දකුනු චීන මුහුදේ නව ඇමරිකානු ප‍්‍රකෝපකිරීම් හමුවේ යුද අන්තරාය ඉහල නගියි

War danger grows following new US provocation in South China Sea

ජේම්ස් කෝගන් විසිනි, 2016 මැයි 11

විවෘත මිලිටරි ප‍්‍රකෝපකරනයක යෙදෙමින් 10දා ඔබාමා පාලනය, දකුනු චීන මුහුදේ ස්ප‍්‍රැට්ලි දිවයින් පෙලේ පිහිටි ෆයරි ක්‍රොස් ගල්පර වටා චීනය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙන නාවික සැතපුම් 12 තහනම් කලාපයට මිසයිල් ප‍්‍රහාරක ඩිස්ට්‍රෝයර් යාත‍්‍රාවක් පිටත්කර හැරීමට ඇමරිකානු නාවික හමුදාවට අවසර දුන්නේය. එම මෙහෙයුම් ක‍්‍රියාත්මක කලේ, චීනය හිමිකම් කියන මුහුදු ප‍්‍රදේශයට තමන් කැමති ඕනෑම වෙලාවක මිලිටරි මැදිහත්වීම් කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය සතු යයි කියා සිටින “නාවික ගමනාගමනයේ නිදහස” නමැති ව්‍යාජ කඩතුරාව යටතේය.

10දා සිද්ධිය ආසියානු-ශාන්තිකර කලාපය තුල ඇමරිකාවේ සැබෑ අරමුන වන මිලිටරි ආතතිය ඉහල නැංවීම පිනිස ක‍්‍රියාත්මක විය. චීන මිලිටරිය අඩුම තරමින් සිය ජේ-11 ප‍්‍රහාරක යානා දෙකක් ගුවන්ගත කරමින් ඊට ප‍්‍රතිචාර දැක්වීය. චීන ගුවන් නියමුවන් යූඑස්එස් විලියම් පී ලෝරන්ස් යන ඇමරිකානු ඩිස්ට්‍රෝයර් යාත‍්‍රාවට අනතුරු අඟවමින් ප‍්‍රදේශයෙන් ඉවත්වන ලෙස හෝ ගැටුමකට මුහුන දෙන ලෙස දැනුම් දුන් බව වාර්තා විය. චීන නාවික හමුදාව යුද නැව් තුනක් පිටත්කර හැරි නමුත් ගැටුමක් සිදුවූ බවට වාර්තා නොවීය.

මේ තතු තුල මිලිටරි ආතතිය තියුනු ලෙස ඉහල නැගුනි. ඇමරිකානු නාවික හමුදාව පසු ගිය ඔක්තෝබරයේ “නාවික ගමනාගමනයේ නිදහස” යන මෙහෙවරක්, චීනය හිමිකම් කියන දකුනු චීන මුහුදේ සුබි ගල්පර වටා මුහුදු ප‍්‍රදේශයට සිදු කල අතර ජනවාරියේදී දෙවන මෙහෙයුම පාර්සල් දිවයින් පෙලට සම්බන්ධ ට‍්‍රයිටන් දිවයින් තීරයට සිදු කලේය. ඒ අවස්ථාවලදී චීනය මිලිටරිමය වශයෙන් ප‍්‍රතික‍්‍රියා නොකල අතර තද වචන සහිත රාජ්‍යතාන්ත‍්‍රික විරෝධය පල කලේය. අලුත් කඩා වැදීමට චීනය දැක්වූ ප‍්‍රතිචාරය ඇඟවුම් කරන්නේ, මින් ඉදිරියට ඇමරිකානු ප‍්‍රකෝපකරනයන්ට, මිලිටරි ගැටුමක අනතුර මතු කරන බලය යෙදීමක් සිදුකිරීමට සූදානම් වන බවයි.

ෆයරි ක්‍රොස් ගල්පර, මතභේදාත්මක භූමිභාගයන්ගෙන් වඩාත්ම අර්බුදකාරී එකය. 1988 පටන් චීනය, එය අත්කරගෙන සිටින නමුත් වියට්නාමය, පිලිපීනය හා තායිවානය ද ඊට හිමිකම් කියයි. 2011 පටන් ආතතිය වැඩිවී ඇත්තේ, ඇමරිකාවේ “ආසියාවට හැරීම” හා වියට්නාමය හා පිලිපීනය සමග සමීප සබඳතා ගොඩනැගීමෙන් පසුවය.

2014දී චීනය සිය ගනනක හමුදා භටයින් යොදවා කුඩා කෘතීම දිවයිනක් මුහුද ගොඩකර ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කලේය. එහි වරායක් හා මීටර් 3300ක ගුවන් පථයක් ගොඩනගා ඇත. එය බීජිනය විසින් පාලනය කරන දකුනටම වන්නට පිහිටි ගුවන් තොටුපලය. 2016 ජනවාරියේදී සිවිල් ගුවන් යානා ද සාර්ථක ලෙස එහි ගොඩබස්සන ලද අතර චීන මිලිටරි ගුවන් යානා දැන් එය නිරතුරුව පාවිච්චි කරනු ලබයි.

10දා මෙහෙයුම තුලින් වොෂින්ටනය නිකුත් කර ඇති පනිවිඩය පැහැදිලිය. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් දකුනු චීන මුහුදේ දූපත් අරභයා දිගු කලක් තිස්සේ පවතින හිමිකම් පෑම පිලිබඳ මතභේද අවුස්සන්නේ, මිලිටරිමය වශයෙන් චීනය වැටලීම හා එරට පාලන තන්ත‍්‍රය අස්ථාවර කිරීම සඳහාය. ආසියාවේ මිලිටරි ආධිපත්‍යය පමනක් නොව, ගෝලීයව සිය අනසක පුලුල් කිරීමේ අභිලාෂයන් කෙරෙන් පසු බසින ලෙසත්, වෙලඳාම හා චීන වෙලඳපොලවලට පිවිසීම පිනිස ඇමරිකාව ඉල්ලා සිටින සහන පිරිනමන ලෙසත් බීජිනයට බල කිරීම ද ඇමරිකානු පාලක පන්තියේ අවශ්‍යතාව බවට පත්ව ඇත. ඒ නොතකා බීජින් තන්ත‍්‍රය තමන් නියෝජනය කරන කතිපයාධිකාරයේ, කලාපීය හා ගෝලීය අවශ්‍යතා වෙනුවෙන් ඉදිරියට යන්නේ නම්, එරටට යුද්ධයට මුහුනදීමට සිදුවනු ඇත.

“නාවික ගමනාගමනයේ නිදහස” මෙහෙයුම ක‍්‍රියාත්මක කල වේලාව ඇඟවුම් කරන්නේ, එය චීන තන්ත‍්‍රයට සේම ඇමරිකාවේ “මූලෝපායික සහකරුවන්ට” ද එහි සහචරයන්ට ද එල්ල කල එකක් බවය.

හේග් නුවර එක්සත් ජාතීන්ගේ ස්ථාවර අභියාචන අධිකරනය, ඇමරිකාවේ පිටුබලය සහිතව පිලිපීනය දකුනු චීන මුහුදේ චීන හිමිකම් පෑමට අභියෝග කරමින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ තීන්දුව දින ගනනක් තුල ප‍්‍රකාශයට පත් කරනු ඇත. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නීති නියෝජිතයන්ගෙන් පිරුනු අධිකරනය, එක්සත් ජාතීන්ගේ මුහුදේ නීතිය යන ගිවිසුම යටතේ නිශ්චිත දිවයින් හා ගල්පර ප‍්‍රදේශ චීනය විසින් වාඩිලාගෙන සිටීම “නීති විරෝධී” යයි ප‍්‍රකාශ කරනු ඇතැයි සැලකේ.

එවන් දේ ඇමරිකානු ආන්ඩුව විසින් යොදාගනු ඇත්තේ, තවතවත් මිලිටරි මෙහෙයුම් යුක්තිසහගත කිරීමටය. ඉන් බොහොමයක් දියත් කරනු ඇත්තේ, පිලිපීනයේ සිට ලඟාවිය හැකි නව කඳවුරු තුලින්ය. කෙටි දුර ඒ-10 ප‍්‍රහාරක ගුවන් යානා දකුනු චීන මුහුද යාබද ප‍්‍රදේශයේ සිට කෙලින්ම මෙහෙයුම් සිදුකරන අතර යුද නැව් පිලිපීනයේ විවිධ වරායවලින් දියත් කල හැකිය.

යූඑස්එස් විලියම් පී ලෝරන්ස් නෞකාව චීන මුහුදු කලාපයට ඇතුලු වූයේ, පිලිපීන ජනාධිපතිවරනයෙන් ෆැසිස්ට්වාදී ඩවා ඕ නගරාධිපති රොද්‍රිගෝ දුතර්තේ ජයග‍්‍රහනය කල බව ප‍්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුවය. මැතිවරන ව්‍යාපාරය පුරාම දුතර්තේ, මතභේදාත්මක භූමි භාගයන් පිලිබඳව දෙඩූ මිලිටරිවාදී පුරසාරම් හා සමීප ආර්ථික සම්බන්ධතා හා ද්විපාර්ශවික සාකච්ඡා සඳහා බීජිනයට ඇරයුම් කිරීමේ බයාදු ආයාචන අතර වැනෙමින් සිටියේය. ඔහු දිව්රුම් දෙන ජූනි 30දා වන විට දුතර්තේ පාලනය සිදුවී ඇති දේ පිලිගන්නා තැනට පත් වන බවට ඇමරිකානු මෙහෙයුම සලකුනු කරයි.

ඇමරිකාවේ “ආසියාවට හැරීමේ” මිලිටරි හා තීරනාත්මක සහචරයෙක් වන ඕස්ටේ‍්‍රලියාවේ පෙරදැකිය නොහැකි හා අස්ථාවර මැතිවරනය ආරම්භ වීමත් සමග ද නාවික ගමනාගමනයේ නිදහස සඳහා වන මෙහෙයුම සම්පාත වේ. ඕස්ටේ‍්‍රලියානු දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ මුලු බර යොදා ඇත්තේ මැතිවරනය තුල, යුද්ධය පිලිබඳ මාතෘකාව හැකිතාක් සුලුවෙන් මතු වන තැනට වග බලාගන්නටය. ප‍්‍රශ්නය ඉස්මතු කරනවා වෙනුවට විරුද්ධ පක්ෂ ප‍්‍රසිද්ධියේම පෙනී සිටින්නේ, වොෂින්ටනය කෙරෙහි සිය පූර්න සහාය පලකිරීම පිනිසය.

ලිබරල් ජාතික සභාග ආන්ඩුව නියෝජනය කරමින් ආරක්ෂක ඇමති මාරිස් පේන් වහාම අවධාරනය කලේ, ඕස්ටේ‍්‍රලියාව ඇමරිකාවේ කටයුතු වලට “දැඩි ලෙස සහාය දක්වන” බවයි. ආන්ඩු බලයේ සිටියදී ඕස්ටේ‍්‍රලියාවේ ලේබර් පක්ෂය 2011දී “හැරීම” සමග බැඳුනු අතර සිය රටේ යුද නැව් චීනයට එරෙහි ප‍්‍රකෝපකරනයේ යෙදවීමට මැදිහත් වූ බව වාර්තාගතව ඇති අතර දැන් ද එසේම කල යුතු බවට යෙදෙන බලපෑමට මුහුනපා සිටියි.

මේ මස 21ට යෙදී ඇති ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ වියට්නාම් සංචාරයේදී, බීජිනයට එරෙහිව උත්සන්න කෙරෙන මිලිටරි මෙහෙයුම් පිටුපස වියට්නාමය පෙලගස්වා ගැනීම සඳහා ඔහු උත්සාහ දරනු ඇත. ඉන් පසුව 26-27 දෙදින තුල ජපානයේදී අනෙකුත් ජී7 රටවල රාජ්‍ය නායකයින් හා යුරෝපීය සංගමයේ ප‍්‍රධානියා සමග ඉහල පෙලේ සාකච්ඡා පැවැත්වෙනු ඇත. අපේ‍්‍රල් මාසයේදී පවත්වන ලද ජී7 විදේශ ඇමතිවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව නිකුත් කල ප‍්‍රකාශය, පලමු වතාවට, දකුනු හා නැගෙනහිර චීන මුහුදු ප‍්‍රදේශයේ “ආතතීන්” උත්සන්න කෙරෙන කුමන හෝ ක‍්‍රියාවකට තමන් “විරුද්ධ” බව පවසා තිබීම චීනය කුපිත කලේය. වොෂින්ටනයේ නේටෝ හා ජපන් සහචරයින්ගේ ප‍්‍රකාශය සඳහන් කරන්නේ චීනයේ ප‍්‍රතික‍්‍රියා ගැන මිස ඇමරිකාවේ ප‍්‍රකෝපකරන ගැන නොවේ.

ඇමරිකානු යුද නැවට එරෙහිව ප‍්‍රහාරක ජෙට් යානා මුදාහැරීම ඇඟවුම් කරන්නේ, චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) තන්ත‍්‍රය, ඇමරිකාවේ හා එහි සහචරයින්ගේ යුද යාන්ත‍්‍රනය සමග මිලිටරි ගැටුමක් සඳහා තමන්ගේම ප‍්‍රතිගාමී සූදානම දැඩි කිරීමට තීන්දු කර ඇති බවයි. එය උත්සාහ කරන්නේ, 1970 ගනන්වලින් මෙපිටට, මා ඕසේතුං හා ඔහුගේ දේශපාලන උරුමක්කාරයින් ධනේශ්වර දේපොල සම්බන්ධතා පුනස්ථාපනය කරමින්, චීනය තුල ගොඩනගන ලද දූෂිත කතිපයාධිකාරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමටය. සීසීපී තන්ත‍්‍රය කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට මුලුමනින්ම සතුරුය. එනම්, යුද්ධය පුපුරා ගියහොත් ඇමරිකානු න්‍යෂ්ටික ප‍්‍රහාරයන්ගේ බිහිසුනු ප‍්‍රතිවිපාකයන්ට මුහුන දෙනු ඇති බහු මිලියන ගනන් වන ශක්තිමත් චීන කම්කරු පන්තියටය.

බීජිනය, ආතතීන් තවදුරටත් තියුනු කරන පියවර ගන්නා බව චීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ ඔවුන් ප‍්‍රකාශ කලේ, ඇමරිකානු පියවර “සනාථ” කර ඇත්තේ, දකුනු චීන මුහුදු ප‍්‍රදේශයේ මිලිටරි යටිතල ව්‍යුහය ගොඩනැගීම හා හමුදා යෙදවීම්, “මුලුමනින්ම යුක්තිසහගත හා අත්‍යාවශ්‍යව තිබූ” බවය. කලාපය තුල චීනය සිය නාවික හා ගුවන් මෙහෙයුම් වැඩි කරමින් සිය “විවිධ ආරක්ෂක වැඩසටහන්” පුලුල් කරනු ඇතැයි ඔවුන් අවධාරනය කරයි.

අන් කවරදාකටත් වඩා දැඩි අනතුරුදායක තත්වය හමුවේ චීන තන්ත‍්‍රය, සිය මිලිටරිය යොදාගන්නා අතර චීනයේ රාජ්‍ය පාලිත මාධ්‍ය, මතභේදාත්මක භූමිභාගයන් පිලිබඳ ප‍්‍රශ්නය මත ජාතිකවාදී උන්මාදය වපුරවයි. මෙහි අරමුන අසමානතාව හා ආර්ථික පසුබෑම තුලින් එක දිගට නැගෙන සමාජ ආතතීන් ඇමරිකානු හා ජපන් විරෝධී ස්වෝත්තමවාදය වෙත හැරවීමත්, යුද්ධයේ ඇඟවුම් පිලිබඳව චීන ජනතාව තුල මතු වන තැතිගැන්මක කුමන හෝ ප‍්‍රකාශනයක් ගිල්වා දැමීමයි.

ඇමරිකාව, චීනය, ජපානය, ඕස්ටේ‍්‍රලියාව, පිලිපීනය හා වියට්නාමය යන සෑම රටක් තුලම, විනාශකාරී ගැටුම සූදානම් කෙරෙන්නේ කම්කරු පන්තියේ හා තරුනයන්ගේ පිටුපසිනි. මේ කටුක යථාර්තය දැවැන්ත හදිසි භාවයකින් ඉල්ලා සිටින්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලධර්මයන්ගේ පදනම මත, කම්කරු පන්තියේ නව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සටන් වැදීමයි.

Share this article: