බැරැක් ඔබාමා සහ එක්සත් ජනපද යුද්ධයන්හි සියවස් කාර්තුවක්

Barack Obama and a quarter-century of US wars

2016 මැයි 16

මැයි 15දා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ පලවූ ලිපියකින්, බැරැක් ඔබාමාගේ ජනාධිපතිධුරයේ තීරනාත්මක සැතපුම් කනුවක් වෙතට අවධානය යොමු කරවයි. “ඔහු දැන්, බුෂ් මහතාට හෝ අනෙක් ඕනෑම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට වඩා දිගුකාලයක් යුද්ධයේ නිරතව සිටියි“. මැයි 6දා ඔබාමා ඔහුගේ පූර්වගාමියා පසුකර ගියේ ය. එහෙත් ධවල මන්දිරයට තුල තවත් මාස අටක කාලයක් ගත කිරීමට ඉතිරිව තිබෙන තතු හමුවේ, තවත් වාර්තාවක් පිහිටුවීමට ඔබාමා සූදානමින් සිටී. ටයිම්ස් මෙසේ ලියයි: “ඔබාමා මහතාගේ පාලන කාලය අවසන් වනතෙක් එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා සිරියාව තුල යුද්ධයේ නිරතව සිටී නම් - තවත් 250ක විශේෂ කාර්යබලකායක් සිරියාවට පිටත් කර යවන බවට ජනාධිපතිවරයා සිදුකල මෑත නිවේදනය ආසන්නව සැලකූ කල- සිය ධූරකාල දෙකේ දී ම ජාතිය යුද්ධයක තැබීමට ක්‍රියාත්මකවූ ඇමෙරිකානු ඉතිහාසයේ එකම ජනාධිපතිවරයා වසයෙන් මවිතකර උරුමයක් ඔහු විසින් ඉතිරිකර තබනු ඇත“.

සිය වාර්තාව කරා යාමේදී, ඔබාමා මහතා, සමස්තයක් වසයෙන් ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, ලිබියාව, පාකිස්ථානය, සෝමාලියාව හා යේමනය යන රටවල් 7 තුල මාරක මිලිටරි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. එක්සත් ජනපදය අප්‍රිකාව තුල සිය මිලිටරි මෙහෙයුම් උත්සන්න කිරීමත් සමගම මෙම ලැයිස්තුව සීග්‍රයෙන් පුලුල් වෙමින් තිබේ. බොකො හරාම් ත්‍රස්තවාදය මර්දනය කිරීමට ගෙනයන ප්‍රයත්නය බැඳී ඇත්තේ, නයිජීරියාව, කැමරූන්, නයිගර් හා චැඩ් යන රටවල එක්සත් ජනපද බලකායන් ගොඩ නැගීමට ය.

ටයිම්ස් ලිපියේ කතුවරයා වන මාක් ලෑන්ඩ්ලර්, ඔබාමාගේ තරාතිරම ගැන, 2009 වසරේ නොබෙල් සාම ත්‍යාගලාභියා වසයෙන් කිසිදු උත්ප්‍රාසයකින් තොරවම සටහන් කරයි. ඒ වෙනුවට, “යුද විරෝධී ඡන්ද අපේක්ෂකයා වසයෙන්, දෙන ලද පොරොන්දු ඉටුකිරීමට වෑයම් දරන“ ජනාධිපතිවරයා ලෙස ඔහු ඔබාමා ගැන විස්තර කරයි. ඔබාමා “ධවල මන්දිරය තුල ඔහුගේ පලමු වසරේ පටන් [යුද්ධයේ] මෙම නියත යථාර්ථය සමග පොර බැදුවේ ය“.

ඔබාමා “ඇෆ්ගනිස්ථානයට අමතර සෙබලු 30,000ක් යැවීමට නියෝග දීමට ප්‍රථම, ආලිංටන් ජාතික සුසානභූමියේ සොහොන් කොත් අතර ඇවිදීමට ගිය“ බව ලැන්ඩ්ලර් ඔහුගේ පාඨකයන්ට දැනුම් දෙයි. 2009 වසරේ නොබෙල් ත්‍යාගය ලබා ගැනීමේ කතාවේදී ඔබාමා කල සඳහනක් ලෑන්ඩ්ලර් සිහිපත් කරයි. “සමහන් කල නොහැකියැයි පෙනෙන්නට තිබෙන සත්‍යන් දෙකකින් - ඇතම්විට අවශ්‍ය යැයි හැඟෙන යුද්ධය සහ ඇතැම් මට්ටම්වලදී මානව මුග්ධත්වයේ ප්‍රකාශයක් වන යුද්ධයෙන්- අත්මිදීමට මානව වර්ගයාට අවශ්‍ය වී තිබේ“ යැයි ඔබාමා එහිදී වෙහෙසට පත්ව වැලපුනේ ය.

ඔබාමාගේ ධුර කාලය තුල මුග්ධත්වය පැහැදිලිවම පෙරමුන ගෙන සිටියේ ය. එහෙත් ලැන්ඩ්ලර්ගේ වීරයාට කල හැකි කිසිවක් නොවීය. ඔහුගේ යුද්ධ “අවසන් කිරීම, කෝප ගන්වන ලෙසම දුෂ්කර“ බව ඔමාමාට පෙනී ගොස් තිබුනි.

මෑතකදී, අයිසිස් මිලිෂියාවන් සමග වෙඩි හුවමාරුවකදී පලමු පන්තියේ විශේෂ යුද සංග්‍රාම මෙහෙයුම්කරුවෙක්වූ චාල්ස් කීටින් 1v මරනයට පත්වීම, ඇමරිකානු හමුදා ඉරාකය තුල සිදුකරන්නේ කුමක් ද යන්න පිලිබඳ ඔබාමාගේ විස්තරය ප්‍රතික්ෂේප කරයි. තම වචන ප්‍රවේශමෙන් තෝරා ගනිමින් ටයිම්ස් ලියන්නේ, කීටින්ගේ මරනය “ඇමෙරිකානුවන් ඉරාකය තුල රැඳී සිටින්නේ, හමුදා පුහුනු කිරීමට සහාය හා උපදෙස් දීම සදහා පමනි යන ආන්ඩුවේ තර්කයට උදව්වක් නොවන තරම් ය“ යනුවෙනි. කාරනය කෙලින්ම කියන්නේ නම්, ඔබාමා ඇමෙරිකානු ජනතාවට බොරු කියමින් සිටියි.

එහි ඉතා දැනුවත් වංචනිකත්වයට අමතරව ඔබාමා ගැන ටයිම්ස් විස්තරය, අව්‍යාජ ඛේදවාචකය මගින් ඉල්ලා සිටින අතිමූලික කාරනාවෙන් තොර ය: එනම්, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් තීන්දු කෙරෙන, ඔහුගේ පාලනයෙන් පිට පවතින වෛෂයික බලවේග හඳුනාගැනීම යි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඩ්‍රෝන් ඝාතන තම පෞද්ගලික ප්‍රාගුන්‍ය බවට පත් කර ගත් සහ සදාචාරවත් යක්ෂයෙකුට සමාන කිසියම් තත්වයකට පරිවර්තනයවූ මෙම සාම-ලැදි මිනිසා වෙනුවෙන් සිය පාඨකයන්ගේ නෙතග කඳුලක් නැංවීමට ලෑන්ඩ්ලර්ට අවශ්‍ය නම්, ටයිම්ස් ලේඛකයා කල යුතුව තිබුනේ, ඔබාමාගේ “ඛේදනීය“ ඉරනම තීන්දුකරනු ලැබූ ඓතිහාසික පලවිපාකයන් හඳුනාගැනීමට වෑයම් කිරීම යි.

එහෙත් මෙය, ටයිම්ස් මගහරින අභියෝගයකි. ඔබාමාගේ යුද-නිර්මානාත්මක වාර්තාව, පසුගිය සිවස් කාල පුරා ඇමෙරිකානු විදෙස් පිලිවෙතේ සමස්ත වැඩපිලිවෙලට සම්බන්ධ කිරීමට එය අසමත් ය. 2009දී ඔබාමා ජනපතිධුරයට පත්වීමට ප්‍රථමයෙන් පවා ඇමරිකාව, 1990-91 පලමු එක්සත් ජනපද-ඉරාක යුද්ධයේ පටන් මුලුමනින්ම අඛන්ඩ පදනමක යුද්ධයේ නිමග්නව තිබුනි.

පලමු ගල්ෆ් යුද්ධයට කඩතුරාව වූයේ, 1990 අගේස්තුවේ ඉරාකය විසින් කුවේටය ඈදා ගැනීම යි. කුවේට් එමීර් සමග ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ ආරාවුලට එක්සත් ජනපදය දැක්වූ ප්‍රචන්ඩ ප්‍රතිචාරය තීන්දු කරනු ලැබුවේ පුලුල් ගෝලීය කොන්දේසි හා ගනන් බැලීම් මගිනි. එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම්වල ඓතිහාසික සන්දර්භය, 1991දී අවසන් වසයෙන් නිමාවකට ගෙන එන ලද, සෝවියට් සංගමය අනුක්‍රමයෙන් දියකර හැරීම යි. පලමු බුෂ් ජනාධිපති “නව ගෝලීය පර්යායක“ ආරම්භය ප්‍රකාශයට පත් කලේ ය.

1917 පලමු සමාජවාදී විප්ලවයේ නිෂ්පාදනයවූ සෝවියට් සංගමය --විශේෂයෙන්ම 1945 දෙවන ලෝක යුද්ධය නිමාවට පත්වීමෙන් අනතුරුව-- ඇමෙරිකානු මිලිටරි බලය ව්‍යාප්ත කිරීමට බාධකයක් ලෙස ක්‍රියාත්මකව තිබිනි. තව ද ඓතිහාසික අර්ථයෙන් ගත් කල, රුසියාව තුල 1917 බොල්ෂෙවික් විප්ලවයත් සමග බැඳී තිබුනු 1949 චීන විප්ලවයේ ජයග්‍රහනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මාවත තුල තවත් බාධක වසයෙන් පැවතුනේ ය.

ස්ටැලින්වාදී තන්ත්‍ර සාරාර්ථයෙන් ම ජාතිකවාදී පිලිවෙත් අනුගමනය කල අතර ලෝකය පුරාම කම්කරු පන්තිය හා අධිරාජ්‍ය-විරෝධී ව්‍යාපාර බෙලහීන කරමින් පාවා දුන්නේ ය. එහෙත්, සෝවියට් සංගමය හා චීන මහජන සමූහාන්ඩුව “තුන්වැනි ලෝකය“ තුල අධිරාජ්‍ය -විරෝධී ව්‍යාපාරවලට සීමිත දේශපාලනික හා ද්‍රව්‍යමය සම්පත් සම්පාදනය කල තාක් දුරට, තමන්ගේම අවශ්‍යතාවන් පෙරට ගෙන යාමේදී එක්සත් ජනපද පාලක පන්තියට, නිදහසේ ක්‍රියාත්මකවීමට එය අවහිරයක් විය. මෙම සීමාසහිතකම් ප්‍රදර්ශන කෙරුනු වඩාත් ප්‍රබල උදාහරන ලෙස, කොරියාව හා වියට්නාම් යුද්ධවලින් එක්සත් ජනපදය පරාජයට පත්වීම, කියුබානු මිසයිල අර්බුදය සම්මුතියකින් කෙලවර කිරීම, සහ බොල්ටික් කලාපයේ හා නැගෙනහිර යුරෝපයේ සෝවියට් අධිකාරිය පිලිගැනීම, දැක්විය හැකි ය.

අවසන් විශ්ලේෂනයේ දී විශේෂයෙන් ම යුරෝසියානු භූ ස්කන්ධයෙන් විශාල කොටසක් ද ඇතුලු ලෝකයේ විශාල පංගුවක මානව ශ්‍රමය, අමුද්‍රව්‍ය හා විභව වෙලඳපොලවල් සූරාකෑමට හා ඒවා කරා නිදහසේ ප්‍රවේශ වීමට තිබූ ඉඩකඩ, සෝවියට් සංගමය ද චීනයේ ධනපති විරෝධී පාලන තන්ත්‍රයක් ද පැවතීම මගින් අවහිර කෙරී තිබුනි. එමෙන් ම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රමුඛ සහචරයින් සමග මෙන්ම එක්සත් ජනපද-සෝවියට් සීතල යුද්ධය මගින් සැපයුනු උපායාත්මක අවස්ථාවන් ප්‍රයෝජනයට ගත් කුඩා රටවල් සමග ද ආර්ථික හා මූලෝපායාත්මක ප්‍රශ්න අරභයා පැවති සාකච්ඡාවලදී, බලාපොරොත්තුවූවාට ද වඩා වැඩියෙන් සම්මුතිවාදී වීමට එක්සත් ජනපදයට එයින් බල කෙරුනි.

1989 තියනමෙන් චතුරස්‍රයේ සංහාරයෙන් පසු චීනය තුල කොන්දේසි විරහිතව ධනවාදය පුනස්ථාපනය කිරීමත් සමඟ එක්ව සෝවියට් සංගමය විසිරවීම, ඇමෙරිකානු පාලක පන්තිය විසින් දැක ගනු ලැබුවේ, එක්සත් ජනපදයේ අධිකාරිය ස්ථාපිත කිරීම අරමුනු කරගත් ගෝලීය භූදේශපාලනය යෝධ ප්‍රතිව්‍යුහකරනයට ලක්කිරීමට තමන්ට හිමිවූ අවස්ථාවක් ලෙස ය. එක්සත් ජනපදයට සිය පූර්න මිලිටරි බලය නිර්දය ලෙස යොදා ගැනීම හරහා එරට ගෝලීය ආර්ථික තත්වයේ දිග්ගැස්සුන පරිහානිය ආපසු හැරවිය හැකිවනු ඇත යන විස්වාසයෙන් යුතු පාලක ප්‍රභූව, මෙම මෙහෙයුම සඳහා එකහෙලා සහාය පල කලේ ය.

1992 පෙබරවාරියේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කල ආරක්ෂක ප්‍රතිපත්ති මාර්ගෝපදේශනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අධිකාරවත් අභිප්‍රායන් නිසැක ලෙස අවධාරනය කලේ ය. “ඈත අනාගතයේදී ගෝලීයව අධිකාරිය දැරීම හෝ කලාපීය ආරක්ෂාව පිලබඳ මූලෝපායික අරමුනු ප්‍රවර්ධනය කිරීමට හැකි ජාතීන් හෝ සංධාන පවතිනු ඇත. අපගේ මූලෝපාය දැන් යලි එල්ල කල යුත්තේ, මොනයම්ම හෝ ප්‍රබල අනාගත ගෝලීය තරුගකරුවෙක් මතුවීම කල්තියාම පූර්ව භංග කිරීම මත ය “.

1990 ගනන්වලදී දැකගත හැකිවූයේ, එක්සත් ජනපද මිලිටරි බලය අනවරතව යොදා ගන්නා ආකාරය යි. යුගෝස්ලාවියාව විසිරුවා හැරීමේදී මෙය වඩාත්ම ප්‍රබලව දැකගත හැකි විය. භාතෘහාරක සිවිල් යුද්ධයක් අවුලුවනු ලැබූ බෝල්කන් රාජ්‍යයන් ම්ලේච්ඡ ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම, සයිබීරියාවට කොසෝවා පලාත අහිමි කිරීම පිලිගැනීමට බලකරනු ලැබූ 1999දී, එක්සත් ජනපදය මහෙයවූ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයකින් කුලුගැන්වුනි. විනාශයකින් කෙලවර වුනු සෝමාලියානු මැදිහත්වීම, මිලිටරිමය වශයෙන් හයිටිය වාඩිලෑම, සූඩානයට හා ඇෆ්ගනිස්ථානයට බෝම්බ දැමීම සහ ඉරාකයට යලි යලිත් බෝම්බ දැමීම් මාලාව, එම දශකයේ අනෙකුත් ප්‍රමුඛ මිලිටරි මෙහෙයුම්වලට ඇතුලත් ය.

2001 සැප්තැම්බර් සිදුවීම් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය“ දියත් කිරීම සඳහා අවස්ථාව සලසා දුනි. සමස්ත මැදපෙරදිග, මධ්‍යම ආසියාව හා ක්‍රමානුකූවල උත්සන්න කරමින් අප්‍රිකාව වෙත මිලිටරි ආක්‍රමන දියත් කිරීම සඳහා හෑම අතින්ම යුක්තිකරනයක් මෙම “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය“ නම් ප්‍රචාරක පාඨය විසින් සම්පාදනය කලේ ය. එක්සත් ජනපදයේ මිලිටරි මූලෝපාය 2002දී සම්මත කරගත් “වැලක්වීමේ සංග්‍රාමය“ නම් නව ධර්මතාවක් ඔස්සේ වෙනස් කෙරුනි. පවත්නා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කෙරුනු මෙම නව ධර්මතාව, ඇමෙරිකානු අවශ්‍යතාවන්ට - මිලිටරි වසයෙන් පමනක් නොව, ආර්ථික වසයෙන් ද- විභව තර්ජනයක් ගෙන එතැයි නිශ්චය කෙරුනු ලෝකයේ ඕනෑම රටකට ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදයට හැකිය යන නිගමනය කරා එලැඹුනි.

දෙවැනි බුෂ් ජනාධිපතිගේ පාලනාධිකාරිය, 2001 ශරත්සෘතුවේදී ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීමට නියෝග කලේ ය. 9/11 න් අනතුරුව පැවත්වූ කථාවන්හිදී “21 වැනි සියවසේ යුද්ධ“ යන වැකිය බුෂ් යොදාගත්තේ ය. මෙම අවස්ථාවේදී බුෂ් කතා කලේ, දැඩි නිශ්චිතභාවයකිනි. ආරම්භයේ සිටම “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය“සංකල්පනය කෙරී තිබුනේ, සමස්ත ලෝකය පුරාම නිමක් නැති මිලිටරි මෙහෙයුම් මාලාවක් ලෙස ය. එක් යුද්ධයක් අවශ්‍යයෙන් ම හා අනිවාර්යයෙන් ම තව යුද්ධයකට තුඩු දුන්නේ ය. ඇෆ්ගනිස්ථානය, ඉරාකය ආක්‍රමනය කිරීම සඳහා පූර්ව රංගනය බව සනාථ විය. මිලිටරි මෙහෙයුම්වල පරිමානය අනවරතව පුලුල්වී තිබේ. පැරැනි යුද්ධ දිග් ගැස්සෙන අතරේ නව යුද්ධ ඇරැඹී ඇත. ලිබියාවට එරෙහිව යුද්ධය දියත් කිරීමටත් මුවමර් ගඩාෆිගේ පාලන තන්ත්‍රය පෙරලා දැමීමටත් මානව හිමිකම් පිලිබඳ නරුම මන්තරය යොදා ගැනිනි. මෙම කුහක කඩතුරාව ම සිරියාව තුල කුලීකාර යුද්ධයක් සංවිධානය කිරීමට යොදා ගෙන ඇත. මානව ජීවිත හා විඳවීම්වල අර්ථයෙන් ගත් කල මෙකී යුද්ධවල ප්‍රතිවිපාක මේසා යැයි කිව නොහැක.

ගෝලීය අධිකාරිය සඳහා එක්සත් ජනපද තල්ලුවේ මූලෝපායාත්මක තර්කනය, මැද පෙරදිග හා අප්‍රිකාව තුල ලේවැකි නව විජිතකරන මෙහෙයුම් ඉක්මවා වැඩෙන ගැටුම් කරා දුර ගොස් ඇත. එක්සත් ජනපදයේ භූ දේශපාලනික අරමුනු වඩ වඩාත් තුඩුදෙන්නේ, චීනය හා රුසියාව සමග බියකරු ගැටුම්වලට ය. ඇත්ත වසයෙන්ම කිවහොත්, දැනට කෙරීගෙන යන කලාපීය යුද්ධ, එක්සත් ජනපදය හා එහි යුරෝපීය හා ආසියානු සගයන්, රුසියාව හා චීනය සමග වේගයෙන් වැඩෙන ගැටුමක පාර්ශවීය අංග බවට පරිවර්තනය කර තිබේ.

ඔබාමාගේ ජනාධිපතිධුර කාලය නිමක් නැති යුද්ධයේ අවධියක් බවට පත්කල ඇමෙරිකානු සහ ලෝක අධිරාජ්‍යවාදයේ ප්‍රතිවිරෝධතාවලින් සංලක්ෂිතවූ, ගැඹුරු වෛෂයික කාරනා ගැන ඉඟියකුදු නිව්යෝක් ටයිම්ස් පුවත්පත සම්පාදනය කරන්නේ නැත. ධවල මන්දිරය අරක් ගන්නේ කවරෙක් ද යන්න -ජනාධිපතිගේ නාමය ක්ලින්ටන්, ට්‍රම්ප් හෝ ඒ කාරනය සම්බන්ධයෙන් සෑන්ඩර්ස් ද යන්න- නොතකා ඊලග පාලන තන්ත්‍රය උදාකරනු ඇත්තේ වත්මන් තත්වය ම පමනක් නොව ඊටත් නරක තත්වයක් ය යන්න ගැන ද ටයිම්ස් එහි පාඨකයන්ට පූර්ව අනතුරු අඟවන්නේ නැත. මෙම මැතිවරන වසරේදී යුද්ධයේ ප්‍රශ්නය පවතින්නේ, “බෙහෙවින්ම නොකියවුනු“ කාරනාව වසයෙනි.

එහෙත් මෙම නිහැඩියාව බිඳිය යුතු ය. අනතුරු ඇඟවීමේ හඬ නැංවිය යුතු ය. එක්සත් ජනපදයේ හා ලෝකය පුරා කම්කරු පන්තියට හා තරුනයින්ට සත්‍යය පැවසිය යුතු ය. යුද්ධය හා ගෝලීය ව්‍යසනයක් නතර කිරීමට අවශ්‍ය නම්, සමාජවාදී වැඩපිවෙලක් මත පදනම්වූ හා විප්ලවවාදී පන්ති අරගලයේ මූලධර්මවලින් මූලෝපායාත්මකව මග පෙන්වන නව්‍ය හා බලගතු මහා ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු ය.

ඩේවිඩ් නෝර්ත්

Share this article: