වොෂිංටනය තුල දේශපාලන යුද්ධය ඇවිලේ

Political warfare explodes in Washington

2016 ඔක්තෝබර් 31

හසුරුවාගත නොහැකි හා තියුනු අභ්‍යන්තර ගැටුම් වලින් සලකුනු කෙරුනු, ඇමරිකානු පාලක පන්තිය හා රාජ්‍යය අලලාගත් අර්බුදය, මැතිවරන දිනයට හරියටම සතියකට පෙරාතුව විවෘත දේශපාලන යුද්ධයක් බවට පත්ව තිබේ.

ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පිලිබඳව නව “පරීක්ෂන පියවර” නිවේදනය කරමින් ෆෙඩරල් විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂ ජේම්ස් කොමේ, පසුගිය සිකුරාදා කොන්ග‍්‍රසය වෙත යොමුකල ලිපිය, - මෙයමත් අර්බුදය පිලිබඳ ප‍්‍රකාශනයකි- සැඟව පවතින ආතතීන් එලිපිටට ගෙනාවේය. වඩාත් පුලුල් ලෙස එය අනාවරනය කලේ, එෆ්බීඅයි තුල ද සමස්ථයක් වසයෙන් ජාතික ආරක්ෂක යාන්ත‍්‍රනය තුල ද බුර බුරා නැගෙන ගැටුමයි.

ක්ලින්ටන් රාජ්‍ය ලේකම්ව සිටියදී, දේශපාලන වැඩකටයුතු සඳහා පුද්ගලික විද්‍යුත් තැපෑලක් යොදාගෙන තිබීම ගැන කෙරෙන පූර්ව විමර්ශනවලට “අදාල යැයි පෙනී යන” නව විද්‍යුත් ලිපි ගොනුවක්, එෆ්බීඅයි විසින් සිය මුල් පරීක්ෂනයේදී ඇත්තටම විමර්ශනයට බඳුන් නොකල බව කොමේගේ ගුප්ත ලිපියෙන් පිලිගත්තේ ය. ඒජන්සියට “මෙම ලේඛන වැදගත් වෙනු ඇතිද නැද්ද යන්න ගැන තක්සේරු කිරීමට තවමත් නොහැකි බව” ඔහු ලියුවේ ය. මෙම පුදුමාකාර පිලිගැනීම, මැතිවරනයට දින එකොලහක් පමනක් ඉතිරිව තිබියදී නව විද්‍යුත් ලිපි සොයාගැනීම ප‍්‍රසිද්ධියට පත් කිරීමට කොමේ තීන්දු කිරීම සෑම අතින්ම මවිතකරය.

වේගයෙන් ඉදිරියට යන වර්ධනයන් මාලාවක් මැද්දේ, අධිකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සතියේ හෙලිදරව් කලේ, මැතිවරනයකට දින 60ක් තිබියදී ඡන්ද අපේක්ෂකයෙකුට බලපෑම් එල්ලවිය හැකි කිසිවක් අධිකරන දෙපාර්තමේන්තුව හෝ එෆ්බීඅයි විසින් සිදු නොකල යුතුය යන චිරකාලීන මූලධර්මය ලිපිය මගින් උල්ලංඝනය කර තිබීම ගැන තර්ක කරමින් එය යැවීමට කොමේ ගත් තීන්දුවට ඔවුන් විරුද්ධත්වය පෑ බව යි.

ක්ලින්ටන්ගේ උද්ඝෝෂකයින් හා කොන්ග‍්‍රසයේ ඩිමොක‍්‍රටික් සභිකයෝ ලිපිය යැවූ කාලය ගැන කියමින් කොමේට පහර දුන්හ. කොමේගේ ක්‍රියාව “හුදෙක් පුදුමයක් නොව, අනපේක්ෂිත එකකි”යි ෆ්ලෝරිඩාවේ ඬේටෝනා බීච්හි පැවති ප‍්‍රචාරක රැලිකයදී ක්ලින්ටන් කීවා ය. එමෙන්ම, “එෆ්බීඅයි අධ්‍යක්ෂ කොමේ පක්ෂග‍්‍රාහී පීඩනයට හිස නමා තිබේ”යැයි ඇය ට්විටර් පනිවිඩයක ලීවා ය. මෙයින් ඇය කියන්නේ, රාජකාරි සඳහා පුද්ගලික විද්‍යුත් තැපැල් සේවාවක් ලබාගෙන තිබීම පිලිබඳව ක්ලින්ටන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීමට පදනමක් නැතැයි කියමින් පසුගිය ජූලි මාසයේදී කොමේ දරා සිටි ආස්ථානයට එරෙහිවූ, කොන්ග්‍රසයේ රිපබ්ලිකන් නායකයින් සතුටු කිරීමේ වෑයමක් බව යි.

සෙනෙට් සභාවේ ඩිමොක‍්‍රටික් සුලුතර නායක හැරී රීඩ් කොමේට ලිපියක් යවමින් පැවසුවේ, මැතිවරනයක ප‍්‍රතිපලයට බලපෑම් කිරීමට ආන්ඩුවේ සේවකයන් ඔවුන්ගේ නිල තරාතිරම් යොදා ගැනීම තහනම් කර ඇති නීතිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බව යි. “මෙම ක්‍රියාවන් හැච් පනත උල්ලංඝනය කර තිබිය හැකි බවට අපගේ කාර්යාලය තීන්දු කර තිබෙන බව ඔබට දැන්වීම සඳහා මම මේ ලිපිය ලියමි” ඔහු ලියුවේ ය. “ඔබගේ පක්ෂග‍්‍රාහී ක්‍රියාවන් හරහා, ඔබ නීතිය උල්ලංඝනය කර තිබෙනවා විය හැක.”

ඔහු තවදුරටත් පැවසුවේ, “සංවේදී තොරතුරු කෙරෙහි දක්වන සැලකිල්ලේ කනගාටුදායක දෙපිටකාට්ටුකම පෙන්වා ඇති, එක් දේශපාලන පක්ෂයකට එරෙහිව තව එකකට ආධාර කිරීම, ඔහුගේ අරමුන ලෙස පැහැදිලිව පෙනෙන්ට තිබෙන” බව යි. මන්දයත්, ඔහු ක්ලින්ටන්ගේ විද්‍යුත් ලිපි පිලිබඳ එෆ්බීඅයිහි යාවත්කාලීන උත්සුකතාව ප‍්‍රසිද්ධියේ සඳහන් කරන නමුත්, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට රුසියානු ආන්ඩුවේ නිලධාරීන් සමග තිබෙනවායැයි කියන සබඳතා ගැන “පුපුරනසුලු තොරතුරු” ලෙස රීඩ් නම්කල දේ සම්බන්ධයෙන් ඔහු මුනිවත රකින බැවිනි.

සංගත හා ව්‍යාපාර සම්මේලන සමග විශාල වාසි සහිත දේශන අයිතිය ලබාගැනීමට බිල් ක්ලින්ටන් විසින් ක්ලින්ටන් පදනම යොදා ගැනීම ගැන ප‍්‍රබල තොරතුරු ද ඇතුලු, ප‍්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රධානී ජෝන් පොඩෙස්ටා විසින් යවන ලද හෝ ලැබූ ලක්ෂ සංඛ්‍යාත විද්‍යුත් ලිපි හා අනෙකුත් ලේඛන විකිලීක්ස් විසින් ප‍්‍රසිද්ධ කිරීමට, ක්ලින්ටන්ගේ උද්ඝෝෂකයින් දක්වන මූලික ප‍්‍රතිචාරය වන, රුසියාවට පක්ෂපාතීවීම යන තර්කය මෙහිදී රීඩ් විසින් යොදාගනු ලබයි. ඒවා රුසියානු ආන්ඩුවේ ඒජන්තයින් විසින් රහසිගතව බාගෙන, ක්ලින්ටන්ට හානි පමුනුවමින් ට‍්‍රම්ප්ට ආධාර කිරීමට විකිලීක්ස් වෙබ් අඩවියට භාරදී ඇතයි කියමින්, විද්‍යුත් ලිපිවල අන්තර්ගත දේ ගැන කතා කිරීම, උද්ඝෝෂකයෝ ප‍්‍රතික්ෂේප කරති.

ක්ලින්ටන්ගේ සමීපතම ආධාරකාරිය වන හූමා අබිඩීන්ගෙන් වෙන්ව ගිය සැමියා වන හිටපු කොන්ග‍්‍රස් සභික ඇන්තනී වෙයිනර්ගේ පරිඝනකයෙන් සොයාගත් විද්‍යුත් ලිපි 650,000 පරීක්ෂා කිරීමට පරීක්ෂන වරෙන්තුවක් එෆ්බීඅයි දැන් ලබාගෙන තිබෙන බව 29දා එන්බීසී නිව්ස් වාර්තා කලේ ය. බාලවයස්කාර දැරියකට ලිංගික කරුනු අඩංගු කෙටිපනිවිඩ යැවීයැයි කියන සිද්ධියක් සඳහා වෙයිනර් එෆ්බීඅයි විමර්ශනයකට බඳුන්ව සිටී.

කොමේ කොන්ග‍්‍රසයට ලිපිය යැවීමට මෙහෙයවුනු, එෆ්බීඅයි ඇතුලත පුපුරන සුලු අභ්‍යන්තර අර්බුදය ගැන, වෝල්ස්ට්‍රීට් ජර්නලය 29දා හවස එහි වෙබ් අඩවිය තුල ප‍්‍රසිද්ධ කල ප‍්‍රවෘත්ති වාර්තාවකින් තොරතුරු ඉදිරිපත් කලේ ය. මෙම වාර්තාවට අනුව, එෆ්බීඅයි තුල සහ එෆ්බීඅයි හා නීති දෙපාර්තමේන්තුව අතර උග‍්‍ර ගැටුමක් පවතී. ඒ හුදෙක් ක්ලින්ටන්ගේ විද්‍යුත් ලිපි පිලිබඳ විමර්ශන ගැන පමනක් නොව, ක්ලින්ටන් පදනමේ මෙහෙයුම් ගැන එෆ්බීඅයි ක්ෂේත‍්‍ර නිලධාරීන් හතර දෙනෙකු (නිව්යෝක්, වොෂිංටන් ඩීසී, ලොස් ඇන්ජලිස් හා ආකන්සාහි ලිට්ල් රොක්) හිදී සම්බන්ධවූ වෙනත් විමර්ෂන අරභයාද වේ.

මාස අටකට වැඩිකලකට ඉහත දී ක්ලින්ටන් පදනම, නීති දෙපාර්තමේන්තුවේ වෘත්තීමය අභිචෝදකයන් සමග පැවති සබඳතා ගැන වඩාත් දැඩි විමර්ශනයක් ගෙනයාම සඳහා සැලසුම් එෆ්බීඅයි නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලදි. එහෙත් සිදුවූයේ ප‍්‍රමානවත් සාක්ෂි නැතිය යන පදනමින් යෝජනාව අත්හිටුවීම පමනකි. කෙසේවෙතත්, එෆ්බීඅයි නිලධාරීන් ඔවුන්ගේ විමර්ශන එක දිගට කරගෙන ගිය අතර ක්ලින්ටන්ගේ විද්‍යුත් ලිපි විමර්ශනය ජූලි මාසයේදී අත්හිටුවීමත් සමග එය උත්සන්න කෙරිනි.

ජර්නල් වාර්තාව පවසන්නේ, එෆ්බීඅයි ඇතුලත සැලකිය යුතු කන්ඩායමක්, එක්කෝ හිලරි හා බිල් ක්ලින්ටන්ගේ පැත්තෙන් අපරාධ කටයුතු ආවරනය කරමින් සිටින බව නැතිනම්, ආයතන සතු සම්පත් හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයට වලකැපීම සඳහා එෆ්බීඅයි පෙරලිකාරයින්, දේශපාලනිකව ප්‍රේරනය වී ඇති බව යි. නොඑසේනම් මේ කාරනා දෙකම ය.

එෆ්බීඅයි හා නීති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් මෙම ප‍්‍රයත්නයට එරෙහිවූ විට, විවෘත කැරල්ලක් හටගත්තේය. වෝල්ස්ට්‍රීට් ජර්නලයට කාන්දුවූ ලේඛනවලට අනුව මෙය ප‍්‍රධානකොටම එෆ්බීඅයි අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකාබේ එල්ල කර ගෙන තිබේ. ඔහුගේ බිරිඳ, පසුගිය වසරේදී වර්ජිනියා ප‍්‍රාන්ත සෙනෙට් සභාව සඳහා ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව අසාර්ථකවූ අපේක්ෂිකාව යි. ඇතැම් මාධ්‍ය වාර්තාවන්ට අනුව, පසුගිය සතියේදී කොමේ ඔහුගේ ලිපිය කොන්ග‍්‍රසයට යවා ඇත්තේ, එෆ්බීඅයි හා අනුබද්ධ සංවිධාන හරහා තොරතුරු කොහොමටත් මාධ්‍ය වෙතට කාන්දු වෙනු ඇතැයි යන්න ඔහුට ඒත්තු ගොස් තිබූ බැවින් ය.

ජනාධිපතිවරනය ආසන්නයේ, වොෂිංටනය අලලා ගත් විවෘත යුද්ධය හෙලිදරව් කරන්නේ, ඒසා ගැඹුරු හා කටුක ඝට්ටන හා ආතතීන්ගෙන් ඉරිතලා ගිය සමස්ථ දේශපාලන පද්ධතියම හා රාජ්‍ය යාන්ත‍්‍රනයම, ධනේශ්වර මැතිවරනවල සාම්ප‍්‍රදායික ආකෘතිය තුල පවත්වා ගත නොහැකි බව යි. මෙම ආතතීන් ඇවිලයාම, ආර්ථික, භූ-දේශපාලනික, අභ්‍යන්තර දේශපාලනයේ හා සමාජ පෙරමුනුවල අර්බුදය පිලිබඳ ප‍්‍රකාශනයකි.

2008 වසරේ වෝල්වීදිය කඩා වැටීමේ පටන් වසර අටකට වැඩිකාලයක් තිස්සේ එක්සත් ජනපද හා ලෝක ආර්ථිකය එක තැන පල්වෙමින් තිබෙන අතර බැංකුවලට අනුබලදීමට හා කොටස් මිලගනන් ඉහල නැංවීමේ අරමුනින් දියත් කල මහා බැංකු පිලිවෙත්, නව මූල්‍යමය ව්‍යසනයක් කරා ඇදෙමින් තිබෙන බවට බිය පලවෙයි. සමාජවාදියෙක් ලෙස පෙනී සිටි බර්නි සෑන්ඩර්ස්ගේ වෝල්වීදියට එරෙහි උද්ඝෝෂනය සඳහා හා ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ “ඇමරිකාව පලමුව” නම් ව්‍යාජ-ජනතාවාදී උද්ඝෝෂනය සඳහා විවිධාකාරයෙන් පලවූ දැවැන්ත මහජන සහාය මගින් පෙන්නුම් කෙරුනු පරිදි, මෙම ආර්ථික අර්බුදය, සමාජ වෛරයට තෙල් දමමින් මහජනයා සමස්ථ දේශපාලන පද්ධතියෙන් වියෝ කරමින් තිබේ.

15 වසරක “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හා 25 වසරක නිම නොවන යුද්ධය, මැදපෙරදිග තුල එක්සත් ජනපදයේ අධිකාරිය ආරක්ෂා කර දීමට අසමත්ව තිබෙන අතර එය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තැන රුසියාව හා චීනය වැනි ප‍්‍රතිමල්ලවයන් අතට පත්වෙමින් තිබේයැයි පාලක පන්තිය තුල බිය දැඩි කර ඇතිවා පමනි. සිරියාව තුල එක්සත් ජනපද පිලිවෙතේ අවුල, තියුනු ගැටුම්වලට හා එරට පිලිවෙත් කෙරෙහි චෝදනා එල්ලවීමට හා සිරියාව තුල පමනක් නොව සමස්ත මැද පෙරදිග පුරාම, මිලිටරි ප‍්‍රචන්ඩත්වය උත්සන්න කිරීම සඳහා වන ඉල්ලීම්වලට තුඩුදී තිබේ.

දැවැන්තම අනතුර වන්නේ, කම්කරු පන්තියට රහසින් එකම ප‍්‍රතිගාමී ධනපති පන්තියේ විවිධ කන්ඩායම් විසින් මෙම ගැටුම් පෙරට ගෙන යමින් තිබීම යි. ධනපති පන්තියේ සියලුම දේශපාලන පක්ෂ හා කන්ඩායම්වලට එරෙහිව තමන්ගේ අවශ්‍යතා සඳහා සටන් කරමින්, ස්වාධීන දේශපාලන හා විප්ලවවාදී බලවේගය වසයෙන් කම්කරු පන්තිය මැදිහත් නොවන්නේ නම්, අර්බුදයේ අනිවාර්ය ප‍්‍රතිපලය වනු ඇත්තේ, දේශීයව වඩාත් දක්ෂිනාංශික පිලිවෙත් ද විදේශයන්හිදී නව ලෝක යුද්ධයකට නියත ලෙසම තුඩුදීමයි.

ධනපති ද්වි-පක්ෂ ක‍්‍රමය පෙන්වන්නේ ප‍්‍රතිගාමී විකල්ප දෙකක් පමනි: මිලිටරි වියදම් වැඩිකිරීමට හා අත්තනෝමතික පාලන ක‍්‍රමයක් ඉල්ලා සිටින ෆැසිස්ට් නැඹුරුවක් සහිත බිලියනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා ඔබාමා පාලනාධිකාරියේ දක්ෂිනාංශික පිලිවෙත් එක දිගට ගෙන යමින්, ඒවා උත්සන්න කිරීම වෙනුවෙන් පෙනී සිටින, වෝල්වීදිය හා මිලිටරි-බුද්ධි අංශ යාන්ත‍්‍රනයේ සුරතලිය වන බහු මිලියනපති ක්ලින්ටන් ය.

ලෝක ධනපති ක‍්‍රමයේ අර්බුදයේ ඇඟවුම්, කම්කරු පන්තියෙන් වසං කිරීම පිලිබඳව පාලක පන්තියේ සෑම කොටසක්ම එකඟ ය. සමාජ අර්බුදය හා යුද්ධයේ අනතුර පිලිබඳ මොනයම්ම හෝ බරපතල සාකච්ඡාවක්, එකට පසු එකක් වසයෙන් ගෙනෙන ලිංගික සෝලි හා රුසියානු-විරෝධී මාධ්‍ය ප‍්‍රචාරනය මගින් ගිල්ලවා දැමූ ධනපති මැතිවරන උද්ඝෝෂනයේ කුනුවූ ස්වභාවය මේ හේතුවෙනි.

සමාජවාදී සමානතා පක්ෂය 2016 මැතිවරනවලට ඇතුලුවී සිටින්නේ, මැතිවරන දිනයේ ඡන්ද ගනන් කිරීමට පවා පෙරාතුව දැනටමත් ආරම්භවී ඇති දේශපාලන කම්පනයන්ට කම්කරු පන්තිය සූදානම් කිරීම සඳහා ය. අපේ අපේක්ෂකයන් වන, ජනාධිපති සඳහා ජෙරී වයිට් හා උපජනාධිපති සඳහා නයිල්ස් නීමුත් නිරතුරුවම පෙන්වාදී ඇත්තේ, ධනපති උද්ඝෝෂනවල අරමුන, අර්බුදය යට ගැසීමත් කම්කරු පන්තිය නිරායුධ කිරීමත් බව ය. මූලිකවම සසප උද්ඝෝෂනයේ අරමුන ඡන්දය මුල්කරගත්තක් නොවේ, එලැඹෙන මහා අරගල සඳහා කම්කරු පන්ති නායකත්වයක් ගොඩ නැගීම යි.

සසප මැතිවරන උද්ඝෝෂනයට ක්‍රියාශීලිව ආධාර කරන්නැයි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු. අපතේ යැවීමට කාලයක් නැත. සමාජ අසමානතාව, දේශපාලන මර්දනය හා යුද්ධයට එරෙහිව ස්ථාවරයක් ගැනීම අවශ්‍ය ය.

සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, නොවැම්බර් 5දා “ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය” යන මැයෙන් ඩිට්රොයිට්හි වෙයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේදී සම්මේලනයක් පවත්වයි. කම්කරු පන්තිය හා සමාජවාදය සඳහා අරගලය මත පදනම්ව, ජාතිකව හා ජාත්‍යන්තර වසයෙන් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා දේශපාලනික පදනම දමා ගැනීම මෙම සම්මේලනයේ අරමුන යි. සම්මේලනයට සහභාගි වීම සඳහා අදම ලියාපදිංචි වන්න.

පැට්‍රික් මාටින් හා බැරී ග්‍රේ

Share this article: