2016 මැයි දිනය: ඩේවිඩ් නෝර්ත්ගේ හැඳින්වීමේ වාර්තාව

May Day 2016: Introductory report by David North

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 මැයි 2

පහත පලවන්නේ, පසුගිය මැයි 01දා ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය ආරම්භ කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ද වන ඩේවිඩ් නෝර්ත් කල කථාව යි.

සහෝදර වරුනි, මිත‍්‍ර වරුනි,

මෙම රැස්වීම හා ඒ අර්ථයෙන් අප පසුකරමින් යන සිදුවීම්, නිශ්චිත ඓතිහාසික සන්දර්භයක තැබීමට මට අවසර දෙන්න.

මීට වසර විසි පහකට පෙර, 1991 පෙබරවාරි-මාර්තු ප‍්‍රථම ගල්ෆ් යුද්ධයෙන් ක්ෂනික ඉක්බිත්තේ, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පල කල මැයි දින ප‍්‍රකාශයේ මෙසේ සදහන් කෙරුනි:

“ධනවාදයේ ලෝක පරිමාන දැවැන්ත ප‍්‍රසාරනය සදහා දේශපාලන පදනම සම්පාදනය කලා වූ, අධිරාජ්‍යවාදයේ පශ්චාත් යුද (දෙවන ලෝක යුද-කාලීන සමතුලිතය බිඳ වැටී ඇති අතර, එය සාමකාමී ලෙස පුනස්ථාපනය කල නොහැක. මක් නිසා ද යත්, පැරනි සමතුලිතය සමන්විතවූ සියලු සංරචක අතර පැවති සබඳතා පරිවර්තනයට ලක්ව ඇති බැවිනි. එය ධනේශ්වර රාජ්‍යයන්හි නායකයන්ගේ ආත්මීය අභිප‍්‍රායන් පිලිබද කාරනාවක් නොවේ. එය වනාහි ඔවුන්ගේ පාලනයෙන් ඔබ්බෙහි පවතින ආර්ථික හා සමාජ ප‍්‍රතිවිරෝධතාවන්ගේ වෛෂයික ප‍්‍රතිවිපාක පිලිබඳ ගැටලුවකි.

“ලෝක අධිරාජ්‍යවාදී අසමතුලිතතාවයේ හරි මැද පවතින්නේ එක්සත් ජනපදයේ අර්බුදය යි....

“වඩ වඩා උග‍්‍ර වන සමාජ අර්බුදයේ හා එහි විභව විප්ලවවාදී ප‍්‍රතිවිපාකයන්හි පසුබිම හමුවේ, සිය ලෝක ආධිපත්‍යය යලි පිහිටුවා ගැනීම සඳහා වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ධාවනය, ලෝක දේශපාලනයේ ඉමහත්ම, තනි, පුපුරන සුලු ප‍්‍රපංචය යි. . . වඩ වඩාත් වේගවත් වන, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉවබව නැති හැසිරීම හා යුදවාදය, අවසන් විග‍්‍රහයේ දී නියෝජනය කරන්නේ, එක්සත් ජනපදයට තවමත් අනභියෝගී ආධිපත්‍යයක් දරන ක්ෂේත‍්‍රය වන, මිලිටරි බලය භාවිත කිරීම මගින්, එහි ආර්ථික පරිහානිය ආපසු හරවා ගැනීමට දරන ප‍්‍රයත්නයකි.”

යුද්ධයේ වඩා ගැඹුරු ඓතිහාසික අර්ථභාරය පිලිබද ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය, එකල සාමාන්‍යයෙන් පැවති විශ්වාසය සමග විසංවාදී විය. මාධ්‍ය සහ ඇත්ත වසයෙන්ම ජාත්‍යන්තර සබඳතා පිලිබද ශාස්ත‍්‍රාලික විශේෂඥයෝ, එක්සත් ජනපද ආන්ඩුවේ තර්කයන් කිසිදු විවේචනයකින් තොරව පිලිගත්හ. එනම්, ඉරාකය ආක‍්‍රමනය කිරීම, සදාම් හුසේන් විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින්, 1990 අගෝස්තුවේ කුවේටය ඈදාගැනීමට දැක්වූ නෛතික හා අවශ්‍ය ප‍්‍රතිචාරයකට වඩා වැඩි දෙයක් නොවේ යන්න යි.

2016 අන්තර් ජාල මැයි දින රැලියට ඩේවිඩ් නෝර්ත් සිදුකල කතාව

එහෙත් පසුගිය වසර විසිපහක කාලයේ වෛෂයික අත්දැකීම් සනාථ කර ඇත්තේ, ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය යි. ඉරාක ආක‍්‍රමනය, දැන් සියවස් කාලක් තිස්සේ පවතින, මුලුමනින්ම පාහේ නොනවතින යුද්ධයක ආරම්භය සලකුනු කලේ ය. 1990 ගනන්වල, ඉරාකයට එරෙහි ප‍්‍රථම යුද්ධයට පසුව එක්සත් ජනපදය, හයිටි දේශය හා සෝමාලියාව ආක‍්‍රමනය කලේ ය. සුඩානයට එරෙහිව කෘස් මිසයිල ස්ථානගත කරමින් ද ඒ හෝ මේ කඩතුරාව යොදාගනිමින් ඉරාකයට බෝම්බ ප‍්‍රහාර ද එල්ල කලේ ය.

එම දශකය අවසාන වුනේ, සර්බියාවට එරෙහිව එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුද්ධයක් දියත් කර, එම කුඩා බෝල්කන් රට දින 78ක බෝම්බ ප‍්‍රහාරයකට ගොදුරු කරමිනි. කෙලවරක් නැතිව පහසුවෙන් රැවටීමට ලක් වන ශාස්ත‍්‍රාලිකයන්ගේ පූර්න අනුමැතිය ඇතිව මෙම ප‍්‍රහාරය යුක්තියුක්ත කලේ, “ජනවාර්ගික පවිත‍්‍රකරනය” කෙරේ දැක්වූ මානුෂික ප‍්‍රතිචාරයක් ලෙස යි. 1999 ජූනියේ දී නැටෝව පැනවූ කොන්දේසි සර්බියාව විසින් පිලිගනු ලැබීමේ තතු හමුවේ, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යටතේ යුගෝස්ලාවියාව, නය බරිත රාජ්‍යයන් හතක් ලෙස කැබලි කිරීමේ ක‍්‍රියාදාමය සම්පූර්න විය.

දැන් පැහැදිලි වී ඇති පරිදි 1990 ගනන්වල මිලිටරි මෙහෙයුම් වනාහි, 2001 සැප්තැම්බර් 11 සිද්ධීන්ට පසුව පැනනැගි අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වය පිලිබඳ පෙර ඇගවුම් පිලිබඳ ආරම්භක කම්පනයන් පමනි. අපි දැන් ඇතුලු වෙමින් සිටින්නේ, කිසිදා නිම නොවන “ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” පහලොස්වන සංවත්සරයට ය. පසුගිය වසර 15 දේශපාලන හා සදාචාරමය ශේෂ පත‍්‍රය කුමක් වී ද? එක්සත් ජනපදය ඉරාකයට, ඇෆ්ඝනිස්ථානයට, ලිබියාවට, සිරියාවට හා යේමනයට එරෙහිව ගෙන ගිය යුද්ධවලින් එම රටවල මියගිය හා තුවාල ලැබූ මුලු සංඛ්‍යාව මිලියන ගනනකි.

ඇමරිකානු අධිරාජ්‍යවාදී නායකයන්ට, සමස්ත සමාජයන්ම සාපරාධී ලෙස විනාශ කල සමාජ-ඝාතකයන් ලෙස යුක්ති සහගතව චෝදනා කල හැකි ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඉලක්ක කර ගැනුනු රටවල් මුහුන දී ඇති විනාශයෙන් යලි ගොඩ එන්නේ කෙසේදැයි යමෙක් පුදුම විය යුතු යි. පසුගිය වසර 15 තුල “රෙන්ඩිෂන්” (සිරකරුවන් නීති විරෝධී ලෙස රටින් රටට පැවරීම), “වෝටර් බෝඩින්” (හුස්ම ගැනීමට අපහසු ලෙස ජලයේ ඔබා තැබීම), “ඩ්‍රෝන් ප‍්‍රහාර” හා “ඉලක්ක ගත ඝාතන” වැනි වචන හා යෙදුම් පොදු භාවිතයට පැමින තිබේ.

ධවල මන්දිරය තුල, එනම්, ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් ස්වාධීනතා ප‍්‍රකාශනය කෙටුම්පත් කල පෙනිසිල්වේනියා ඇවනිව්හි අංක 1600 දරන එම ස්ථානයේ වත්මන් පදිංචිකරුවා, තම උපදේශකයන් සමග ඝාතක ලැයිස්තු සමාලෝචනය කිරීමට සතිපතා රැස්වීම් පවත්වයි. ලින්කන් සිය අත්සන තැබුවේ, වහල් ක‍්‍රමය අවසන් කල ලියවිල්ලකට ය. බරක් ඔබාමා හැම සතියක ම අත්සන් කරන්නේ, පුද්ගලයන් අධිකරන ක‍්‍රියාදාමයෙන් පරිබාහිරව මරන දන්ඩනයට පත් කරන ලියවිලිවලට ය. උත්ප‍්‍රාසාත්මක කාරනය නම්, ලින්කන් සහ ඔබාමා යන දෙදෙනා ම නීතිඥයන් ලෙස පුහුනුවූ අය වීම යි. එහෙත් ව්‍යවස්ථාමය මූලධර්ම සහ මනුෂ්‍ය ජීවිතයේ අගය පිලිබදව මෙම ජනාධිපතිවරු දෙදෙනා දරන ආකල්පවල පවතින ප‍්‍රතිකූල බව පිලිබිඹු කරන්නේ, ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි උච්චස්ථානයේ සිට අධිරාජ්‍යවාදයේ පතුල දක්වා සිදුව ඇති ඇමරිකානු රාජ්‍යයේ ඓතිහාසික ගමන් පථය යි.

විසි පස් වසරක යුද්ධය වර්ධනය වූයේ, මැද පෙරදිග, බෝල්කන් කලාපයේ හා මධ්‍යම ආසියාවේ සිදු කල ප‍්‍රාදේශීය මැදිහත්වීම් මාලාවක් ලෙස යි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මූලෝපායඥයන් විශ්වාස කලේ, ඔවුන් සන්තක දැවැන්ත මිලිටරි බලය මගින්, 1991 දී ජනාධිපති බුෂ් ප‍්‍රකාශයට පත් කල නව ලෝක පර්යාය එතරම් අපහසුවකින් තොරවම සාක්ෂාත් කර ගැනීමට සමත් වනු ඇති බව ය. සෝවියට් සංගමය බිඳ විසිරවීම මගින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනභිභවනීය ආධිපත්‍යයට පැවති එකම සැලකිය යුතු බාධාව ඉවත් කර ඇති බව ඔවුහු විශ්වාස කලෝ ය. ප‍්‍රථම ගල්ෆ් යුද්ධයෙන් ක්ෂනික ඉක්බිත්තේ, වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පත‍්‍රය “බලය වැඩ කරයි” යනුවෙන් ප‍්‍රකාශ කලේ ය.

එහෙත් ලෝක ආධිපත්‍යය කරා මාවත, පෙර දැකීමට අසමත් වූ අසීරුතා වලින් වෙලී තිබුනි. ආරම්භක මිලිටරි ජයග‍්‍රහන නොතකා, ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ ආක‍්‍රමන, වැඩෙන ප‍්‍රතිරෝධයන්ට මුහුන පෑවේ ය. එම දෙරටේ දී ම එක්සත් ජනපදය, මඩ වගුරක එරී ඇති අතර ගොඩ ඒමට නොහැකිව දගලමින් සිටියි.

එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදයට පසුබැසීමේ හැකියාවක් ඇත්තේ නැත. බලගතු වෛෂයික බලවේග සහ අවශ්‍යතා මගින් එක්සත් ජනපදය, වඩ වඩාත් පුලුල් හා ඉව බව නැති මිලිටරි මැදිහත්වීම් කරා තල්ලු කරයි. ප‍්‍රථමව හා ප‍්‍රමුඛව ආර්ථික අර්බුදය, විශේෂයෙන් ම 2008 මූල්‍ය කඩා වැටීමේ තැන් පටන් වඩ වඩාත් උග‍්‍ර අතට හැරෙමින් තිබේ. එපමනක් නොව ජාත්‍යන්තර භූ දේශපාලනික වාතාවරනය වඩ වඩාත් අවාසිදායක තැනකට වැටී තිබේ.

ආර්ථික හා මිලිටරි බලවතෙක් ලෙස චීනයේ සීග‍්‍ර වර්ධනය එක්සත් ජනපදය දැක ගන්නේ, තම ගෝලීය ආධිපත්‍යයට එල්ල කෙරෙන ප‍්‍රධාන තර්ජනයක් ලෙස යි. වොෂිංටන් මූලෝපායඥයන්ගේ ආස්ථානයෙන් ගත් කල චීනය, ආසියානු-පැසිෆික් කලාපය තුල එක්සත් ජනපද ආධිපත්‍යයට සෘජු තර්ජනයක් වනවා පමනක් නොවේ. ඇමරිකාවේ දිගුකාලීන එහෙත් විශ්වාස කල නොහැකි යුරෝපීය සගයන් සමග චීනය වර්ධනය කරගන්නා ආර්ථික සබඳතාවන්ගේ ප‍්‍රතිවිපාකයක් ලෙස, එක්සත් ජනපදයට අවාසිදායක වන පරිදි ගෝලීය ආර්ථික හා මිලිටරි බලවතුන්ගේ යලි පෙලගැස්මක් නිර්මානය කිරීමට සමත් වනු ඇතැයි ද ඔවුන් බියට පත්ව සිටී.

ඇමරිකාවේ ආසියාවට හැරීමෙහි --මේ ගැන ශ‍්‍රී ලංකාවේ හා ඕස්ටේ‍්‍රලියාවේ අපේ සහෝදරවරු පසුව කතා කරනවා ඇති-- එල්ලය වන්නේ, ආසියානු පැසිෆික් කලාපය තුල චීන ආනුභාවය වැඞීම වැලැක්වීම සහ අවශ්‍ය නම්, එරට ආර්ථිකය ර`දා පවත්නා පැසිෆිික් හා ඉන්දියානු සාගරවල මුහුදු මාර්ගවලට පිවිසීමට චීනයට ඇති ඉඩකඩ අහිමි කිරීම යි. මෙය යි, දකුනු චීන මුහුද තුල වැඩෙන ආතතීන්ට හේතුව.

කෙසේවෙතත්, ආසියා-පැසිෆික් කලාපයට හැරීම ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය තහවුරු කරගැනීමට ප‍්‍රමානවත් නොවේ. පෙන්ටගනයේ හා සීඅයිඒ සංවිධානයේ මූලෝපායඥයන්ගෙන් සැලකිය යුතු කොටසක් විශ්වාස කරන්නේ, චීනය මූලෝපායිකව හුදකලා කිරීම, ආසියානු-පැසිෆික් හා ඉන්දියානු සාගර කලාපවල ඇමරිකානු පාලනය තහවුරු කිරීම පමනක් නොවන බව යි. එක්සත් ජනපදය, යුරේසියාව මත එනම්, ජාත්‍යන්තර භූ දේශපාලනික පෙලපොත්වල ”ලෝක දිවයින” ලෙස සඳහන් කරන කලාපය මත ආධිපත්‍ය දැරිය යුතු ය. එක්සත් ජනපදය හා රුසියාව අතර වැඩෙන ගැටුමට යටින් පවතින මූලෝපායික එල්ලය වන්නේ මෙය යි.

ජාත්‍යන්තර සබඳතා, දෙවන ලෝක යුද්ධය මුව විට, 1930 ගනන් අග භාගයේ පැවති මට්ටම, දැනටමත් ඉක්මවා ගොස් නැති නම්, ඊට සමාන, ආතති සහගත මට්ටමකට ලඟා වී ඇත. ජර්මනිය හා ජපානය ඇතුලු සියලු ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවත්තු, සිය මිලිටරි මැදිහත්වීම් තර කරමින් සිටිති. එක්සත් ජනපදය, චීනය හා රුසියාව අතර ඇතිවන ගැටුමක දී න්‍යෂ්ටික බලය යොදා ගනු ඇතැයි යන්න පිලිගැනෙමින් තිබේ. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ දේශපාලන හා මිලිටරි නායකයන් වත්, බෙයිජිනයේ හා මොස්කෝවේ භීතියට පත්ව සිටින ඔවුන්ගේ එදිරිවාදීන් වත්, න්‍යෂ්ටික යුද්ධයක ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක පිලිබ`ද අවදානම නොගනු ඇතැයි උපකල්පනය කිරීම මාරක වැරැද්දක් වනු ඇත.

අධිරාජ්‍යවාදී චින්තන පර්ෂදයක් මෑතක පල කල ලිපියක අනතුරු අඟවා තිබුනේ, ”මානව වර්ගයා - තමන්ගේම මට්ටමෙන් වත්- තර්කාන්විතව ක‍්‍රියා කරනු ඇතැයි සැලකිය නොහැකි ය” යනුවෙනි. එම ලිපියේ මාතෘකාව, විනාශය ගැන යලි සිතා බැලීම: දෙවන න්‍යෂ්ඨික යුගයක වාතාවරනයේ සැලසුම්කරනය, යන්න යි. ඉතාම හොඳින් අවබෝධ කරගත හැකි, සියලු ප‍්‍රමුඛ බලවතුන් සතුව, එකිනෙකා මරා ගැනීම පිනිස, එක්වරක් නොව කිහිපවරක්, ප‍්‍රමානවත් න්‍යෂ්ඨික අවි තොග ඇතැයි යන කාරනය තිබියදීම, ලිපියේ කතුවරු, ”අන්‍යෝන්‍ය සූදානම තුලින් ත‍්‍රස්තය සුරැකීමේ සියුම් තුලනය, සාමාන්‍යයෙන් සිතනවාට වඩා අස්ථාවර විය හැක” යනුවෙන් ලියති.(1)

යුද්ධයේ අන්තරාය, ධනපති ආර්ථික ක‍්‍රමයේ අන්තර් සම්බන්ධිත හා අත්‍යාවශ්‍ය මූලයන් දෙකකින් පැන නගියි: පලමුවැන්න, ලාභ උපරිම කර ගැනීම පිනිස ඒකාධිකාරී සංගත හා මූල්‍ය කතිපයාධිකාරය විසින් නිෂ්පාදන බලවේගයන් පෞද්ගලික අයිතිය යටතේ තබාගැනීම ද දෙවැන්න, ගෝලීය ආර්ථිකයේ අන්තර් සම්බන්ධිත ස්වභාවය හා ජාතික රාජ්‍ය පද්ධතියක පැවැත්ම යන වෛෂයික යථාර්තය තුලින් නැගී එන නොවැලැක්විය හැකි ගැටුම් ය.

හරියටම වසර 100කට පෙරාතුව 1916 පලමු ලෝක යුද්ධය මධ්‍යයේ ලෙනින් -එලඹෙමින් තිබුන රුසියානු විප්ලවයේ නායකයා- අධිරාජ්‍යවාදය ගැන ඔහුගේ මාහැඟි කෘතිය රචනා කලේ ය.

හුදෙක් පාලක පැලැන්තියේ වැරදි පිලිවෙත්වල කොටසක් ලෙස පැන නගින්නේය යන ආත්මීය ආස්ථානයක සිට අධිරාජ්‍යවාදී යුද්ධය නිරීක්ෂනය කල, කාල් කවුට්ස්කි වැනි මාක්ස් විරෝධී සංශෝධනවාදීන්ට පටහැනි ලෙස ලෙනින් අවධාරනය කලේ, අධිරාජ්‍යවාදය ධනවාදී පරිනාමයේ වෛෂයික අවධියක් නියෝජනය කරන බව යි. ඔහු මෙසේ ලිවීය, “අධිරාජ්‍යවාදය, සෑම තැනකම ආධිපත්‍යය මිස නිදහස පිහිටුවන්නේ නැති, මූල්‍ය ප‍්‍රාග්ධනයේ හා ඒකාධිකාරයන්ගේ යුගය යි.” (2) ආඥාදායකත්වය කරා මාරුවීම, අධිරාජ්‍යවාදී පරස්පර විරෝධතා තියුනු වීමෙන් අනිවාර්ය ලෙස නැගි බව ලෙනින් පැහැදිලි කලේය. “ප‍්‍රජාතන්ත‍්‍රවාදී-සමූහාන්ඩුව හා ප‍්‍රතිගාමී-රාජාන්ඩුවාදී අධිරාජ්‍යවාදී ධනේශ්වරය අතර වෙනස මැකී ගොසින් ය”, ඔහු ලියුවේ ය. “එහි ගමන් මග දිගටම ඇති දේශපාලන ප‍්‍රතිගාමිත්වය, අධිරාජ්‍යවාදයේ නිසග ස්වභාවය යි. දැවැන්ත පරිමානයේ දූෂනය, අල්ලස හා සියලු වර්ගයේ වංචාව”(3).

ලෙනින්ගේ විශ්ලේෂනය, යුද්ධය පැනනගින්නේ ධනවාදයේ වෛෂයික පරස්පර විරෝධයන් තුලින් බව ඔප්පු කිරීමෙන් නැවතුනේ නැත. අධිරාජ්‍යවාදී යුද්ධය පැනනැගීමට තුඩුදුන්නාවූ එම ප‍්‍රතිවිරෝධයන් ම කම්කරු පන්තිය රැඩිකලීකරනය කොට සමාජවාදී විප්ලවය තුලට ඇද දමන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

යුද්ධයට එරෙහි අරගලයේ මූලෝපාය ගලා එන්නේ මෙම විද්‍යාත්මක දැක්ම තුලින් ය. කම්කරු පන්තියේ යුද විරෝධී මූලෝපාය, ධනේශ්වර භූ දේශපාලනය පිලිබඳ සම්ප‍්‍රදායික ගනන් බැලීම් වලින් පැන නගින්නක් නොවේ. එය පදනම්ව ඇත්තේ ජාතික රාජ්‍ය අතර බල තුලනය පිලිබඳ තක්සේරුවක් මත ය. ඒ වෙනුවට අප පෙරට යන්නේ, සමාජ පන්තීන් අතර බල තුලනය පිලිබඳ තක්සේරුවක් ඔස්සේ ය. එබැවින් සමාජවාදී ව්‍යාපාරයේ වගකීම වන්නේ, යුද්ධයට එරෙහි යුද්ධය ගෙන යාම පිනිස කම්කරු පන්තියේ දේශපාලන දැනුවත් භාවය ඉහල නැංවීම හා ඔවුන් අධ්‍යාපනගත කිරීම ය.

එම සටන පාදක වන ක‍්‍රියාමාර්ගය, ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතු ය. මිලිටරි ගැටුම් නිර්මානය කරන ආර්ථික පද්ධතිය, එනම් ධනවාදය, අවසන් නොකර යුද්ධය හමාර කල නොහැකි ය. අවසාන වශයෙන්, යුද්ධයට එරෙහි අරගලය, ධනේශ්වර සූරාකෑමට හා අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට එරෙහිව රටක් රටක් පාසා කම්කරු පන්තිය හා තරුනයින් එක්සත් කරන ජාත්‍යාන්තරවාදී අරගලයක් විය යුතු ය.

ලොව වටා කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ධනේශ්වර විරෝධී, දේශපාලන රැඩිකලීකරනයක් පිලිබඳ බොහෝ සලකුනු ඇත. ඉන් වඩාත්ම වැදගත් එක වන්නේ, මෑතකදී පැවැත්වූ ප‍්‍රාථමික මැතිවරන වලදී ඇමරිකානු කම්කරුවන් මිලියන ගනනක් සිය ඡන්දය, තමා සමාජවාදියෙක් ලෙස හඳුන්වා ගන්නා අපේක්ෂකයාට දීම විය හැකි ය. බර්නි සෑන්ඩර්ස්ගේ “සමාජවාදය” ලිබරල්වාදයෙන් උනුසුම් වූ දෙයකට මඳක් වැඩි දෙයක් පමනි. එහෙත් සෑන්ඩර්ස් සහයෝගය දිනා ගත්තේ, ඔහුගේ දේශපාලන අවස්ථාවාදය නිසා නොව, සමාජ අසමානතාවට විරුද්ධ, ඔහුගේම වචන වලින් පැවසුවහොත් ඔහු, “දේශපාලන විප්ලවයක්” ගෙන යනු ඇතැයි කම්කරුවන් කල්පනා කල බැවින් ය. එක්සත් ජනපදය තුල කම්කරු පන්තිය සමාජවාදය කරා නම් නොහැරෙනු ඇත යන ඇමරිකානු දේශපාලන සුවිශේෂතාවාදය පිලිබඳ කථාන්තරය, භාවිතයේදී ප‍්‍රතික්ෂේප වී ඇත. ඇමරිකානු පන්ති අරගලය පිලිබඳ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ඇරඹෙමින් තිබේ. එක්සත් ජනපදය තුල බොහෝ කාලයක් මැඩපවත්වා තිබූ සමාජවාදය, දැවැන්ත වර්ධනයේ අවධියකට ඇතුලුවී ඇත.

ගෝලීයව ඒකාග‍්‍රිත ධනවාදය, අසාමාන්‍ය උග‍්‍රභාවයකින් යුත් පරස්පර විරෝධයන්ගෙන් වටලාගෙන ඇති මෙහොතේ හරියටම, ධනපති පන්තිය, ජාතිකවාදී උමතුවක් ඇවිලවීමට තමන් සතු සියලු බලය යොදාගනිමින්, අධිරාජ්‍යවාදී යුද්ධයට පක්ෂපාතීව මහජනතාව රැලිකර ගැනීමට උත්සාහ කරයි. ඇමරිකාව තුල ට‍්‍රම්ප්, විශේෂයෙන්ම සංක‍්‍රමනිකයන් වන, රට තුලම හා පිට රට සිටින, සතුරන්ට එරෙහිව සීමාන්තිකව මිලිටරි බලය යෙදීම හා දේශසීමා හරහා තාප්පයක් ඉදිකිරීම මගින්, “ඇමරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම” සඳහා පෙනී සිටියි. ඔහු සැලසුම් කරන්නේ, ඇමරිකාවේ ආර්ථික බලය යලි ස්ථාපිත කිරීම පිනිස ශක්තිමත් දේශසීමා හා විශාල බෝම්බ හැදීමට යි. යථාර්තයේදී, “කඳවුරු ඇමරිකාව” යන ට‍්‍රම්ප්ගේ දැක්ම, ආඥාදායකත්වයෙන් හා යුද්ධයෙන් පමනක් යථාර්තවත් කල හැකි බිහිසුනු දුෂ්-ස්වප්නයකි.

“ට‍්‍රම්ප්වාදය” වනාහි හුදෙකලා, තනිකරම ඇමරිකානු සංසිද්ධියක් යයි කිසිසේත්ම අර්ථවත් වන්නේ නැත. ලෝකය පුරා ට‍්‍රම්ප්ලා ඔනෑ තරම් සොයාගත හැකි ය. වත්මන් ධනේශ්වර දේශපාලනයේ පොදු ලක්ෂනය, එහි අතිශයින්ම ස්වෝත්තමවාදී රූපයෙන් ජාතිකවාදය, යලි හිස එසවීම යි. බි‍්‍රතාන්‍ය තුල බි‍්‍රක්සිට් ව්‍යාපාරය හා යූකේඅයිපී පක්ෂය නැගී ඒම, ප‍්‍රන්සයේ මැරීන් ලේ පෙන්ගේ මැතිවරන සාර්ථකත්වය, ඔස්ටි‍්‍රයානු ජනාධිපතිවරනයේ පලමු වටයේදී අන්ත ස්වෝත්තමවාදී නිදහස් පක්ෂය ජය ගැනීම පෙන්නුම් කරන්නේ, ගෝලීය ධනවාදයෙහි ප‍්‍රතිවිරෝධතාවන්ට ජාතිකවාදී ගැලවීමක් සොයා ගැනීමේ උත්සාහයකි. එහෙත් එවන් ගැලවීමේ තැනක් ඇත්තේ නැත. කිසිදු රටක් තුල ජාතිකවාදයට, අධිරාජ්‍යවාදයට හා ධනපති මර්දනයට ශක්‍ය විකල්පයක් සම්පාදනය කල නොහේ.

පසුගිය වසර 25 අත්දැකීම් යමෙකුට, ජාතිකවාදයේ ප‍්‍රතිවිපාක ගැන අත්දැකීම් කරා ප‍්‍රවිෂ්ටයක් සපයයි. යුගෝස්ලාවියාව බිඳ දැමීමෙන් මතුව ආ ජාතීන්ගේ ඉරනම ගැන සලකා බලමු. මැසිඩෝනියානු තරුනයින් අතර විරැකියාව සියයට 50කි. ස්ලෝවේනියාවේ තරුන විරැකියාව සියයට 24 ද ක්‍රොඒෂියාවේ 44 ද වේ. මොන්ටිනීග්‍රෝහි තරුන විරැකියාව සියයට 41කි. බොස්නියාවේ 57 ද සර්බියාවේ 49 ද වේ. කොසෝවෝහි එය සියයට 60කි!

ජාතිකවාදී ව්‍යාපෘතීන්හි ව්‍යසනකාරී ප‍්‍රතිපල පසෙකින්, ප‍්‍රතිගාමී ජාතික බෙදුම්වාදී පිලිවෙත් ද මුඛ්‍ය ක‍්‍රියාකලාපයක් ඉටු කරයි. එය ඇමරිකාවට, ජර්මනියට, බි‍්‍රතාන්‍යයට හා ප‍්‍රන්සයට, සිරියාවේ හා ලිබියාවේ සිදුවුනාක් මෙන්, අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සඳහා කඩතුරාවක් ලෙස, ජාතිකවාදය, වර්ගවාදය හා ආගමික බෙදුම්වාදය ඇවිස්සීමට හා ගසා කෑමට අවස්ථාව සලසා දී තිබේ.

ලෝක අධිරාජ්‍යවාදී අර්බුදයට විසඳුම සොයාගත හැක්කේ, අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තරව එක්සත් අරගලයක් තුල, සියලු මහාද්වීපවල හා සියලු රටවල කම්කරු පන්තියේ දේශපාලන බලමුලුගැන්වීමක් තුලින් පමනි.

අධිරාජ්‍යවාදය විසින් අනුග‍්‍රහය දෙන ජාතික පෑගීමේ, පවතින වසංගතය ජයගත හැක්කේ, කම්කරු පන්තියේ සියලු කොටස්වල එක්සත්කම තුලින් පමනි. කම්කරු පන්තිය මුහුනපා සිටින ඓතිහාසික කර්තව්‍යය අලුතෙන් ජාතික රාජ්‍ය පිහිටුවීම නොවේ. පැරනි ජාතික ව්‍යවසායන්ගේ කුනුවූ මලකුනු ඉරාගෙන, සමාජවාදී සමූහාන්ඩුවල එක්සත් හා ඒකාග‍්‍රිත ලෝක සංගමයක් නිර්මානය කිරීම එහි කර්තව්‍ය යි. එකම ශක්‍ය ඉදිරිදර්ශනය, ලියොන් ට්‍රොට්ස්කි විසින් සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුල විස්තාරනය කල එකයි. 1928දී ඔහු මෙසේ ලිවීය:

“ජාතික සීමාවන් තුල සමාජවාදී විප්ලවය පරිපූර්න කිරීම ගැන සිතීමටවත් නොහැකිය. ධනපති සමාජයේ අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ, එය (ධනවාදය) විසින් නිර්මානය කල නිෂ්පාදන බලවේග තවදුරටත්, ජාතික රාජ්‍යයේ ආකෘතිය සමග පෑහෙන්නේ නැතිකම යි. එක් අතකින් මෙය, අධිරාජ්‍යවාදී යුද්ධයන්ට ද අනෙක් අතින් ධනේශ්වර යුරෝපීය එක්සත් සංගමයක් පිලිබඳ මනෝරාජ්‍යයට ද හේතුකාරක වී තිබේ. සමාජවාදී විප්ලවය ජාතික තලයේදී ආරම්භවී ජාත්‍යන්තර කරලියේ දිගහැරී ලෝක කරලියේ පරිපූර්නත්වයට පත් වෙයි. එබැවින් සමාජවාදී විප්ලවය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නොනවතින විප්ලවයක් බවට පත් වෙයි. එය පරිපූර්නත්වයට පත්වන්නේ, අපගේ මුලු ග‍්‍රහලෝකයේ ම නව සමාජයක අවසන් ජයග‍්‍රහනයෙන් පසුව පමනකි.” (4)

අද පැවැත්වෙන රැලියේ අරමුන, යුද්ධයට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් සඳහා පැහැදිලි පනිවිඩයක් නිකුත් කිරීම බව අවසන් වශයෙන් පැවසිය යුතු ය. මෙම දැවෙන කර්තව්‍යය, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සමග නොවෙන්කල හැකි පරිදි බැඳී තිබේ. කථිකයින්ට ප‍්‍රවේශමෙන් සවන් දෙන සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, ඔබ ඔවුන් ඉදිරිපත් කරන ඉදිරිදර්ශනයට හා ක‍්‍රියාමාර්ගයට එකග නම්, ඔබගේ රට තුල ක‍්‍රියාත්මකව ඇති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවට බැඳෙන ලෙස යි. එවන් පක්ෂයක් තවමත් නැති නම් ඔබගේ රට තුල ට්‍රොට්ස්කිවාදී ලෝක ව්‍යාපාරයේ ශාඛාවක් ගොඩනැගීමට සටන් කරන ලෙස යි. එලෙස මානව වර්ගයාගේ අනාගතය රැඳී ඇති, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිවත්, සමාජවාදය සඳහාත් අරගලයේ දැනුවත් හවුල්කරුවෙකු වන ලෙස යි.

පාද සටහන්:

1). Andrew F. Krepinevich and Jacob Kohn, ඇන්ඩෘ එෆ්. ක‍්‍රිපිනිවිච් හා ජැකොබ් කර්න්, Rethinking Armageddon: Scenario Planning in the Second Nuclear Age විනාශය ගැන යලි සිතා බැලීම: දෙවන න්‍යෂ්ටික යුගයක වාතාවරනයේ සැලසුම්කරනය (මූලෝපායික හා අයවැය තක්සේරු පිලිබඳ ආයතනය, 2016), 14-15 පිටු.

2). Lenin Collected Worksලෙනින් එකතුකල කෘති, 22වෙලුම, (මොස්කව්, 1914), 297 පිටුව.

3). Lenin Collected Worksලෙනින් එකතුකල කෘති, 23 වෙලුම, (මොස්කව්, 1974), 106 පිටුව.

4). The Permanent Revolutionනොනවතින විප්ලවය, 1928

Share this article: