ධනවාදයේ අර්බුදය හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් සුරැකීම

The capitalist crisis and the defense of democratic rights

2016 මැයි 23

මැයි 22දා ඔස්ටි‍්‍රයාවේ අන්ත දක්ෂිනාංශික නිදහස් පක්ෂයේ නෝබට් හෝෆර් හා හරිත පක්ෂයේ ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් අතර ජනාධිපතිවරනයේ දෙවන වටය ආවෘත අන්තරයකින් නිමාවට පත්විය. සිය පක්ෂයේ අක්මුල් නාසීවාදීන්ට ගැටගැසී ඇති හෝෆර්, 1945න් පසු පලමුවරට ප‍්‍රමුඛ යුරෝපියානු රටක, රාජ්‍ය ප‍්‍රධානියා ලෙස තේරීපත්වනු ඇති ද යන්න දැන් තැපල් ඡන්ද මගින් තීන්දු කරනු ඇත.

වසර තිහකට පෙරාතුව, ඔස්ටි‍්‍රයානු ජනාධිපති කුර්ට් වොල්ඩ්හයිම්ගේ පූර්ව නාසි සම්බන්ධකම් හෙලිදරව් වීම දේශපාලන සෝලියක් ඇවිලවී ය. ඊට විපරිත ලෙස අද දිනයේදී හෝෆර්ගේ නැගීම, එය පාලක කව තුල සැලකිය යුතු සහයක් ලබන, වැඩෙමින් පවත්නා හා සීග‍්‍රයෙන් අධිකාරිත්වය දරන ජාත්‍යන්තර ප‍්‍රවනතාවක කොටසක් බවට පත්ව ඇත. පාලක පන්තියේ සාම්ප‍්‍රදායික පක්ෂ කෙරෙහි මහජනතාව දක්වන වෛරය හා කලකිරීම වෙනතක හැරවීමට රටකට පසු තවෙකක, දක්ෂිනාංශික හා ඒකාධිපති බලවේග බලමුලු ගැන්වෙමින් සිටිති.

ප‍්‍රන්ස ජාතික පෙරමුන, ජර්මනිය සඳහා විකල්පය, එක්සත් රාජධානියේ ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂය, යුක්රේනයේ නව-ෆැසිස්ට් බලවේග හා පිලිපීනයේ රොඩ්රිගෝ දුතර්තේ බලයට පත්වීම යනාදිය තුල මෙම ප‍්‍රවනතාව දැක ගත හැකි ය. එක්සත් ජනපදයේ ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට‍්‍රම්ප් නම් කිරීමේ විභවය කැපී පෙනෙන ලෙස ඉස්මතු කරන්නේ, ෆැසිස්ට්වාදී වැඩපිලිවෙලක් හා නැඹුරුවක් සහිත පුද්ගලයෙකුගේ මෙහෙයවීම යටතේ එය පවතින බවයි.

ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතනවල බිඳවැටීම අවධාරනය කරන්නේ, දිග්ගැස්සුන ආර්ථික අර්බුදය, මිලිටරිවාදය හා යුද්ධයේ ආන්තික වර්ධනය සහ සියල්ලට ඉහලින් පන්ති අරගලයේ උත්සන්න වීම යි.

මැයි 21දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල ඉදිරිදර්ශන ලිපියේදී, ලෝක පරිමාන දේශපාලන රැඩිකලීකරනයක හා පන්ති අරගලයේ පුනර්ජීවනයවීමක ලකුනු කෙරෙහි අවධානය යොමු කරවීය. එක්සත් ජනපදයේ වෙරිසෝන් කම්කරුවන් 39,000ක් සම්බන්ධවූ වැඩවර්ජනය, ප‍්‍රන්සයේ ප‍්‍රතිගාමී කම්කරු “ප‍්‍රතිසංස්කරන” නීතිවලට එරෙහි මහජන විරෝධතාව, ග‍්‍රීසිය තුල ජෙනරල් ස්ට‍්‍රයිකයක් හා චීනය හා ඉන්දියාවේ වැඩවර්ජන මේවාට ඇතුලත් වේ. පන්ති අරගලය ප‍්‍රකෘතිමත් වීම “එහි දේශපාලන ප‍්‍රකාශනය අත් කර ගන්නේ වෘත්තීය සමිතිවල පිටුබලය ලබන නිල ‘වාමාංශයේ’ සියලු පක්ෂවලට එරෙහි ව කම්කරුවන්ගේ හැරීමක් තුල යැයි” අපි පැහැදිලි කලෙමු.

තමන් වටලෑමකට මුහුනපා ඇති බවට හැගීමක් පාලක ප‍්‍රභූ පැලැන්තිය අතර පැතිර තිබේ. ඔවුන්ගේ යුද හා කප්පාදු පිලිවෙත් ගැඹුරින්ම අපකීර්තිමත් බව ද මහජන විරුද්ධත්වය අවුලුවමින් තිබෙන බව ද පාලක ප‍්‍රභූව මැනවින් වටහා ගෙන සිටිති. ඔවුන් උත්සහා දරමින් සිටින්නේ, සමාජ විරුද්ධත්වය පෙරනූවූ විරූ ප‍්‍රචන්ඩ හා ම්ලේච්ඡ මර්දනයකට ලක්කිරීම සඳහා කොන්දේසි නිර්මානය කරන අතරේ, අන්ත දක්ෂිනාංශික බලවේග රැලිකිරීම හරහා මෙම දේශපාලන රැඩිකලීකරනය පූර්වභංග කිරීමට යි.

නව-ෆැසිස්ට් බලවේගවලට පලල් සහයක් ගොනුකර හැකිතාක් දුරට එහි දේශපාලන වගකීම පැටවෙන්නේ, නාමික “වමේ” දක්ෂිනාංශික හා කම්කරු පන්ති විරෝධී වැඩසටහන් මතය. ග‍්‍රීසිය හා ප‍්‍රන්සය තුල මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකි ය. ප‍්‍රන්සයේ කම්කරුවන් හා තරුනයින් විසින් තෝරාගත් සමාජවාදී පක්ෂ ආන්ඩුව ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන්, හදිසි බලතල ක‍්‍රියාවට දැමූ අතර කම්කරුවන්ගේ වැටුප් හා වැඩ කොන්දේසිවලට පහර දෙන නීතියක් බලාත්කාරයෙන් සම්මත කලේ ය. ග‍්‍රීසියේදී සිරිසාව, (රැඩිකල් වාම සන්ධානය) මැතිවරනයට පෙරාතුව තමන් විරුද්ධ යයි කියා සිටි කප්පාදු පිලිවෙත්ම ක‍්‍රියාවට දැමීමේදී පැන නැගුන යෝධ කම්කරු පන්ති විරුද්ධත්වය මැඩීමට, කැරලි මර්දන පොලිසිය යොදා ගනිමින් සිටියි.

බ‍්‍රසීලය තුල, ඒකාධිපති ආඥාදායක පාලනයක් බලය ඩැහගෙන කම්කරුවන් හා තරුනයින්ට එරෙහිව ත‍්‍රස්ත පාලනයක් දියත් කිරීමෙන් වසර 52කට පසුව, වසර 13ක් තිස්සේ ගෝලීය බැංකුවල ආඥා භක්තිමත්ව ක‍්‍රියාත්මක කල කම්කරු පක්ෂ (පීටී) ආන්ඩුව, යලිත් මිලිටරියේ සෘජු මැදිහත්වීමකට පාර කැපුවේ ය. යාබද වෙනිසියුලාව තුල, හියුගෝ චාවේස්ගේ දේශපාලන උරුමක්කාරයින්, ඉහල යන උද්ධමනයට හා තෙල් ආදායම් පහතවැටීමට ප‍්‍රතිචාර දක්වමින් සිටින්නේ, ඉහල වැටුප් සඳහා වැඩවර්ජනවල නිරතවීම කම්කරුවන්ට තහනම් කරන හදිසි තත්වයක් ක‍්‍රියාවට දැමීම මගිනි.

ට‍්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල, ස්වෝත්තමවාදය හා ආන්තික ජාතිකවාදයේ පදනම මත “ඇමෙරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීමට” පොරොන්දු වීම මගින් ජනතා සහාය දිනා ගැනීමට මෙම බිලියනපති ව්‍යාපාරිකයාට හැකිවී තිබීම, ද්වි-පක්ෂ ක‍්‍රමය කෙරෙහි එල්ලවී ඇති දැඩි මහජන විරුද්ධත්වය සමග මුලුමනින්ම බැඳී ඇත. ට‍්‍රම්ප් හා ඔහුගේ ඩිමොක‍්‍රටික් ප‍්‍රතිවාදියා වීමේ විභවය ඇති හිලරි ක්ලින්ටන් අතර උද්ඝෝෂනයේදී ට‍්‍රම්ප් තමන් ප‍්‍රදර්ශනය කර ගනු ඇත්තේ, වෝල් වීදියේ හා මිලිටරි-බුද්ධි සංස්ථාපිතයේ දූෂිත හා නින්දිත නියෝජිතයෙකුට එරෙහි “සංස්ථාපිතයට-එරෙහි” ඡන්ද අපේක්ෂකයා තමා ලෙසය.

මෙම කොන්දේසි යටතේ, මධ්‍යම පාන්තික ව්‍යාජ වමේ නියෝජිතයෝ ඉදිරියට ගෙනෙන තර්කය, අවශ්‍යව වන්නේ ධනවාදී පදනමක් මත “ප‍්‍රජාතාන්ත‍්‍රික බලවේගවල” පොදු සන්ධානයක් යන්න යි. මෙය මොනවට ප‍්‍රදර්ශනය කරන්නේ, කප්පාදු පිලිවෙත්වලට එරෙහි ග‍්‍රීක කම්කරුවන්ගේ අරගලය පාවාදීමේදී කේන්ද්‍රීය භූමිකාවක් රඟදැක්වූ ග‍්‍රීසියේ සිරිසා ආන්ඩුවේ හිටපු මුදල් ඇමති යානිස් වරූෆාකිස්ගේ අදහස් තුල ය.

ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට් වෙබ් අඩවියේ පලවූ විවෘත ලිපියකදී වාරූෆාකිස් සඳහන් කලේ, “ඉතිහාසය තුල අප පසුකරමින් සිටින යුගය සමාන වන්නේ, අවධමනය, විදේශිකයන් නොරිස්සීම, ආන්තික ජාතිකවාදය, තරඟකාරී මුදල් අවප‍්‍රමාන, ස්වෝත්තමවාදය යනාදියෙන්” සමන්විත 1930 ගනන් පිලිබඳව ය. 1930 ගනන්වල “ප‍්‍රගතිශීලීන්ගේ කර්තව්‍ය වූයේ” කුමක්දැයි ඔහු අසයි. “ඒ වනාහී දුෂ්ඨ බලවේගවලට එරෙහිව, ඩිමොක‍්‍රටිකයන්ගේ (රැඩිකලුන්, ලිබරලුන්, ප‍්‍රතිතිශීලි තත්වාරක්ෂකයින්ගේ පවා) සමස්ත යුරෝපියානු ව්‍යාපාරයක් නිර්මානය කිරීම සඳහා පක්ෂ, හා දේශසීමාවන්ට උඩින් පැන යන කපාගෙන යන සන්ධාන වලට එලඹීම යි”. අද දවසේ ද අපගේ රාජකාරිය විය යුත්තේ මෙය බව මම සිතන්නෙමි.

ඇත්ත වසයෙන්ම, 1930 ගනන් යනු වාරූෆාකිස් අභිවාදනය කරන දේශපාලනයේ බංකොලොත්කම ගැන නිශ්චිත නිදර්ශනයකි. එම දශකයේදී, මහා අවපාතය, යුද්ධය හා ෆැසිස්ට්වාදයේ නැගීමට, ස්ටැලින්වාදීන් අනසක පතුරුවාගෙන සිටි කොමියුනිස්ට් පක්ෂ ප‍්‍රතිචාර දැක්වුයේ, ෆැස්ස්ට්වාදයට එරෙහි “ප‍්‍රජාතාන්ත‍්‍ර” බලවේග ලෙස මවා පෙන්වූවන්ගේ සන්ධානයක් වන “මහජන පෙරමුනුවාදයේ” වැඩසටහන උත්කර්ෂයට නැංවීමෙනි. මෙය, කම්කරු පන්තියට මාරාන්තික හානි සිදු කල බව සනාථ කෙරී ඇත. 1940 ගනන්වල යුරෝපයේ වැඩිකොටසක් පැවතියේ ෆැසිස්ට් පාලනය යටතේ ය.

1930 ගනන්වල ස්ටැලින්වාදී මහජන පෙරමුනට සමාන ආකාරයෙන්, කප්පාදු පිලිවෙත් හා යුද්ධය පවත්වාගෙන යන එම පක්ෂවලටම කම්කරුවන් ගැටගසන වාරූෆාකිස්ගේ පිලිවෙතේ එල්ලය වන්නේ, සැබවින්ම විශාල සහයෝගයක් දිනාගත හැකිව තිබෙන අන්ත දක්ෂිනාංශික බලවේගවල වර්ධනයට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක වර්ධනය වැලක්වීම ය. ෆැසිස්ට්වාදයේ අනතුර වැඩීමට බලපෑ කොන්දේසි කිසිවක් වෙනස් නොකර “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” වෙනුවෙන් ව්‍යාපාරයක් ගෙනයාමට ඔහුට අවශ්‍යව ඇත. එක්සත් ජනපදය තුල, ඩිමොක‍්‍රටික් පක්ෂය වටා ගොනුවූ දේශපාලන බලවේග සූදානම් කරමින් සිටින්නේ, වැඩකරන ජනතාවගේ අතින් මූල්‍ය කතිපයාධිකාරිය වෙතට අදහාගත නොහැකි අයුරින් ධනය ඇද ගැනීමට දායක වූ සමාජ පිලිවෙතක කිසිදු වෙනසක් නොකර ට‍්‍රම්ප්ට එරෙහි දේශපාලන ව්‍යාපාරයකි.

පලමු හා දෙවන ලෝක යුද්ධ අතර කාලපරිච්ඡේදයේදී ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදය විශ්ලේෂනය කරමින්, ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදී න්‍යායාචාර්ය හා විප්ලවවාදියා වන ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලීවේ ය.

විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පය සමග සසඳන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථගැන්විය හැක්කේ, ජාතික හෝ සමාජ අරගලවල බරින් හෙම්බත්ව සිටින දහරාවන්ගෙන් ආරක්ෂාවීම සඳහා සකසා ගත්, ආරක්ෂක බොත්තම් පද්ධතියක් හා පරිපථ ඛන්ඩනයන් ලෙසය. අපගේ යුගය තරම් ප‍්‍රතිවිරෝධතා වලින් ඉහවහා ගිය මානව ඉතිහාසයේ වෙනත් අවධියක් යාන්තමින්වත් පැවතී නැතත් ඕනෑවටත් වඩා ගිනියම්වූ පන්ති හා ජාත්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවන්හි බලපෑම යටතේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂක බොත්තම් එක්කෝ පිලිස්සී නැතිනම් පුපුරා යයි. ආඥාදායකත්වයේ කෙටි පරිපථය නියෝජනය කරන්නේ හරියටම මෙන්න මෙය යි.

ට්‍රොට්ස්කි ඔහුගේ විශ්ලේෂනය පදනම් කලේ, ප‍්‍රජාතාන්ත‍්‍රික ආකෘතීන්ගේ බිඳ වැටීම, අර්බුදයේ ගිලී සිටින සමාජ හා ආර්ථික පද්ධතියක ප‍්‍රතිපලයක්ය යන වැටහීම මත ය. එදා මෙන්ම අද ද කර්තව්‍ය වන්නේ, විද්‍යුත් අධිධාරිතාවේ ප‍්‍රභවය, එනම්, ධනවාදයට එරෙහිව එල්ල කෙරුනු දේශපාලන වැඩපිලිවෙලක පදනම මත ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම යි.

අත්‍යවශ්‍ය පාඩම් උකහා ගන්නැයි ලෝකය පුරා සිටින අපගේ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු. ධනපති පාලනයේ ගරාවැටෙන සංස්ථාවන්ට මුක්කුව දීමට වෑයම් කිරීමෙන් කිසිවක් අත්කර ගනු නැත. විකල්ප දෙකක් තීරනාත්මකව ඉදිරිපත්ව ඇත: එක්කෝ, පාලක පන්තිය හා එහි ආර්ථික පද්ධතිය මානව වර්ගයා යුද්ධයේ, අවපාතයේ හා ආඥාදායකත්වයේ පතුලක් නැති ආගාධයට ඇද දමනු ඇත නැතිනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලය අත්කරගෙන සමාජවාදී පදනමක ලෝක ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කරනු ඇත.

ආන්ද්‍රේ ඩේමන් සහ ඇලෙස් ලැන්ටියර්

Share this article: