දුතර්තේ පිලිපීනයේ මා ඕවාදී කොමියුනිස්ට් පක්ෂයට කැබිනට් තනතුරු ප‍්‍රදානය කර යි

Duterte offers cabinet posts to Maoist Communist Party of the Philippines

ජෝශප් සන්ටෝලන් විසිනි , 2016 මැයි 17

පිලිපීනයේ නව ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේ ඉරිදා නිවේදනය කලේ, 30වැනිදාට වැඩ භාර ගැනීමට නියමිත ඔහුගේ පාලනාධිකාරය, මරන දඬුවම යලි ස්ථාපිත කරනු ඇති අතර වෙඩි තබා මරා දැමීමේ නියෝග පොලීසියට හා මිලිටරියට නිකුත් කරන බව යි.

එකී මාධ්‍ය සාකච්ඡාවේ දී ම, පිලිපීන කොමියුනිස්ට් පක්ෂයට (සීපීපී) කැබිනට් තනතුරු හතරක් ප‍්‍රදානය කරන බව නිවේදනය කල දුතර්තේ, දකුනු චීන මුහුදේ භූමිභාග ගැටුම් සම්බන්ධයෙන් චීනය සමග යුද්ධයකට පැටලනු අවස්ථාවක දී ඇමරිකාව පිලිපීනයට අවශ්‍ය තරම් අනුග‍්‍රහ දක්වනු ඇති දැ යි යන මා ඕවාදී සීපීපීයේ දැඩි මත ප‍්‍රතිරාවය කලේ ය.

දකුනු පිලිපීනයේ දවාවෝ නගරයේ නගරාධිපති දුතර්තේ මැයි 9වැනිදා තේරී පත් වූයේ ඔහු සභාපතිත්වය දැරූ දවාවෝ හි නීතිවිරෝධී ඝාතන ප‍්‍රතිපත්තිය මුලු රටට ම ව්‍යාප්ත කිරීමට සපත කිරීමේ උද්ඝෝෂනයකට පසු ය. මැතිවරනයෙන් පසු දුතර්තේගේ පලමු සතිය ඇඟවුම් කර ඇත්තේ, මෙම තර්ජනය ක‍්‍රියාත්මක කිරීමට හා කම්කරු පන්තියට එරෙහිව ප‍්‍රචන්ඩ මර්දනයක් දියත් කිරීමට ඔහු සූදානම් වෙමින් සිටින අතර, මා ඕවාදීන්ගේ සහාය ඇතිව, රටේ සමාජ අර්බුදයෙන් අවධානය ඉවතට හැරවීම පිනිස ප‍්‍රතිගාමී ජාතිකවාදය තොරොම්බල් කරමින් සිටින බව යි.

2006 සිට තහනම් කෙරී ඇති මරන දඬුවම ආපසු ගෙන ඒමට මෙන් ම ප‍්‍රසිද්ධියේ එල්ලා මැරීමේ ම්ලේච්ඡ භාවිතය ද නැවත හඳුන්වා දීමට ද දුතර්තේ යෝජනා කර යි. ලේ වැකි පිලිපීන-ඇමරිකානු යුද්ධය (1889-1902) අතරතුර හා ඉන් ඉක්බිත්තේ ඇමරිකානු යටත්විජිත බලධාරීන් විසින් එල්ලා මැරීම ක‍්‍රියාත්මක කරන ලදී. ඇමරිකානු පාලනයට එරෙහිව සටන් කල අය අපරාධකරුවන් ලෙස හංවඩු ගසා එල්ලා මරන ලදී.

නව ජනාධිපති මාධ්‍ය සමුලුවේ දී පැවසුවේ අපරාධ දෙකක් සඳහා චෝදනා ලබා ඇති අය එල්ලා මැරීම් දෙකකට මුහුන දිය යුතු බවය. “මම ඒකට කැමතියි, මොක ද මට පිස්සු” යැයි ඔහු ප‍්‍රකාශ කලේ ය. අත්අඩංගුවට ගැනීමට විරුද්ධත්වය දක්වන ඕනෑ ම අයෙකු වෙඩි තබා “මරා දැමීමට” තමා පොලීසියට හා මිලිටරියට නියෝග කරන බවත්, මෙම අරමුන සඳහා පොලීසිය හා මිලිටරියේ සැඟවී සිට වෙඩි තබන අය පුහුනු කිරීමට නියෝග කරන බව ද පැවසීය.

දුතර්තේ මීට පෙර පවසා තිබුනේ ඔහුගේ මිනීමරු සැලැස්මේ එක් ඉලක්කයක් වන්නේ වැඩවර්ජනය කරන කම්කරුවන් මරා දැමීම බව යි. අපනයන සැකසුම් කලාපයේ කම්කරුවන් සංවිධානය වීමට උත්සාහ කරන්නේ නම් “මම උඹලා මරා දමමි” යි ඔහු පෙබරවාරියේ දී පැවසුවේ ය.

ප.ව.10 සිට පනවනු ලබන පොලිස් ඇඳිරි නීතියට සියලු ම බාල වයස්කරුවන් යටත් වනු ඇතැ යි ඔහු පැවසී ය. එක් වතාවකට වඩා ඇඳිරි නීතිය උල්ලංඝන කරන ලමයෙකුගේ දෙමව්පියන්ගෙන් කවරෙකු හෝ “අත් හැර දැමීම” වෙනුවෙන් අත්අඩංගුවට ගෙන හිර කරනු ඇත.

දුතර්තේගේ ප‍්‍රචන්ඩ කම්කරු පන්ති මර්දනය නිසා තමන්ට සැලසෙනු ඇති ලාභ අවස්ථා දෙස ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය කෙලහලමින් බලා සිටී. මෙම “ව්‍යාපාර ගැති නායකයා” විසින් ව්‍යාපාරිකයන් “මායා බන්ධනයකට හසු කර ගෙන ඇතැයි” බ්ලූම්බර්ග් මැයි 13 සඳහන් කලේ ය. දුතර්තේගේ පැමිනීම “මූල්‍ය වෙලඳපොලේ ශක්තියට ප‍්‍රබල සාධකයක්ව ඇත.” ව්‍යාපාරික පුවත්පත් “ව්‍යාපාර වඩ වඩාත් විදේශ අයිතියට” පැවරීම පිලිබඳව දුතර්තේගේ කැපවීම ගැන සඳහන් කලේය.

බීඑම්අයි නම් සිංගප්පූරු සමාගමේ ඒසියා කන්ටි‍්‍ර රිස්ක් (ආසියානු රටවල අවදානම්) අංශයේ ඇන්ඩෲ වුඩ් පැවසුවේ: “අපරාධ හා දුෂනයට එරෙහි බලගතු ව්‍යාපාරයක් පිලිපීන ආර්ථිකය සඳහා දිගු කාලීන වාසි සලසනු ඇත” යනුවෙනි.

ඒකාධිපති පාලනයක් හා කම්කරු පන්තිය ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා දුතර්තේ පොලිස් ප‍්‍රචන්ඩත්වය සූදානම් කරමින් සිටී. මා ඕවාදී සීපීපී හා එහි පෙරමුනු සංවිධාන මෙම ෆැසිස්ට්වාදී නායකයාට ප‍්‍රබල සහයක් දෙමින් සිටිති.

ඉරිදා ඔහු අවධාරනය කලේ පිලිපීනය දකුනු චීන මුහුදේ එහි භූමිභාග අයිතිවාසිකම් අත් නො හරිනු ඇති නමුත් ආර්ථික හා වෙලඳපොල අනුග‍්‍රහ සඳහා ගනුදෙනුවල දී සාකච්ඡාවලට විවෘත බව යි. “ඔවුන් එය විශ්වාස කලත් නැතත්, ඔවුන් එහි සිටින්නේ නීති විරෝධී ව” යයි ඔහු චීන තානාපති ෂ ඕ ජියන්හුවා හමුවීමට පෙර වාර්තාකරුවන්ට පැවසී ය.

නව ජනාධිපතිවරයා පැවසුවේ, රට තුල ඇමරිකානු කඳවුරුවලට යලි ඉඩ ලබා දෙන සවිමත් ආරක්ෂක සහයෝගිතා ගිවිසුම (ඊඩීසීඒ) නමින් යුත් වොෂින්ටනය සමග වන රටේ මිලිටරි ගිවිසුමට ඔහු ගරු කරන බව යි. කෙසේ නමුත්, ගැටුමක දී ඇමරිකාව පිලිපීනයට සහාය නො දෙනු ඇතැ යි විශ්වාස කරන බව ඔහු ඇඟවී ය. “මම කෙලින් ම අහන්නේ, ඇමරිකාව, ඔබ අප සමග ද නැද් ද?” යනුවෙන් බව ඔහු පැවසීය. “යුද්ධයක් පවතී නම් මම පහර දෙන්නෙමි, මට සහාය දීමට ඔබ මා පිටුපස සිටින්නේ ද?”

මෙය මා ඕවාදීන්ගේ ආස්ථානය යි, ඔවුන් තර්ක කරන්නේ, චීනයට එරෙහිව පූර්න යුද අවස්ථාවක දී පිලිපීනයේ ඇමරිකානු මිලිටරි ආරක්ෂාව සඳහා ඊඩීසීඒ අවශ්‍ය තරම් දුර නො යනු ඇති බව යි.

සීපීපී හා එහි සන්නද්ධ අංශය වන නව මහජන හමුදාව (එන්පීඒ) හා බයන් හා බයන් මූනා ඇතුලු එහි නීත්‍යානුකූල පෙරමුනු සංවිධාන දශක කීපයක් තිස්සේ දවාවෝ හි දී දුතර්තේට ප‍්‍රමුඛ සහායක් ලබා දී ඇත. ඔවුන් ඔහුගේ පාලනයට සම්බන්ධව සිටි අතර ඔහුගේ අනුග‍්‍රහයෙන් මැතිවරන තර කර ඇත. ඔහුගේ මැතිවරන ව්‍යාපාරයට උදව් කලේය

.

2015 ජනවාරියේ දී දුතර්තේ නිවේදනය කලේ, තමා ජනාධිපති වුනොත් සමාජ ශුභසාධන බියුරෝව පුද්ගලීකරනය කරන අතර, සීපීපීයේ නායක ජෝස් මා සිසොන් එම බියුරෝවේ ලේකම් කරන බව ය. මාධ්‍ය වාර්තාවන්ට අනුව බලයට පත්වුන දා සිට ඔහු ස්කයිප් ඔස්සේ දෛනික පදනමකින් සිසොන් සමග කථා කර ඇත. දුතර්තේ වෙනුවෙන් සිසොන් පුන පුනා සහයෝගිතා ප‍්‍රකාශන නිකුත් කර ඇත, උදාහරන ලෙස, ඔහු සීඑන්එන් ප‍්‍රවෘත්ති සේවයට මෙසේ පවසා ඇත: “මම ඔහු ගැන හරිම ආඩම්බර යි. ඔහු පිලිපීනයේ පලමු වාමාංශික ජනාධිපති වීමට පොරොන්දු වෙනවා. ඔහුට දේශපේ‍්‍රමීව හා ප‍්‍රගතිශිලීව සිටිය හැකි නම් මම සෑහීමකට පත්වෙනවා.”

සිසොන් හෝ සීපීපීයේ පෙරමුනු සංවිධානවල අන් කිසිවෙකු හෝ දුතර්තේගේ ෆැසිස්ට්වාදී දේශපාලන සූදානම මගින් මතු කෙරෙන අනතුර ගැන වචනයක් පවසා නැත. මැයි 13වැනිදා දුතර්තේගේ ආර්ථික ප‍්‍රතිපත්ති පිලිබඳව බයන් සංවිධානය ඇල්මැරුනු විවේචන ඉදිරිපත් කලේ, ඒවා “(ඉවත්ව යන) ජනාධිපති ඇකිනෝගේ නව ලිබරල් ප‍්‍රතිපත්ති” ඉදිරියට ගෙන යෑමක් බව ප‍්‍රකාශ කරමිනි.

දුතර්තේගේ මාධ්‍ය ලේකම් වහා ම බයන් සංවිධානයට පෙරලා පහර දෙමින්, “ඔවුන්ට තමන්ගේ මාවත් හරිගස්සාගන්ට සිදුවෙනවා ඇතැ” යි පැවසීය. සෑම කාරනයක් ගැන ම ඔවුන්ට පෙලපාලි පැවත්වීමට හෝ විරෝධතා දැක්වීමට නො හැකි යයි ඔහු පැවසී ය. බයන් ප‍්‍රකාශනයෙන් සීපීපීය වෙන් කිරීමට උත්සාහ ගනිමින් සිසොන් මාධ්‍ය ප‍්‍රකාශනයක් නිකුත් කලේ ය. ඔහු මෙසේ සඳහන් කලේ ය, “පිලිපීනයේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුන (සීපීපීයේ අංශයකි) මේ වන විටත් දුතර්තේගේ ආන්ඩුව සමග සාකච්ඡාවට කැප වී ඇත.” බයන් (සංවිධානයට) “තමන්ගේ ම දේශපාලනික හා සංවිධානාත්මක ඒකාබද්ධතාවක් මෙන් ම ස්වාධීනත්වයක් ඇත.”

සුදුසු පරිදි හික්මුනු සීපීපී පෙරමුනු සංවිධාන ඊටත් වඩා සන්සුන් ආස්ථානයක් ගත්තේ ය. බයන් මූනා හි ප‍්‍රධාන නියෝජිතයෙකු වන ටෙඩි කසිනෝ දුතර්තේට ආයාචනා කලේ ය: “කරුනාකර මුල් විවේචන, අප ගරු කරන, පිලිගන්නා හා ඔව් මිත‍්‍රයෙකු ලෙස සලකන යමෙකු සමග හදිසි, විවෘත සාකච්ඡාවක නියලීමට ගන්නා උත්සාහයක් ලෙස ගනු මැනවි.”

දුතර්තේ සීපීපීයට පිලිගන්වන්නේ කෘෂිකාර්මික ප‍්‍රතිසංස්කරන, පාරිසරික හා ස්වාභාවික සම්පත්, සමාජ ශුභසාධන හා සංවර්ධනය සහ කම්කරු හා රැකියා යන කැබිනට් තනතුරු ය. මෙම දෙපාර්තමේන්තු කම්කරු පන්තිය හා ගොවීන් පාලනය සඳහා වගකීම දර යි. දුතර්තේ පැහදිලිවම අපේක්ෂා කරන්නේ සීපීපීය පිලිපීන මහජනතාව හික්මවනු හා මර්දනය කරනු ඇත කියා ය.

සිසොන් දුතර්තේට ප‍්‍රතිචාර දැක්වූයේ සීපීපීය, “කැබිනට් තනතුරු පිලිබඳ ජනාධිපතිගේ උදාර ප‍්‍රදානයන් සතුටින් පිලිගනී” යැයි පවසමිනි. එන්බීඒ විසින් ගෙන යන ලද වසර 47ක් වන සන්නද්ධ ගැටුම අවසන් කිරීමට දුතර්තේ හා සිසොන් වහාම සාකච්ඡා ඇරඹීමට බලාපොරොත්තු වෙති.

1968දී සීපීපීය ගොඩනගන ලද්දේ අවධි දෙකේ විප්ලවය පිලිබඳ ස්ටැලින්වාදී ක‍්‍රියාමර්ගය මත ය. ජාතිකවාදයේ නාමයෙන් එය, කම්කරු පන්තිය ධනේශ්වරයේ කොටසකට යටත් කලේ, විප්ලවයේ කර්තව්‍යය සමාජවාදී නොව එහි ස්වභාවය අනුව ජාතිකවාදී යැයි කම්කරුවන්ට පවසමිනි.

ඉතිහාසය පුරාම සීපීපීය ධනේශ්වරයේ කොටසකට සහාය පුද කර ඇත. 1965දී, සිසොන් පක්ෂයේ තරුන අංශය වුනු කබටාන් මකාබයාන් (කේඑම්) පෙල ගැසුනේ, ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ට සහාය දීමට ය. නමුත් දුතර්තේ පිලිබඳ සීපීපීයේ උද්යෝගීමත් පිලිගැනීම නියෝජනය කරන්නේ දක්ෂිනාංශය දෙසට වන සැලකිය යුතු වෙනසකි. ඔවුන් පෙල ගැසෙමින් සිටින්නේ, විරුද්ධ වීමට උත්සාහ කලොත් ඔවුන් මරා දැමීමට පොරොන්දු වන ෆැසිස්ට්වාදී දේශපාලන නායකයෙකු සමග ය.

Share this article: