බැඳුම්කර සෝලිය, කෝප් වාර්තාව සහ දූෂිත පාලක පන්තියක ආන්තික දුර්ගන්ධය

පානි විජේසිරිවර්ධන විසිනි, 2016 නොවැම්බර් 10

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලන සමයේ සිදු කෙරුනු බැඳුම්කර ගනුදෙනුවක් සම්බන්ධයෙන් කෙරෙන ඊනියා සංවාද මන්ඩප වලින් සහ අටුවා ටීකා වලින් මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පිටාර ගලමින් පවතී. පාලක පන්තියේ විවිධ කල්ලි කන්ඩායම්, දූෂනය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනිමින් කෙරෙන මෙම කුලල්කෑම් හරහා සමස්ත සමාජය පුරා පැතිර යන්නේ ඉහේ සිට දෙපතුල දක්වා දූෂිත වූ පාලක පන්තියක ආන්තික දුර්ගන්ධයයි.

පනුවන්ගෙන් පිරීගිය වැසුනු බඳුනක් සිදුරු කලාක් මෙන්, එක් ධනපති කල්ලියක දූෂනයක් විමසත්ම අනෙකුත් ධනපති කල්ලි විසින් සිදුකල දූෂන වැලක තොරතුරු එලිමහනට පැමිනෙමින් පවතී. උත්ප‍්‍රාසාත්මක ලෙස, මෙම සෑම කන්ඩායමක් ම උත්සාහ දරන්නේ එවන් දූෂනයන් සිදු නොවූබැව් සනාථ කිරීමට නොව, තමා නියෝජනය කරන කල්ලියේ දූෂනයන්ට වඩා අනෙක් කල්ලිවල දූෂනයන් පරිමාවෙන් ඉහල බව පෙන්වීමටයි. කෙසේ නමුත්, මෙම වාද මන්ඩපයන්හි කේන්ද්‍රීය කරුන බවට පත්ව ඇත්තේ උක්ත බැඳුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කෙරුනු මහජන ව්‍යවසායන් පිලිබඳ පාර්ලිමේන්තු කොමිටිය (කෝප්) පසුගිය දා ඉදිරිපත්කල වාර්තාවයි. වාර්තාවට අනුව මෙහිදී මූල්‍ය වංචාවක් සිදුව ඇති අතර, එයට මහේන්ද්‍රන් සෘජුව වගකිවයුතුය. මීට අමතරව, මහේන්ද්‍රන්ට සහ වංචාවට සම්බන්ධිත අනෙකුත් සියලු දෙනාට එරෙහි නීතිමය පියවර ගතයුතු බවත්, රජයට සිදු වූ අලාභය ඔවුන්ගෙන් අයකරගතයුතු බවත් වාර්තාවෙන් නිර්දේශ විය.

රාජපක්ෂ තන්ත‍්‍රයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට, ජීවන කොන්දේසි වලට එල්ල කෙරුනු ප‍්‍රහාරයන්ට සහ ඥාති-මිත‍්‍රයන්ට මූල්‍යමය සහ අනෙකුත් වරදාන ලබා දෙමින් ගෙනගිය ඥාති-මිත‍්‍ර ධනවාදයට (Crony Capitalism) එරෙහිව වැඩුනු මහජන කෝපය ගසා කමින්, වත්මන් ආන්ඩුව බලයට පැමිනියේ දූෂනය තුරන් කොට ‘යහපාලනය’ ස්ථාපිත කරන බවට මහජනයාට පොරොන්දු දෙමිනි.

නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වම්මුන්, ‘පුරවැසි බලය’ වැනි මධ්‍යම පන්තික නඩ සහ රාවය වැනි ඊනියා විකල්ප මාධ්‍යයන් මෙන්ම ධනේශ්වර සංස්ථාපිතයේම උපකරනයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), 2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරනයේ දී සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය බලයට ගෙන ඒමට දරදිය ඇද්දේ දූෂිත සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රාජපක්ෂ තන්ත‍්‍රය පෙරලා දමා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ සහ ‘යහපාලන’ තන්ත‍්‍රයක් බලයට ගෙනඒමේ නාමයෙනි.

කෙසේ නමුත්, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්ව තෙමසක් යන්නට මත්තෙන් සිදුව ඇති මෙම මූල්‍ය දූෂනය එලිමහනට පැමිනෙත්ම, ආන්ඩුවේ යහපාලන ප්‍රෝඩාවේ ආයු කාලය ක්ෂය වන්නට වූ අතර, දූෂනයට එරෙහි මහා සටන්කරුවෙකු ලෙස නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න වැනි කෙලතොල්ලන් විසින් පින්තාරු කෙරුනු වික‍්‍රමසිංහගේ සැබෑ චර්යාව ද හෙලි වන්නට විය.

මහ බැංකුවේ අධිපති ධුරයට පත්කරගත් තම සමීපතමයා වන මහේන්ද්‍රන්ට එරෙහිව මෙම දූෂන චෝදනාවන් එල්ලවද්දී පවා ඊ ලඟ නිල කාලයට ද ඔහුම පත්කර ගැනීමේ නිර්ලජ්ජිත ව්‍යායාමයක වික‍්‍රමසිංහ යෙදී ගත්තේය. අවසානයේදී, දැඩි මහජන විරෝධය හමුවේ, මහේන්ද්‍රන් වෙනුවට වෙනකෙකු පත්කර ගැනීමට සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රයට සිදු විය.

මේ අතර, හිටපු ජනාධිපති රාජපක්ෂ වටා ‘ඒකාබද්ධ විපක්ෂය’ නමින් රොක්ව සිටින, රාජපක්ෂගේ ඥාති-හිතමිත‍්‍ර ධනවාදයෙන් වරදාන ලද තවත් දූෂිත රැලක්, මහබැංකු සෝලිය පිනුම් පිත්තක් කර ගනිමින් තම ප‍්‍රතිගාමී දේශපාලන ව්‍යාපාරයට ගැම්මක් ගැනීමට උත්සාහ දරමින් සිටිති. තමා යටතේ පවත්නා මහ බැංකුව තුල තමා විසින්ම පත් කෙරුනු අධිපතියෙකු විසින් දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකොට ඇති තත්වයක් තුල වික‍්‍රමසිංහ අගමැතිකමෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔවුහු උද්ඝෝෂනය කරති.

අනෙක් අතට, ආන්ඩුවේ වැඩෙන දේශපාලන අර්බුදය ප‍්‍රකාශයට පත් කරමින් කෝප් කමිටුව නියෝජනය කල ආන්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක වන වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සිරිසේන ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) වාර්තාව සම්බන්ධයෙන් ආස්ථාන දෙකක් දරති.

තම පරිපාලනය දූෂනයන් හෙලිවන තත්වයක් යටතේ කෝප් කමිටුවේ එජාප නියෝජිතයන් කියා සිටියේ රාජපක්ෂ ආන්ඩුව යටතේ මහ බැංකුව තුල සිදුවූ අර්ථ සාධක අරමුදල් වංචාව ඇතුලු මූල්‍ය මගඩි පිලිබඳ කරුනු ද විමර්ශන වාර්තාවට ඇතුලත් කල යුතු බවයි. එය තම කමිටුවට පවරා ඇති සීමාවන් ඉක්මවා යන බව පවසමින්, කමිටුවේ සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එජාප යෝජනාවට විරුද්ධ විය.

තමා ද ඇමතිකම් දැරූ රාජපක්ෂ පරිපාලනයෙහි දූෂනයන් සොයා බැලීමට යාමේදී තම කිල්ලෝටයන් ද පරීක්ෂාවට ලක්වෙතැයි බියපත්ව සිටින වත්මන් ආන්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමතිවරු එජාපයේ යෝජනාවට එරෙහිව සිටිති. එකම ආන්ඩුවේ නියෝජිතයන් ලෙස සංවාද මන්ඩප වලට පැමිනෙන එජාප සහ ශ්‍රීලනිප නියෝජිතයෝ උක්ත කරුන සම්බන්ධයෙන් එකිනෙකාට එරෙහිව අං පටලවා ගනිති.

රාජපක්ෂ සමයේ සිදු කෙරුනු මූල්‍ය මගඩි වසන් කරනුවස් රාජපක්ෂ විසින් කෝප් කමිටුවල නායකත්වය ඔහුගේම කැබිනට් ඇමතිවරුන්ට පැවරූ තතු තුල, වත්මන් කෝප් කමිටුවේ නායකත්වය විපක්ෂ ජවිපෙ හි සුනිල් හඳුන්නෙත්තිට පැවරීම සහ උක්ත මූල්‍ය ගනුදෙනුව තුල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට සහ එයට මහේන්ද්‍රන් සෘජුව වගකිවයුතු බවට නිර්දේශ කිරීම මගින් තම තන්ත‍්‍රයේ ‘යහපාලනය’ මූර්තිමත් කෙරී ඇති බවට එජාප තර්ක කරයි.

කෙසේ නමුත්, මහේන්ද්‍රන් ගේ බෑනනුවන් මූල්‍ය බැඳුම්කර මිලදී ගන්නා ප‍්‍රධාන ආයතනයක හිමිකරු බව දැන දැනත් ඔහු මහබැංකුවේ අධිපති ධුරයට පත් කිරීමත්, චංචාව හෙලිවීමෙන් පසුව පවා මහේන්ද්‍රන් එම පුටුවේ දිගටම වාඩිකර තැබීමට ගත් ප‍්‍රයත්නයත්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජයේ විගනකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත්කල වාර්තාව හේතුවෙන් ඔහුට යෙදූ පීඩනයත් ‘යහපාලනය’ වන්නේ කෙසේදැයි මෙම වංචනිකයෝ පහදා නොදෙති.

දූෂනයෙන් සහ වංචාවෙන් තොර ‘පිරිසිදු ධනවාදයක්’ සහ ‘නිදහස් තරගකාරී ධනවාදයක්’ යලි පිහිටුවීම සඳහා ජවිපෙ ගෙනයන උද්ඝෝෂනයෙහි මූලික එල්ලය වන්නේ ධනේශ්වර සූරාකෑමේ ක‍්‍රමය ඉදිරියටම ගෙන යාමයි. කෝප් වාර්තාව සඳහා පූර්විකාව ඉදිරිපත් කරමින් හඳුන්නෙත්ති හඬා වැලපුනේ මෙම මහා වංචාවන් සහ දූෂන හේතුවෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතය කෙරෙහි මහජන විශ්වාසය පලුදු වී ඇති බව පවසමිනි.

ධනේශ්වර පාර්ලිමේන්තුව පිලිබඳව ‘යලි විශ්වාසය තහවුරු කිරීම සඳහා යුක්තියේ නාමයෙන්’ සියලු පාර්ලිමේන්තු නියෝජිතයන්ට එක්වන ලෙස ඔහු ආයාචනා කලේය. මේ වනාහි, ධනේශ්වර සංස්ථාපිතය කෙරෙහි විරසක වන කම්කරු-පීඩිත මහජනයා ධනේශ්වර ක‍්‍රමයට එරෙහි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වටා බලමුලු ගැන්වෙතැයි භීතියට පත් දැනුවත් ධනපති දේශපාලනඥයෙකුගේ ප‍්‍රකාශයකි.

දූෂන විරෝධී කප්පිත්තන් ලෙස ස්වයංප‍්‍රකාශිත ජවිපෙ විසින් පිරිසිදු ධනවාදයක් සඳහා ගෙනයන උද්ඝෝෂනය, ‘පුරවැසි බලය’ වැනි ඉහල මධ්‍යම පන්තික කල්ලි කන්ඩායම් සහ ධනේශ්වර ලියනප්පුලා විසින් ඔජ වඩවනු ලබන්නේ ධනපති ක‍්‍රමයට බැඳුනු තම ද්‍රව්‍යමය අවශ්‍යතා සමග හොඳින්ම ගැලපෙන බැවිනි.

ජනගහනයෙන් ඉහලම ආදායම ලබන සියයට දහයේ පහලම ස්ථරය නියෝජනය කරන මෙම මධ්‍යම පන්තිකයන් උත්සුක වන්නේ එම සියයට දහය තුල ආදායම් බෙදී යාමේ අසමානතාව සම්බන්ධයෙන් මිස සමස්ත සමාජයේ ආර්ථික අසමානතාව සම්බන්ධයෙන් නොවේ.

වත්මන් ආන්ඩුව යටතේ සහ රාජපක්ෂ තන්ත‍්‍රය යටතේ සිදු කෙරී ඇති රුපියල් බිලියන සංඛ්‍යාත මහජන මුදල් වංචාවන් ඇතුලත් ඉහවහා ගිය දූෂනය වනාහි, මූල්‍ය ප‍්‍රාග්ධනය ආධිපත්‍යය දරන මෙම සුවිශේෂී අවධියේ නෛසර්ගික අංග ලක්ෂනයක්ය යන්න වසන් කොට, එය තනි තනි පුද්ගලයන්ගේ දෝෂයන් පිලිබඳ අහම්බ කාරනාවන් ලෙස හුවා දැක්වීම මෙම සියලු කල්ලි කන්ඩායම් වල මූලික පිලිවෙතයි.

මූල්‍ය ප‍්‍රාග්ධනය හිමි ගෝලීය ධන කුවේරයන් විසින් දැවැන්ත පරිමාන වත්කම් උපයා ගනු ලබන්නේ නිශ්පාදන ක්‍රියාවලිය හරහා නොව, සමපේක්ෂනයෙන්, චංචාවෙන් සහ මගඩියෙනි. දේශපාලන ජීවිතය පාලනය කිරීම සඳහා ද තමාගේම ආඪ්‍යත්වය අරමුනු කරගත් පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ද මෙම පරපෝෂිතයන් තමා සතු දැවැන්ත සම්පත් යොදා ගනු ලබන්නේ සමස්ත මානව වර්ගයාගේ ජීවිත පරදුවට තබමිනි.

2008 න් ඇරැඹුනු ලෝක ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරු වෙමින් අවපාතයක් ලෙස වර්ධනය වන තතු යටතේ මෙම අර්බුදයේ සමස්ත බර ලෝක කම්කරු පන්තිය මත පැටවීමට, මෙම කුවේරාධිපත්‍යය විසින් ලොවපුරා ආන්ඩු මෙහෙයවමින් සිටී.

ශ්‍රී ලංකාවේ සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ක්‍රියාත්මක කරමින් සිටින්නේ මෙම සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරයයි. දැවැන්ත බදු බරක් පටවමින් සහ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන දැවැන්තව කපා හරිමින් ද, ප‍්‍රතිව්‍යුහකරනයේ නාමයෙන් රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට පවරා දෙමින් සුවිසල් රැකියා කප්පාදුවකට දොර විවර කරමින් ද ආන්ඩුව දැනටමත් ප‍්‍රතිචාර දක්වා ඇත.

මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව රුදුරු මර්දනයක් දිගේලි කරමින් සිටින සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ඒ සඳහා අවශ්‍ය නව මර්දන නීති සම්මත කර ගැනීමට වේගයෙන් පියවර ගනිමින් සිටී.

මහ බැංකු සෝලිය සහ අනෙකුත් වංචාවන් පිලිබඳ උස් හඬින් කෙරෙන ඊනියා විවාදයන් පිටුපසින් ආන්ඩුව මහජනතාවට එල්ල කරමින් සිටින්නේ මෙම ප‍්‍රහාරයයි. වාදයට පැටලී සිටින සියල්ලන්ගේ ප‍්‍රධාන අරමුනක් වන්නේ මෙම ප‍්‍රහාරයෙන් මහජන දෑස් ඉවතට හැරවීමයි.

මෙම කාර්යයේ කප්පිත්තකු වන නසසප නායක කරුනාරත්න පසුගිය දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර සෝලිය ආරක්ෂා කරමින් කියා සිටියේ, එය රනිල් වික‍්‍රමසිංහගේ අනුදැනීම සහ මගපෙන්වීම යටතේ සිදු කෙරුනු ‘දේශපාලනික’ පියවරක් බවයි. වික‍්‍රමසිංහ මෙහිදී සිදු කරන ලද්දේ ‘ග‍්‍රාමීය සංවර්ධනය’ ඇතුලු ‘මහා සටනකට’ අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා බැව් ඔහු නිර්ලජ්ජිතව පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සඳහා වන ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට පත්කරදීමේ කටයුත්ත ‘ග‍්‍රාමීය සංවර්ධනය’ ලෙස ව්‍යාජ ලෙස පෙන්වමින් කම්කරු පන්තියේ ඇස් අන්ධ කිරීම කරුනාරත්න භාරගෙන ඇති කාර්ය භාරයයි. කරුනාරත්නගේ ප‍්‍රලාපයන්ට විපරීතව, ධනපති පන්තියේ සියලු කොටස් වල සහ ව්‍යාජ වම්මුන්ගේ පූර්න සහාය ඇතිව, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සැබැවින්ම සූදානම් වෙමින් පවතින්නේ කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ‘මහා සටනකට’ යි.

Share this article: