එක්සත් ජනපද මැතිවරන ව්‍යාපාරය ද්වි-පක්ෂ පද්ධතියෙන් ජනතාව පිටමං වීම අනාවරනය කරයි

US election campaign reveals mass alienation from two-party system

2016 නොවැම්බර් 5

2016 මැතිවරනය පිලිකුල් කරන ඇමරිකානු ජනතාව, ව්‍යාපාරික ග්‍රහනයේ පවතින ප්‍රධාන පක්ෂ දෙකෙන් ම පිටමංවී සිටින බව නොවැම්බර් 3දා ප්‍රසිද්ධ කරන ලද නිව් යෝක් ටයිම්ස්/සීබීඑස් මත විමසුමක් සටහන් කරයි. මත විමසුමකට සහභාගි වූවෝ, හයට එකටත් වැඩියෙන්, එනම් සියයට 82ට 13ක් ලෙස, තමන් හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාගේ ම මැතිවරන උද්ඝෝෂනවලින් හෙම්බත් ව සිටින බව කියා සිටිය හ.

“ඡන්ද දායකයින් දහයෙන් අටකට වැඩි ගනනක්, මැතිවරන උද්ඝෝෂනයෙන් තමන් කිසිදු අයුරකින් උද්යෝගයට පත් නොවන බවත් ඉන් ඈත් වන බවත් කියා සිටිද්දී, වර්ධනය වන අතෘප්තිය අවසන් ජයග්‍රාහකයාට තර්ජනයක් ව ඇත. බහුතර ඡන්ද දායකයින්, ඩිමොක්‍රටික් පක්ෂයේ ක්ලින්ටන් මහත්මිය සහ රිපබ්ලිකානු අපේක්ෂක ට්‍රම්ප් මහතා දැක ගන්නේ, පිලිකුල් සහගත වංක පුද්ගලයින් ලෙස ” යයි ටයිම්ස් වාර්තාව කියයි.

දෙපාර්ශවයම ඇමරිකානු ජනතාවගේ බුද්ධියට නිගා කරයි. තම ප්‍රතිවාදිනිය හිරගෙට යැවිය යුතු අපරාධකරායෙක් ලෙස හෙලා දකින ට්‍රම්ප්, ද්වේෂය වගා කරයි. ක්ලින්ටන් හා ඩිමොක්‍රටිකයෝ, ට්‍රම්ප් ලිංගික සල්ලාලයෙක් ලෙස පින්තාරු කිරීම සහ මොස්කෝවේ රූකඩයක් ලෙස මඩගැසීම අතර මාරුවෙන් මාරුවට පදිති. දෙදෙනාගෙන් කිසිවෙක් ඇමරිකානු ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් හා සමාජ කොන්දේසි වර්ධනය කිරීමට කිසිදු සැලකිය යුතු වැඩපිලිවෙලක් ඉදිරිපත් නො කරති.

මෙවර මැතිවරන උද්ඝෝෂනය වනාහි, සංගත-පාලිත හා සුපිරි ධනවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන පක්ෂ දෙක විසින් දේශපාලන ආධිපත්‍යය දරන, එක්සත් ජනපද දේශපාලන පද්ධතියේ ප්‍රගාඪ පක්ෂාඝාතය පිලිබඳ තවත් එක් සලකුනකි. ටයිම්ස්/සීබීඑස් මත විමසුම, සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දීර්ඝ කාලයක් තිස්සේ තර්ක කොට පෙන්වා ඇති දෙය වන ද්වි-පක්ෂ ක්‍රමය වැඩ කරන ජනයා හුදෙකලා කර පිටමං කරන එකක් ය යන්නෙහි සංඛ්‍යාමය තහවුරුවකි.

උද්ඝෝෂන දෙක ම පුද්ගලික මඩගැසීම් හා සෝලි පතුරුවා හැරීම්වල සරන පැතීමෙහි අර්ථය වන්නේ, සියල්ලට ඉහලින් වඩ වඩා ගැඹුරු වන සමාජ අර්බුදය සහ තුන්වන ලෝක යුද්ධයක වැඩෙන අන්තරාය යන හදිසි ප්‍රශ්න වෙතින් ඡන්ද දායකයාගේ අවධානය ඉවතට හැරවීමට ඒවා යොදා ගන්නා බව යි.

දෙපක්ෂයේම මැතිවරන ව්‍යාපාර තුල නො තකා හරිනු ලැබෙන උදාහරන දෙකක් දක්වතොත්:

අවරුදු 10-14 අතර ලමුන්ගේ මරනවලට මෝටර් රථ අනතුරු ඉක්මවා දිවි නසා ගැනීම් හේතු වන බව, නොවැම්බර් 4දා, පුවත්පත් වාර්තා කලේ ය. 2016 දී සංගත ඇමරිකාව නව පරම්පරාවට හිමිකරදී තිබෙන කාලකන්නි තත්වය ගැන ගැන මීටත් වඩා ව්‍යසනකාරී යමක් සිතා ගත නො හැක.

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පත්‍රය පල කල තවත් වාර්තාවක් සඳහන් කලේ, වරෙක එක්සත් ජනපද ආකර කර්මාන්තයේ හදවත වූ, වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ මැක්ඩොවල් ජනපදයේ ආයු අපේක්ෂාව, ඉතියෝපියාවේ මට්ටමට පහත වැටී ඇති බව යි. 2008 වාසය කල සියල්ලන් ම පාහේ සුදු ජාතිකයන් වන මෙම ප්‍රාන්තය, බැරැක් ඔබාමාට ඡන්දය දුනි. 2016 දී, ප්‍රාන්තයේ රිපබ්ලිකානු ප්‍රාථමික ඡන්ද දායකයන්ගෙන් සියයට 91.5ක් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කලේ කෝපය හා අතෘප්තිය පල කිරීමක් ලෙස යි.

වෙනස් ආකාරයන්ට අනුව වුවත්, අපේක්ෂකයන් දෙදෙනා ම, එක්සත් ජනපදය තුල සමාජ ආතතීන් ප්‍රතිගාමී මාවත් ඔස්සේ දැක්කීමට උත්සාහ දරති.

ක්ලින්ටන් වනාහි, වෝල් වීදිය, මිලිටරි-රහස් තොරතුරු සංස්ථාපිතය සහ අනන්‍යතා දේශපාලනය වන්දනාමාන කරන වගකීම් විරහිත හා ස්වයං-තෘප්ත ඉහල මධ්‍යම පන්තිය නියෝජනය කරන, පවත්නා තත්ත්වයෙහි අපේක්ෂිකාව යි. අවංක ව ඉදිරිපත් කලහොත්, ඇයගේ වැඩපිලිවෙලෙහි ඉලක්කය වන්නේ, ප්‍රථමයෙන් මැද පෙරදිග තුලත්, අවසානයේ න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා චීනයට එරෙහි වත් එක්සත් ජනපද මිලිටරි ප්‍රචන්ඩත්වය තීව්‍ර කිරීම හරහා සමාජ අර්බුදය අපසරනය කිරීම යි.

වාර්ගික හා ෆැසිස්ට්වාදී බලවේගයන්ට ආයාචනා කරන ට්‍රම්ප්, සමාජ ආතතීන් ආන්තික ජාතිකවාදී රේඛා ඔස්සේ මෙහෙයවීම පිනිස උත්සාහ දරයි. මැද පෙරදිග තුල එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනයන්ට තමන් විරුද්ධ වී ඇතැයි ව්‍යාජ ලෙස කියා සිටින ඔහු, ඒ අතර ම, එක්සත් ජනපද මිලිටරිය උත්කර්ෂයට නංවමින්, එරට අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට හරස් කපන ඕනෑ ම රටක් මතට අසීමිත ප්‍රචන්ඩත්වය මුදා හැරීමට පොරොන්දු වෙයි. “ඇමරිකාව යලිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමි” යන ඔහුගේ පොරොන්දුව, අවසාන විග්‍රහයේ දී, හිට්ලර්ගේ “ඩොයිෂ්ලන්ඩ් උබර් ඇලස් හෙවත් සියල්ලට ඉහලින් ජර්මනිය” යන සටන් පාඨයෙහි ඉංග්‍රීසි පරිවර්තනයකට වැඩි යමක් නො වේ.

නොවැම්බර් 8දා ඡන්ද දායකයන්ට ඉදිරිපත් කෙරෙන විකල්පයන් මේවා වීම, එක්සත් ජනපද දේශපාලන පද්ධතියේ දිග්ගැස්සුනු පරිහානිය පිලිබඳ ප්‍රකාශනයකි. ප්‍රධාන පක්ෂ දෙක ම තියුනු ලෙස දකුනට පැදීම ආරම්භවී, එනම්, 1960 ගනන් හා 1970 ගනන් මුල වියට්නාම් යුද්ධයට විරුද්ධ වත් සිවිල් අයිතිවාසිකම් පුලුල් කිරීම සඳහාත් පැනනැගුනු මහජන සමාජ අරගලවලින් ඉක්බිත්තේ, දශක හතරකටත් වැඩියෙන් ගෙවී ගොස් තිබේ.

වැඩ කරන ජනයාගේ ආර්ථික අභිවෘද්ධිය සඳහා කලින් පැවති කැපවීම අත්හල ඩිමොක්‍රටික් පක්ෂය, කල්ලන්, කාන්තාවන් හා සමලිංගිකයන් ආදී අලුත් වරප්‍රසාදිත ස්ථරයන්ට ආයාචනා කරන අනන්‍යතා දේශපාලනයේ හා වෝල් වීදියේ පක්ෂය ලෙස තමන් ම සැකසී ගැනීමට පටන් ගත්තේ ය. අර්කන්සාස් ආන්ඩුකාර බිල් ක්ලින්ටන් සභාපති ධුරය දැරූ ඩිමොක්‍රටික් නායකත්ව මන්ඩලය, මෙම පරිවර්තනයේ වාහකය බවට පත් විය. හිලරි ක්ලින්ටන් යටතේ මෙම දකුනට යන ගමන එහි කූටයට ලඟා විය. පක්ෂ දෙකෙහි ම දේශපාලන සංස්ථාපිතවල මනාපය ලත් තේරීම වන්නේ ඩිමොක්‍රටික් අපේක්ෂිකාව යි.

මහ ව්‍යාපාරිකය හා මිලිටරිය සමඟ වන සිය සාමප්‍රදායික බැඳීම් පවත්වා ගන්නා අතර ම, රිපබ්ලිකන් පක්ෂය, ජිම් ක්‍රෝ ගේ වාර්ගික විලෝපනයේ පැරනි ආරක්ෂකයන් ඇතුලත් කරගෙන දකුනු ප්‍රදේශ තුල ප්‍රමුඛ පක්ෂය බවට පත් විය. වසර 16කට පෙර සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කම්කරුවන් තුන් දෙනෙකු මරා දැමුනු මිසිසිපි ප්‍රාන්තයේ ෆිලඩෙල්ෆියාවෙන් සිය 1980 මැතිවරන උද්ඝෝෂනය ඇරඹූ රොනල්ඩ් රීගන්, ජිම් ක්‍රෝ ගේ දකුනේ ප්‍රාන්තවල “දක්ෂිනාංශිකයන්ගේ ප්‍රාන්ත” යන සටන් පාඨය ඉස්මතු කොට ආරක්ෂා කලේ ය. ට්‍රම්ප් විසින් කේකේකේ(1) හා ධවල ජාතිකවාදී “අන්ත දක්ෂිනාංශය” වැලඳගැනීම ව්‍යතිරේකයක් නො ව, ඇමරිකාව තුල ආන්තික ෆැසිස්ට්වාදී පක්ෂයක් ඉස්මතු කිරීම සඳහා මග පෑදූ සන්තතියක තාර්කාන්විත අවසානය යි.

ප්‍රතිගාමීත්වය ආධිපත්‍යය දැරීමෙහි “අර්ථය වන්නේ, සමාජ ප්‍රතිඝතිතා යාන්ත්‍රික ව යටපත් කරනු ලැබීම යි” යනුවෙන් ලියොන් ට්‍රොට්ස්කි වරෙක ලිවී ය (“හිටපු රැඩිකල් බුද්ධිමතුන් සහ ලෝක ප්‍රතික්‍රියාව” -1939). ඇමරිකාව තුල සමාජ ප්‍රතිඝතිතා මර්දනය කෙරුනු ප්‍රධාන යාන්ත්‍රනය වන්නේ වෘත්තීය සමිති ය. 1970 ගනන් අගභාගයේ පටන්, විශේෂයෙන් ම 1981 පැට්කෝ ගුවන් ගමන් පාලකයන්ගේ වර්ජනය තලා දැමීමෙන් පසුව, ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති වැඩ වර්ජනවලට වල කපා ඒවා කඩාකප්පල් කරන්නන් ලෙස ක්‍රමානුකූල ව ක්‍රියා කොට ඇත්තේ, වැටුප් කැපීමේ දී හා කම්හල් වසා දැමීමේ දී හාම්පුතුන්ට උපකාරී වන සහ ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙහි එන්ට එන්ට ම දක්ෂිනාංශික වන පිලිවෙත්වලට කම්කරු පන්තිය දේශපාලනික ව යටත් කරන අවයව ලෙස කටයුතු කරමිනි.

එහෙත් මෙම සන්තතියට නිශ්චිත සීමාවක් තිබේ. වෘත්තීය සමිති අද වන විට, 1989-1991 සමයේ සෝවියට් සංගමය බිඳ වැටීම අභිමුව ස්ටැලින්වාදී නිලධරය මෙන් ම ජරපත් ව හා අපකීර්තිමත් ව ඇත. කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමට ඡන්දය දීම් හා වැඩ වර්ජන මාලාවක් තුල පලමු ව ප්‍රකාශනය ලබාගත් ඇමරිකාව තුල පන්ති අරගලයේ යලි ඉස්මතු වීම, දැනටමත් පැහැදිලි කොට ඇත්තේ, කම්කරුවන් හුදෙක් සංගත හා ආන්ඩුවට එරෙහි ව පමනක් නො ව, වෘත්තීය සමිතිවලට විරුද්ධ වත් සටන් වැදිය යුතු ව පවතින බව යි. පන්ති අරගල තීව්‍ර වෙද්දී, කම්කරුවන් හුදෙක් වැඩපොලවල පමනක් නො ව, ජාතික හා ජාත්‍යන්තර දේශපාලන තලයේ දී ද අරගලයක් ගෙන යාමට සමත් නව සංවිධාන රූපාකාර වර්ධනය කරගත යුතු වනු ඇත.

ටයිම්ස්/සීබීඑස් මත විමසුම තහවුරු කරන්නේ 2016 උද්ඝෝෂනයේ ආන්තික ලක්ෂනය වන ඇමරිකානු මහජනයා සහ සංගත-පාලිත ද්වි-පක්ෂ ක්‍රමය අතර වර්ධනය වන අගාධය යි. වැඩ කරන ජනයා වමට චලනය වෙද්දී ප්‍රධාන පක්ෂ දෙක නො කඩවා දකුනට යති.

වත්මන් මැතිවරන චක්‍රයේ දී කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය එහි වඩාත් ම විවෘත ප්‍රකාශනය ලබා ගත්තේ, වර්මන්ට් සෙනට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ ඩිමොක්‍රටික ප්‍රාථමික උද්ඝෝෂනයට ලැබුනු මහජන සහයෝගය තුල යි. ඇමරිකාව තුල පෙර නුවූ විරූ දේශපාලන වර්ධනයක් පෙන්නුම් කරමින්, ප්‍රාථමික මැතිවරනවලට සහභාගි වූ බොහෝ තරුනයන් ද ඇතුලු මිලියන දහතුනක් ජනයා, තමන් සමාජවාදියෙක් සහ ධනවතුන්ගේ විරෝධියෙක් යයි කියා සිටි අපේක්ෂකයාට ඡන්දය දුන් හ. අවසානයේ දනගැසූ සෑන්ඩර්ස්, ක්ලින්ටන්ට අනුමැතිය දුන්නේ සංගත ආධිපත්‍යය දරන දේශපාලන පද්ධතියට විරුද්ධය යයි ඔහු කල කියා පෑම බොරුවක් බව ප්‍රදර්ශනය කලේ ය.

වැඩ කරන ජනතාව මින් අවශ්‍ය නිගමන උකහා ගත යුතු ය. ධනපති පන්ති පාලනය යටතේ පවත්නා ද්වි-පක්ෂ ක්‍රමය යටතේ එම පන්තියට විරුද්ධ ව සටන් කල නො හැක. තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට කම්කරු පන්තිය තමන්ගේ ම දේශපාලන පක්ෂය ගොඩනැගිය යුතු ය. මේ සඳහා හුදෙක් ඩිමොක්‍රටික් පක්ෂයෙන් පමනක් නො ව, එම පක්ෂය වෙනුවෙන් ක්ෂමාලාප ගොතමින් හා එහි කටයුතු වසන් කරමින් එය ආරක්ෂා කරන සියලු සංවිධානවලින් දේශපාලනික ව බිඳී වෙන් විය යුතු ය.

2016 මැතිවරනය තුල සමාජවාදී සමානතා පක්ෂය කටයුතු කරන්නේ, මෙම ඉදිරි දර්ශනය සඳහා ය. අපගේ ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයන් වන ජෙරී වයිට් හා නයිල්ස් නීමුත්, සමාජවාදී ක්‍රියාමාර්ගයෙහි නිරවද්‍ය භාවය සිද්ධීන් විසින් සනාථ කෙරෙතැයි යන විශ්වාසයෙන් යුතු ව, කම්කරු පන්තියට සත්‍ය ප්‍රකාශ කරති. නොවැම්බර් 8න් පසුව කම්කරු පන්තිය එලැඹෙනු ඇති අරගලවලට අවශ්‍ය විප්ලවවාදී දේශපාලන නායකත්වය සූදානම් කිරීම සඳහා අපි සටන් වදිමු.

පැට්‍රික් මාටින්

පරිවර්තක සටහන්:

1) කේකේකේ (ක්ලූ ක්ලක්ස් ක්ලෑන්) -සාමන්‍යයෙන් “ද ක්ලෑන්” යනුවෙන් හැඳින්වෙන මෙය, සුදු අධිපතිවාදය, සුදු ජාතිකවාදය, සංක්‍රමන-විරෝධය වැනි ආන්තික ප්‍රතිගාමී ධාරාවන් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජනපදය තුල පවත්නා ව්‍යාපාරයකි.

Share this article: