන්තියේ හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාවන් වෙනුවෙනි.

පසුගිය දසක දෙක තුල වඩා විවෘතව ධනපති පක්ෂ සහ ආන්ඩු සමග සන්ධානගත වෙමින් දෙමල ජනයාට එරෙහි යුද්ධයට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කල ආර්ථික කප්පාදු පිලිවෙත් වලට සහයෝගය දීම නිසා මෑත දශක වල එහි ඡන්ද පදනම බෙහෙවින් පහත වැටුනි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වැඩෙන කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරුද්ධත්වය ගසාකමින් දියවී ගිය සිය සමාජ පදනම, විශේෂයෙන් ම, ගම්බද දුගීන් අතර යලි පනපොවා ගැනීමට එය මංමුලාසහගත ප‍්‍රයත්නයක නිරතව සිටී.

Share this article: