රාවය සංවත්සරය: අර්බුදග‍්‍රස්ත ආන්ඩුව රැකීමේ ක්ෂමාලාපී වේදිකාවක්

සමන් ගුනදාස විසිනි, 2016 නොවැම්බර් 25

රාවය සතිපතා පුවත්පතෙහි 30 වන සංවත්සරය සමරමින් පසුගිය නොවැම්බර් 15 දා කොලඹ දී පැවැත් වූ රැස්වීම වනාහි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන කෝපය දියකර හැරීමේ ක්ෂමාලාපයන් සහ එම පුවත්පත නියෝජනය කරන දක්ෂිනාංශික මධ්‍යම පන්තික සමාජ ස්ථරයේ අවශ්‍යතාවන් ප‍්‍රකාශයට පත් කෙරුනු වේදිකාවකි.

ඉතා කෙටි කලකින් ජනතාව ගේ කෝපයට භාජනය වී ඇති ආන්ඩුව රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), එක්සත් ජාතික පක්ෂය (එජාප), ද්‍රවිඩ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන පක්ෂ වල නායකයින් එකම වේදිකාවකට ගෙනැවිත් තිබූ මෙම රැස්වීමට සහභාගී වූ අනෙකුත් ආරාධිතයින් අතර, නව සම සමාජ පක්ෂයේ නායකයා ඇතලු ව්‍යාජ වාම නායකයන්ද මධ්‍යම පන්තික සිවිල් සංවිධාන වල නියෝජිතයන්ද විය.

ආන්ඩුව අස්ථාවර කිරීමේ ප‍්‍රයත්නයන් පිලිබඳව සඳහන් කල සිරිසේන හා වික‍්‍රමසිංහ විශාල වශයෙන් මුදල් වියදම් කරමින් මෙම දේශපාලන ව්‍යාපෘතිය දියත් කර ඇති බව කියා සිටියහ. ජන මාධ්‍යයන්ගේ ප‍්‍රබල කන්ඩායමක් ආන්ඩුව අස්ථාවර කිරීමේ මෙම ව්‍යාපෘතියේ යෙදී සිටින බවට චෝදනා කල වික‍්‍රමසිංහ මුද්‍රිත මාධ්‍යයන්ට මෙන්ම සමාජ මාධ්‍ය ජාලයන්ට ද පහර එල්ල කරමින් ‘ජනතාව නොමඟ යැවීමට බොරු ප‍්‍රචාර කිරීමේ’ මෙම මාධ්‍ය නිරත වී සිටින බව කියා සිටියේය. “මාධ්‍ය ඉන්නේ අලෙවිය වැඩි කරන සටනක. ඒ වෙනුවෙන් ඕන එකක් දානවා” යැයි ඔහු පැවසීය. ජනාධිපතිගේ කතාවක් විකෘති කලේය යන්න මත පුද්ගලික මාධ්‍ය ජාලයක් වන දෙරන මාධ්‍ය ජාලයට එරෙහිව ආන්ඩුව විසින් දැනටමත් පරීක්ෂන ආරම්භ කොට ඇත.

මාධ්‍යයන් තම සමාජ-දේශපාලන වුවමනාවන් මත හා ලාභ ඉපැයීමට ක්‍රියාත්මක වන බව සාමාන්‍ය කරුනක් වුවද, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික හා සයිබර් අවකාශයේ මාධ්‍ය විශාල ගනනක් තම වුවමනාවන් සඳහා පවත්වා ගෙන යමින් සිටින පසුබිමක ආන්ඩුව මෙලෙස මාධ්‍යයන්ට එරෙහි කඩා පැනීමක අර්ථය වන්නේ, ආන්ඩුවට එරෙහි මහජන කෝපය ඇවිලෙන තතු තුල කම්කරු පන්තියේ හා අවශේෂ පීඩිත ජන කන්ඩායම් වල වැඩෙන සටන්කාමිත්වය මර්දනය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමයි.

සිංහල, මුස්ලිම් හා ද්‍රවිඩ ජන කොටස් අතර භේදයන් නිර්මානය කරමින් ‘රටෙහි අරාජක තත්වයක් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සාහය’ පිලිබඳව සිරිසේන හා වික‍්‍රමසිංහ සිය කතා වලදී සඳහන් කලහ. “අද රටේ සිංහල හා මුස්ලිම් ජනතාව අසමඟි කරන්න වුවමනාවක් තියනවා. සංහිඳියාව කරා යන ගමන වලක්වන්න සංවිධානාත්මක වූ අති විශාල වශයෙන් මුදල් යොදවන පැහැදිලි දේශපාලන කුමන්ත‍්‍රන තියෙනවා” යැයි සිරිසේන පැවසීය.

එනමුදු මෙම භේදයන් නිර්මානය කිරීමේ මූලික වශයෙන් නිරත වී සිටින්නේ ආන්ඩුවමය. උතුරු-නැගෙනහිර දෙමල ජනතාවට එරෙහිව මිලිටරි පොලිස් මර්දනය දිගටම පවත්වා ගෙන යන ආන්ඩුව දෙමල දේශපාලන සිරකරුවන් අත්තනෝමතිකව රඳවා ගෙන සිටින අතර සිංහල ස්වෝත්තමවාදයේ අත්ගෙඩියක් ලෙස ක්‍රියා කරයි. ආන්ඩුවේ මෙම ක්‍රියා කලාපය අනෙකුත් සිංහල වර්ගවාදී කන්ඩායම් වලට මෙන්ම දෙමල බෙදුම්වාදයටද උඩගෙඩි දීමකි.

මුස්ලිම් ජන කොටස් වල ‘ත‍්‍රස්ත නැඹුරුව’ ට ඇඟිල්ල දිගු කරමින් මෑතදී බුද්ධශාසන හා අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ලංකාවේ මුස්ලිම් පාසැල්වල ඉගැන්වීමට විදේශීය රැඩිකල් මුස්ලිම් නායකයන් සංචාරක වීසා ගෙන පැමිනෙන බවත් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් 32ක් මේ වනවිට සිරියාවේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් සමග එක්ව සටන් කරන බවත්ය. ඇමතිවරයා මෙසේ සදහන් කලේ ඒ පිලිබඳ කිසිම සාක්ෂියක් හෝ පසුබිමක් ඉදිරිපත් නොකරමිනි.

මේ අයුරින් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් හා පීඩිතයින් භේද කර ආන්ඩුවට එරෙහිව පැන නැගෙන විරෝධය අවමංගත කිරීම ආන්ඩුවේ අභිප‍්‍රායයි. ආන්ඩුව මේ වන විටත් ඕනෑම දේශපාලන කටයුත්තක් ත‍්‍රස්තවාදය යටතේ දඬුවම් දිය හැකි වරදක් බවට අර්ථ කථනය කෙරෙන නව ත‍්‍රස්ත විරෝධී පනතක් සම්පාදනය කිරීම සඳහා කැබිනට් මන්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ. හමුදා හා පොලිසිය සඳහා දැවැන්ත මුදල් සම්භාරයක් අයවැය මගින් වෙන් කර ගනිමින් යුද්ධ සමයේ තිබුනාටත් වඩා ශක්තිමත් ආකාරයෙන් මහජනයාට එරෙහිව කඩා පැන්නවිය හැකි ලෙස හමුදා සහ පොලිස් බලය තර කරමින් සිටියි. රට පුරා නව පොලිස් ස්ථාන පිහිටුවමින්, මර්දනය සඳහා පොලිස් නිලධාරීන් බුරුතු පිටින් පුහුනු කරමින් හා මර්දන ආයුධ හා උපකරන ගෙන්වමින් සිටින ආන්ඩුව “ත‍්‍රස්තවාදය වැලක්වීම හා විමර්ශනය කිරීමේ” වගකීම පැවරුනු, “ත‍්‍රස්තවාදය පිටුදැකීමේ විශේෂ අංශයක්” ස්ථාපිත කිරීමට සූදානම් වෙයි. මේ සියල්ල එල්ල කෙරෙනු ඇත්තේ ආන්ඩුවට එරෙහිව රැඩිකලීකරනය වන කම්කරු පන්තිය ප‍්‍රමුඛ ජන කොටස් මැඩීමටය.

අන්ත දක්ෂිනාංශික මර්දනකාරී ආන්ඩුවකින් කම්කරු පන්තිය ප‍්‍රමුඛ වැඩ කරන ජනයා දඬුගැසීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් වික‍්‍රමසිංහ සඳහන් කලේ නීතිය රජ කරන්න ඕනෑ නම් “විප්ලවයක් ගේන්න ඕනෑ. නැත්නම් ඩොනල්ඩ් ට‍්‍රම්ප් කෙනෙක් ගේන්න ඕනෑ” යනුවෙනි. ෆැසිස්ට් ලක්ෂන සහිත අන්ත දක්ෂිනාංශික වැඩ පිලිවෙලක් ඇමරිකාව තුල දියත් කිරීමට සූදානම් වන ට‍්‍රම්ප් පිලිබඳ ඇමරිකානු ගැති දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ නායකයාගේ මෙම ඇඟවීම මර්දනකාරී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලනය යුක්තිසහගත කිරීමකි.

රාවය පත‍්‍රයේ හිටපු කතෘ වික්ටර් අයිවන් තමන් කර උරදී ගෙන ආ ආන්ඩුව පිලිබඳව කතා කරමින් කියා සිටියේ “ආන්ඩුව බලයට පත් කල ජනතාව අතර ප‍්‍රබෝධයක් වෙනුවට ඇත්තේ ලොකු කලකිරීමක්” බවයි.

කෙසේ වුවත් ආන්ඩුව අගය කිරීමට නොපැකිලුනු අයිවන් මෙසේ පැවසීය: “යහපාලන ආන්ඩුව කිසිවක් කර නැති ආන්ඩුවක් බව ඉන් අදහස් වන්නේ නැහැ. වැදගත් දේවල් කර ඇතත් එය ප‍්‍රමානවත් නැහැ. ලංකාව මුහුනදී තිබෙන්නේ පුංචි අර්බුදයකට නොව දැවැන්ත අර්බුදයකටයි.”

“දුර්වල තත්වයකට වැටී සිටින ආන්ඩුවට නැවත ශක්තිමත් තත්වයක් හිමිකරගත හැකිවනු ඇත්තේ තමන්ගේ අතීත ක්‍රියා දෙස අවංකව හා විවේචනාත්මකව ආපසු හැරී බලන තැනකට යමින් මහජනයා අතර ලොකු ප‍්‍රබෝධයක් ඇති කිරීමට හේතුවන ප‍්‍රාතිහාර්යයක් බඳු දෙයක් කිරීමට සමත් වේ නම් පමනක් ය”යි ඔහු කියා සිටියේය.

ධනවාදයට “ප‍්‍රාතිහාර්ය” පෑමට පවතින දුෂ්කරතාව පිලිබඳව විලාප නගන අයිවන් සමාජවාදයට ගැඹුරින්ම එරෙහි අධිරාජ්‍යවාදයේ හා ජාත්‍යන්තර ධනවාදයේ දැනුවත් ඒජන්තයෙකි. 1970 ගනන් පසු භාගය තෙක්, සිංහල වර්ගවාදය සමග අධිරාජ්‍ය විරෝධී පූච්ඡානම් එකට අනාගත් රැඩිකල්වාදය කරපින්නාගත් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකයකු වූ මොහු අනතුරුව දේශපාලන සංස්ථාපිතය හා අධිරාජ්‍යවාදී රටවල තානාපති කාර්යාල සමඟ සමීප සබඳතා ගොඩ නගා ගනිමින් ධනපති ආන්ඩු වල තුච්ඡම වන්දිභට්ටයෙක් බවට පත් වූවෙකි.

පලමුව චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ජනාධිපති සමයේ ඇගේ කේවට්ටයකු ලෙසද, පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ කේවට්ටයෙකු ලෙසද ක්‍රියාත්මක වූ මොහුගේ ප‍්‍රධාන කාර්ය භාරය වූයේ ධනපති ආන්ඩු වලට එරෙහිව මහජන වෛරය ඉහල නැගෙන තතු තුල කම්කරු පන්තියට සමාජවාදී විප්ලවයේ මාවත වැලහීම සඳහා, තමන් විසින්ම ඔජ වඩවනු ලැබූ පැරනි ධනේශ්වර නායකත්වයට එරෙහිව, නව ධනපති නායකයෙක් තොරොම්බල් කිරීමයි.

රාජපක්ෂ, එක් පසෙකින් මහජන වෛරයට ද, අනෙක් පසින්, චීනය සමග වර්ධනය කරගනිමින් පැවති සමීප සබඳතා හේතුවෙන් එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ පීඩනය ට ද භාජනය වෙමින් බරපතල අර්බුදයකට මුහුන දීමත් සමඟ, සිරිසේන ඉදිරියට දමා ගනිමින් ඇමරිකානු පිටුබලය සහිතව සිදු කෙරුනු තන්ත‍්‍ර මාරුවේදී, අයිවන් තම පෑන සහ කට යන දෙකම ඒ සඳහා සේවයේ යෙදවීය.2012 දී පැවති රාවය 25වන සංවත්සරයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විරුද්ධ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කැඳවා රට තුල “මහජන විප්ලවයක්” ඇති වීම වලක්වා ගැනීමට ප‍්‍රධාන පක්ෂ එකමුතු විය යුතු බව අයිවන් අවධාරනය කලේය. (කියවන්න: ශ්‍රී ලංකාවේ හිටපු රැඩිකල්වාදියා “ජනතා විප්ලවයකට” එරෙහිව පාලක පන්තියේ ප‍්‍රධාන පක්ෂවල එකමුතුවකට කැඳවුම් කරයි.

“එම (25වන) සංවත්සර සභාවේ අරමුන වූයේ සමාජයේත් රාජ්‍යයේත් ඇතිවී තිබුනු ගරාහැලීම අවධාරනය කරමින් නව රටක් සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරන ගැන කතා කිරීමයැ”යි පැවසූ අයිවන් අද ඊට වසර පහකට පසුව “අපට කතා කරන්නට සිදුවී තිබෙන්නේ සම්පූර්න කරන්නට අසමත්වූ එම මාතෘකාව ගැන යැ”යි කියමින් ධනේශ්වර රාජ්‍යයේ පරිහානිය පිලිබඳව පශ්චාත්තාප විය.

අයිවන්ගේ කතාවේ දැවැන්ත පදාසයක් වෙන් කෙරුනේ ධනපති අධිකරන පද්ධතියේ ලිංගික සෝලි විස්තර කරමින් එය සුද්ධ කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කිරීමටයි. ‘හොඳ අධිකරනයක් අතීතයේදී අපට තිබූ’ බව පැවසූ අයිවන් ජනාධිපති හා අගමැති ඉදිරියේ අධිකරනයේ මෙම සිද්ධීන් විස්තර කලේ “එතුමන්ලාගේ අවධානය” අධිකරනය වෙත යොමු කිරීමට හා මෙම වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවට යැයි කියා සිටියේය.

කුනුවී ඕජස් ගලන ධනපති රාජ්‍ය සුද්ද කිරීමට පේවූ මෙම කේවට්ටයා සිය කථාව අවසන් කරනු ලැබුවේ, ධනපති ලිබරල්වාදී පල්ල ගිය මතවාදයක් වන ‘පුරවැසියන් මත වගකීම පැවරීම’ තොරොම්බල් කරමින්, “මේ ආන්ඩුව හෝ වෙනත් ආන්ඩුවක් විසින් ජාතිය ගොඩ නගන තෙක් බලා නොසිට ඒ වගකීම දැනුවත් පුරවැසියන් අතට ගැනීම වැදගත්” යයි පවසමිනි.

“රාවය කල කාර්යභාරයට අප තුල අගැයීමක් තිබෙනවා” යැයි පැවසූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තමන් දායකවී බලයට පත් කල සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජනතාවගේ වෛරයට පාත‍්‍රවීම, පසුගිය ආන්ඩුවෙන් කර ගෙන ගිය “වංචාව දූෂනය නාස්තිය” නැති කිරීමේ නොහැකියාවට බැර කලේය. “...අපි හිතනවාට වඩා දූෂිත වලල්ල ප‍්‍රබලයි...මේ වලල්ල පරාජයට පත් කරන්න බැහැ කුඩා පරිවර්තන වලින්...මේ වලල්ල පරාජය කරන්න පුලුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍යය”යි කියමින් ආන්ඩුව කොක්කෙන් මුදා හැරීමේ ප‍්‍රයත්නයක ඔහු යෙදුනි.

සිරිසේන -වික‍්‍රමසිංහ ආන්ඩුවේ විධායක කවුන්සිලයේද සිටි ජවිපෙ නායකයා, “ඉතින් අපි ගමන් කරපු ආර්ථික මාවත අසාර්ථකයි. තවත් යා යුත්තේ මේ පාරේ නෙවෙයි” යැයි පැවසූ අතර යා යුත්තේ කුමන පාරේද යන්න නොකීවේය.

ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ ගේ සිට, එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති වත්මන් ආන්ඩුව බලයට ගෙනඒම සඳහා දරදිය ඇදි අනෙකුත් ධනපති පක්ෂ වල සහ ව්‍යාජ වාම පක්ෂවල නායකයන් හා මධ්‍යම පන්තික සංවිධානයන්හි නියෝජිතයන් දක්වා වූ සියල්ලන්ගේ කතා වලින් රැස්වීම තුල ඉස්මතුවූයේ ඔවුන් මුහුන දී සිටින අර්බුදයේ දැවැන්ත පරිමාව සහ මංමුලාවයි.

Share this article: