ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ගැන අක්ෂයේ මුසාවාද සහ කම්කරු පන්තිය නොමග යැවීම

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 නොවැම්බර් 19

ව්‍යාජ වම්මුන්ගේ හා හිටපු රැඩිකලුන්ගේ අම්බලමක් වන අක්ෂය වෙබ් අඩවිය, ඇමරිකානු ජනාධිපතිවරනයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජයගැනීමෙන් පසුව ඔහුගේ ජයග‍්‍රහනයේ හේතුව ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂය හා ප‍්‍රමුඛ පෙල ජාත්‍යන්තර මාධ්‍ය විසින් තොරොම්බල් කරන සාවද්‍ය තර්කයේම එල්ලී ඇත. එනම් ට‍්‍රම්ප් ජය ගත්තේ ප‍්‍රතිගාමී සුදු ජාතික කම්කරුවන් වර්ගවාදී පදනමක පිහිටා ට‍්‍රම්ප්ට ඡන්දය දීමෙනි, යන්නයි.

අක්ෂයට ලිපි සපයන්නන් අතර මුදුනෙකු වන රමිඳු පෙරේරා විසින් “බර්නි සැන්ඩර්ස් නොමැති තරගය සහ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජය” නමැති ශීර්ෂය යටතේ පලකර තිබූ ලිපියක මෙම තර්ක පෙලගස්වා තිබුනි.

2008න් පසු ක්‍රියාත්මක වූ “නව ලිබරල් ආර්ථික පිලිවෙත්” 2016 නොවැම්බර් 19 හේතුවෙන් ධ‍්‍රැවීකරනය වූ ඇමරිකානු සමාජය තුල මෝදු වෙමින් තිබූ සමාජ අතෘප්තියට කිසිම විසඳුමක් ක්ලින්ටන් සතු නොවූ තතු තුල එම අතෘප්තියට ට‍්‍රම්ප් විසින් වර්ගවාදී ලෙස ආමන්ත‍්‍රනයකල බවක් සඳහන් කරන පෙරේරා, සුදු ජාතික කම්කරු පන්තියේ සහයෙන් එම ආමන්ත‍්‍රනය පල දැරූ බව තහවුරු කිරීමට මෙසේ කියයි:

“සංස්ථාපිතය නියෝජනය කරන කිසිදු වෙනස් ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරන නිෂ්ක්‍රීය ලිබරල් ක්ලින්ටන් වෙනුවට පෙරලිකාරී ස්වෝත්තමවාදියෙක් වූ ට්‍රම්ප් ‘විසඳුමක්’ ලෙස ප‍්‍රධාන වශයෙන් ඇමරිකාවේ පහල හා මධ්‍යම පන්තික සුදු ජනයාට පෙනී යන්නේ එම සන්දර්භය තුලය.”

මේ වනවිට මූලික මැතිවරන දත්ත විශ්ලේෂන තුලින්ම බිඳීගොස් ඇති මෙම තර්කයයේ සාවද්‍යභාවය, “ප‍්‍රතිගාමී සුදු කම්කරු පන්තිය පිලිබඳ මිථ්‍යාව” යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකෙරුනු ඉදිරිදර්ශන ලියවිල්ලේ වඩා පුලුල් ලෙස සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වමින් හෙලිදරවු කෙරී ඇත.

ලෝසවෙඅ ඉදිරිදර්ශන ලියවිල්ල ගෙනහැර දක්වන දත්ත වලට අනුව සුදු ජාතික කම්කරු ඡන්ද විශාල ලෙස ට‍්‍රම්ප් වෙත ගලා යාමක් පෙන්නුම් නොකරන නමුත් ඉතා අර්ථභාරී ලෙස පෙන්නුම් කෙරී ඇති දෙය නම් පරාජිත ඩිමොක‍්‍රටික අපේක්ෂිකාවගේ මෙන්ම, ජයග‍්‍රාහක රිපබ්ලිකානුවාගේද ඡන්ද පදනම්වල කැපී පෙනෙන ඛාදනයක් සිදුව ඇති බවයි.

අප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමානය ඔවුන් දෙදෙනාම ලබාගත් ඡන්ද ප‍්‍රතිශතයට වඩා අඩු වී ඇත්තේ සුලුවෙනි. ප‍්‍රාන්ත වල ජයග‍්‍රහන මත පාදක වන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඡන්ද ක‍්‍රමයේ පිහිටෙන් ට‍්‍රම්ප් ජය ලැබුවේ වුව මහජන කැමැත්ත අතින් ට‍්‍රම්ප් සිටියේ පරාජිත ක්ලින්ටන්ටද වඩා සැලකිය යුතු ඡන්ද ප‍්‍රතිශතයකට පහලිනි.

සැබෑ තතු මෙසේ තිබියදී “ප‍්‍රතිගාමී සුදු කම්කරු පන්තිය” ට‍්‍රම්ප් ජනාධිපති පුටුවේ ඉන්දවා ඇත යන සාවද්‍ය තර්කයට පෙරේරා හේත්තු වී ඇත්තේ ට‍්‍රම්ප්ගේ වර්ගවාදී ආමන්ත‍්‍රනයට “රැවටුනු” කම්කරු පන්තියට ඇඟිල්ල දිගුකිරීමට ඒ හරහා අවස්ථාවක් ලබා ගැනීමට තැත් කරමිනි. කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය දෙස වෛරී සහගතව බලමින් හැකි සෑම අවස්ථාවකම එය නිෂ්ප‍්‍රභ කිරීමට දත මැදගෙන සිටින පෙරේරා වැනි “වම්මු” ට‍්‍රම්ප් බලයට පැමිනවීමේ වරද කම්කරු පන්තිය පිට පැටවීමට පෙරට පැනගෙන සිටිති.

පෙරේරා සිය කුතර්කයන් යොදාගනිමින් කම්කරු පන්තියෙන් වසන් කරන්නට උත්සාහ කරන, ට‍්‍රම්ප් ජයග‍්‍රහනය කිරීම යටින් පවතින සැබෑ පන්ති ඇඟවුම කුමක්ද?

2012 දී ඩිමොක‍්‍රටික ඔබාමට ඡන්දය දුන් කාර්මික ප‍්‍රාන්ත වල කම්කරුවන් 2016 රිපබ්ලිකන් ට‍්‍රම්ප්ට ඡන්දය දීම ඔබාමා විසින් අඛන්ඩව කරගෙන යන ලද සහ පුලුල් කරන ලද සංගත ගැති සහ කම්කරු පන්තියට හතුරු ප‍්‍රතිපත්ති වලට විරුද්ධත්වය පල කිරීමේ පිලිබිඹුවක් මිස මගඩිකාර ප‍්‍රකෝටිපතියාට පක්ෂපාත වීමේ ප‍්‍රකාශනයක් නොවේ.

ඔවුන්ගෙන් වැඩි ප‍්‍රතිශතයක් සුදු කම්කරුවන් විය හැකි වුවද, කිසිවෙකු ඒ මත පිහිටා එම සුදු කම්කරුවන් ට‍්‍රම්ප්ගේ වර්ගවාදී වාචාලයට වශී වී ඇති බව කියන්නේ නම් ඔවුන් දැනුවත්ව යටකොට දමන්නේ ඇමරිකානු ජනාධිපතිවරන ප‍්‍රතිඵලයේ එම ප‍්‍රබල පන්ති ඇඟවුමයි.

අක්ෂය වෙබ් අඩවියට උක්ත ලිපිය ලියන පෙරේරාගේ භීතිය ඇමරිකානු ජනාධිපතිවරනයේ එම සැබෑ පාඩම් උකහා ගැනීම තුලින් හිතන මතන කම්කරුවන් හා තරුනයන් මුවහත් වීම ගැනයි.

පෙරේරා සිය ලිපිය තුල ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය වංචනිකව අර්ථදක්වන අතරේ ඩිමොක‍්‍රටික අපේක්ෂකයා වීමට තරගවැදි බර්නි සැන්ඩර්ස් කෙරෙහි මහජනයා ආකර්ෂනය වීම පිලිබඳව සිය විග‍්‍රහයද දිගහරියි. මාස කිහිපයකට පෙරාතුව අක්ෂය, අනෙකුත් ව්‍යාජ වම්මුන් සමග රොක්වී සිටියේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා තරග වැදි සෑන්ඩර්ස් පිටුපසය.

සෑන්ඩර්ස් යනු කලක් කම්කරු විරෝධී යුදවාදී වැඩපිලිවෙල ගෙන ගිය ඩිමොක‍්‍රටික් පක්ෂයේ කොටස් කාරයෙකුව සිටි පුද්ගලයෙකි. ඇමරිකාවේ ද්විපක්ෂ ක‍්‍රමය කෙරෙහි කම්කරුවන් සහ තරුනයන් අතර ඉමහත් කෝපය වැඩෙන තතු තුල තමන් “සමාජවාදියෙකු” ලෙස පින්තාරු කර ගනිමින් හා “දේශපාලන විප්ලවයකට” අර අදින බවට ප‍්‍රකාශ දෙමින් ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලගෙන මතුවූයේ ය. කෙසේ වුවත් සෑන්ඩර්ස්ට ඩිමොක‍්‍රටික් අපේක්ෂකත්වය අහිමිවීමත් සමග ඇමරිකාවේ ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටි තවත් ධනපති පක්ෂයක් වූ හරිත පක්ෂයේ අපේක්ෂිකාවට ආවැඞීම සඳහා අක්ෂය පේවී ගත්තේය.

ට‍්‍රම්ප් සහ සෑන්ඩර්ස් ‘සංස්ථාපිතයට අයත් නොවූ’ අපේක්ෂකයන් දෙදෙනෙක් ලෙස නම් කරන පෙරේරා ඔවුන්ගේ ක්‍රියාමාර්ග අතර වෙනස පිලිබඳ සිය විවරනය මෙසේ ඉදිරිපත් කරයි.

“එකෙක් [ට‍්‍රම්ප්] ඇමරිකාවේ අර්බුදයට හේතුව සංක‍්‍රමනිකයන්, මුස්ලිම්වරුන් හා හිස්පැනිකයන් යැයි කියමින් ඔවුන් එලවාදැමීම සඳහා අන්ත දක්ෂිනාංශික ක‍්‍රියාමාර්ගයක් ඇමරිකාවට යෝජනා කලේය. අනෙකා [සෑන්ඩර්ස්] ඇමරිකානු අර්බුදයට හේතුව අපාලිත නිදහස් වෙලඳපොල ප‍්‍රතිපත්ති යැයි කියමින් විකල්ප වාම සමාජ ප‍්‍රජාතන්ත්‍රීය වැඩපිලිවෙලක් ඉදිරියට දැම්මේය.”

අක්ෂය වෙබ් අඩවිය විසින් දිගටම වග වර්නනාවේ යෙදුනු සෑන්ඩර්ස්ගේ මෙම “නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහි විකල්ප වාම සමාජ ප‍්‍රජාතන්ත්‍රීය වැඩපිලිවෙල” කම්කරු පන්තිය නොමග යැවීම සඳහා ව්‍යාජ වම දිගු කලක් තිස්සේ වාදනය කරවන තැටියයි.

පෙරේරාගේ ලිපිය පුරා ඇමරිකාවේ එම මහජන අතෘප්තියට හේතුව ලෙස පෙන්වා දෙන්නේ 2008න් පසු ක්‍රියාවට දැමුනු ”නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය” යි. එම නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිවල මූලය ධනවාදය බවත් ඒවා ධනවාදී අර්බුදයෙන් තීන්දු වී ඇති බවත් මෙම ප‍්‍රතිපත්ති පරාජය කිරීම ධනවාදය පෙරලා දැමීමේ අරගලය සමග බැඳී ඇති බවත් ප‍්‍රතික්ෂේප කරන පෙරේරා ඇතුලු ව්‍යාජ වම්මු කම්කරු පන්තිය ඉදිරියේ ඇදබාන බේගලය වන්නේ නව ලිබරල් ප‍්‍රතිපත්ති යනු ධනේශ්වර ක‍්‍රමය තුල නිවැරදි මාවත් තිබියදී දුෂ්ට ධනපති පාලකයන් විසින් තෝරාගත් වැරදි පාර බවයි. අක්ෂයට අනුව සෑන්ඩර්ස්ගේ ව්‍යාපාරය එම ධනපති පාලනය යලි ‘හරි පාරට ගැනීම සඳහා’ වූවකි.

ඇමරිකානු මැතිවරනය තුලදී එලෙස ධනපති පාලනය ‘හරි පාරට ගැනීම සඳහා’ සෑන්ඩර්ස්ට අවස්ථාව නොලැබීම ගැන විස්සෝප වන පෙරේරා “ක්ලින්ටන් වෙනුවට සෑන්ඩර්ස් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වී නම් තත්වය කුමක් වන්නට ඉඩ තිබුනිද?” යනුවෙන් අසමින් සත්‍යය මඩ කිරීම සඳහා තව තවත් කැස පට ගසා ගනී.

තරගය ට‍්‍රම්ප් හා සෑන්ඩර්ස් අතර වී නම් ජනාධිපතිවරන තරඟය වෙනස් ආකාරයක් ගන්නට ඉඩ තිබුනු බව සඳහන් කරන පෙරේරා මෙසේ කියයි: “ලිබරල් ප‍්‍රතිපත්තිවල අසාර්ථකත්වය මුස්ලිම්වරුන් හා හිස්පැනිකයින් මතින් යැවීමට උත්සාහ කරන ට‍්‍රම්ප් හා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව, ශක්තිමත් කම්කරු නීති හා නවීන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධන රාජ්‍යයක් ඇමරිකාව තුල ඇති කිරීම යන ප‍්‍රතිපත්ති උඩ තරග කරන සෑන්ඩර්ස් අතර තරගය අසහනයට පත්ව සිටින ජනයාට ඉදිරිපත් වන විකල්ප ඉදිරි දර්ශන දෙකක් අතර තරගයක් වීමට ඉඩ තිබින.”

පෙරේරා කියන වර්ගයේ “නවීන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධන රාජ්‍යයක්” ඇමරිකාව තුල බිහිකිරීම මායාවක් පමනි. 2008 මුල්‍ය අර්බුදය පුපුරාගොස් වසර 8ක් ඉක්මවා යන මොහොතේ ඇමරිකාව තුල මෙන් ලෝකය පුරා පාලක පන්තිය ගරා වැටෙන ධනේශ්වර පද්ධතිය පන ගස්සා ගැනීම වෙනුවෙන් කම්කරු පීඩිත මහජනතාවගේ අයිතිවාසිකම් දරුනු ලෙස කප්පාදු කිරීමේ යෙදී සිටියි.

ඇමරිකාව ප‍්‍රමුඛ කොටගත් අධිරාජ්‍යවාදී බලයෝ සිය යුද උත්සුකය දැඩි කරමින් වෙනත් රටවල සම්පත් සහ ශ‍්‍රමය කොල්ලකෑම තුලින් සිය අර්බුදයෙන් ගොඩ ඒමට පොර අල්ලති. එය ධනේශ්වර අර්බුදයේ නොවැලැක්විය හැකි ස්වභාවයයි. අක්ෂය ඇතුලු ව්‍යාජ වම්මු කියන පරිදි ධනේශ්වර පාලක පන්තියට බලපෑම් දැමීම මගින් එහි ප‍්‍රතිගාමී ක්‍රියා පිලිවෙත් ආපසු හැරෙනු නැත.

උක්ත සුබසාධන රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටීම පසෙක තබා තමන්ට අපේක්ෂකත්වය අහිමිවීමෙන් පසුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන සංස්ථාපිතයේ, මිලිටරියේ සහ බැංකුකරුවන්ගේ ප‍්‍රමුඛ කොටසක සහයෝගය ලබන අපේක්ෂිකාව වූ ක්ලින්ටන්ට සහයෝගය දීමට පෙලගැසුනු සෑන්ඩර්ස් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයෙන් පසු ඔහු සමග වැඩ කිරීමට ද පිලිකුල්සහගත ලෙස ප‍්‍රතිඥා දී තිබේ.

ට‍්‍රම්ප්ගේ පදවි ප‍්‍රාප්තියට එරෙහිව රටපුරා ඇවිලී ඇති විරෝධතා පිලිබඳ මුලුමනින් මුනිවත රකිමින් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයෙන් පසු නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ සිය අදහස පලකරමින් කියා ඇත්තේ, ”ඇමරිකාවේ මධ්‍යම පන්තිය සහ වැඩකරන පවුල් වෙනුවෙන් අනිවාර්යයෙන් ජනාධිපති ට‍්‍රම්ප් වැඩ කටයුතු කරන අවස්ථාවලදී තමන්ට ඔහු සමග වැඩකිරීමට අවශ්‍ය බවයි.

ඊනියා වම්මුන් ධනේශ්වර ක‍්‍රමය ඉදිරියේ මෙලෙස දැනගැසීම පුදුමයට කාරනයක් නොවේ. ජරපත් ධනේශ්වර ක‍්‍රමය ඊට එරෙහිව ලොව පුරා කම්කරු පන්තිය අතරින් ඉස්මතු වී එන විරෝධය දියකර හැරීම සඳහා සෑන්ඩර්ස් වැනි හොර වෙදුන්ට උපත දෙන්නේම ධනේශ්වර ක‍්‍රමයේ ආරක්ෂකයන් ලෙස වැඩට බැස්සවීමේ පූර්වාපේක්ෂාව සහිතවය. කප්පාදුවට එරෙහිව ග‍්‍රීසිය තුල වැඩුනු මහජන කෝපය ගසා කමින් බලයට පැමිනි ව්‍යාජ වාම සිරිසාව අද ග්‍රීක කම්කරු පන්තිය මුලුමනින් ධනේශ්වර කප්පාදුවේ බන්ධනයට හසුකොට තිබේ. අක්ෂයේ බොරුවට ප‍්‍රතිපක්ෂව සෑන්ඩර්ස් ජනාධිපති වූ ඇමරිකාවක සිදුවනු ඇත්තේද එයමය. අද සෑන්ඩර්ස් ඇමරිකාවේ මහපුටුවේ අසුන්ගන්නට යන අන්ත දක්ෂිනාංශිකයාට පක්ෂපාත වී එය තහවුරු කර ඇත.

සෑන්ඩර්ස්ගේ මෙම නිවට යටත් වීම තිබියදීම ඔහු ජනාධිපතිවරනයට තරඟ කොට ජයග‍්‍රහනය කිරීම තුලින් උදාවන්නට තිබූ “යහපත් ලෝකයක්” පෙරේරා සිය ලිපිය තුල ඔජ වඩවන්නේ ඇයි?

“ධනවාදයට අභියෝග කරන්නේය” යනුවෙන් විවිධ රටවල මතු වී ඇති මෙවැනි ඊනියා පුද්ගලයන් හා වාම ව්‍යාපාර කරේ තබා ගැනීම අක්ෂය ඇතුලු ලංකාවේ මධ්‍යම පන්තික කන්ඩායම් මෙරට තුල තමන් කම්කරු පන්තියට අටවන උගුල යුක්තියුක්ත කරගැනීමේදී අත්‍යවශ්‍යම කෙරී පවතී. අක්ෂය වෙබ් අඩවිය පුරා ග්‍රීසියේ සිරිසාව, ස්පාඤ්ඤයේ පොඩෙමොස්, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ කෝබින්, සෑන්ඩර්ස් වැනි සිය ජාත්‍යන්තර සගයින්ට වන්දිභට්ටකම් කරමින් ඔවුහු තමන්ගේ උගුල ශක්තිමත් කරගන්නට උත්සාහ දරමින් සිටිති.

පෙරේරාගේ ලිපියෙහි කියවෙන ‘වාම අක්ෂය’ හෙවත් කම්කරු පන්තියට එරෙහිව සූදානම් කරන සිරිසා පන්නයේ උගුල ලංකාව තුල අටවාගැනීමට තවමත් අවශ්‍ය තරම් කරුනු කාරනා සම්පූර්න කරගත නොහැකිවීම ගැන කනස්සල්ලෙන්, “ප‍්‍රශ්නය නම්, ලංකාවේ සමකාලීන දේශපාලන බල සමීකරනය තුල සෑන්ඩර්ස් විසින් නියෝජිත විචල්‍ය බලපෑම් කිරීමේ හැකියාව අතින් අතිශය දුර්වල විචල්‍යයක් වීමය. අප අද මුහුනදෙන අර්බුදයේ දැවෙන තතු එසේය,” යනුවෙන් සිය ලිපිය අවසන් කරන්නේ ලංකාවේ ව්‍යාජ වම ඒ සඳහා තවදුරටත් ‘අධිෂ්ඨානශීලි වීමේ’ අවශ්‍යතාවය සිහිපත් කරමිනි.

Share this article: