2016 මැයි දිනය සහ සමාජවාදයේ අනාගතය

May Day 2016 and the future of socialism

2016 මැයි 4

ඉරුදින පැවති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තුන්වන වාර්ෂික අන්තර්ජාල මැයි දින රැලියට ලොව පුරා කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ පුලුල් සහභාගිත්වයක් ආකර්ෂනය කර ගැනුනි. මානව වර්ගයාගේ අනාගතයට තර්ජනය කරනු ලබන පැතිරෙමින් තිබෙන අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයට ප‍්‍රතිචාර දක්වන අව්‍යාජ මාක්ස්වාදී සහ සමාජවාදී ඉදිරිදර්ශනයක් කම්කරු පන්තියට ඉදිරිපත් කල එකම ජාත්‍යන්තර සංසිද්ධිය වූයේ එය ම පමනි.

රැලිය හජාජාක දේශපාලන ආනුභාවයේ වැදගත් වර්ධනයක් පිලිබඳ ප‍්‍රකාශනයකි. රැස්වීමට 2500 ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ අතර එය 2015 ට වඩා සියයට 40 වැඩිවීමකි. අසන්නන්ගේ රටවල් ගනන සියයට 80 සිට 90 දක්වා ඉහල නැගුනි. විශාල සංඛ්‍යාවක්, එනම් 750 ට ආසන්න අසන්නන් පිරිසක් රැලිය ගැන අදහස් ප‍්‍රකාශ කිරීමෙන් ද ශ‍්‍රාවකයේ ප‍්‍රමානය පිලිබිඹු විය.

ප‍්‍රතිචාරය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දේශපාලන ආනුභාවය වර්ධනයවීම සනාත කරන සෙසු ඇඟවුම් තහවුරු කරයි. කොම්පෙට්.කොම් වෙබ් අඩවිය ට අනුව ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසි මුලු සංඛ්‍යාව පෙබරවාරි සහ මාර්තු මාස වල දී දෙලක්ෂ පනස් දහසකට ආසන්න විය. එය කලින් වසරට වඩා සැලකිය යුතු වැඩිවීමකි.

වැදගත් වෛෂයික සාධකයෝ මෙම වර්ධනයන්ට යටින් පවතිත්. පලමුව, භූ-දේශපාලන ගැටුමේ දැවැන්ත තීව‍්‍රවීමක් හා යුද්ධය කෙරෙහි ජාත්‍යන්තරව කම්කරුවන් සහ තරුනයන් අතර වැඩෙන උත්සුකයකින් පසුගිය වසර සංලක්ෂිත විය. පසලොස් වෙනි සංවත්සරයට අවතීර්න වන “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” රුසියාව සහ චීනය ආර්ථිකව සහ මිලිටරිමය ලෙස වැටලීමේ එක්සත් ජනපදයේ වඩ වඩා ප‍්‍රකෝපකාරී ප‍්‍රයත්නයන් කෙරෙහි යොමු වූ ප‍්‍රධාන බලයන් අතර ගෝලීය ගැටුමක් තුලට වර්ධනය වෙමින් තිබේ. න්‍යෂ්ටික යුද්ධයක ශක්‍යතාව ගැන නැවත වරක් ආන්ඩු ප‍්‍රධානින් සහ භූ-දේශපාලන මූලෝපායඥයන් විසින් සාකච්චා කරනු ලබයි.

දෙවනුව, 2008 ආර්ථික අර්බුදයේ දිගුකාලීන බලපෑම සහ එහි ප‍්‍රතිපලයක් ලෙස පන්ති සම්බන්ධතාවල ප‍්‍රතිව්‍යුහගතවීම දේශපාලන මානයක් සහිතව සමාජ සටන්කාමිත්වයේ වර්ධනයක ප‍්‍රකාශනය අත්කර ගනිමින් තිබේ. එක්සත් ජනපදය, ලෝක අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානය තුල දේශපාලනිකව ආධිපත්‍යය දැරුව පැරනි දේශපාලන පක්ෂ සහ ඒවායේ සාම්ප‍්‍රධායික නියෝජිතයන්ගේ අධිකාරිය බිඳවැටීමක් දක්නට ලැබුනු මැතිවරන උද්ඝෝෂනයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මංඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් රැලියට ඔහු ඉදිරිපත් කල ආරම්භක කතාවේ සටහන් කල පරිදි:

ලොව වටා කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ධනේශ්වර විරෝධී, දේශපාලන රැඩිකලීකරනයක් පිලිබඳ බොහෝ සලකුනු ඇත. ඉන් වඩාත්ම වැදගත් එක වන්නේ, මෑතකදී පැවැත්වූ ප‍්‍රාථමික මැතිවරන වලදී ඇමරිකානු කම්කරුවන් මිලියන ගනනක් සිය ඡන්දය, තමා සමාජවාදියෙක් ලෙස හඳුන්වා ගන්නා අපේක්ෂකයාට දීම විය හැකි ය. බර්නි සෑන්ඩර්ස්ගේ “සමාජවාදය” ලිබරල්වාදයෙන් උනුසුම් වූ දෙයකට මඳක් වැඩි දෙයක් පමනි. එහෙත් සෑන්ඩර්ස් සහයෝගය දිනා ගත්තේ, ඔහුගේ දේශපාලන අවස්ථාවාදය නිසා නොව, සමාජ අසමානතාවට විරුද්ධ, ඔහුගේම වචන වලින් පැවසුවහොත් ඔහු, “දේශපාලන විප්ලවයක්” ගෙන යනු ඇතැයි කම්කරුවන් කල්පනා කල බැවින් ය.

සෑම රටකම දේශපාලන තත්වයේ ප‍්‍රධාන සාධකය ලෙස පන්ති අරගලය ඉස්මතු වෙමින් තිබේ. සමාජවාදී පක්ෂයේ ආන්ඩුව විසින් ක‍්‍රියාවට දැමූ දක්ෂිනාංශික කම්කරු නීති වලට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී “හදිසි තත්වය” ට විරුද්ධ ව ප‍්‍රන්සය තුල ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ සහ තරුනයෝ පසුගිය වසර පුරාම විරෝධතා උද්ඝෝෂනවලට සහභාගී වූහ. වැටුප් සහ වැඩ කොන්දේසි වලට පහර දීමට එරෙහිව චීනයේ සහ ඉන්දියාවේ රථවාහන කම්කරුවෝ වර්ජන වලට එලඹුනා හ. බැංකු විසින් නිර්දේශිත අතොරක් නැති කප්පාදු පිලිවෙත් කෙරෙහි යුරෝපය පුරාම ගැඹුරු විරුද්ධත්වයක් තිබේ.

ජාත්‍යන්තර කමිටුවේ ආනුභාවය වර්ධනයවීමේ තවත් මූලික කාරනාවක් වන්නේ අව්‍යාජ මාක්ස්වාදය සහ “වම්මුන්” කියා ගන්නා නමුත්, ඇත්ත වසයෙන් ම, මධ්‍යම පන්තියේ වඩාත් වරප‍්‍රසාදිත කොටස් වල අවශ්‍යතාවයන් නියෝජනය කරන සංවිධාන වල දේශපාලනය අතර වෙනස වඩ වඩා පැහැදිලිවීම ය. පසුගිය වසරේ ජනවාරි මාසයේ ග‍්‍රීසිය තුල බලයට පත් වූ සිරිසාව එහි සියලු ම මැතිවරන පොරොන්දු ඉතා ඉක්මනින් කඩ කලේ ය. මහාද්වීපය පුරා සරනාගතයන් ට විරුද්ධ ව රුදුරු ප‍්‍රහාර එල්ල කරන “රැඩිකල් වාම සභාගය” 2015 වසර අග දී යුරෝපා සංගමයේ පිටුබලය ලත් කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දමමින් සිටියේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂන පාදක කර ගනිමින් කම්කරුවන් සහ තරුනයන් කොටසක් මෙම අත්දැකීමෙන් නිගමන උකහා ගැනීමට පටන් ගෙන ඇත.

දේශපාලන සවිඥානකත්වය හා කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් අතර දැවැන්ත පරතරයක් තවමත් තිබේ. රැලියට සහභාගී වූ ශ‍්‍රාවකයා තවමත් ලක්ෂ හෝ දස ලක්ෂ ගනනක් නොවේ; දහස් ගනනකි. එහෙත් විශාල සංඛ්‍යාවන් එනු ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයේ වර්ධනය සහ මැයි දින රැලියට ලැබුන ප‍්‍රතිචාරය අව්‍යාජ සමාජවාදී දේශපාලනයට ලොව පුරා කම්කරුවන්ගේ වඩාත් පුලුල් යොමුවීමක් අපේක්ෂා කරයි.

මෙහි දී දේශපාලන නායකත්වය පිලිබඳ ප‍්‍රශ්නය තීරනාත්මක වේ. සමාජවාදී විප්ලවයක් වර්ධනය වන්නේ කම්කරු පන්තියේ වෛෂයික ව්‍යාපාරය සහ විප්ලවවාදී පක්ෂයේ මැදිහත්වීම අතර සිදුවන අන්තර්ඡේදනය තුලිනි.

සියලුම කථිකයන් විසින් ඒකාබද්ධ සහ දේශපාලනිකව සුසංගත ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කිරීම මැයි දින රැලියේ වඩාත් කැපීපෙනුන අංගය වූයේ ය. එක්සත් ජනපදයේ, බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ, ශ‍්‍රී ලංකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ හජාජාක නායකයෝ ශතවර්ෂ කාර්තුවක විරාමයක් නැති යුද්ධය, ඔබාමා ආන්ඩුවේ “ආසියාවට හැරීම” ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව සහ සමස්ත පැසිෆික් කලාපය මත ඇතිකරන බලපෑම; ජර්මානු මිලිටරිවාදයේ නැගීම, යුරෝපයේ අර්බුදය සහ රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී උද්ඝෝෂනය, එක්සත් රාජධානිය තුල බ්‍රෙක්සිට් උද්ඝෝෂනය; යුරෝපය, මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකාව තුල සරනාගත අර්බුදය; ලතින් ඇමරිකාව සම්බන්ධ ව එක්සත් ජනපදය හා චීනය අතර පවතින ආතතිය සහ එක්සත් ජනපදයේ දේශපාලන අර්බුදය ඇතුලුව ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන ඉතා වැදගත් සමහර දේශපාලන ප‍්‍රශ්න ගැන කතා කලහ. මෙම කතා ඉදිරි සතිය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරෙනු ඇත.

යුද්ධයට, සමාජ අසමානතාවයට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට විරුද්ධ ව පැන නගින අරගල සඳහා දේශපාලන නායකත්වයක් ගොඩනැගීම සහ සියලු ම රටවල කම්කරු පන්තිය එකමුතු කිරීමට සටන් කිරීම සියලු කතාවල මූලික තේමාව වූයේ ය. ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් ඔහුගේ කතාවේ දී අවධාරනය කල පරිදි “ගෝලීය පන්තියක් ලෙස ඔවුන්ගේ අවශ්‍යතාවයන් සංගෘහිත කරන ඉදිරිදර්ශනයකින් හා ක‍්‍රියාමාර්ගයකින් සහ අගහිඟ කමින් හා යුද්ධයෙන් තොර නව සමාජ පර්යායක ප‍්‍රමුඛයා ලෙස ලොව පුරා කම්කරුවන්ගේ ආරම්භක කැරැල්ල සන්නද්ධ කිරීම තීරනාත්මක ප‍්‍රශ්නය” වේ.

ඉමහත් විප්ලවවාදී සාරදර්ශනයකින් යුතු ව හජාජාක පෙරට යයි. ධනවාදී අර්බුදය යුද්ධය පමනක් නොව; සමාජවාදී විප්ලවය සඳහා ද කොන්දේසි නිර්මානය කරන්නේ ය. එක්සත් ජනපදයේ දේශපාලන තත්වය විශ්ලේෂනය කරමින් ඩේවිඩ් නෝර්ත් එය ඉදිරිපත් කල පරිදි “එක්සත් ජනපදය තුල කම්කරු පන්තිය කෙදිනකවත් සමාජවාදය වෙතට යොමු නොවන බවට ඇමරිකානු සුවිශේෂතාවාදයේ කතාන්තරය අසත්‍ය බව ප‍්‍රයෝගික ව සනාත වී ඇත. ඇමරිකානු පන්ති අරගලයේ ඉතිහාසය තුල නව පරිච්චේදයක් ආරම්භ වෙමින් තිබේ. එක්සත් ජනපදය තුල දිගුකාලයක් මර්දනය කර තිබූ සමාජවාදය පුපුරන සුලු වර්ධනයක් අත්කර ගනිමින් ඇත.”

මෙහි ඉතා දුරදිග යන ජාත්‍යන්තර ඇඟවීම් තිබේ. සමාජවාදය සඳහා සහයෝගය වර්ධනය වන්නේ ජාතික නොව; ගෝලීය සන්තතියක් ලෙස ය.

එක් ඓතිහාසික කාල පරිච්චේදයක් අවසන් වී නව කාල පරිච්චේදයක් ආරම්භ වෙමින් තිබේ. ස්ටැලින්වාදය සහ සහ “වාම” දේශපාලනයේ දක්ෂිනාංශික මාරුවත් සමග සෝවියට් සංගමය විසුරුවා හැරීම මගින් නිර්මානය කල ශතවර්ෂ කාර්තුවක දේශපාලන ව්‍යාකූලතාවය හා අවමංගත කිරීම පහව යමින් දේශපාලන රැඩිකලීකරනයේ සහ අරගලයේ කාලපරිච්චේදයකට මග විවර කොට තිබේ.

හජාජාක ඉතිහාසය තුල සහ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ධනපති ක‍්‍රමයට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනේ දී මැයි දින රැලිය වැදගත් සංසිද්ධියක් විය. ඉදිරියේ එන දැවැන්ත අභියෝගයන් හඳුනා ගන්නා අතර මැයි දින රැලිය තුල අපි මෙම වැදගත් හැරුම්ලක්ෂ්‍යය සනිටුහන් කරමු.

ජෝසප් කිෂෝර්

Share this article: