බටහිර වර්ජිනියා ආකර කම්කරුවන් අතර ට්‍රම්ප්ට පවතින සහයෝගයට හේතු කවරේ ද?

What accounts for Trump’s support among West Virginia miners?

2016 මැයි 7

රිපබ්ලිකන් පක්ෂයේ නියත ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමෙන් පසුව පැවැත්වූ ප්‍රථම මැදිහත්වීමේදී වාචාලයෙක් වන ප්‍රකෝටිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බටහිර වර්ජිනියාහි චාල්ස්ටන් නගරයේ දී 05දා විශාල රැලියක් පැවැත්වී ය. මධ්‍ය බටහිර “මලකඩ තීරුවේ" ප්‍රාන්ත කිහිපයක දී කර ඇතුවාක් මෙන් මෙහි දී ද ට්‍රම්ප් උත්සාහ කලේ, ආර්ථික අර්බුදයෙන් විනාසයට පත්ව සිටින ආකර කම්කරුවන් ඇතුලු කම්කරුවන්ගේ ඉච්ඡා භංගත්වය හා දුක්ගැනවිලි ගසා කෑමට යි.

පසුගිය වසරේ පමනක් දැව හා ආකර කර්මාන්තයේ රැකියා නියුක්තිය සියයට 20.5කින් පහත හෙලමින්, කඳුකර ප්‍රාන්තය තුල 2013 වසරේ පටන් ආකර කම්කරුවන් 11,000කට වැඩි දෙනෙකුට රැකියා අහිමි කොට තිබේ. එක්සත් ජනපදය තුල මිසිසිපි ප්‍රාන්තයට පමනක් පිටුපසින් සිටින, දෙවන දිලිඳු ම ප්‍රාන්තය බටහිර වර්ජිනියාවයි. මුලන්ස්, වෙල්ෂ්, ගේරි හා මේට්වන් වැනි අතහැර දමන ලද ආකර කම්කරු නගරවල වැඩිහිටි පිරිමින්ගෙන් අඩක් හා හතරෙන් තුනක් අතර ප්‍රමානයක් රැකියා විරහිතය.

සිය සුපුරුදු පිලිවෙල අනුව යමින් “අපගේ රැකියා පැහැර ගැනීම" ගැන මෙක්සිකෝව, චීනය හා ජපානයට චෝදනා කල ට්‍රම්ප්, ගල් අඟුරු ආකරවල පවත්නා වැඩ කොන්දේසි ගැන දොස් පැවරුවේ “වැරදි වෙලඳ ගිවිසුම්" හා “පමන ඉක්මවූ නියාමනය" ට ය. “අපි ආකර නැවත විවෘත කර, කම්කරුවන්ට ආයෙත් රැකියා ලබා දී ඇමරිකාව යලිත් ශ්‍රේෂ්ඨ රටක් බවට හරවනවා" යයි ඔහු ගුගුලේ ය.

ව්‍යාජ ජනතාවාදී ට්‍රම්ප් සතුව බටහිර වර්ජිනියා කම්කරුවන්ට දීමට කිසිවක් නැත. “මෝඩ නියාමනයන්" අවසන් කරන බවට ඔහු දෙන පොරොන්දුවේ අර්ථය, ආකර කම්කරුවන් සූරාකෑමට තවමත් ඇති බාධා ඉවත් කිරීම යි. ගල් අඟුරු සංගත විසින් මෙම ආකර කම්කරුවන් නො නවත්වා දංගෙඩියට යැවෙන අතර වැඩි ම වුනොත් එම සංගතයන්ට සුලු තරවටුවක් කෙරෙනු ඇත. තම අදහස් දැක්වීම්වලින් පසුව, ප්‍රාන්තයේ ආකර කම්කරුවන්ගේ රැකියා, විශ්‍රාම වැටුප් හා ආරක්ෂක කොන්දේසි වලට ප්‍රහාර එල්ල කර ඇති බටහිර වර්ජිනියා ගල් අඟුරු සංගමයේ අනුමැතිය ඔහුට ලැබුනි.

කම්කරුවන් අතර ආකර්ශනයක් දිනා ගැනීමට ට්‍රම්ප් සමත් වීමේ හේතුව, වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය හා කම්කරුවන්ගේ ආර්ථික දුෂ්කරතා පිලිබඳ නො තැකීම, වාර්ගික හා අනන්‍යතා දේශපාලනය තුලින් ආවරනය කරගැනීමට වලිකන ඩිමොක්‍රටික් පක්ෂයට කම්කරු පන්තිය යටත් කිරීම සඳහා ඔවුන් ඉටුකර තිබෙන වැඩ කොටස යි.

ස්වදේශික ඇපලාචියන්වරු, නැගෙනහිර හා දකුනු යුරෝපීයයන් හා දකුනේ කලු ජාතික කම්කරුවන් තමන්ගේ පතල්වල අනතුරුදායක වැඩෙහි යෙදවීමට, කොල්ලකාරී ප්‍රභූන් ක්‍රියාත්මක වූ 19වන ශතවර්ෂයේ අග භාගය දක්වා දිවෙන කටුක පන්ති අරගලයන්ගේ දීර්ඝ ඉතිහාසයකට බටහිර වර්ජිනියාව හා අසල්වැසි නැගෙනහිර කෙන්ටකි ප්‍රාන්තය උරුමකම් කියයි. 1912-13 සමයේ තීන්ත හා නාවික වරාය කම්කරු වර්ජන, 1920 සුප්‍රකට මේට්වන් සංහාරය සිදු වූ (1919 ආරම්භ වූ) මින්ගෝ ප්‍රාන්ත යුද්ධ හා 1921 බ්ලෙයාර් මවුන්ටන් අරගලයේ සිට 1931-32 සමයේ කෙන්ටකිහි ලේවැකි හාලන් සටන් දක්වා බොහෝ අවස්ථාවල දී ආයුධවලින් පවා සන්නද්ධ වූ ආකර කම්කරුවෝ, ගල් අඟුරු හාම්පුතුන්ගේ, ඔවුන්ගේ කුලීකාර මැරයන්ගේ, අල්ලසට යට වූ විනිසුරුවන්ගේ හා ආන්ඩුවේ හමුදා භටයන්ගේ ප්‍රචන්ඩත්වයට එරෙහි ව සටන් වැදුන හ.

වානේ, රබර්, මෝටර් රථ හා අනෙකුත් මූලික කර්මාන්තවල මිලියන ගනන් කම්කරුවන් සංවිධානය කිරීමටත්, 1935 දී කාර්මික සංවිධාන සම්මේලනය (සීඅයිඕ) ආරම්භ කිරීමටත් ආවේෂය ලැබුනේ ඇමරිකානු එක්සත් ආකර කම්කරු සමිතිය (යූඑම්ඩබ්ලිව්ඒ) බිහි කිරීමෙනි. දෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේ පටන් 1970 ගනන් දක්වා ඇමරිකානු කම්කරු පන්තියේ වඩාත් ම සටන්කාමී හා පන්ති-විඥානිත කොටසක් ලෙස දිගට ම සිටියේ ආකර කම්කරුවන් ය.

ආකර කම්කරුවන් ද සමස්ත වශයෙන් ඇමරිකානු කම්කරු පන්තිය ද යූඑම්ඩබ්ලිව්ඒ හා අනෙකුත් වෘත්තීය සමිති හරහා ඩිමොක්‍රටික් පක්ෂයට හා ධනේශ්වර ක්‍රමයට ඔවුන් යටත් කිරීම එහි විනාශයේ ආරම්භය විය. “කොමියුනිස්ට්වාදයට විරුද්ධ ව වැටුප් ශ්‍රම ක්‍රමය මත පදනම් වෙමින් පුද්ගලික දේපොල පද්ධතිය ද ආයෝජකයාගේ ලාභ ලැබීමේ අයිතිය ද නො වලහා පිලිගන්නා වෘත්තීය සමිතිගත වීම" පිලිගන්නා ලෙස හාම්පුතුන්ට හා ධනේශ්වර රාජ්‍යයට, යූඑම්ඩබ්ලිව්ඒ සභාපති ජෝන් එල්. ලුවිස් 1937 දී ආයාචනා කලේ, සමස්ත සමිති නිලධරය වෙනුවෙන් කතා කරමිනි.

දෙවන ලෝක යුද සමයේ ලුවිස් හා යූඑම්ඩබ්ලිව්ඒ “වර්ජන නො කිරීමේ" පොරොන්දුවකට සහාය දුනි. හිටි හැටියේ සිදු කල වර්ජන මාලාවක් මඟින් එම පොරොන්දුව කඩකල ආකර කම්කරුවෝ සහන ගනනාවක් දිනාගත් ජාතික පරිමාන වර්ජනයක් කැඳවීමට ලුවිස්ට බල කලහ. යුද්ධයෙන් පසුව ඇමරිකානු කම්කරු සම්මේලනය (ඒඑෆ්එල්) හා සීඅයිඕව, කාර්මික වෘත්තීය සමිති ගොඩනැගීමේ දී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකල සමාජවාදී හා වාමාංශික කම්කරුවන් විරේක කිරීමේ ක්‍රියාවලියක් දියත් කලහ. 1955 දී මෙම සම්මේලන දෙක ප්‍රතිකොමියුනිස්ට්වාදයේ හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහාය දීමේ පදනම මත ඒඑෆ්එල්-සීඅයිඕ සංවිධානය තැනීම සඳහා බද්ධ වුනි.

1970 ගනන්වල සිට 1980 ගනන් දක්වාම ඇමරිකානු ධනවාදය දිග්ගැස්සුනු පරිහානි කාල පරිච්ඡේදයකට ඇතුලු වූ විට වෘත්තීය සමිති හා ඩිමොක්‍රටික් පක්ෂය අතර සන්ධානයේ ව්‍යසනකාරී ගම්‍යයන් මුලුමනින්ම පැහැදිලි විය. 1977-78 සමයේ ආකර කම්කරුවන්ගේ දින 111 වැඩ වර්ජනය තලා දැමීමට ටාෆ්ට්-හාට්ලි පනත ක්‍රියාත්මක කල ඩිමොක්‍රටික් ජනාධිපති ජිමී කාටර් යටතේ ඇරඹුනු කෘර ප්‍රතිප්‍රහාරය රොනල්ඩ් රීගන්ගේ රිපබ්ලිකන් පරිපාලනය යටතේ තීව්‍ර කලේ ය.

1981 දී රීගන් පැට්කෝ ගුවන් ගමන් පාලකයින් දොට්ට දැමීම, රටපුරා කම්කරුවන්ට එරෙහි පූර්න පරිමාන ප්‍රහාරයක සංඥාව විය. ගල් අඟුරු පතල්වල දී ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්ගේ සම්පූර්න පිටුබලය ලත් ආකර හාම්පුත්තු, සන්නද්ධ මැරයන්, ආන්ඩුවේ බොරු නඩු හා වර්ජිත කම්කරුවන් මරා දැමීම ආදී 1920 ගනන්වල භාවිත කල වර්ජන බිඳීමේ හා සමිති තලා දැමීමේ ක්‍රමවලට හැරී ගති.

එවකට යූඑම්ඩබ්ලිව්ඒ සභාපති වූ රිචඩ් ටෘම්කා ඒටී මැසි, පිට්සන්, මිල්බර්න් හා අනෙකුත් සමාගම්වල වර්ජන හුදකලා කොට කඩාකප්පල් කලේ ය. යූඑම්ඩබ්ලිව්ඒ සමිතිය හිස් කෝම්බයක් බවට ලඝු කිරීම වෙනුවෙන් ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ධුරයට නම් කොට ටෘම්කාට උපහාර දක්වන ලදී.

ධෛර්යය, සටන්කාමීත්වය හෝ ස්වයං කැපකිරීම අතින් ආකර කම්කරුවන් කිසිදා පසුබට නො වුන ද ඩිමොක්‍රටික් පක්ෂයට හා ආර්ථික ජාතිකවාදයට කම්කරු පන්තිය යටත් කිරීමේ ගොදුරක් බවට ඔවුන් පත් විය. ආකර කම්කරුවන් මත පටවන ලද පාවාදීම්, ලෝකයේ ඕනෑම තැනකට ලාභ ශ්‍රමය හා ඉහල ලාභ සොයා නිෂ්පාදනය විතැන් කල හැකි අන්තර්ජාතික සංගතවල මතු වීමට එක්සත් ජනපදයේ ද ලොව පුරා ද වෘත්තීය සමිති පුලුල් පරිමාන ව දැක්වූ ප්‍රතිචාරයේ කොටසක් විය. ගෝලීයකරනයට මුහුන දුන් මෙම සංවිධාන, හාම්පුතුන්ගේ ප්‍රහාරවලට දැක්වූ සියලු විරුද්ධත්වයන් ඉවත හෙලා, වැටුප් කප්පාදුවේ හා එක්සත් ජනපදය තුල නිෂ්පාදනය රඳවා ගැනීමට සංගතවලට බල කිරීම සඳහා ඒවාට සහන පිදීමේ ව්‍යාපාර ගැති පිලිවෙතක් අනුගමනය කලේ සංගත කලමනාකාරීත්වයට හා ධනේශ්වර රාජ්‍යයට ඔවුන්ම ද මුලුමනින් ඒකාග්‍ර කෙරුනි.

සමස්ත කම්කරු පන්තිය මෙන්ම බටහිර වර්ජිනියා කම්කරුවන් ද මුහුන දෙන්නේ තමන්ගේ අවශ්‍යතාවලට අත්‍යන්තයෙන් හතුරු දේශපාලන පද්ධතියකට ය. ඩිමොක්‍රටික් පක්ෂය කලින් පෙනී සිටි සමාජ ප්‍රතිසංස්කරන අත්හැර දමා ඇත. එය වනාහි, අනන්‍යතා දේශපාලනයේ පදනම මත ඉහල මධ්‍යම පන්තියේ දූෂිත ස්ථරයන් සමඟ පෙල ගැසී සිටින, වෝල් වීදියේ පක්ෂයකි. එහි ප්‍රධාන අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන්, ගසා කෑමට ට්‍රම්ප් උත්සාහ කරන වර්ගයේ ගර්හාවට ලක්වන තැනැත්තියකි. නිව් යෝක් ටයිම්ස් 06දා සංස්කරනයේ ට්‍රම්ප් පිලිබඳ ව ලියූ තීරු ලිපි රචක පෝල් ක්රුග්මාන්, විශේෂයෙන් ම සුදු ජාතික කම්කරුවන් හෙලා දැකීමේ වර්ගවාදී දේශපාලනය ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂය කම්කරු පන්තිය කෙරෙහි දරන හතුරු ආකල්පය කැටි කොට දැක්වීය. ඔහු මෙසේ ට්‍රම්ප් ගැන ලිවී ය: “අප දකිමින් සිටින්නේ එක්තරා කාලයක ඇමරිකානු සමාජය මත තමන් දැරූ ආධිපත්‍යය තව දුරටත් එසේ නො වන බව දැක ගන්නා සුදු මිනිසුන්ගේ කෝපාවිෂ්ඨ ව්‍යාපාරයකි."

වෙනත් වචනවලින් කියතොත් බටහිර වර්ජිනියා වැනි ආර්ථික වසයෙන් ව්‍යසනයට පත් ප්‍රදේශවල කම්කරුවන්ට ලැබෙන්නේ ඔවුන්ට උචිත දෙය යි! මෙමඟින් කැටිකොට දක්වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලන කක්ෂය තුල සිටින මධ්‍යම පන්තික “වම්මුන්ගේ" හා ව්‍යාජ-වම්මුන්ගේ සමාජ දෘෂ්ටිය යි. ඇමරිකානු දේශපාලනය තුල “වාම" යයි පිලිගන්වන දෙය තුල කම්කරු පන්තිය කෙරෙහි පවත්නා පිලිකුල් සහගත හා උද්ධච්ඡ ආකල්පය සහ එය සහාය දක්වන කප්පාදුවේ හා යුද්ධයේ දක්ෂිනාංශික පිලිවෙත්, කම්කරුවන්ගේ කොටසක් අතරින් ශ්‍රාවකත්වයක් දිනා ගැනීමට ට්‍රම්ප් වැනි ෆැසිස්ට් වාචාලයෙකුට කොන්දේසි නිර්මානය කරයි.

ට්‍රම්ප්ගේ අති දක්ෂිනාංශික දේශපාලනය යෝධ අන්තරායන් මතු කරයි. එහෙත් ට්‍රම්ප් කෙරෙහි පවතින උද්‍යෝගය කිසිසේත් විශ්වීය නො වේ. ඔහුගේ ස්වදේශවාදයට හා සංක්‍රමන විරෝධී වර්ගවාදයට වැඩ කරන ජනයා හා තරුනයන් අතර ගැඹුරු හතුරුකමක් හා විරෝධයක් පවතී. බොහෝ කම්කරුවෝ හා තරුනයෝ ප්‍රකෝටිපති අපේක්ෂකයාගේ වංචනිකත්වය දැක ගනිති. බටහිර වර්ජිනියාවේ දී ක්ලින්ටන් අභිබවා ගිය බර්නි සෑන්ඩර්ස්ගේ අපේක්ෂකත්වයට දක්වන සහයෝගය තුල ප්‍රකාශනය අත්පත් කරගෙන ඇත්තේ කම්කරු පන්තියේ වමට සිදුවන චලනය යි. එහෙත් සෑන්ඩර්ස්ගේ මූලික ඉලක්කය වන්නේ එම විරෝධය ඩිමොක්‍රටික් පක්ෂයේ ආවෘත අන්තරය වෙත යලි දිශාගත කිරීම යි. කාර්මිකහරනය මඟින් ව්‍යසනයට පත් කම්කරුවන් වෙත කිසිවක් යෝජනා කොට නොමැති සෑන්ඩර්ස්, ට්‍රම්ප් මෙන් ම සංකේතමය රැකියා පුහුනු වැඩසටහන් සමඟින් වෙලඳ යුද්ධ පිලිබඳ කයිවාරු ඒකාබද්ධ කොට තිබේ.

අපගේ මැතිවරන උද්ඝෝෂනයේ දී මගේ සහෝදර නයිල්ස් නීමුත් සමග මම සටන් වදින්නේ කම්කරු පන්තිය සඳහා වන අව්‍යාජ සමාජවාදී ක්‍රියාමාර්ගයක් වෙනුවෙනි. මෙයට ප්‍රධාන පෙලේ සංගත කම්කරු පන්තියේ ප්‍රජාතාන්ත්‍රිය පාලනයට යටත් කරන, පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාව මත දුවවන උපයෝගීතාවන් බවට පරිවර්තනය කිරීම අඩංගු වේ. යටිතල පහසුකම් යලි ගොඩ නැගීමට හා සෑම අයෙකුට ම මූලික සමාජ අයිතියක් ලෙස සුරක්ෂිත රැකියා සහතික කිරීමට ඩොලර් ට්‍රිලියන ගනන් මහජන වැඩසටහන් සැලසුම් කිරීම ද මෙයට අයත් වේ. සංගත හා මූල්‍ය ප්‍රභූව විසින් සමුච්ඡය කරගන්නා යෝධ ධනය අස්වාමික කොට දරිද්‍රතාව හා විරැකියාව අවසන් කිරීමට භාවිතා කල යුතු ය.

පන්ති අරගලය යලි ඉස්මතු වීම හා ධනේශ්වර විරෝධී රැඩිකලීකරනයක වැඩෙන සංඥා පවතී. සමාජවාදී සමානතා පක්ෂය, ට්‍රම්ප් වැනි ප්‍රතිගාමී වාචාලයන් පරදවමින් සමාජ අසමානතාව, යුද්ධය හා ආඥාදායකත්වයේ තර්ජනය අවසන් කිරීමට මාවතක් සම්පාදනය කරන්නා වූ කම්කරු පන්තියේ හා තරුනයන්ගේ මහජන සමාජවාදී ව්‍යාපාරයකට නායකත්වය දීම සඳහා දේශපාලන නායකත්වයක් ගොඩ නගමින් සිටී.

ජෙරී වයිට් - සසප එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක

Share this article: