2016 මැයි දිනය: ජාත්‍යන්තර කම්කරු පන්තිය අතිදැවැන්ත සමාජ බලවේගයකි

May Day 2016: The international working class is an immense social force

ජෝසෆ් කිෂෝර් විසිනි, 2016 මැයි 9

පහත පල වන්නේ 2016 මැයි 1 දා පැවැත්වුනු ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය සමාප්ත කරමින් එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් කරනු ලැබූ කථාව යි.

මේ රැස්වීම සමාප්ත කිරීමේ දී අද දවසේ අපේ කථිකයින්ටත්, ජාත්‍යන්තර අන්තර්ජාල රැලියට සහභාගී වූ ඔබ සැමටත් ස්තුතිය පල කිරීමට මට අවශ්‍යයි. මනුෂ්‍ය වර්ගයා විනාශයට ඇද දමමින් තිබෙන පාලක පන්තියේ පිලිවෙත්වලට සිය විරෝධය පල කිරීම සඳහා සෑම මහාද්වීපයකින් ම, 90 කට අධික රටවල් සංඛ්‍යාවකින් කම්කරුවන් හා තරුනයින් ඒකරාශී කල මෙය සැබැවින් ම සුවිශේෂ සිද්ධියකි. ඔබේ ප‍්‍රතිචාර, මේ දක්වා සංඛ්‍යාවෙන් 500 කටත් අධික, ඉතා සිත්ගන්නා සුලු ප‍්‍රතිචාර සටහන් කරමින්, මේ සාකච්ඡාවට දායක වීම ගැන ඔබ සියලු දෙනාට ස්තුතියි.

රටවල් ගනනාවක ම සැලකිය යුතු පිරිස් සමූහ වසයෙන් මේ රැස්වීමට සවන් දීම සඳහා එක් ව සිටිති. ජර්මනියෙහි කම්කරුවන් හා තරුනයින් 40 දෙනෙකුගෙන් යුතු රැස්වීමකි. එහි සිටින සහෝදරවරුන් පල කල ප‍්‍රතිචාරයක මෙසේ සඳහන් විය: “එක්සත් ජනපද ජනාධිපතිවරනයේ දී ලොව සියලු දෙනාට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ තිබිය යුතු බව තර්ක කරන බර්ලින් රැස්වීමෙහි සිටින කම්කරුවෝ තමන් ජෙරී සහ නයිල්ස්ට ඡන්දය දෙන බව කියා සිටිති.”

ජෝසෆ් කිෂෝර් ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට කල කථාව

ඉතින්, අපි ඔබ සමග එකඟ වන්නෙමු. එක්සත් ජනපද මැතිවරනය ජාත්‍යන්තර ඵලවිපාක සහිත ජාත්‍යන්තර මැතිවරනයකි. මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාවේ සහ රුසියාවට එරෙහි ව අලුත් යුද්ධ සඳහා කුමන්ත‍්‍රනය කිරීම සඳහා එක පෙරමුනකට එන මෙන් බල කිරීමට මේ දැන් ඔබාමා ජර්මනියට ගියා විතරයි. ධනේශ්වර ප‍්‍රභූන්ගේ මේ කුමන්ත‍්‍රනයට, ජර්මානු හා ඇමෙරිකානු පාලක පන්තියේ යුද සැලසුම්වලට, අප ප‍්‍රතිචාර දක්වන්නේ අධිරාජ්‍යවාදයට එරෙහි ව හා ධනේශ්වර පද්ධතියට එරෙහි ව එක්සත් ජනපදයේ, ජර්මනියේ සහ ලොව වටා කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් මගිනි.

මේ රැලිය, මැයි දිනයෙහි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහෝදරත්වය පිලිබඳ ඓතිහාසික දිනයෙහි මූලික අරමුන පිලිබඳ නිශ්චිත ප‍්‍රකාශනයකි. මැයි දිනයේ අරමුන වූයේ “එම දිනය තුල සියලු රටවල කම්කරුවන්ගේ එක වර සිදු කෙරෙන පෙලපාලි මගින්, එක ලෝක මධ්‍යස්ථානයක් සහ එක ලෝක දේශපාලන හැඩගැස්මක් ඇති කරගැනීම සඳහා, විප්ලවවාදී කි‍්‍රයාකාරීත්වයෙහි තනි ජාත්‍යන්තර නිර්ධන පන්තික සංවිධානයක් තුලට ඔවුන් ආකර්ෂනය කරගැනීමට පදනම සූදානම් කිරීම” බව ලෙනින් සමග රුසියානු විප්ලවයේ සම නායක වූ ද හතරවැනි ජාත්‍යන්තරයේ සමාරම්භකයා වූ ද ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය.

අද දින අපේ අරමුන වන්නේ එය යි. යුද්ධය තුල සිය වඩාත් අන්තරායකර ප‍්‍රකාශනය අත් කරගන්නා වූ, ධනේශ්වර ක‍්‍රමයේ ගෝලීය අර්බුදයට දැක්විය යුතු අත්‍යවශ්‍ය ප‍්‍රතිචාරය වන්නේ කම්කරු පන්තිය ගෝලීය පරිමානයෙන් එක්සත් කිරීම යි.

අද දින ඉදිරිපත් කෙරුනු කථා, අතිශයින් පුපුරනසුලු ලෝක වාතාවරනයක් පිලිබඳ බලගතු චිත‍්‍රයක් සම්පාදනය කරයි. ඒවායේ ඒකාබද්ධ බලපෑම අප හමුවේ පවතින දැවැන්ත කර්තව්‍යය පැහැදිලි කරයි. අප ජීවත් වන්නේ කෙලවරක් නැති යුද කාලපරිච්ඡේදයක් තුල ය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිති අනුක‍්‍රමයෙන් වැඩෙන මිලිටරි ගැටුමින් යුත් අවුරුදු විසි පහක්; එක්සත් ජනපද හා යුරෝපීය බලවතුන්ගේ නව යටත්විජිතවාදී මෙහෙයුම් සඳහා වූ ව්‍යාජ හේතු හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් විනාශ කිරීම සඳහා වූ සියල්ල අලලා ගත් සාධාරනීකරනය, වසර පහලොවක “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය”.

අප අද දින කථා තුල දුටු පරිදි, ව්‍යාප්ත වෙමින් පවතින ජාත්‍යන්තර ප‍්‍රචන්ඩත්වයේ සුලිය සිය කක්ෂය තුලට සෑම රටක් හා මහාද්වීපයක් ම ඇද ගනිමින් සිටී. චීනය වටලෑමේ අරමුන ඇති ව පෙරදිග ආසියාවේ සහ පැසිෆික් කලාපයේ සිදු වන එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” සමස්ත කලාපය ම ඊට පටලාගනිමින් තිබේ. ඕස්ටේ‍්‍රලියාව දකුනු පැසිෆික් කලාපය තුල ඇමරිකාවේ ගුවන් යානා රැගෙන යන්නා බවට පත් වෙමින් සිටින අතර, ජපානය සිය ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යලි අර්ථ නිරූපනය කරමින් න්‍යෂ්ටික අවි පිලිබඳව පවා සලකා බලමින් සිටී. දෙවන ලෝක යුද්ධය අවසන 200,000 කට අධික ජනකායක් ඝාතනය කරමින්, සිවිල් ජනකායක් මත හෙලනු ලැබූ න්‍යෂ්ටික බෝම්බවල ගොදුර බවට පත් වූ රට යි මේ.

මැද පෙරදිග හා මධ්‍යම ආසියාව දැනට මත් මුලු මහත් සමාජ පිටින් විනාශ කොට දැමූවා වූ ද නිකායික ගැටුම් අවුලුවා ලූ ද මිලියන ගනන් සිය වාසභූමිවලින් පිටමං කර දැමූවා වූ ද යුද්ධ හා වාඩිලා ගැනීම්වලින් වනසා දමනු ලැබ ඇත. අපි‍්‍රකාවේ රටවල්, ස්වාභාවික සම්පත් මත පාලනය සඳහා වූ අධිරාජ්‍යවාදී උගුල්වල කෙලවරක් නැති ඉලක්ක වේ. රුසියාවට එරෙහි යුද ව්‍යාපාරය තුල එක්සත් ජනපදය සහ යුරෝපා බලවත්තු නැගෙනහිර යුරෝපය කරා ආයුධ සහ සේනාංක ප‍්‍රවාහයක් යවමින් සිටිති. බටහිර යුරෝපය තුල ජර්මනිය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය සහ ඉතාලිය කොල්ලයේ සිය කුට්ටිය සහතික කරගනු පිනිස යලි මිලිටරීකරනය වෙමින් සිටිති. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉලක්කයක් බවට දිගු කලක් තිස්සේ පත් ව සිටින ලතින් ඇමෙරිකාව, චීනයට එරෙහි තරඟය තුල ඉස්මතු වෙමින් පවතින කේන්ද්‍ර ස්ථානයකි.

ව්‍යාප්ත වෙමින් පවතින කලාපීය යුද්ධ අන් කවරදාකටත් වඩා කෙලින් ම, න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ මහ බලවතුන් සම්බන්ධ වූ ගැටුමක් කරා වර්ධනය වෙමින් තිබේ. ලෝක යුද්ධයක් තුලට කඩා වැටීම වලක්වාගැනීමට තමන්ට ම අවශ්‍ය වන්නේ නම් පවා අධිරාජ්‍යවාදී ආන්ඩුවලට, තමන්ගේ ම ඉවබව නැති ස්වභාවයේ ප‍්‍රතිවිපාක වත් පාලනය කල නොහැකි අතර අධිරාජ්‍යවාදයේ තර්කනය අභිබවා යාම ගැන කියනු ම කවරේ ද?

වැඩෙමින් පවතින මේ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා ප‍්‍රචන්ඩත්වයේ අග්නි ජාලය තුල ඇමරිකානු පාලක පන්තිය කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරයි. කෙසේවතුදු, එහි සාපරාධී කූටෝපායන් වූ කලි ව්‍යසනකාරී ගමන්මාර්ගයක් සිතියම්ගත කරමින් සිටින බංකොලොත් ලෝක පද්ධතියක සංකේන්ද්‍රිත ප‍්‍රකාශනය වේ.

දැන්, දැවැන්ත අන්තරායන් පවතින නමුදු සුවිශාල ශක්‍යතාවන් ද තිබේ. පැරනි පර්යාය කැඩී බිඳී යමින් තිබේ. පුපුරනසුලු සමාජ ආතතීන් රඳවාගැනීමෙහිලා පැරනි දේශපාලන සංස්ථාපිතයෝ එන්න එන්න ම අසමත් වෙමින් සිටිති. අධිරාජ්‍යවාදී යුද්ධය නිපදවන පරස්පර විරෝධයන් ම පන්ති අරගලය උග‍්‍ර කරමින් ද සමාජ විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි නිර්මානය කරමින් ද ඇත.

යුද්ධයේ වියදම ගෙවන්නේ කවුද? මල සිරුරු දමන බෑග්, සුනු විසුනු වී ගිය නිවාස හා නගර, සහ “ජාතික අවශ්‍යතාවන්ගේ” නාමයෙන් “කැපකිරීම්” සිදු කරන මෙන් කෙරෙන කෙලවරක් නොමැති නියමයන්ගේ ස්වරූපයෙන් කම්කරු පන්තිය යි. එයාකාරයෙන් ම කොටස් වෙලඳපොලට පොම්ප කරනු ලබන ටි‍්‍රලියන ගනන් මුදල්වලට, පෘථුල ව පැතිර යන විරැකියාවේ, දුගී භාවයේ හා සමාජ අයිතීන් සංහාරයේ ස්වරූපයෙන් වන්දි ගෙවීමට බල කරනු ලැබ ඇත්තේ ද කම්කරු පන්තියට යි. තේරුම් ගත නොහැකි තරමේ මුදල් කන්දරාවක් සමුච්චයන කරගෙන සිටින මූල්‍ය ප‍්‍රභූ තන්ත‍්‍රයක තරවුනු ධනස්කන්ධය සුරක්ෂිත කරනු පිනිස යි ඒ.

එක්සත් ජනපදය ද ඇතුලු ව ලොව පුරා ම වර්ධනය වන පන්ති අරගලයේ සංඥාවන් අපට පෙනෙන්ට පටන් ගනිමින් තිබේ. ජෙරී වයිට් සහෝදරයා කී පරිදි, ඇමරිකානු පාලක පන්තිය සිය රට තුල සිටින වඩාත් ම අන්තරායකර සතුරාට, එනම් ඇමරිකානු කම්කරු පන්තියට මුහුන පා සිටී. මිලියන සංඛ්‍යාත ඇමරිකානු තරුන ජනතාවක් තමන් සමාජවාදීන් වසයෙන් හඳුන්වාගැනීමෙන් අදහස් වන්නේ කුමක් ද? එමෙන් ම [මෙසේ හඳුන්වාගැනීම] සිදු වන්නේ “අසීමිත අවස්ථාවන්ගේ”, “ඇමරිකානු වෛකල්පිකවාදයේ”, “ඇමරිකානු සිහිනයේ” දේශය තුල වීමෙන් අදහස් වන්නේ කුමක් ද? පරම්පරා ගනනක් තිස්සේ සමාජවාදය නොතකා හැර හෝ අපවාදයට ලක් කොට සහ යටපත් කරනු ලැබ තිබුනු රටක් තුල වීමෙන් අදහස් වන්නේ කුමක් ද?

වෛෂයික කොන්දේසි තුල හට ගැනෙන වෙනස, කම්කරුවන්ට සිය සිතුම් පැතුම් ද වෙනස් කරගැනීමට මග පාදයි.

එක්සත් ජනපදය තුල සිදු වෙමින් පවතින දෙය ඉමහත් වැදගත්කමක් උසුලන නමුදු එය එරටට පමනක් විශේෂ වූවක් නො වේ. දක්ෂිනාංශික කම්කරු නීති ප‍්‍රතිසංස්කරනවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කිරීමට එරෙහි ව සිටින ප‍්‍රන්සයේ කම්කරුවන් වේවා, යුද්ධයට හා යලි මිලිටරීකරනයට ගැඹුරු විරෝධයකින් යුත් ජනකායක් සහිත චීනයේ හා ඉන්දියාවේ මෝටර් කාර්මික අරගල සහ සෙසු වර්ජන රැල්ල තුල වේවා, සෑම තැනක ම කම්කරුවෝ රැඩිකලීකරනය වෙමින්, දේශපාලනීකරනය වෙමින්, සමාජවාදය දෙසට හැරෙමින් ඉදිරි මගක් සොයමින් සිටිති.

ජාත්‍යන්තර කම්කරු පන්තිය වූ කලි අතිදැවැන්ත සමාජ බලවේගයකි. විරෝධය නිර්මානය කිරීම හා අරගලයට අවතීර්න වන මෙන් පුලුල් කම්කරු ජනකායන් ඒත්තු ගැන්වීම අපේ කාර්යය නො වේ. ඒ වෙනුවට අපේ කාර්යය වන්නේ වෙන් වෙන් ව පවතින අරගල අධිරාජ්‍යවාදයට හා ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු දේශපාලන අරගලයක් තුලට එක්සත් කරනු පිනිස, වත්මන් අර්බුදයේ සැබෑ ස්වභාවය හා එහි ලෝක-ඓතිහාසික ඇඟවුම් පිලිබඳ අවබෝධයක් කම්කරු පන්තිය තුල වර්ධනය කිරීම යි.

මෙය සාක්ෂාත් කරගැනීම සඳහා, දේශපාලන නායකත්වයක් ගොඩනැඟිය යුතු ය. එම නායකත්වය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. අධිරාජ්‍යවාදයට එරෙහි සටනට උර දිය හැකි හා උර දෙනු ඇති වෙනත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් නැත. බර්නි සැන්ඩර්ස්ගේ “දේශපාලන විප්ලවයේ” නින්දිත අභාවය ලොව පුරා විවිධ රූපාකාරවලින් ප‍්‍රතිබිම්බිත වී තිබේ: ගී‍්‍රසියේ සිරිසා සංවිධානයේ, බි‍්‍රතාන්‍යයේ ජෙරමි කෝර්බින්ගේ, බ‍්‍රසීලයේ පීටී සංවිධානයේ කටයුතු වලින් ය.

මෙයට, “මානව හිමිකම් උදෙසා මැදිහත්වීම්” ඉල්ලා සටන් කරන්නන්, සිරියාව හා ලිබියාව තුල සීඅයිඒ මෙහෙයුමට පිටුබල සැපයූවන්, චීනයට හා රුසියාවට එරෙහි යුද්ධය වෙනුවෙන් උද්ඝෝෂනය කරන්නන්, “ප‍්‍රතීක අධිරාජ්‍ය විරෝධය” (knee-jerk anti-imperialism) ප‍්‍රතික්ෂේප කලවුන් ඇතුලු සියලු ව්‍යාජ වාම සංවිධාන ද එකතු කල යුතු ය.

ඔවුන් ධනවාදයට සහාය පල කරන බැවින් ද කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට සතුරු බැවින් ද මේ සියලු බලවේග අධිරාජ්‍යවාදයට ආධාර කරති. මේ දේශපාලන බලවේග නියෝජනය කරන පන්ති අවශ්‍යතා වඩාත් පැහැදිලි ව ප‍්‍රකාශයට පත් වන්නේ යුද්ධය කෙරෙහි මොවුන්ගේ ආකල්පය තුල යි.

නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතු ය. එහෙත් එය, යුද්ධයට එරෙහි අරගලයකින් තොර ව සමාජවාදය සඳහා සටනක් තිබිය නොහැකි සේ ම, සමාජවාදය සඳහා සටනකින් තොර ව යුද්ධයට එරෙහි අරගලයක් තිබිය නොහැකි ය යන අවබෝධය තුල මුල්බැස තිබිය යුතු වේ. මේ යුද විරෝධී ව්‍යාපාරය කම්කරු පන්තිය මත පදනම් විය යුතු ය; එය සමාජවාදී විය යුතු ය. එය ස්වාධීන ද ධනේශ්වර පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධානවලට සතුරු ද විය යුතු ය. තව ද, අන් සියල්ලට ම වඩා, එය අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ යෝධ ශක්තිය බලමුලුගන්වන ජාත්‍යන්තර ව්‍යාපාරයක් විය යුතු ය.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටනේ දී අප ඉදිරිපත් කරන වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය මෙය යි. මේ රැලිය, සැබැවින් ම මෙම ව්‍යාපාරය සඳහා වූ දේශපාලන පදනම යි.

මේ රැලිය ආයාචනයකින් සමාප්ත කිරීමට මම කැමැත්තෙමි: අද සවන් දෙමින් සිටින සියලු දෙනා වෙත: සමාජවාදය සඳහා සටනට අවතීර්න වන්න! හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනඟන්න. ශාඛා තිබෙන තැන්වල, සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න. ශාඛාවන් නැති තැන ශාඛා ගොඩනැඟීමට දායක වන්න. ඔබේ පාසැලේ හෝ විශ්ව විද්‍යාලයේ ‘සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ’ සංවිධානයේ ශාඛාවක් පිහිටුවන්න. ඔබේ කම්හලේ හෝ සේවා ස්ථානයේ සසප කන්ඩායමක් ගොඩනඟන්න. සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩපිලිවෙල අධ්‍යයනය කොට සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයට බැඳීමේ තීරනය ගන්න!

Share this article: