ඩොනල්ඩ් රජු ඔහුගේ මාධ්‍ය ආවතේවාකාරයින් හමුවෙයි

King Donald meets his media courtiers

2016 නොවැම්බර් 23

නව ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් සහ දුසිම් දෙකක් පමන මාධ්‍ය විධායකයින් ද වැඩසටහන් විකාශකයින් ද අතර සඳුදා පැවති රැස්වීම හැඳින්වීමට, පෙර නොවූ විරූ, අසාමාන්‍ය සහ පිලිකුල්සහගත යන විශේෂන පද සුදුසුය.

සමස්ත මැතිවරන ප‍්‍රතිපලයට අනුව විශාල ඡන්ද පරතරයකින් පරාජයට පත් වුව ද මැතිවරන විද්‍යාලයේ වැඩි ඡන්දයෙන් ට‍්‍රම්ප් ජනාධිපති වී දෙසතියකට පසුව ඔහු, මැතිවරන ව්‍යාපාරයේදී මාධ්‍ය විසින් කරන ලද බවට චෝදනා ලත් පාපයට, කාමරය තුල සිටි සමහරුන් ද ඇතුලු නම් කල වාර්තාකරුවන් හෙලා දකිමින්, රැස්ව සිටි මාධ්‍ය නිලධාරීන්ට බැන වැදුනේය.

සහභාගී වූ නම් නොකල අය උපුටා දක්වමින් නිව් යෝර්ක් පෝස්ට් හී පල කල වාර්තාවකට අනුව, “ඒක, කන්ඩායමක් එක එල්ලේ කල වෙඩි තැබීමක්. ට‍්‍රම්ප් [සීඑන්එන් ප‍්‍රධානී]ජෙෆ් සකර්ගෙන් පටන් ගෙන මෙහෙම කිව්වා, ‘මම ඔබේ මාධ්‍ය ජාලයට වෛර කරනවා, සීඑන්එන් හී සිටින ඔක්කොම බොරුකාරයෝ, ඒවගේම ඔබ ලජ්ජා විය යුතුයි.” ඔහු සියලුම මාධ්‍ය “අසාධාරන” සහ “වංක” යයි හෙලා දුටුවේය.

“රැස්වීම සම්පූර්නයෙන්ම ව්‍යසනයක් බවට පත් වුනා,” කෙනෙක් පෝස්ට් පත‍්‍රයට පැවසීය. “රූපවාහිනී විධායකයන් සහ වැඩසටහන් විකාශකයින් එම ස්ථානයට පැමිනියේ තමන් ට‍්‍රම්ප් පරිපාලනය සමග වැඩ කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරනු ඇති බව සිතාගෙනය. ඒ වෙනුවට සිදු වුනේ ඔවුන්ට ට‍්‍රම්ප්-වර්ගයේ තද තරවටුවකට ලක් වීමටයි.”

මාධ්‍ය ජාල පහෙන්ම අඩුතරමේ එක් ඉහල විධායකයෙකුවත් එතනට එවා තිබුන අතර සමහර ජාල වල තුනක් හෝ හතරක් සම්බන්ධ විය. කිසිදු විධායකයෙකුට හෝ මාධ්‍යවේදියෙකුට, ට‍්‍රම්ප් පරිපාලනයක් යටතේ (ව්‍යවස්ථාවේ) පලමුවන සංශෝධනය ඇමරිකානු ඉතිහාසයේ අන් කවරදාකවත් සිදුනොවූ ආකාරයකට ප‍්‍රහාරයට ලක්වනු ඇතැයි අනතුරු ඇඟවීමට හෝ ඔහු මැරයෙක් යයි හෙලා දැක එතැනින් පිටව යාමට හෝ ධෛර්යයක් තිබුනේ නැත.

මෙම මුලු ක්‍රියාවලියම “වාර්තා නොකිරීමට” වගබලා ගනිමින්, තම විධායක නිලධාරීන් රැස්වීම සඳහා සහභාගී කරවූ මාධ්‍ය ජාලා පහම -ඒබීසී, සීබීඑස්, සීඑන්එන්, ෆොක්ස් සහ එන්බීසී- ට‍්‍රම්ප් ගේ සංක‍්‍රාන්ති සමය මෙහෙයවන කන්ඩායම ඔවුන්ට නියම කල රෙගුලාසි පිලිපැද්දේය.

මාධ්‍ය ප‍්‍රධානීන් එවැනි රැස්වීමක් “වාර්තා නොකිරීමට” එකඟවීම පිලිකුල් සහගතය. ජනාධිපති එක්සත් ජනපද මාධ්‍යයේ “අන දෙන නිලධාරියා” නොවේ. එහෙත් ඉහල වැටුප් ලබන රූපවාහිනී වැඩසටහන් කරුවන් සහ කාන්තාවන් මෙන්ම ට‍්‍රම්ප් ටවර් හී දී ට‍්‍රම්ප්ගේ දෙස් දෙවොල් අසා ගත් ඊටත් වඩා ඉහල වැටුප් ලබන ඔවුන්ගේ සංස්ථාපිත ලොක්කෝ ද එහි සිටියහ.

ට‍්‍රම්ප් සමග මෙම සැසියට ඔහුගේ කාර්ය මන්ඩල ප‍්‍රධානී රෙයින්ස් ප‍්‍රීබස්, ප‍්‍රධාන ධවල මන්දිර මූලෝපායඥ ස්ටෙපන් බැනන්, රිපබ්ලිකන් ජාතික කමිටු සන්නිවේදන අධ්‍යක්ෂක සීන් ස්පයිසර්, සහ ඔහුගේ බෑනා වන ජාරෙඩ් කුෂ්නර් සහභාගී වූහ.

බැනන්, අගෝස්තුවේදී ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාරගන්නා තෙක්ම, තමන් මෙහෙයවූ අන්ත දක්ෂිනාංශික වෙබ් අඩවියක් වන බ්රෙයිට්බාර්ට් නිව්ස් සඳහා, අනුග‍්‍රහය දක්වන “වයිට් නැෂනලිස්ට්” සහ “ඕල්ට් රයිට්” සංවිධානවල මිත‍්‍රයෙකි. පී‍බස් සමග බලය බෙදා ගනිමින් ට‍්‍රම්ප්ගේ ධවල මන්දිර කාර්යය මන්ඩලයේ සම නායක ලෙස ඔහුගේ පත්වීම, ඇමරිකානු ධනපති දේශපාලනයේ ප‍්‍රධාන ධාරාව තුලට ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය ඇතුලු වීම සලකුනු කරයි.

කොන්වේට අනුව සඳුදා මාධ්‍ය සැසියෙන් පසුව, මැතිවරන ව්‍යාපාරය තුල තිරයෙන් පිටුපස ලොකු කාර්යභාරයක් ඉටුකල බැනන් හමුවීමට මාධ්‍ය විධායකයින්ගේ සහ වැඩසටහන් කරුවන්ගේ “පෝලිමක්” තිබුනි. “බොහෝ මිනිසුන්ට ඔහුව හමු වීමට, ඔහු සමග කතා කිරීමට, කෙලින් ඔහු දිහා බැලීමට, ව්‍යාපාරික කාඩ් පත් හුවමාරු කරගැනීමට අවශ්‍ය වුනා. ඒක ඇත්තක්” යනුවෙන් ඇය අඟහරුවාදා එම්එස්එන්බීඑම් හී “මොර්නින්ග් ජෝ” වැඩසටහනට පැවසීය.

ට‍්‍රම්ප් සහ මාධ්‍ය අතර සිදු කෙරුනු රහසිගත රැස්වීම, ආන්ඩුවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරන ක්ෂේත‍්‍ර වල කටයුතු නිරීක්ෂනය කරන ස්වාධීන මුර බල්ලෙකු ලෙස, “හතර වන රාජ්‍යායතනය, මාධ්‍ය විසින් නියෝජනය කල යුතු ය”යි සලකනු ලබන සියවස් දෙකක් පැරනි පිලිගැනීම, පිලිකුල් සහගත ලෙස උල්ලංඝනය කිරීමකි. එසේ කිරීම දැන් සම්ප‍්‍රදායක් බවට පත්ව ඇත.

පරම්පරාවක් පුරාවට සංස්ථාපිතය විසින් පාලනය කෙරෙන මාධ්‍ය, මෙම භූමිකාව බොහෝවිට උල්ලංඝනය කර ඇති බව සත්‍යයකි. පෙන්ටගන් වාර්තා ප‍්‍රකාශයට පත් කිරීමෙන් කූඨප‍්‍රාප්තියට පත් වූ තීරනාත්මක වියට්නාම් යුද්ධය වාර්තා කිරීමේ සිට සහ ජනාධිපති රිචර්ඩ් නික්සන්ට ඉල්ලා අස් වීමට බල කිරීමෙන් කූඨප‍්‍රාප්තියට පත් වූ වෝටර් ගේට් සෝලිය තුල, ධවල මන්දිරයේ සපරාධීත්වය අනාවරනය කිරීමේ සිට මේ වන විට වසර හතලිහක් ගෙවී ගොස් ඇත.

අද සංස්ථාපිත මාධ්‍යයේ ආදර්ශ පාඨය වී ඇත්තේ අනූකූලතාව සහ සෑහීමට පත්වීමයි. ධවල මන්දිරය, පෙන්ටගනය, රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සීඅයිඒ විසින් “ප‍්‍රවෘත්ති” සඳහා ඉදිරිපත් කරනු ලබන දේ, හැන්දෙන් ඔවුන් හට කවනු ලබයි. ඉඳ හිට සිදුවන දෙයක් වුවත්, තවමත් හුදකලා වාර්තාකරුවන් ආධිපත්‍යයට අභියෝග කිරීමේ අවදානමක් ගත්ත ද විශාල සංගත වලට අයත් සහ ඒවායේ පාලනය යටතේ ඇති, විශාල පරිමානයේ මාධ්‍ය ජාල, ආන්ඩුවේ සහ සංස්ථාපිතයේ ප‍්‍රචාරක කටයුතු, නිෂ්පාදනය සහ බෙදා හැරීම්වලට සම්බන්ධව සිටී.

මෙම කවයන්ගේ චින්තනය, ඇමරිකානු ආන්ඩුවේ සාපරාධීත්වය විකිලීක්ස් විසින් අනාවරනය කිරීම සම්බන්ධයෙන් නිව් යෝක් ටයිම්ස් හී හිටපු විධායක සංස්කාරක බිල් කෙලර්ගේ කුප‍්‍රකට ප‍්‍රතිචාරය විසින් ගොනු කොට දක්වයි. එහිදී ඔහු “ත‍්‍රස්තවාදයට එරහි යුද්ධය” වෙනුවෙන් පෙනී සිටිමින් මෙසේ ප‍්‍රකාශ කලේය: “විනිවිදභාවය යන්න හොඳම නොවන දේ බවට අපි මුලු හිතින්ම එකඟ වෙමු. මාධ්‍ය නිදහසට, ප‍්‍රකාශ නොකර සිටීමේ නිදහස ද අඩංගු වන අතර සමහර තත්වයන් යටතේ අප භුක්ති විඳින නිදහස එයයි.”

රූපවාහිනී විකාශකයන් සමග ට‍්‍රම්ප්ගේ සැසියෙන් පසු දින, නිව් යෝක් ටයිම්ස් හී ප‍්‍රකාශක ආතර් ඔච්ස් සලස්බර්ගර් හා එහි වාර්තාකරුවන් සහ තීරු ලිපි ලියන්නන් සමග පැවති රහසිගත රැස්වීම, කාරනා ගනනාවකදී නව ජනාධිපතිවරයා සිය ධුරය “මැදහත් ලෙස” යොදාගන්නා බව ප‍්‍රකාශ කල වාර්තා එලිදැක්වීමට මුල් විය.

පෙනෙන ආකාරයටම මෙම වාර්තා මුලුමනින්ම බහුභූතය. දේශගුනික විපර්යාස වලට මානව ක්‍රියාකාරීත්වය ඇතැම් විට හේතු විය හැකි බවත්, හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීමට විශේෂ පැමිනිල්ල මෙහෙයවන්නෙක් පත් කිරීම නරක අදහසක් බවත්, සුදු වර්ගවාදීන්ගේ සහ වෙනත් දක්ෂිනාංශික කන්ඩායම් වල සහාය තමන් ප‍්‍රතික්ෂේප කරන බවත් ඔහු ටයිම්ස් වෙත පැවසීය. එසේ පැවසුවාම යයි සැලකුව ද -එසේ කිරීමට නිශ්චිත හේතුවක් නොමැත- එය, ට‍්‍රම්ප් වෙනස් වූ මිනිසෙකු බව පැවසීමට දරන විකාර සහගත උත්සාහයකි.

ඊට පෙර දිනයේ ට‍්‍රම්ප් සමග මුහුනට මුහුන ඇතිවූ තත්වය වාර්තා නොකිරීම පිනිස එන්බීසී ඇතුලු මාධ්‍යය, ට‍්‍රම්ප් කල බවට ගොතන ලද ප‍්‍රකාශ, නිව් යෝක් ටයිම්ස් සමග පැවති රැස්වීමකදී කල බව පැවසීමට යුහුසුලු විය. නව ජනාධිපති සමග ගැටුමක් නැති බව පෙන්වීම ද එක් අරමුනකි.

සිය මැතිවරන ව්‍යාපාරයේ විශාල කොටසක් මාධ්‍ය මගින් නොමිලේ ලබා දුන් ප‍්‍රචාරය මත පදනම්ව තිබූ නමුත් ට‍්‍රම්ප්, පූර්න පිලිකුලෙන් යුතුව මාධ්‍යයට තර්ජනය කරයි. ඔහු ජුලි මාසයෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වා නැත. ඔහුට අනුග‍්‍රහය දැක්වූ ෆොක්ස් නිව්ස් මාධ්‍යකරුවන් සමග කයිවාරු ගැසීම ඔහුට මනාප විය. ඔහු මැතිවරනයෙන් පසුව නව ආන්ඩුවේ සැලසුම් ජනතාවට පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් පැවැත් වූයේ නැත. මෙය තවත් පාගා දැමූ දීර්ඝකාලීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායකි.

බොහෝ අවස්ථා වලදී ට‍්‍රම්ප් දේශපාලන පාහරයෙකු සහ සදාචාර විකෘතියෙකු ලෙස හැඳින්වූ මාධ්‍ය සංස්ථාපිතය, මැතිවරන ව්‍යාපාරයෙන් දින කිහිපයකට පසුව ඔහු සමග පෑහීමට දක්වන ලැජ්ජා නැති කලබලය ප‍්‍රකාශයට පත් කරන්නේ, ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳවැටීම පමනක් නොවේ. එය වඩා සුවිශේෂීව, “ඇමරිකාව පලමුවෙන්” යන ට‍්‍රම්ප් විසින් මූර්තිමත් කරනු ලබන අති දක්ෂිනාංශික පරිවර්තනය පිටු පස ඇමරිකානු පාලක පන්තියේ පෙල ගැසීම ද ප‍්‍රකාශයට පත් කරයි.

බරක් ඔබාමාගේම මූලිකත්වය යටතේ, ට‍්‍රම්ප් ඉදිරියේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ දන ගැසීම ද ඩිමොක‍්‍රටික් චාර්ල්ස් ශුමර් කොන්ග‍්‍රසයේ ද “වාම” යැයි සැලකෙන බර්නි සෑන්ඩර්ස් සෙනෙට් සභාවේ ද නායකත්වයට පත් කරමින්, එලිසබත් වොරන් වැනි නායකයින් ද සමග ට‍්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය සහ ජාතිකවාදී ආර්ථික වැඩපිලිවෙල පිටුපස පෙලගැසීම ද තුල මෙය අතිශය ව්‍යසනකාරී ප‍්‍රකාශනයක් අත් කරගෙන ඇත.

ඔහු වැනිම බිලියනපතියන්ට අයත් සහ ධනපති ක‍්‍රමය ප‍්‍රශ්න කිරීමට කිසිදු දිනක උත්සාහ නොදරනු ඇති. මිලියනපති මාධ්‍ය තරු කාර්ය මන්ඩලවලට දමාගෙන සිටින, කොම්පැනි විසින් පාලනය කරන මාධ්‍ය සම්බන්ධයෙන් ට‍්‍රම්ප් ක්‍රියා කරන්නේ මෙසේ නම්, ඔහුගේ පාලනය කම්කරු පන්තියේ අවංක විවේචනයකට සහ විරුද්ධත්වයකට මුහුන දුන් විට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? මෙය වනාහි එහි කටයුතු සහ පත්කිරීම් තුලින් පෙන්නුම් කර තිබෙන ආකාරයට, කුරිරු ලෙස ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට හතුරු ආන්ඩුවකි.

කම්කරු පන්තිය තමන්ගේම ප‍්‍රතිචාරයක් සුදානම් කර ගත යුතුව ඇත. සමාජවාදී කම්කරු පන්තියේ අව්‍යාජ මාධ්‍ය හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරාක්ෂා කිරීම හා එහි බලපෑම වර්ධනය කිරීම ද මීට ඇතුලත්ය.

පැට්‍රික් මාටින්

Share this article: