බ‍්‍රසීලයේ දෝෂාභියෝගය හා කම්කරු පක්ෂයේ වැටීම

Brazil’s impeachment and the fall of the Workers Party

2016 මැයි 14

අයවැය වංචාවන් පිලිබඳ ගොතන ලද චෝදනා මත ජනාධිපති දිල්මා රුසෙෆ් දෝෂාභියෝගයකට ලක්කිරීම පිනිස පියවර ගැනීමට, බ‍්‍රසීල සෙනට් සභාව මැයි 12 දා ඡන්දය දීම, මිලියන 200කට අධික ජනගහනයක් හා ලොව හත්වන විශාලතම ආර්ථිකය ඇති ලතින් ඇමරිකාවේ විශාලතම රටෙහි 13 වසරක කම්කරු පක්ෂයේ (පීටී) පාලනය අවසානයකට ගෙනැවිත් තිබේ.

රුසෙෆ් ඉවත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ සහයෝගය ඇතිව බ‍්‍රසීල පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් විසින් සංවිධානය කල, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලය යි. ආර්ථික පිලිවෙතේ හා පන්ති සබඳතාවන්හි රැඩිකල් වෙනසක් සිදු කිරීමේ එල්ලය සහිත ව සිදුකර ඇති එය, බ‍්‍රසීල වැඩකරන ජනතාවගේ රැකියා, මූලික අයිතීන් හා ජීවන තත්වයන්ට යෝධ අන්තරායක් මතු කර තිබේ.

මෙම කුමන්ත‍්‍රනයේ ප‍්‍රතිපල වශයෙන් අටවා තිබෙන්නේ, වසර 30කට පෙර අවසන් වූ දශක දෙකක් තිස්සේ රට තුල පැවති මිලිටරි ආඥාදායකත්වයෙන් පසුව අටවන ලද වඩාත් ම දක්ෂිනාංශික ආන්ඩුව යි. ඔක්තෝබර් මාසය දක්වා ඇදී යන පරීක්ෂන කාලයක් තුල, රුසෙෆ් තනතුර දැරීම අත්හිටූවා ඇති බව ප‍්‍රකාශ කෙරී ඇත. එහෙත් යතාර්ථය නම්, රුසෙෆ්ගේ උප ජනාධිපති හා හිටපු දේශපාලන සහචරයා වන, පීඑම්ඩීබීයේ (බ‍්‍රසීල ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පක්ෂය) මිචෙල් ටෙමර් යටතේ සමස්ත ආන්ඩුව ම වෙනස් කොට තිබීම යි. සෑම ඇමතිවරයෙකු ම ඉවත්කොට, දෙපාර්තමේන්තු පිටින් ඇන හිටවා, රාජ්‍ය නිලධාරීන් තොග පිටින් විරේක කිරීමේ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වේ.

“අන්තර්වාර ජනාධිපති” ලෙස ටෙමර් කල පලමු කතාවේ දී පරමාධිපතිවාදයේ හා ආඥාදායකත්වයේ භාෂාව යලි කරලියට ගෙනාවේය. “සාමය ඇති කිරීමට ජාතිය ගලවාගැනීමේ” බ‍්‍රසීල ආන්ඩුවක් සඳහා කැඳවුම් කල ඔහු, නව තන්ත‍්‍රයේ ශික්ෂා පද ලෙස, රටේ ජාතික ධජයේ කොටා ඇති “නීතිය හා ප‍්‍රවර්ධනය” උපුටා දැක්වීය.

ශතවර්ෂයක් තුල බ‍්‍රසීලයේ නරක ම ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පන්තිය මත පැටවීමට සැලසුම් කොට ඇති “අසීරු” කප්පාදු පියවරයන් යයි නව මුදල් ඇමති හා බොස්ටන් බැංකුවේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී හෙන්රික් මියරෙයෙස් මැයි 13 දා පිලිගත් වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට ඡන්දයෙන් පත් නොවූ ආන්ඩුවක් සූදානම් වෙමින් සිටී. මෙම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවේ යෙදවීම සඳහා ආන්ඩුව අනිවාර්යයෙන් ම රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය හා මර්දනය වෙත හැරෙනු ඇත.

කම්කරු පක්ෂ ආන්ඩුව මුහුනපෑ ව්‍යසනයේ මූලයෙහි පවත්නේ, මහා පරිමාන දොට්ට දැමීම් එක දිගටම කෙරීගෙන යන, මිලියන 11කට රැකියා අහිමි කරනු ලැබූ ආර්ථික අර්බුදය යි. කාර්මික අමු ද්‍රව්‍ය මිල ගනන් හා නැගී එන වෙලඳපොලවල බිඳවැටීම ලෙස ප‍්‍රකාශනය අත් කරගෙන ඇත්තේ, 2008 පටන් ලෝක ධනවාදය අරක්ගෙන ඇති ආර්ථික කඩාවැටීම යි. රටේ ඉතිහාසය තුල සංගත හා මූල්‍ය කතිපයාධිකාරයට ලාබ ලැබීමට වඩාත්ම හිතකර කොන්දේසි නිර්මානය කරන අතර ම පීඩිත ජනතාව සඳහා ද සීමිත සමාජ ආධාරක වැඩසටහන් සම්පාදනය කිරීමේ ආන්ඩුවේ පිලිවෙත් ක‍්‍රියාත්මක කල හැකි වූයේ මෙම නැගී එන වෙලඳපොල උත්පාතය නිසාය.

ආර්ජන්ටිනාවේ පෙරොන්වාදීන්ගේ පටන් ආර්ථික අර්බුදයේ කොන්දේසි යටතේ යලි තේරී පත්වීම සඳහා මැතිවරනයකට මුහුන පෑමට නියමිත වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ දක්වා වන ලතින් ඇමරිකාවේ ඊනියා වමට නැඹුරු ධනපති ආන්ඩු සියල්ලට වල කපා ඇත්තේ ද මෙම අර්බුදය විසින් ය.

මහා විරැකියාවේ හා වැටෙන මූර්ත වැටුප් පිලිබඳ කොන්දේසි වෙනස් කිරීම සඳහා පියවර ගැනීමට රුසෙෆ් ආන්ඩුව අසමත් වූවා පමනක් නොවේ; ලෝකයේ මූල්‍ය වෙලඳපොලවල් හා වෝල් වීදියේ වර්ගීකරන ඒජන්සිවල හිත දිනාගැනීම ඉලක්ක කරගත් තමන්ගේ ම කප්පාදු පියවරවල් ද ආන්ඩුව ආරම්භ කලේ ය. තියුනු ලෙස බෙදීගොස් තිබෙන මෙම රටෙහි සමාජ අසමානතාව යලි වතාවක් වැඩෙමින් ඇත්තේ, පසුගිය දශකය තුල දරිද්‍රතාව අඩු කිරීම සඳහා ගත් පියවර වාෂ්ප වෙමින් තිබියදීය.

රුසෙෆ් ඉවත් කිරීමට යොදාගත් ක‍්‍රම මුලුමනින් ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වුවත්, දෝෂාභියෝගය පිටුපස සිටින දූෂිත හා දක්ෂිනාංශික දේශපාලනඥයන් රොත්ත මෑතක් වන තුරු ම ආන්ඩුවේ සමීපතම දේශපාලන සහචරයන් වූ තතු යටතේ, ජනාධිපතිවරිය “ක‍්‍රමන්ත‍්‍රන” වලල්ලකට මැදි වී සිටින ගොදුරක් යයි ඇය හා ඇගේ සහායකයන් දක්වන විරෝධතා නගන්නේ හිස් හඬක්ය. ඔවුහු මෙන්සලා ඕ කොංග‍්‍රසයේ ඡන්ද මිල දී ගැනීමේ කටයුත්තේ සිට පෙත්‍රෝබ‍්‍රාස්හි කොන්ත‍්‍රාත් සඳහා අල්ලස් දීමේ සිද්ධිය දක්වා වන දූෂිත ක‍්‍රියාකාරකම් රැසක කොටස්කරුවෝ ද වෙති. සමහර විට ආන්ඩුවට පවතින ප‍්‍රධාන ම දේශපාලන චෝදනාව වන්නේ දැන් කම්කරු පන්තියට එරෙහි ව මුදා හැරෙන ප‍්‍රතිගාමී දේශපාලඥයින් ආරක්ෂා කොට වර්ධනය කිරීමට දායක වීම යි.

ආන්ඩුව දෝෂාභියෝගයෙන් ගැලවීමට උත්සාහ කලේ, එක් අතකින් එය පිටුපස සිටින ප‍්‍රතිගාමී කොටස් වලටම වඩ වඩා තනතුරු හා බලතල දී සහයෝගය ලබාගැනීමටත්, අනෙක් අතින් තමන් ඡන්දයෙන් පත්ව තිබීමේ “සුජාත භාවය” පාවිච්චි කරමින් කප්පාදු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමට හා සීයූටී වෘත්තීය සමිති සම්මේලනය සමග තමන්ට තිබෙන සබඳතාව යොදාගෙන කම්කරු පන්තියේ අරගල මැඩීමට තමන් වඩා හොඳින් සන්නද්ධ යයි පාලක සංස්ථාපිතයට ඒත්තු ගැන්වීමටත් යත්න දරමිනි.

අවසානයේ දී ආන්ඩුවම හෙලාදකින “කුමන්ත‍්‍රනය” සඳහා අපරාධකාරී වගකීම දරන්නේ, මුලුමනින්ම දූෂිත ධනේශ්වර කම්කරු පක්ෂය ම ය. එම අපරාධයේ ප‍්‍රධාන ගොදුරු වන්නේ රුසෙෆ් හා ඇගේ සහචර දේශපාලනඥයන් නොව බ‍්‍රසීල කම්කරුවන් හා පීඩිත මහජනතාවයි.

බ‍්‍රසීලයේ කම්කරුවන් දැන් මුහුන දෙන තියුනු අර්බුදයට විශේෂයෙන් වගකිව යුතු වන්නේ, ආන්ඩුවට පිටුබලය දී එහි නායකත්වයට කම්කරු පන්තිය යටත් කිරීමට ක‍්‍රියාකල විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම් ය. ඔවුන් අතරින් ප‍්‍රධාන වන්නේ, විප්ලවීය සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව හා දේශපාලන ස්වාධීනත්වය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන අරගලය ප‍්‍රතික්ෂේප කරමින්, ස්ටැලින්වාදය හා කස්ත්‍රෝවාදය ප‍්‍රධාන කොටගත් ධනේශ්වර ජාතිකවාදයේ විවිධ රූපාකාරයන්ට තමන් ම අනුගත වීම සඳහා ජාත්‍යන්තර කමිටුවෙන් බිඳුනු අනේකාකාර සංශෝධනවාදී ප‍්‍රවනතා ය.

බ‍්‍රසීලය තුල මෙම බලවේග, ආන්ඩුව පුම්බනු ලැබුවේ, කම්කරු පන්තිය තුල විප්ලවීය මාක්ස්වාදී පක්ෂයක් ගොඩනැගීමට ආදේශකයක් ලෙසිනි. කම්කරු පක්ෂය විග‍්‍රහ කෙරුනේ සමාජවාදය සඳහා නව බ‍්‍රසීල පාර්ලිමේන්තු මාවතක් යනුවෙනි. එහි නම කවරක් වුවත් එම පක්ෂය ආරම්භයේ පටන් ම කම්කරු පන්තියේ පක්ෂයක් නොව, මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්ථර මත රැඳුනු ධනේශ්වර පක්ෂයක් විය. එහි අභිප‍්‍රාය වූයේ ධනවාදය ආරක්ෂා කරන අතර පන්ති අරගලය හා බ‍්‍රසීල සමාජයේ යෝධ සමාජ ආතතීන් මෙල්ල කිරීම යි.

වානේ කම්කරු වෘත්තීය සමිතියේ හිටපු නායක ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වාගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය වඩ වඩා දකුනට යද්දී මෙවැනි බොහෝ ප‍්‍රවනතා එම පක්ෂයෙන් ඉවතට විසි වුව ද දෝෂාභියෝග අර්බුදය මධ්‍යයේ විප්ලවවාදී නායකත්වයේ සලකුනක් වත් නො තබා ඔවුන් අද ඉෂ්ට කරන්නේ ද එම ක‍්‍රියාකලාපය ම ය.

දෝෂාභියෝගය දොරට වැඩැම්මවූ දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයට මුලුමනින් අනුගත වෙමින්, මොරෙන්වාදී පීඑස්ටීයූව (එක්සත් සමාජවාදී කම්කරු පක්ෂය) “ඔවුන් සියලු දෙනා එලවා දමනු” යන සටන් පාඨය දිගට ම හඬ නගන්නේ, බ‍්‍රසීල කම්කරුවන් මුහුන දෙන යෝධ අන්තරායන් පිලිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් නොකරමිනි. සිරියාවේ පටන් යුක්රේනය දක්වා වන රටවල අධිරාජ්‍යවාදී තන්ත‍්‍ර මාරු මෙහෙයුම්වලට සහයෝගය දී ඇති මෙම පක්ෂය දැන් එම ක‍්‍රියාවලියේ ම ස්වදේශීය සංස්කරනයට හවුල් ව සිටී.

ඉන්සර්ජන්සියා කන්ඩායම වටා සංවිධානය වී සිටින පැබ්ලෝවාදී ප‍්‍රවනතා, ආන්ඩුවෙන් පහකෙරුනු පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් බිහිකල පී ඕඑස්එල්හි (සමාජවාදී හා ලිබරල් පක්ෂය) කොටසකි. ඔවුන්ගේ ඉලක්කය, කම්කරු පන්තිය වඩා හොඳින් ධනේශ්වර රාජ්‍යයට යටත් කිරීම සඳහා කම්කරු පක්ෂයේ ආරම්භක මොඩලය පුනස්ථාපනය කිරීම යි.

බ‍්‍රසීලය තුල පමනක් නොව ජාත්‍යන්තර ව ද පන්ති අරගලය යටපත් කිරීම සඳහා උදව් කිරීමට මෙම පක්ෂවලට හැකියාව තිබුනු කාලපරිච්ඡේදය අවසානයකට පැමිනෙමින් තිබේ. වර්තමාන අර්බුදය පෙන්නුම් කරන්නේ පාලක පන්තියට කලින් ආකාරයට පාලනය කල නොහැකි හා කම්කරු පන්තියට පෙර මෙන් ජීවත් විය නොහැකි විප්ලවීය නැගිටීම් සඳහා කොන්දේසි නිර්මානය වන බව යි.

වඩාත් හදිසි දේශපාලන කර්තව්‍යය වන්නේ කම්කරු පක්ෂය පිලිබඳ කටුක අත්දැකීම සහ ට්‍රොට්ස්කිවාදය විසින් සංශෝධනවාදයට විරුද්ධ ව ගෙනගොස් තිබෙන දීර්ඝ අරගලය වටහා ගැනීම මත පදනම් ව කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි. එහි අර්ථය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ බ‍්‍රසීල ශාඛාවක් බිහිකිරීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: