2016 මැයි දිනය: සරනාගත අර්බුදය හා අනවරත යුද්ධයේ අවධිය

May Day 2016: The refugee crisis and the age of perpetual war

ජූලි හයිලන්ඩ් විසිනි, 2016 මැයි 07

මෙහි පලවන්නේ බ්‍රිතාන්‍ය සසප සහකාර ජාතික ලේකම් ජුලී හයිලන්ඩ් විසින්, 2016 මැයි දිනය නිමිතිකොට දියත් කරන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කල කථාවයි.

මෙම මැයි රැලිය හා පසුගිය වසරේ රැලිය අතර භයානක සමානකමක් තිබෙනවා. මා මේ රැලිය අමතන්නේ සරනාගතයන් 500ක් පමන රැගෙන උතුරු අප්‍රිකාවෙන් ඉතාලියට ගිය බෝට්ටුව, මධ්‍යධරනී මුහුදේදී රෑ දෙගෙඩහරියේදී පෙරලී දියේ ගිලී ගිය බව තහවුරු වී යන්තම් දින දෙකකකට පසුවයි.

පසුගිය වසරේ මැයි දින රැලිය පැවැත්වුනේ, කුඩා ධීවර බෝට්ටුවක තදබදවූ සංක්‍රමනිකයන් 800ක්, මෙවැනිම මගක යාමට උත්සාහ දරද්දී ලැම්පෙඩුසා නම් ඉතාලි දුපතට ඔබ්බෙන් දියේ ගිලී මිය යාමේ බිහිසුනු සිද්ධියට දින ගනනකට පසුවය.

ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට ජුලී හයිලන්ඩ් කල කථාව

එහෙත් එම වසරේ ඛේදවාචකය ලොව පුරා දැවැන්ත කම්පනයක් හා අනුකම්පාවක් ජනනය කල ද අලුත් සිද්ධිය පිලිබඳ පුවත වාර්තා නොකෙරුනු තරම් වූවා පමනක් නොව, දින ගනනක් තිස්සේ ඒවා යටපත් කර ද තිබුනි.

මෙය සිතා මත කරන ලද වාරනයක්. ලෝක ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා සරනාගතයන් ප්‍රමානයක් බිහිකර තිබෙන, නොනවතින යුද්ධයේ යුගය ලෙස අපි හඳුන්වන මේ කාලයෙහි මිනිස් ජීවිත වලින් ගෙවිය යුතු වන්දිය පිලිබඳ අදහසක් ලැම්පෙඩුසා ඛේදවාචකය මගින්, අද වන විට ලබාදී ඇත.

ලිබියාවේ, සිරියාවේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ හා තවත් තැන්වල සිදු කල අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සාධාරනීකරනය කිරීම සඳහා ඉදිරිපත් කල මානුෂීය මවාපෑම් සියල්ල බොරු බව හෙලිවී ඇත. ඒවා මෙම රටවල ජනතාව රැකීම කෙසේ වෙතත්, ලෝකය හා එහි සම්පත් තමන් අතරේ යලි බෙදා ගැනීමට වොෂින්ටනය, බර්ලිනය, පැරිසිය හා ලන්ඩනය විසින් දියත් කර ඇති ලේ වැකි අපරාධ වසං කිරීමට වැඩි යමක් සිදුකර නැත.

මිලියන 60ක් පමන හා සංඛ්‍යාවෙන් තවත් වැඩි ජනතාවක්, බලහත්කාරයෙන් අවතැන් කොට ඇත. පෘතුවියේ සෑම පුද්ගලයින් 122නෙකුගෙන් එක අයෙක් දැන් සරනාගතයෙක් - ඉන් අඩක් වයස අවුරුදු 18ක් හෝ ඊට අඩුය. මින් අති බහුතරයක් ජෝර්දානයේ හා තුර්කියේ සරනාගත කඳවුරුවල බිහිසුනු තත්වයන් යටතේ සිරවී සිටිති.

ලැම්පෙඩුසා ජිවිත හානි වලින් මාස 12කට පසුව සරනාගතයන්ගේ හා සංක්‍රමනිකයන්ගේ ඉරනම කෙරෙහි ඇති අනුකම්පාව යටපත් කර හුදෙකලා කිරීමට සෑම උත්සාහයක්ම ගනු ලබන්නේ මේ නිසාය.

මෙය විවිධ ක්‍රම වලට සිදුව තිබේ. පසුගිය නව වසර උදාවෙද්දී කොලොන් හි සිදුවුවා යයි කිවූ ලිංගික ප්‍රහාරයන් වැනි සිද්ධීන්, පාලක ප්‍රභුව හා ඔවුන්ගේ මාධ්‍ය ක්ෂමාලාපකයන් විසින් නිෂ්පාදනය කර තිබෙන්නේ, දක්ෂිනංශය හා ෆැසිස්ට්වාදී කොටස් දිරිමත් කිරීම සඳහාය.

මර්කල් මැතිනිය සරනාගතයන්ගේ හා විවෘත දේශසීමාවන්ගේ ඉෂ්ට දේවතාවිය ලෙස යලි වාත්තු කිරීම, ඊට පසු අපට පිලිගන්වන අසිරිමත් දර්ශනය වී ඇත. නමුත් ඊනියා සංක්‍රමනික ප්‍රශ්නය විසඳීමේදී ඇය රිසි කරන ක්‍රමවේදය, ඇයගේ විරුද්ධ වාදීන්ගේ ක්‍රම තරම්ම දුෂ්ටයි. සංක්‍රමනිකයන් මහා පරිමානයෙන් යුරෝපයෙන් පිටුවහල් කිරීම සඳහා තුර්කි ආන්ඩුව සමග අටවාගත් කැත ගිවිසුම මින් ප්‍රධානයි.

සංක්‍රමනික විරෝධී වැඩපිලිවෙල කිසි ලෙසකින්වත් යුරෝපීය සංසිද්ධියක් පමනක් නොවේ. ඇමරිකාව තුල, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපදයට මුස්ලිම් වරුන් ඇතුලු වීම වැලක්වීමට තර්ජනය කරන අතර ඇමරිකානු මැක්සිකානු දේශ සීමාවේ තාප්පයක් ඉදිකිරීමට ඔහුට ඇති අභිලාශයද ප්‍රකාශ කර ඇත.

නමුත් ට්‍රම්ප් යෝජනා කරන දෙය යුරෝපීය ධනපතියන් මේවන විටත් ඉෂ්ට කරගෙන ඇත. කිලෝමීටර 1200ක සංක්‍රමනික විරෝධී වැටක් යුරෝපය තුල මේ වන විටත් ඉදිවෙමින් තිබෙන අතර මෙය ඇමරිකාව හා මැක්සිකෝව අතර දේශසීමාවේ දිගෙන් භාගයක් තරම්වේ.

යුරෝපය තුල රැකවරන පැතීමේ අයිතිය තවදුරටත් ඇත්තේ නැත. සරනාගතයන් බුරුතු පිටින් පලායාමට උත්සාහ දරන යුද කලාපයන් තුලටම ඔවුන් යලි පිටුවහල් කිරීම යුරෝපීය සංගමයේ පිලිවෙතයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව, තමන්ට පැවරී ඇතැයි යුරෝපීය සංමය විසින් කියා සිටි, “ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙවර” හා ලිබරල් හරයන් පිහිටුවීමේ කථා කිසිවක් දැන් ඇත්තේ නැත.

ඒ වෙනුවට යුරෝපය යලි සිහි ගන්වන්නේ 1930 ගනන්ය: යුද්ධයට ගොදුරු වුවන් ප්‍රමානවත් අහාර හා සනීපාරක්ෂාව නොමැතිව අටවා ඇති කඳවුරු වලට ගාල් කර ඇත, ඒ හෝ මේ දුම්රිය පොලවල්වලට දුම්රිය මගින් ගෙනවිත් ගොඩබාන සරනාගතයන් පිලිගන්නේ බැටන් පොලු, රබර් උන්ඩ හා කඳුලු ගෑස් වලිනි; රැඳවියන්ගේ අත්වල ලියාපදිංචි අංක මුද්‍රා තබයි, බෝට්ටු යන මග අවහිර කර බලහත්කාරයෙන් මගීන් ඉවත් කරයි, නැතහොත් ගිලෙන්නට හැර දමයි.

ධීවරයන්ගේ දැල්වලට හසු වී නම් ගම් නොදන්නා ලමා මලසිරුරු නිරතුරුව ගොඩ බාමින් ඇත. තුර්කියේ ඉස්මීර් ආසන්නයේ සුසාන භුමියක් තුල කඩිමුඩියේ සකස් කර ගත් බිම්කඩක පමනක් නම් ගම් සඳහන් නැති සරනාගතයන් 400කගේ පමන මෘත ශරීර වල දැමුනි. මින් සියයට හැටක් කාන්තාවන් සහ දරුවන්. ඔවුන්ගේ සොහොන් මත එකම ඛේදනීය පාටය යලි යලිත් ලියා තිබෙනවා - සිරියාවේ ඉපිද, මධ්‍යධරනී හෝ ඊජියානු මුහුදේ ගිලී, තුර්කියේ වල දමන ලදී යන්නයි ඒ.

කරුනු මෙසේ තිබියදීත් පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, යුරෝපය තුල සරනාගත කඳවුරු වල සිරවී හෝ වීදිවල සිටින ලමයින් 3000කට පමනක් බ්‍රිතාන්‍යට ඇතුලු වීමට ඉඩ දෙන ලෙසට ඉදිරිපත්වූ යෝජනාවක් නිශේධ කරනු ලැබුනි. එය මෙසේ කලේ, යුරෝපීය නායකයන් ජනාධිපති ඔබාමා හමුවී ලිබියාවේ යුද මැදිහත් වීම් අලුත් කිරීමට සැලසුම් සකස් කල පසුය. ඔවුන්ගේ ප්‍රචන්ඩත්වයේ ගොදුරු බවට පත්වන්නන්ට මහා පරිමාන රැඳවුම් කඳවුරු ගොඩනැගීමත් මෙයට ඇතුලත්.

ජාතික වාදයේ, සංක්‍රමනික විරෝධයේ හා යුද්ධයේ බිහිසුනුකම හොඳින්ම දන්නා මහාද්වීපයක මෙතරම් දැවැන්ත පිරිහීමක් සිදුවෙන්නේ කෙසේ ද?

මෙහිදී ව්‍යාජ වම තීරක කාර්යභාරයක් ඉටුකරනු ලබයි. දශක ගනනාවක් පුරා මෙම සංවිධාන, ජාතිවාදය කෙරෙහි සිය විරෝධය දේශනා කලහ.

“විවිධ සංස්කෘතීන්ට එකට ජීවත් විය හැකිය යන ලිබරල් සිහිනය යුරෝපය විසින් අත්හැර දැමිය යුතුයි” යනුවෙන් පවසමින් පස්චාත් නූතනවාදයේ සුරතලෙකු වන මහාචාර්ය ස්ලැවෝ ජිජැක් යුරෝපයේ දේශ සීමා යලි මිලිටරීකරනය කලයුතු යයි ඉල්ලා සිටියි.

ව්‍යජවාම දෘෂ්ටි වාදීන්ගේ විවෘත දකුනට හැරීම යනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය අර්ථ ගන්වන දෙයට ජිජැක් එක උදාහරනයක් පමනි. මධ්‍යම පන්තියේ වරප්‍රසාදලත් කොටසක අවශ්‍යතාවන් නියෝජනය කරන මෙම කුනුවුනු දේශපාලන ස්තරය, කම්කරු පන්තියට එරෙහිව වඩ වඩාත් යොමු වෙමින් සිටියි.

යුරෝපීය සංගමය මගින් සරනාගතයන් බලහත්කාරයෙන් හා ප්‍රචන්ඩ ලෙස තුර්කියට පිටුවහල් කිරීමේ උප කොන්තරාත්තුව භාර දී ඇත්තේ, ජිජැක්ගේ දේශපාලන සහචරයින්ටය. එනම් ග්‍රීසියේ සිරිසා ආන්ඩුවටයි. ඔහුගේ මේ අදහස් ඔවුහු ක්‍රියාවේ යොදවමින් සිටිති.

මේ ආකාරයෙන්ම ස්පාඤ්ඤය තුල පොඩිමොස් සංවිධානයත් යුරෝපීය සංගමය හා තුර්කිය අතර පිටු වහල් කිරීමේ ගිවිසුමට අනුමැතිය හා සහයෝගය ලබා දුන්නේය. යුරෝපීය සංගමයේ සියලු සමාජික රටවල අනුමැතිය අවශ්‍යවූ, යුරෝපීය සංගමය හා තුර්කිය අතර ගිවිසුම, පොඩිමොස්ගේ මෙම සහයෝගය නැතිව ක්‍රියාවේ යෙදිය හැකිව තිබුනේ නැත.

එබැවින්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන, මානුෂීය සංවිධාන විසින් හෙලාදකිනු ලැබූ, මෙම මහා පරිමාන පිටුවහල් කිරීම් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ග්‍රීසියේ හා ස්පාඤ්ඤයේ ව්‍යාජ වාම සන්ධාන - ප්‍රායෝගිකව හා දේශපාලනිකව - ඍජුව වගකිව යුතුයි.

ජර්මනියේ තුරින්ගියා පලාතේ වාම පක්ෂයේ රාජ්‍ය ඇමති බෝඩෝ රම්ලෙව්, ප්‍රධානකොටම බෝල්කන් ප්‍රදේශයෙන් පැමිනි සරනාගතයන් මහා පරිමානව පිටුවහල් කිරීමට අනදෙමින් සිටියි. මහා රාත්‍රියේ කරන කඩාපැනීම් මගින් මේ වන විටත් මේ වසර තුල පුද්ගලයන් 460ක් පමන පිටුවහල් කර ඇත.

එක්සත් රාජධානිය තුල ද කොර්බින්ගේ ලේබර් පක්ෂය හා එහි ව්‍යාජ වාම සහචරයින් අතර, යුරෝපය තුල නිදහස් සංක්‍රමනය සීමා කලයුතු බවට එකඟතාවක් සීග්‍රයෙන් ඇතිවෙමින් තිබේ.

යුරෝපය තුල දැන් සිදුවන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්ට මේ සංවිධාන වල උපරිම පාපී සහාය ලැබෙනවා.

සංක්‍රමනිකයින් හා සරනාගතයින් මුහුනපා සිටින මේ ඉරනම, ධනපති ලාභ ක්‍රමයේ අතාර්කිකත්වය හා ම්ලේච්චත්වය පිලිබඳ ජුගුප්සාජනක ප්‍රකාශයකි. ඔවුන්ගේ ආරක්ෂාව සමාජවාදී ව්‍යාපාරයේ මුරගලය. එය සිදුකල හැක්කේ අධිරාජ්‍ය වාදයට හා මිලිටරිවාදයට එරෙහි කම්කරු පන්තිය මත පදනම් වූ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමෙන් පමනි. ජාත්‍යන්තර කමිටුව විසින් මේ මැයි රැලිය කැපකර ඇති කාර්ය භාරය මෙයයි. ඔබ සියලු දෙනාටම මේ ඉතා වැදගත් අරගලයට එක්වෙන මෙන් මම ආරාධනා කරන්නෙමි.

Share this article: