දුෂ්ස්වප්නයක් වූ මැතිවරන ව්‍යාපාරය අවසානයට එලඹේ

The nightmare election campaign staggers to its end

2016 නොවැම්බර් 8

මිලියන සංඛ්‍යාත ඇමෙරිකානුවන් අද ඡන්ද මධ්‍යස්ථාන කරා යන්නේ, රට පුරා පැතිර පවතින කෝපය සහ ඉච්ඡාභංග මනෝගතියකිනි.

ඉරිදා සීබීඑස් නිව්ස් රූපවාහිනී නාලිකාවේ මිනිත්තු 60 වැඩසටහන, තෝරාගත් කන්ඩායම් සමග මැතිවරනය පිලිබඳව කෙරුනු සාකච්ඡාවක් විකාශය කලේ ය. වසර එක හමාරක මැතිවරන ව්‍යාපාරය පිලිබඳ තමන්ගේ අදහස විස්තර කිරීම සඳහා වචනයක් යෝජනා කරන මෙන් ජනමත විචාරක ෆ්‍රෑන්ක් ලුන්ට්ස් ඉල්ලා සිටි විට ඔවුහු මෙසේ ප්‍රතිචාර දැක්වූහ: “බියපත්”, “ප්‍රකෝපකාරී”, “සංත්‍රාසකර”, “පිලිකුල් සහගත” හා “දුෂ්ස්වප්නය (බියකරු සිහිනය)” වශයෙනි.

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ඩිමොක්‍රටික හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකානු ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරන දේශපාලන ඉතිහාසයේ වඩාත් පුලුල් ලෙස පිලිකුලට පාත්‍ර වූවන් ය යන කරුන නොගිනිය හැකි මත විමසුම් ප්‍රමානයකින් සනාථ වී තිබේ. එහෙත් අපේක්ෂකයින් දෙදෙනා කෙරෙහි පල ව ඇති පිලිකුල ගැඹුරින්ම ප්‍රකාශයට පත් වන්නේ ජනතාව, සමස්ත නිල ධනේශ්වර දේශපාලන ව්‍යූහයෙන් ම පිටමං වීමක් ලෙසය.

අපේක්ෂකයින් ද මාධ්‍ය ද ජනතාවගෙන් අතිමහත් බහුතරයකට අදාල වන ආර්ථික හා දේශපාලනික ගැටලු නොතකා හැර තිබේ. එක් එක් අපේක්ෂකයා අනෙකාගේ සාපරාධිත්වය හෙලා දුටු නිල මැතිවරන “විවාද,” ඡන්දදායකයින් ලැජ්ජාවට ද පිලිකුලට ද පත් කලේ ය. ක්ලින්ටන් සහ ට්‍රම්ප් යන දෙදෙනා ම තම තමන්ගේ ක්‍රමයට මූර්තිමත් කරන්නේ, දේශපාලන ක්‍රමයෙහි දූෂිත හා ප්‍රතිගාමී ස්වභාවය යි.

ඇමෙරිකානු ජනතාවට දී ඇති තෝරාගැනීම කුමක් ද? [දෙදෙනා අතර] වෙනස වූ කලි අන්තර්ගතය පිලිබඳ කාරනයකට වඩා ශෛලිය පිලිබඳ කාරනයක් බැවින්, පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති අපේක්ෂකයින්ගෙන් කවුරු වැඩියෙන් දක්ෂිනාංශික දැයි කීම දුෂ්කර ය. වාචාල ට්‍රම්ප්, සමාජ අතෘප්තිය ෆැසිස්ට්වාදී මාවත් දිගේ දැක්කීමට වෑයම් කරන අතර ක්ලින්ටන්, යුද්ධය හා සුපිරි ධනවතුන්ගේ සාක්කුවලට නොකඩවා මුදල් ගලා යාම සහතික කර ඇති ආර්ථික පිලිවෙත් නොකඩවා පවත්වාගෙන යෑමේ න්‍යාය පත්‍රයකට “ප්‍රගතිශීලී” වෙස් මුහුනක් සපයනු පිනිස වර්ගය සහ ලිංගිකත්වය පිලිබඳ නරුම ආඛ්‍යානය යොදාගනිමින් සිටී.

ජනාධිපති ලෙස ක්ලින්ටන් පාලනයක් යටතේ සිය අනාගත අපේක්ෂා පිලිබඳව වෝල් වීදිය දුන් තීන්දුව, ක්ලින්ටන්ගේ ඊමේල් සම්බන්ධයෙන් අපරාධ චෝදනා ඉදිරිපත් නොකරන බවට, එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ කල නිවේදනයට කොටස් වෙලඳපොල දැක්වූ ප්‍රතිචාරයෙන් දැකගත හැකි ය. ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 371 කින් ඉහල නැඟුනි. 2003 ඉරාක ආක්‍රමනයෙහි නවකොන්සවේටිව් සැලසුම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු ද ඇතුලුව රිපබ්ලිකන් පක්ෂ සංස්ථාපියෙහි සැලකිය යුතු කොටසක්, ඩිමොක්‍රටික් පක්ෂය විසින් තමන්ගේ මල්ලට දමාගෙන සිටී.

සිය අපේක්ෂිකාවගේ අපකීර්තිමත් කැරැට්ටුව පිලිබඳව මැනැවින් දැනුවත් ඩිමොක්‍රටික් පක්ෂ මැතිවරන ව්‍යාපාරය, හිලරි ක්ලින්ටන්ට ඡන්ද රැස් කිරීම සඳහා රඳා පවතින්නේ, දේශපාලන අවමාන එල්ල කිරීමේ පැරනි ම ක්‍රම සහ විධි මත ය. පක්ෂය සහ එහි ක්ෂමාලාපකයින් කියන පරිදි ඇය වූ කලි “අඩු නපුර” යි. මේ තර්කයෙන් කියැවෙන පරිදි, හිලරි ක්ලින්ටන් කෙතරම් නරක වුවත් ට්‍රම්ප් බලයට ඒමෙන් පසු අනිවාර්යයෙන් උදා වන ව්‍යසනය වලක්වාගැනීම සඳහා ඇයට ආධාර කල යුතු වෙයි.

“අඩු නපුර” පිලිබඳ තර්කයේ ඇති ගැටලුව, ඒ හෝ මේ ආකාරයෙන් ඡන්දය දෙමින් වලක්වාගැනීමට අපේක්ෂා කල දෙයට වඩා නරක ප්‍රතිවිපාකවලට එයින් මඟ පෑදීම යි.

ඇමෙරිකානු දේශපාලනයේ “භයංකර ට්‍රම්ප්” පිලිබඳ න්‍යාය මොන ම දෙයක් වත් පැහැදිලි නොකරයි. මේ අභූතරූපි හා අසභ්‍යන ඝෝෂාකාරයාට නාම යෝජනා ලැබීම ම ඇමෙරිකානු සමාජයේ ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයකි. ඔහු වනාහි, මූලික හා මාරක අර්බුදයක, පැතිර යන පිලිකාවක දේශපාලන සමානයෙකි. ට්‍රම්ප්, අඩු තරමින් පසුගිය 40 වසර තිස්සේ, සමාජ පසුගාමීත්වය හා ප්‍රතිගාමීත්වය ප්‍රවර්ධනය කර ඇති ව්‍යාපාරික අධිකාරය සහිත දේශපාලන සංස්කෘතියක නිර්මිතයකි.

කෙසේ වතුදු, ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ෆොක්ස් නිව්ස්, ගුවන් විදුලි සාකච්ඡා සහ මැතිවරන උද්ඝෝෂන සඳහා ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධ නීති වලට (campaign finance laws) දොස් පැවරීම අතිසරල වැඩකි. ඔහුගේ වාචාල සටන් පාඨ සඳහා ලැබෙන ජනතා ප්‍රතිචාරය පිලිබිඹු කරන්නේ සැබෑ සමාජ ආපදාවකි. අද ඔහුට ඡන්දය දීමට අදහස් කරගෙන සිටින බොහෝ කම්කරුවෝ, මීට පෙර වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ඩිමොක්‍රටික පක්ෂ අපේක්ෂකත්වය සඳහා කල උද්ඝෝෂනයට සහාය දුන්නෝ වෙති. සිය “දේශපාලන විප්ලවය” ක්ලින්ටන් පසුපස රැලි කිරීම සඳහා සෑන්ඩර්ස් දැරූ ප්‍රයත්නයෙහි ප්‍රධාන ප්‍රතිවිපාකයන්ගෙන් එකක් වූයේ, පවත්නා තත්වය කෙරෙහි සමාජයෙහි පවත්නා කෝපය හා වෛරය දේශපාලන දක්ෂිනාංශය සමග අනන්‍ය වීම යි.

අවසාන විග්‍රහයේ දී ට්‍රම්ප්ගේ නැඟීම, ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන බංකොලොත්කමේ නිමැවුමකි.

මහජන සහාය ආකර්ෂනය කරගැනීමේ හැකියාව ඇති සාධනීය දේශපාලන පනිවිඩයක් ඉදිරිපත් කිරීමට අසමත්වූ ක්ලින්ටන්, ට්‍රම්ප්ට එරෙහි සිය උද්ඝෝෂනය ගෙන ගියේ, පහත් හා වඩාත් ම ප්‍රතිගාමී තලයක ය. පලමු ව, ඩිමොක්‍රටික් පක්ෂය සහ ඔවුන්ගේ මාධ්‍ය ප්‍රචාරක ඒජන්තයෝ, ව්ලැදිමීර් පූටින් ඩිමොක්‍රටික් පක්ෂයේ විද්‍යුත් තැපෑලට කඩා වැදීම මගින් මැතිවරනයට බලපෑම් කිරීමට තැත් කරන බව අවධාරනය කරමින්, ට්‍රම්ප් රුසියානු ජනාධිපතිගේ ඒජන්තයකු ලෙස හෙලා දුටුවෝය. මේ කියමන කිසිදු සාධකමය සනාථනයකින් තොර ව කෙලවරක් නැතිව පුනරුච්චාරනය කරනු ලැබ තිබේ. විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ විද්‍යුත් තැපෑලේ අන්තර්ගතය වෙතින් අවධානය ඉවත හැරවීම සඳහා, සෝවියට් සංගමය වෙනුවට රුසියාව යොදා, මැකාතියානු ප්‍රතිකොමියුනිස්ට්වාදී හෙලාදැකීම් යලි ඇසුරුම් කිරීම යොදා ගෙන ඇත.

වඩාත් භයානක, පුටින් විරෝධී නිර්දය උද්ඝෝෂනය ක්ලින්ටන් විසින් යොදාගනු ලැබ ඇත්තේ, මැතිවරනයට පසු සිරියාවට සහ රුසියාවට එරෙහි ව මිලිටරි මෙහෙයුම් දැවැන්ත පරිමානයෙන් උත්සන්න කිරීම සාධාරනීකරනය කරනු පිනිස වීමය. මැතිවරනය පුරා ම නොතකා හරිනු ලැබ ඇති යුද්ධය පිලිබඳ අත්‍යන්ත අවදානම, රුසියානු ආක්‍රමනකාරීත්වයට ප්‍රතිචාරයක් යයි කියමින්, 300,000 ක නේටෝ හමුදාවක් සීරුවෙන් තබන බවට සඳුදා කෙරුනු නිවේදනයෙන් අවධාරනය කෙරී ඇත.

දෙවනුව, මැතිවරනය එහි අවසන් අදියරට සේන්දු වෙද්දී ඩිමොක්‍රටිකයෝ, ට්‍රම්ප්ට සහාය ලැබෙන්නේ, තමන් රට පාලනය කල අතීත යුගයක් කරා ආපසු යෑමේ වර්ගවාදී අභිලාෂයෙන් මෙහෙයැවීගත් “වරප්‍රසාදිත” සුදු කම්කරුවන් වෙතින්ය යන කියමන පදනම් කරගත්, උන්මාදනීය අවලාද උත්සන්න කලහ. ක්ලින්ටන් සිය උද්ඝෝෂනය කේන්ද්‍රගත කර ඇත්තේ, සියලු වර්ගවල කම්කරුවන්ට දැනෙන දැවෙන සමාජීය කෝපය ප්‍රතික්ෂේප කරන, වර්ගවාදී ආඛ්‍යානයක් මත යි.

සමාජ පිලිවෙත් සම්බන්ධයෙන් ගත් කල, ධනය දැවැන්ත පරිමානයෙන් පොහොසතුන් අතට ගලා යාම හා සමාජ අසමානතාව විසි වැනි සියවසේ පලමු දශක දෙක තුල පැවති ඓතිහාසික මට්ටම්වලට පෙරලා පැමිනීම ගැන වගබලාගත් ඔබාමා පරිපාලනයෙහි පිලිවෙත් ම පෙරට ගෙන යාමට ක්ලින්ටන් ප්‍රතිඥා දී සිටී. මැතිවරනයට පෙර දිනවල සිය සෞඛ්‍ය රක්ෂන වාරික, ඉලක්කම් දෙකේ ප්‍රතිශතයකින් ඉහල නඟිනු ඇත යන පුවතට මිලියන සංඛ්‍යාත කම්කරුවෝ මුහුන දුන්හ. දැරිය හැකි සහන පනත යනුවෙන් සාවද්‍ය ලෙස නම් කොට ඇති, ඔබාමාගේ අත්සන දරන, දේශීය මූලාරම්භකත්වයෙහි ප්‍රතිඵලය මෙය යි.

ප්‍රතිඵලය කුමක් වුව ද අද ඡන්දය කිසිවක් විසඳනු නැත. මැතිවරන දිනයෙහි සිදු වන මොන ම දෙයක් වත් ජීවන තත්වයන් ඉහල නැංවීමකට, කම්කරු පන්තිය මුහුන පා සිටින දැවැන්ත සමාජ ප්‍රශ්න විසඳීමකට හෝ යුද අන්තරාය නිමා කිරීමකට මඟ පාදනු නැත්තේ ය. එය එක්සත් ජනපදයෙහි දේශපාලන අර්බුදයේ මීලඟ අදියර සඳහා පාදීය ව්‍යුහමය සැකසීම පමනක් සිදු කරනු ඇත.

මේ දේශපාලන අර්බුදය දුරදිග යන ගෝලීය ප්‍රතිවිපාක ජනනය කරනු ඇත. ජාත්‍යන්තර පරිමානයෙන් මාධ්‍ය විචාරකයෝ, එක්සත් ජනපදයෙහි සිදු වන දෙය කම්පනය සහ සන්ත්‍රාසය සංකලනය වුනු හැඟීමකින් යුතු ව නිරීක්ෂනය කලෝ ය. එඩ්වර්ඩ් ලූස්, පවත්නා අවිනිශ්චිත මනෝගතිය සැකෙවින් ගෙන හැර පෑවේ, ඉරිදා බ්‍රිටිෂ් ෆයිනෑන්ෂල් ටයිම්ස් හි පහත දැක්වෙන සිරස් තලයෙනි: “ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව කෙරුනු බරපතල ම පරීක්ෂනය”. “ප්‍රතිඵලය කවරක් වේවා” ඇමෙරිකානු දේශපාලන පද්ධතිය “වැනි වැනී ගමන් ගන්නේ ය” යි ඔහු ලියයි.

ලූස් සිය පාඨකයින්ට මෙසේ කියයි: “දෙයාකාර තර්ජනයක්” ගැන සිතන්න: එකක වලහෙක් ඔබේ පැල්පතට කඩා වදී. අනෙකෙහි වේයෝ එය ඇතුලතින් කා දමති.” වලසා සම්බන්ධයෙන් ඇති හොඳ දෙය වන්නේ “ඔබට ඌ එන බව පෙනීමයි” ඔහු ලියයි. ඊට වෙනස් ව “වේයන් අදෘශ්‍යමාන ය. ඔවුන් අත්තිවාරමේ කොතනින් කා දැමීම පටන් ගෙන ඇද්දැයි නිශ්චිත ව කීම අපහසු ය. ඇමරිකානුවන්ට සිය පද්ධතිය පිලිබඳ විශ්වාසය අහිමි වූයේ කවදා ද, කුමක් නිසා ද?”

2016 මැතිවරනයේ ප්‍රතිගාමී සංදර්ශනය වූ කලි දිග්ගැස්සුනු ජරපත් වීමක නිෂ්පාදිතය යි. වසර විසි පහකට පෙර සෝවියට් සංගමය දිය කර හැරීම, අධිකාරවත් සහ අනභියෝගී ලෝක බලවතා වන එක්සත් ජනපදය, ලොව පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරමින් සිටින “ඉතිහාසයේ අවසානය” සලකුනු කල බව ඇමරිකානු ධනවාදයේ දෘෂ්ටිවාදියෝ නිවේදනය කලහ. අන් කිසිවක් නැතත්, මේ මැතිවරනය මෙම ප්‍රතිගාමී මනස්ගාතය සදහට ම වල දමනු ඇත.

අද එක්සත් ජනපදය හමුවේ පවතින අර්බුදය, මීට සියවස් කාලකට පෙර සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය මුහුන දුන් තත්වයට වඩා නොබැරෑරුම් නැත. හායනය වන ජීවන තත්වයන් සහ වැඩෙන සමාජ අසමානතාව, සියවස් කාලක නිම නොවන යුද්ධය, මිලිටරි-ඔත්තු සේවා සංස්ථාපිතයෙහි පෘථුල ව්‍යාප්තියක් සමග ගමන් කල “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” වසර පහලොව: ප්‍රජාතාන්ත්‍රික සලුපට ඉරා දමන පීඩනයන් මේවා ය.

මෙම මැතිවරනය තුල ප්‍රකාශයට පත් වන අර්බුදය ඇමරිකාවට විශේෂිත ප්‍රපංචයක් ද නො වේ. බ්‍රිතාන්‍ය බ්‍රෙක්සිට් ජනමත විචාරනය, යුරෝපය පුරා අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන්ගේ නැඟීම සහ ලොව පුරා දේශපාලන සංස්ථාවන් පොදුවේ අපකීර්තියට පත් වීම වැනි ගෝලීය කම්පනයන් ඊට සමාන්තරව සිදු ව තිබේ.

සියල්ලට යටින් පවතින්නේ සමස්ත ග්‍රහලෝකය ම අන්තරායට ඇද දමන අධිරාජ්‍යවාදී යුද ධාවනයෙන් සහ සමාජවාදී විප්ලවයට වෛෂයික පදනම වන පන්ති අරගලයේ වර්ධනයෙන් ප්‍රකාශයට පත් වන ලෝක ධනවාදයේ අර්බුදයකි.

තත්කාර්යවාදී “අඩු නපුරේ” දේශපාලනයෙහි කාලය ඉකුත් ව ගියේ බොහෝ කලකට පෙර ය. දැවෙන හා හදිසි අවශ්‍යතාව වන්නේ සෑම වර්ගයක ම, සමාජ ලිංගිකත්වයක ම, ජාතිකත්වයක ම හා ජනවර්ගයක ම කම්කරුවන් එක්සත් කරමින් කම්කරු පන්තියේ පක්ෂයක් ගොඩනැඟීම යි. එය සමාජවාදී සමානතා පක්ෂය යි. මැතිවරනය තුල දී අපේ අපේක්ෂකයින් - ජනාධිපති ධුරයට ජෙරී වයිට් සහ උපජනාධිපති ධුරයට නයිල්ස් නෙමුත් - කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයින් වන වයිට් සහ නෙමුත් හට ඡන්දය දෙන මෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය එක්සත් ජනපදයෙහි සිටින සියලු ම පාඨකයින්ගෙන් ඉල්ලා සිටී. ඡන්ද ප්‍රවේශය පිලිබඳ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති හේතුවෙන් සසප ඡන්දයට ඇතුලු ව ඇත්තේ ලුසියානා ප්‍රාන්තයෙහි පමනක් වුව ද අනෙක් ප්‍රාන්තවල ආධාරකරුවන්ට සසප අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ ලිවිය හැකි ය.

ප්‍රාථමික හා අතිමූලික කර්තව්‍යය වන්නේ, වර්ධනය වෙමින් පවතින හා මැතිවරනයට පසුව තියුනු වනු ඇති අරගලවලට සූදානම් වීම සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැඟීම යි. සසපට සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයට බැඳෙන්න. සෑම කම්හලක ම හා වැඩබිමක ම, සෑම පාසැලක ම හා විශ්ව විද්‍යාලයක ම, ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අනුහස පැතිරවීම සඳහා දායක වන්න.

ජෝසෆ් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්

Share this article: