2016 මැයි දිනය: යුද්ධය උත්කර්ෂයට නැඟීම හා අනාගත ගැටුම් වලට සූදානම් වීම

May Day 2016: The glorification of war and the preparation for future conflicts

චෙරිල් ක්‍රිස්ප් විසිනි, 2016 මැයි 4

මෙහි පලවන්නේ ඔස්ට්‍රේලියානු සසප සහකාර ජාතික ලේකම් චෙරිල් ක්‍රිස්ප් විසින් 2016 මැයි දිනය නිමිතිකොට දියත් කරන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කරන ලද කථාවයි.

මෙහි පලවන්නේ ඔස්ට්‍රේලියානු සසප සහකාර ජාතික ලේකම් චෙරිල් ක්‍රිස්ප් විසින් 2016 මැයි දිනය නිමිතිකොට දියත් කරන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කරන ලද කථාවයි.

දෙවැනි ලෝක යුද්ධය පුපුරා යාම ඉස්මත්තේ 1938 දී, ලියොන් ට්‍රොට්ස්කි, හතරවන ජාත්‍යන්තරයේ මූලික ලේඛනය වූ සංක්‍රමන ක්‍රියාමාර්ගය තුල ජාත්‍යන්තර කම්කරු පන්තියට මෙලෙස අනතුරු ඇඟවීය:

“අධිරාජ්‍යවාදී යුද්ධය යනු ධනේශ්වර පන්තියේ මංකොල්ලකාරී දේශපාලනය ම අඛන්ඩව ඉදිරියට ගෙන යෑම හා තීව‍්‍ර කිරීම යි. යුද්ධයට එරෙහි නිර්ධන පන්තියේ අරගලය යනු එහි පන්ති අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යෑම හා තීව‍්‍ර කිරීම යි. යුද්ධය ආරම්භ වීම පන්ති අතර අරගලයේ තත්වය හා පාර්ශ්වීය වසයෙන් එම අරගලයේ මාධ්‍ය වෙනස් කරතත් එම අරගලයේ අරමුන හා මූලික ගමන් මග වෙනස් නො කරයි.

“අධිරාජ්‍යවාදී ධනේශ්වරය ලෝකයේ ආධිපත්‍යය දරයි. එහෙයින් එලඹෙන යුද්ධය මූලික ස්වභාවයෙන් අධිරාජ්‍යවාදී යුද්ධයක් වන්නේ ය. මෙහි ඵල වසයෙන් ජාත්‍යන්තර නිර්ධන පන්ති දේශපාලනයේ මූලික අන්තර්ගතය වන්නේ අධිරාජ්‍යවාදයටත් එහි යුද්ධයටත් එරෙහි අරගලය යි.”

යුද කාලපරිච්ඡේදයක දී සමාජවාදීන්ගේ ප්‍රධාන මූලධර්මය ඉන් පසුව ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේය: “ප්‍රධාන සතුරා සිටින්නේ ඔබේ ම රටේ ය.” එනම්, කම්කරු පන්තියේ සතුරන් වන්නේ සෙසු කම්කරුවන් නො ව, සිය රටෙහි පාලක පන්තිය හා ධනේශ්වර ආන්ඩුව යි.

ට්‍රොට්ස්කි මෙය අවධාරනය කලේ, සෑම ආන්ඩුවක් ම ප්‍රචාරය කරමින් සිටි විසකුරු ජාතිකවාදය හා ස්වෝත්තමවාදයට එරෙහි වනු පිනිසයි. භයංකර වේගයකින් යුද්ධය කරා පෙරට ඇදෙමින් තිබෙන අධිරාජ්‍යවාදයේ ධාවනය පිලිබඳ අන්තරාය මතුව තිබෙන අද දවසේ, ඔහුගේ වචන ප්‍රගාඪ අන්දමින් රැව්පිලිරැව් දෙමින් 1938 හා අද අතර පැහැදිලි සමාන්තරයන් පවතියි.

චෙරිල් ක්‍රිස්ප් ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කරන ලද කථාව

මේ සතියේ ඔස්ට්‍රේලියාවේත් නවසීලන්තයේත් ජනතාව දෝරේ ගලා යන මිලිටරිවාදයෙන් සහ අන්ධ දේශානුරාගයෙන් නහවනු ලැබුවේ - මේ අවස්ථාව ඇන්සැක් දිනය යි - එනම් 1915 පලමු ලෝක යුද්ධයේ දී තුර්කියේ ගැලිපොලි හි දී කෙරුනු සටන අනුස්මරනය කෙරෙන ප්‍රසිද්ධ නිවාඩු දිනය යි.

ඔස්ට්‍රේලියානු ආන්ඩුව ඩොලර් මිලියන 325 ක වියදමක් දරමින් පලමු ලෝක යුද්ධයේ සිය වැනි සංවත්සරය වසර හතරක් තිස්සේ සැමරීමේ යෙදී සිටිනවා. එය වෙනත් කිසිදු රටක් දරනවාට වඩා වැඩි මුදලකි. ජාතිය වෙනුවෙන් මිලිටරිය සිදු කල කැප කිරීමේ මහිමය පිලිබඳ ඓතිහාසික මුසාකරනයන් හුවා දක්වන මේ ප්‍රයත්නය, විශේෂයෙන්ම පෙරපාසැල් දරුවන් ඇතුලු ලමුන් හා තරුනයින් ඉලක්ක කරගන්නවා. සාමවාදී යයි තමන්ම කියා ගන්නා හරිත පක්ෂය ඇතුලු සෑම දේශපාලන පක්ෂයක් ම මේ ව්‍යාපාරයට සහාය පල කර තිබේ.

දේශපාලන සංස්ථාපිත විසින් අතීත හා වර්තමාන යුද්ධ උත්කර්ෂයට නැංවීමේ අරමුන, මීලඟ පරම්පරාවන් අනාගත ගැටුම් සඳහා සූදානම් කිරීම බව අමතක නොකල යුතුයි. මෙය එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද සූදානමට ඔස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදය පූර්න සහාය පල කිරීමත් සමග සම්පාත වේ.

ඒ සමග ම ඔස්ට්‍රේලියානු ආන්ඩුව, වර්ගවාදී හා නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන්, වඩා නිවැරදි ව කියතොත් සියලු අයිතීන් අහිමි කරනු ලැබූ සරනාගතයින් ඈත ශාන්තිකර දූපත්වල අවුරුදු ගනන් දැරිය නොහැකි දුෂ්කර කොන්දේසි යටතේ සිරගත කර තබනු ලබන අද දවසේ වද කඳවුරු සම්බන්ධයෙන් පෙරමුන ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු ආන්ඩුව පෙන්වා ඇති පූර්වාදර්ශය අනුව යමින් යුරෝපීය ආන්ඩු, සිරියාවේ, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධ නිසා පලා යන ලක්ෂ ගනන් සරනාගතයින්ට එරෙහිව යොදාගනිමින් සිටිති.

ජපානය තුල, දෙවැනි ලෝක යුද්ධයෙන් මෙපිට ඇතිවූ ෂින්සෝ අබේ ගේ වඩාත් දක්ෂිනාංශික ආන්ඩුව, එක්සත් ජනපද හමුදාවන් සමග ජපාන මිලිටරිය එක්ව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන නීති සම්පාදනය කර තිබේ. මේ හා සමග අතිනත ගෙන ජපාන අධිරාජ්‍යවාදයේ අපරාධවලට සුදුහුනු ගා සුද්ද කිරීමේ ව්‍යාපාරයන් මගින් 1930 ගනන්වල හා 2 වැනි ලෝක යුද්ධය අතරතුර ජපාන මිලිටරිවාදීන් විසින් සිදු කරනු ලැබූ කෲරකම් මුසාකරනයට ලක් කරන අලුත් පෙල පොත් පාසැල්වලට හඳුන්වා දී තිබේ.

හිරෝෂිමා සහ නාගසාකි නඟර වලට න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ ව්‍යසනකාරී සන්ත්‍රාසය අත්විඳ ඇති එකම රටේ අගමැති හැටියට, සිය ආන්ඩුවේ මිලිටරිවාදී න්‍යාය පත්‍රය පිලිබඳව පවතින මහජන විරෝධය ගැන අබේ ඉහලින් ම දැනුවත්ය. ඔහු එය යටපත් කිරීමට උත්සාහ දරන්නේ, සිය ආන්ඩුව වොෂින්ටනය සමග සහයෝගයෙන් කටයුතු කරන අතර, ජපානයට ඇති ප්‍රධානතම තර්ජනය චීනය බව අවධාරනය කරමිනි.

චීනය තුලමත් වැඩී එන ඇමරිකානු හා ජපන් ප්‍රකෝපකරනයන්ට කොමියුනිස්ට් පක්ෂ පාලනය ප්‍රතිචාර දක්වන්නේ, චීන ජාතිකවාදය වැපිරීමෙනි. එය විසකුරු ජපන් විරෝධී ස්වොත්තම වාදයක ස්වරූපය ගෙන ඇත. බෙයිජිනයේ මෙම වර්ගවාදය ඇවිස්සීම, චීනය තුල සිටින ජපන් ජාතිකයන්ට පහරදීමට ද හේතු වී තිබේ. ආන්ඩුවේ අනුබලය සහිතව සෙන්කාකු දුපත් වලට ජපානයේ අයිතිවාසිකම් කීමට එරෙහිව සංවිධානය කෙරුනු විරෝධතා වලදී, සමහර විරෝධතා කරුවන් ජපානයට ඉහලින් න්‍යෂ්ටික දුම් වලාවක් දැක්වෙන බැනර ඔසවාගෙන ගියේය. මෙවැනි දේ වලින් සිදුවන්නේ ආසියානු කම්කරු පන්තිය බෙදීම හා අධිරාජ්‍යවාදයේ අත ශක්තිමත් කිරීමයි.

චීන ස්ටැලින්වාදී තන්ත්‍රයේ ප්‍රධාන උත්සුකය, එහි ධනේශ්වර ප්‍රභූවේ ධනය ආරක්ෂා කිරීමය. ඒ ඇමරිකාවට එරෙහිව පමනක් නොව එයට වඩාත්ම බිය ගෙනදෙන බලවේගය වන චීන කම්කරු පන්තියටත් එරෙහිවය. චීනය දැන් ලෝකයේ වඩාත්ම අසමානතාවෙන් යුත් රටවල් අතරින් එකකි. ඇමරිකාවට පමනක් දෙවෙනි වෙමින් චීනයේ, ඩොලර් බිලියනපතියන් 470ක් සිටිද්දී, කම්කරුවන් හා ග්‍රාමීය පීඩිත ජනතාව මිලියන 500ක් පමන දෙනා දිනකට ඩොලර් 3ක් හෝ ඊටත් අඩු ආදායමකින් යන්තම් දිවි ගැටගසා ගනියි.

සෑම ආසියානු රටකම තත්වය මීට සමානය.

ට්‍රොට්ස්කි 1938දී පහැදිලි කල ආකාරයට, එතෙර යුද්ධය මෙතෙර කම්කරු පන්තියට එරෙහි යුද්ධය හා සමපාත වෙයි. සෑම රටකම වසර ගනනක් තිස්සේ කම්කරුවන්ගේ ජීවන කොන්දේසි වලට එල්ල කල ප්‍රහාර, ශතවර්ෂයකින් මෙපිට දක්නට නොතිබු ආකාරයේ සමාජ අසමානතාවකට තුඩු දී තිබෙන අතර මේ ක්‍රමය තුල මනුෂ්‍ය වර්ගයාට අනාගතයක් නැත.

වර්ගවාදය හා විදේශික භීතිකාව පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා කරන අරගලයකින් පමනය. සෑම රටකම කම්කරුවන් මුහුන දෙන්නේ එකම බැංකු හා සංගත මගින් මෙහෙයවෙන සමාන ප්‍රහාරයන්ටයි. ඒවගේම යුද්ධයේ අන්තරාය අප සියලුදෙනාටම ඉහලින් ලඹදෙයි. ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ කම්කරුවන් හා තරුනයින් ද ඇතුලුව, ආසියානු ජනතාව, අපගේ චීන සහෝදර සහෝදරියන්ට දෑත් දිගුකරමින්, ඔවුන් සතුරන් බවට පත්කිරීමට දරන සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කල යුතුයි.

යුද්ධයේ උල්පත වන ධනවාදය පෙරලා දැමීම සඳහා පොදු අරගලයකට අපි එක්වෙමු. ලෝක සමාජවාදය සඳහා සටන මත පදනම් වූ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනට උර දෙනමෙන් සියලු අසන්නන් ගෙන් හා ආධාරකරුවන්ගෙන් මම උදක්ම ඉල්ලා සිටිමි.

Share this article: