ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය සහ ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආවෘත අන්තය

Trump’s victory and the debacle of American democracy

2016 නොවැම්බර් 09

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරනයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ලද ජයග‍්‍රහනය, මුලුමහත් ලෝකය ඉදිරියේම ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාරාන්තික අර්බුදය අනාවරනය කර තිබෙන දේශපාලනික භූකම්පනයකි. එය අතිශය නින්දිත වංචාකාරයෙකු සහ බිලියනපති වාචාලයකු රටේ ඉහලම තනතුරට ඔසවා තබා ඇති ධනපති පාලනයේ පරිහානියයි.

ඉදිරි දිනවලදී කවරාකාරයේ සම්මුතිවාදී වාක්‍ය දෙඩවුව ද ජනාධිපති ට‍්‍රම්ප්, පන්ති යුද්ධයේ, ජාතික ස්වෝත්තමවාදයේ, යුදවාදයේ සහ පොලිස් රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයේ ආන්ඩුවකට නායකත්වය දෙනු ඇත. විධායක තනතුරට අමතරව, එක්සත් ජනපදයේ සියලුම ප‍්‍රමුඛ දේශපාලනික සංස්ථාවන්-කොංග‍්‍රස් මන්ඩලයේ මන්ත‍්‍රන සභා දෙක සහ ශ්‍රේෂ්ඨාධිකරනය ද ඇතුලු-අන්ත දක්ෂිනාංශිකයේ පාලනය යටතට පත් වනු ඇත.

ට‍්‍රම්ප් යටතේ ඇමරිකානු “නැවත ශ්‍රේෂ්ඨත්වයට” පත් නොවන අතර එය කුනු ගොඩට වැටෙනු ඇත.

මෙම ප‍්‍රතිඵලය පෙර දැකිය නොහැකි වූ මාධ්‍ය ප‍්‍රකාශකයින්, දැන් විවිධ වාර්ගික සහ අනන්‍යතා කන්ඩායම්වල ගතානුගතික පැහැදිලි කිරීමේ රටාවන් බදාගනු ඇත. දකුනට හරවා ඒ ඔස්සේ යැවීමට ට‍්‍රම්ප් සමත් වූ මෙම මැතිවරනය, විනාශකාරී සමාජ අර්බුදය සහ එක්සත් ජනපදයේ දිරාපත්වීම පිලිබඳ ජනමතවිචාරනයක් බවට පත් වූවේය යන කාරනය, ඔවුන් සියල්ලෝම නොසලකා හැර ඇත.

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයට වගකිවයුත්තේ කවුරුන් ද හා කුමක්ද? පලමුවෙන්ම ඊට වගකිව යුත්තේ, කැපී පෙනෙන මහජන සහයෝගයක් දිනාගතහැකි වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට අකැමතිවූ සහ අසමත්වූ ඩිමොක‍්‍රටික් පක්ෂය සහ ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයයි.

ක්ලින්ටන් මැතිවරන ව්‍යාපාරය ගෙන ගියේ, පහත්ම හා වඩාත් ප‍්‍රතිගාමී මට්ටමකය. ඇය, රුසියාවට එරහි ප‍්‍රකෝපකරනය සඳහා සැකිල්ලක් නිර්මානය කරගැනීම ඉලක්ක කරගනිමින් ට‍්‍රම්ප් පුටින්ගේ ඒජන්තයෙකුය යන ප‍්‍රකාශයන් සමග කම්කරු පන්තිය වර්ගවාදී සහ “වරප්රසාදිත” ය යන හෙලා දැකීම් එකට පටලැවීය.

දෙවැන්න, වසර අටකට පෙර “බලාපොරොත්තුව” සහ “වෙනස” පිලිබඳ ප‍්‍රතිඥාවන් මත තේරී පත් වූ ඔබාමා පාලන තන්ත‍්‍රයයි. සමාජ අසමානතාවයට සහ බුෂ් පාලන තන්ත‍්‍රයේ සමාජ ප‍්‍රතිගාමීත්වයේ සහ යුද්ධයේ ප‍්‍රතිපත්තියට දැඩිව විරුද්ධ වූ සුදු කම්කරුවන් ද ඇතුලු, කම්කරු පන්තියේ විශාල කොටස්වල සහයෝගය ඔබාමා දිනාගත්තේය.

ධුර කාල දෙක තුලදී අවසානයක් නැති යුද්ධය, පාලක පන්තිය වෙතට සිදු කෙරුනු ඓතිහාසික ධන මාරුව සහ නොනැවතී සිදුවන ජනගහනයේ අතිමහත් බහුතරයකගේ ජීවන තත්වයන් ඛාදනය ඔබාමාගේ මූලිකත්වයෙන් සිදුවීය.

ඔබාමාගේ අනන්‍යතාව බවට පත්වූ දේශීය වැඩසටහන වන දැරියහැකි සත්කාර පනත, ප‍්‍රතිසංස්කරනයක් ලෙස ඇසුරුම් කල, සෞඛ්‍ය සේවාවට එල්ල කල පහරක් විය. මැතිවරනයේ අවසාන සති කිහිපය තුල මිලියන ගනන් කම්කරුවෝ, තමන් සෞඛ්‍ය සේවා වියදම් වල සීග‍්‍ර ඉහල යාමකට මුහුන දෙමින් සිටින බව තේරුම් ගත්හ. එය මැතිවරනයේ ප‍්‍රතිඵල වලට බලපෑමේදී එෆ්බීඅයි අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ක්ලින්ටන්ගේ ඊමේල් සෝලිය නැවත පරීක්ෂා කිරීමට වඩා බොහෝ සෙයින් වැදගත් වන්නට ඇත.

තුන්වනුව, සමාජ අසමානතාවය ඉහල ගිය පසුගිය දශක හතර පුරාවට කම්කරු පන්තියේ අරගල මර්දනය කිරීමට සහ ඩිමොක‍්‍රටික් පක්ෂයේ දෘඪ දේශපාලන ග‍්‍රහනය ඔවුන් මත පවත්වාගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කොට ඇති වෘත්තීය සමිති ය. ට‍්‍රම්ප්ගේ ව්‍යාපාරය සමග පෙල ගැහෙන ප‍්‍රතිගාමී ආර්ථික ජාතිකවාදය ඔවුන් ද අනලස්ව ප‍්‍රවර්ධනය කර ඇත.

හතරවනුව, වර්මොන්ට් සෙනට් සභික බර්නි සැන්ඩර්ස් සහ ඔහු හුවා දැක්වූ සංවිධාන ය. ක්ලින්ටන් ඉදිරියේ සැන්ඩර්ස්ගේ බියසුලු දනගැසීම -මහජන විරෝධය ඩිමොක‍්‍රටික් පක්ෂය තුලට හැරවීමේ ඔහුගේ මූලෝපායේ තාර්කික ප‍්‍රතිඵලය- පවතින තත්වයට ඇති විරෝධය මත දේශපාලන දක්ෂිනාංශය සිය ආධිපත්‍යය තහවුරු කරගනු ඇති බව සහතික කලේය. වඩා අර්ථභාරී ට‍්‍රම්ප්ට වාසි සැලසුනේ, ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ තරඟයේදී විශාල පරතරයන් තබමින් සැන්ඩර්ස් විසින් ක්ලින්ටන් පරාජය කරන ලද ප‍්‍රාන්ත වලින්ය. මේ සියල්ලට පිටුපසින් පැවතියේ, අනන්‍යතා දේශපාලනයේ කේන්ද්‍රීය දෘෂ්ටිමය වැඩ කොටස සහ සමාජය තුල ඇති සැබෑ සමාජ බෙදීම වසන්කිරීමට දැරෙන ක‍්‍රමානුකූල උත්සාහයයි. වර්ගය සහ ලිංගිකත්වය මත පසුගිය දශක හතර පුරා සිදුවී ඇති කෲර සහ අත්‍යන්ත නාභිගත වීම, රටතුල සහ රටින් පිට ක්‍රියාත්මක වන දැඩි දක්ෂිනාංශික දේශපාලන න්‍යාය පත‍්‍රයක් සඳහා ඩිමොක‍්‍රටික් පක්ෂයට වාම වැස්මක් ලබාදීමට කටයුතු කොට ඇත. එමෙන්ම එය වඩා වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික තට්ටු වල අවශ්‍යතා ප‍්‍රකාශයට පත් කරයි.

සමාජයේ මූලික බෙදීම් සිදුවන්නේ වාර්ගික සහ ලිංගිකත්ව රේඛා දිගේය යන මතය, දේශපාලනිකව ප‍්‍රතිගාමී වනවා පමනක් නොව මූලධර්මාත්මකව ද වැරදිය. ක්ලින්ටන් සහ ඩිමොක‍්‍රටිකයන් තමන් කැපූ වලෙහිම ඇදවැටුනි. ඔවුන් පරාජයට පත් වූයේ අති ප‍්‍රමුඛ වශයෙන් පීඩිත සහ සුදු ජනතාව සිටින ප‍්‍රදේශ වල පමනක් නොවේ. බහුතරය කලු ජාතිකයන් සිටින ප‍්‍රදේශවල ද ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාවේ පසුබෑමක් තිබුනි. ඒ අප්‍රිකානු-ඇමරිකානු කම්කරුවන් සහ තරුනයන්, පවතින තත්වයේ නියෝජිතයෙකු වන අපේක්ෂකයෙකුට සහය දැක්වීමේ කිසිදු හේතුවක් නොදුටු නිසාය.

පැමිනෙන කාල පරිච්ඡේදය කම්පනයේ, කෝපයේ සහ වඩ වඩාත් දැඩි වන අරගලයන්ගේ යුගයක් වනු ඇත. ට‍්‍රම්ප්ගේ ජනාධිපතිත්වය යටතේ තමන්ට ලැබෙන්නේ කුමක් ද යන්න අවබෝධවීමට ඔහුට චන්දය දුන් අය ද ඇතුලු කම්කරුවන්ට වැඩි කාලයක් ගත නොවනු ඇත. ඊට සමගාමීව මැතිවරන තුල ප‍්‍රකාශයට පත් කෙරුනු රාජ්‍ය යාන්ත‍්‍රනය තුල හටගෙන ඇති පුපුරන සුලු බෙදීම්, නව සහ වඩා ප‍්‍රචන්ඩ ස්වරූපයන්ගෙන් මතුවනු ඇත.

මෙම මැතිවරනයන්ගේ අත්දැකීම් මගින් නිශ්චිත නිගමනයන්ට එලඹිය යුතුයි.

2016 මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය සහ එහි අපේක්ෂක ජෙරී වයිට් සහ නයිල්ස් නිමුත්, ඩිමොක‍්‍රටික් පක්ෂයේ සහ එහි අනන්‍යතා දේශපාලනයේ භයානක සහ විනාශකාරී ප‍්‍රති විපාක පිලිබඳව අනතුරු ඇඟවීය. කම්කරු පන්තියේ අවශ්‍යතා -යුද්ධයට, සමාජ අසමානතාවට සහ ඒකාධිපතිත්වයට එරෙහිව- දිනාගත හැක්කේ සියලුම වර්ගයන්ගෙන්, ජාතීන්ගෙන්, සහ ජාතිකත්වයන්ගෙන් යුත් කම්කරුවන් ධනපති පද්ධතියට එරහි පොදු අරගලයක් තුල එක්සත් කිරීමට කරන සටනක් හරහා පමනක් බව ඔවුහු අවධාරනය කලෝය.

මෙම අනතුරු ඇඟවීම් සනාථ වී තිබේ. මැතිවරනයෙන් පැනනැගී ඇති මූලික සහ හදිසි කර්තව්‍යය, විප්ලවීය, සමාජවාදී නායකත්වයක් -සමාජවාදී සමානතා පක්ෂය- ගොඩනැගීමේ අවශ්‍යතාවයි.

ජෝශප් ක්‍රිෂෝර්

Share this article: