සිරිසාවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව ග්‍රීක කම්කරුවන් වැඩවර්ජනයේ

Greek workers strike against Syriza’s austerity policies

2016 මැයි 9

ග්‍රීසිය සිසාරා ලක්ෂ ගනන් වැඩකරන ජනතාව පසුගිය සති අන්තය පුරා, රැඩිකල් වාම සන්ධානය හෙවත් සිරිසා ආන්ඩුව විසින් සම්මත කොට ඉරිදා රාත්‍රියේ ග්‍රීක පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් ම්ලේච්ඡ කප්පාදු පැකේජයට එරෙහිව මහා වැඩවර්ජනයකින් විරෝධතා දැක්වූහ. ඇතන්ස් නගරයේදී දහස් ගනන් ජනතාව වීදිවලට බැස, “ආන්ඩුව, යුරෝපියානු සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එලවා දැමීමට නැගී සිටිනු!” “සමාජ සහන විනාශය නතර කරව්!” වැනි සටන් පාඨ හඬ නැගූහ.

දින තුනක වර්ජනය මගින් ග්‍රීක ආර්ථිකයේ අංශ ගනනාවක් අඩපන කෙරිනි. අතුරු මාර්ග, බස් හා දුම්රිය කම්කරුවෝ, ගුරුවරු, රජයේ සේවකයෝ, මාධ්‍යවේදීහු, ජල ප්‍රවාහන අංශ, කසල ශෝධක කම්කරුවෝ හා පෞද්ගලික අංශයේ කම්කරුවෝ මෙයට සම්බන්ධ වූහ.

මෙම වර්ජනය, යුරෝ බිලියන 5.4ක් වූ ප්‍රතිගාමී කප්පාදුවක් ද විශ්‍රාම අරමුදල් යුරෝ බිලියන 1.8ක් කපා හැරීම ද සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමෙන් සිරිසාව වැලක්වූයේ නැත. වටිනාකම මත එකතු කල බද්ද (වැට්) සියයට 23 සිට 24 දක්වා වැඩි කිරීම, අඩු වැටුප් ලබන කම්කරුවන් හා සුලු ව්‍යාපාර සඳහා බදු වැඩිකිරීමක්, ශ්‍රම බලකායේ බොහෝ අංශවල විශ්‍රාම ගෙවීම් සඳහා සේවකයාගේ දායකත්වය සියයට 20න් වැඩි කිරීම මෙම පියවරයන්ට ඇතුලත් ය.

මෙම ප්‍රහාර, අගමැති ඇලෙක්සිස් සිප්රාස්ගේ සිරිසා ආන්ඩුව ක්‍රියාවට දමා ඇති ප්‍රතිගාමී සමාජ පියවර මාලාවක මෑතම එක පමනි. එය කල්තියාම, විශ්‍රාම වැටුපට සේවකයා ගෙවියුතු කොටස ඉහල දැමුවේ ය, සහනාධාර කපා දැමූ අතර විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහල නැංවී ය. යෝධ විරැකියාව හා යුරෝපියානු සංගමය විසින් සමාජ ආරක්ෂන ජාලය කීතු කර දැමීම, කම්කරුවන්ගේ ආදායම සියයට 30කින් පහත හෙලා තිබීම හා පවුලකටම සොච්චම් විශ්‍රාම වැටුපකින් ජීවිකාව ගැට ගසා ගැනීමට බලකොට තිබෙන රටක් වන ග්‍රීසියේ කම්කරුවන් විශාල කොටසකට මෙම කප්පාදු මගින් තදබල ලෙස පහර වැදී ඇත. ඊට අමතරව පොදු දේපොල පුද්ගලීකරනය නිසා තවදුරටත් වැටුප් හා රැකියා කප්පාදුවී ඇත.

යුරෝපියානු සංගමය මගින් අනවන ලද කප්පාදු පිලිවෙත් නිමා කිරීමේ පොරොන්දුව මත, 2015 ජනවාරි මස තේරී පත්වූ සිප්රාස් ආන්ඩුවට එරෙහි වර්ජනයට ලද බලගතු ප්‍රතිචාරය, මෙම කටුක අත්දැකීමේ ප්‍රතිපලය යි. මිලියන ගනන් කම්කරුවෝ සිරිසාව පිලිබඳ නිශ්චිත නිගමන උකහා ගනිමින් සිටිති. ඔවුන් කුමක් සඳහා පෙනී සිටින්නේ ද- යුරෝපියානු හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට සේවය කරන ප්‍රතිගාමී ධනපති ආන්ඩුවක්- යන්න වේගයෙන් දෘෂ්‍යමාන වෙමින් තිබේ .“වාම” සිරිසාව යැයි කියාගන්නා පක්ෂය, කම්කරුවන් අන්ත හිඟමනට ඇද දැමීම මගින් බංකොලොත් ග්‍රීක ධනපති පන්තිය ගලවා ගැනීමට හා යුරෝපියානු සංගමය ආරක්ෂා කිරීමට අදිටන් සහගතව සිටින සීඅයිඒ හා බැංකුවල උපකරනයකි.

මෙම සති අන්තයේ මහාවැඩවර්ජනය සලකුනු කරන්නේ, සිරිසාවේ පාවාදීම හේතුවෙන් අධෛර්යයට හා කම්පනයට පත්ව සිටි ග්‍රීක කම්කරු පන්තියේ අරගලය පුනර්ජීවන කිරීමකි. මෙම අරගලය එහි ආරම්භක ලක්ෂ්‍යය වසයෙන් ගත යුත්තේ 2015 සිරිසාව පිලිබඳව ලැබූ කටුක අත්දැකීම්වල පාඩම් ය.

සිරිසාව බලයට ආවේ, රුදුරු කප්පාදු පිලිවෙත්වල වසර හතරකට පසු යුරෝපියානු සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැංකු කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය ගසා කමිනි. මෙම සංවිධානය දීර්ඝ කාලයක්, යුරෝපියානු සංගමයේ කප්පාදු ඉල්ලීම් මුල්වරට ක්‍රියාත්මක කල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් පක්ෂය වටා ක්‍රියාත්මකවී තිබුනි. සිප්රාස්ම සම්බන්ධයෙන් ගත් කල, බලයට පත්කිරීම සඳහා අවසර දීමට කලින් ඔහු වොෂිංටනයට හා ප්‍රමුඛ යුරෝපියානු අගනගරවලට කල සංචාරයන් මාලාවක් තුලින් දැඩි පරීක්ෂාවට බඳුන් කර තිබිනි.

ඇමෙරිකාව හා යුරෝපියානු අධිරාජ්‍යවාදය සමග සිරිසාවට ඇති සම්බන්ධය පිලිබඳ ඇඟවීම් එම පක්ෂය බලයට පැමිනි වහාම එලිමහනට ආවේ ය. ඒ, සිප්රාස් විසින් සිය සන්ධාන සගයා වසයෙන් අන්ත දක්ෂිනාංශික ඉන්ඩිපෙන්ඩන් ග්‍රීක් පක්ෂය නම් කල අවස්ථාවේ ය. කප්පාදු පිලිවෙත්වලට එරෙහිව ග්‍රීසිය තුල පමනක් නොව, ආර්ථික අර්බුදයේ සත් වසරක කාලය තිස්සේ යුරෝපය පුරාම නැගෙමින් තිබූ විරුද්ධත්වය බලමුලු ගැන්වීමට සිරිසාව කිසිවක් නොකලේ ය. ඒ වෙනුවට, බලයට පත්ව සති කීපයකට පසුව සිරිසාව, යුරෝපියානු සංගමය ඇනවූ කප්පාදු වැඩපිලිවෙල නිමාවකට ගෙන ඒම පිනිස, ජනතාවට දුන් සිය මැතිවරන පොරොන්දු පසෙකට දමා, යුරෝපියානු සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපියානු මහා බැංකුව විසින් අනකර සිටි ඊනියා ඇප දීමේ ක්‍රියාවලිය අඛන්ඩව ගෙනයාමට එකඟ විය.

යුරෝපියානු සංගමයේ කප්පාදු පිලිබඳව ජූලි 5දා පැවැති ජනමත විචාරනයේදී ග්‍රීක ජනයාගෙන් බහුතරයක් “නැත” යනුවෙන් කප්පාදුවලට එරෙහිවූ විට සිරිසාව, එම ඡන්දය නොතකා හරිමින්, සිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොන්සර්වේටිව් පූර්වගාමීන් විසින් පිලිගෙන තිබූ පියවරවලට ද එහා යන නව කප්පාදුවලට එකඟ වූවේ ය. සිරිසාව යටතේ සමාජ අර්බුදය උග්‍ර අතට හැරී ඇත. නිල විරැකියාව වත්මනේදී සියයට 25ක මට්ටමේ පවතින අතර පවුල් වලින් තුනෙන් එකක් දරිද්‍රතාවේ දිවි ගෙවති.

සිරිසාවේ පන්ති ස්වභාවය සහ එය කම්කරු පන්තිය සඳහා “ප්‍රගතිශීලි” විකල්පයක් වසයෙන් ඔජවැඩවූ සුලු ධනේශ්වර ව්‍යාජ වාම සංවිධාන මුලුමනින්ම හෙලිදරව් වී තිබේ. ධනවාදී අර්බුදය ගැඹුරු වෙත්ම සහ යුරෝපියානු සංගමය තුල ආතතීන් තියුනු වෙද්දී, සිරිසාව, ධනපති පන්තියේ හා ඉහල මධ්‍යම පන්තිය තුල සිය සමාජ පදනමේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට යුරෝපීය සංගමය හා ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයතන සමග වැඩ කරමින්, ග්‍රීක හා යුරෝපියානු ධනවාදයේ ආරක්ෂකයෙක් ලෙස වඩාත් විවෘතව ක්‍රියාත්මක වේ.

මෙම දේශපාලන අපරාධයේදී සිරිසාවට බොහෝ සහායකයින් සිටියි. ග්‍රීසියේ ප්‍රධාන වෘත්තීය සමිති සිරිසාව සමග සමීපව සහයෝගි වන අතර වර්ජන සීමා කිරීමටත් ඒවා දුබල විරෝධතා බවට පිරිහෙලීමටත් තමන්ගේ ශක්තියෙන් කල හැකි සියල්ල කරයි. එක්සත් ජනපදයේ ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් සංවිධානයේ සිට ජර්මනියේ වාම පක්ෂය හා ප්‍රන්සයේ නව-ධනපති විරෝධී පක්ෂය දක්වා වන ලෝකයේ ව්‍යාජ වාම පක්ෂ සිරිසා ආන්ඩුව වගවර්නනා කරමින් එහි ද්‍රෝහීත්වය ආවරනය කර තිබේ. එක්කෝ ඔවුන් කම්කරු පන්තිය සෘජුවම සිරිසාවට යටත් කිරීමට නැතහොත් නව, ප්‍රගතිශීලී පිලිවෙතක් සම්මත කර ගැනීමට පහල සිට සිරිසා ආන්ඩුවට බලපෑම් දැමිය හැකිය යන මිත්‍යාව වැපිරීමට වැඩ කර තිබේ.

මෙම ආන්ඩුවේ වසරකට වැඩි කාලය ප්‍රදර්ශනය කර ඇත්තේ, එය වැඩකරන ජනයාගේ අවශ්‍යතාවන් සුරකින ආරක්ෂකයෙක් වසයෙන් පරිවර්තනය කල නොහැකි බව යි. මන්දයත්, එහි ප්‍රමුඛ පක්ෂය වන සිරිසාව ධනපති පන්තියේ උපකරනයක් වන බැවිනි.

ග්‍රීක කම්කරු පන්තිය එහි අරගලය පුනර්ජීවන කරමින් සිටින මේ අවස්ථාවේ, සිය දැනුවත් කර්තව්‍ය වසයෙන් ගත යුත්තේ, සිරිසා ආන්ඩුව පෙරලා දැමීමත්, යුරෝපයේ හා ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් හා සමාජයේ සියලුම පීඩිත කොටස් විප්ලවවාදී ලෙස බලමුලුගැන්වීමත් ය. එය, සිරිසාවට සහ කම්කරු පන්තියේ විරුද්ධත්වය අවහිර කිරීමට හා යටපත් කිරීමට වෘත්තීය සමිති සමග වැඩ කරන අතරේ, ග්‍රීක ජාතිකවාදයේ ආස්ථානයෙන් සිරිසාව විවේචනය කරන ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (කේකේඊ) ද ඇතුලත් ව්‍යාජ වාම සංවිධාන සියල්ලටම එරෙහි නිර්දය දේශපාලන අරගලයක් දියත් කල යුතු ය.

කම්කරු පන්තිය සිය සටන, වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් පිටතට ගනිමින්, තමාගේම අරගලයේ සංවිධාන එනම් සමිති නිලධරයන්, ධනපති පක්ෂ හා රාජ්‍යයෙන් මුලුමනින්ම ස්වාධීන වැඩවර්ජන කමිටු ගොඩ නැගීම සමග බද්ධ කල යුතු ය. මෙම නිර්ව්‍යාජ, ප්‍රජාතාන්ත්‍රවාදී ලෙස සටන්වදින සංවිධාන කම්කරු බලයේ න්‍යෂ්ටිය ලෙස ක්‍රියා කරන සංවිධාන පිහිටුවනු ඇත.

පසුගිය නොවැම්බර් මාසයේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ග‍්‍රීසිය තුල සිරිසාව කල පාවාදීමේ දේශපාලන පාඩම් නම් සිය ප්‍රකාශය තුලදී සඳහන් කලේ මෙයයි: “මෙම සිදුවීම් විසින් තහවුරු කර ඇත්තේ, ඊනියා “රැඩිකල් වාම” පක්ෂ ධනේශ්වර ආන්ඩුවල නිලතල දරද්දී වුව, ඒවා මත රැඳෙමින් හෝ තමන්ට හිතකර ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන ලෙස ඒවාට බලපෑම් දැමීම මගින් කම්කරු පන්තියට, තමන්ගේ ඉතා අවම අවශ්‍යතාවන් පවා ආරක්ෂා කල නො හැකි බව ය. සිරිසා ප‍්‍රතිපත්ති පෙන්නුම් කර ඇත්තේ, කම්කරුවන්ට පවත්නා එකම මග, විප්ලවවාදී මාර්ග ය බවය. එය හැර වෙනත් විකල්පයක් නැත.”

ක්‍රිස්ටෝප් වැන්ඩ්‍රියර්

Share this article: