අගමැති රනිල් වික‍්‍රමසිංහ පන්ති යුද්ධය ප‍්‍රකාශයට පත් කරයි

නන්ද වික‍්‍රමසිංහ විසිනි, 2016 නොවැම්බර් 7

පසුගිය ඔක්තෝබර් 27 දා, තම ආර්ථික ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගමැති රනිල් වික‍්‍රමසිංහ, ලංකාව “සංවර්ධනය කිරීම” සඳහා සිය ආන්ඩුව අරඹා ඇති සැලසුම ක‍්‍රියාත්මක කිරීමේ දී “විප්ලවවාදී චින්තනය ද, නිර්භීත ආරම්භකත්වයන් ද, අධිෂ්ඨානය, සහ ඉවසිල්ල ද” අවශ්‍ය වනු ඇතැයි කියා සිටියේ ය.

නොවැම්බර් 10 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනයට දෙසතියකට පෙර, කරන ලද මෙම ප‍්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ මහජනතාව මත කෙතරම් බරපතල ප‍්‍රහාරයක් එල්ල කිරීමට ආන්ඩුව සැරසෙමින් සිටින්නේද යන්න යි. පාලක පන්තියට ඔහු කරන මෙම ආයාචනය කම්කරු පන්තිය සහ පීඩිත ජනයා ට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.

වික‍්‍රමසිංහ සිය කතාවේ දී ලංකාව මුහුනදී සිටින අර්බුදයේ සමහර අංශ ගෙනහැර දැක්වීය. ගිය අවුරුදු 60 තුල අග්නිදිග ආසියානු රටවල වර්ධනය සැලකූ කල ශ්‍රී ලංකාව පස්සෙන් ලැග ඇති බවත්, අපනයනයන් හැකිලෙමින් පවතින බවත් ඔහු පැවසීය. ඇඟලුම් අපනයනය වසරකට බිලියන 5 ක මට්ටමේ හිරවී රැඳී ඇත. ඔහු මෙසේ ද කීය. “අපගේ අපනයන පදනම අවුරුදු 30ක් තිස්සේ ඇඟලුම්, තේ, රබර්, මැනික්, සහ සංචාරක කර්මාන්තය ට සීමාවී එකතැන පල්වී තිබේ. ආර්ථිකයට මෙම සීමාවන් තුල ඉදිරියට යාගත නොහැකිය. කෘෂිකාර්මික අපනයන පහතවැටී පවතින අතර තේ සහ රබර් වල මිල වැටෙමින් තිබේ.”

රටේ ආර්ථිකය සියයට පහේ වේගයෙන් වර්ධනය වුවහොත් ඒක පුද්ගල ආදායම දෙගුනකර ගතහැක්කේ 2033 වනවිට බවත්, සියයට 7 ක වේගයෙන් වර්ධනය වුවහොත් 2025 වනවිට එම ඉලක්කය ජයගත හැකි වන බවත් වික‍්‍රමසිංහ තවදුරටත් පැවසීය.

රට මුහනදී තිබෙන නය ප‍්‍රශ්නය ජයගැනීම සඳහා වැඩපිලිවෙලක් තමාට ඇති බව පැවසූ ඔහු “අනාගත පරම්පරාවන්ට නය තියන්නේ නැතැ” යි ද පැවසී ය.

රටේ දේපල නයට හිලව් කිරීම එම වැඩපිලිවෙලේ ප‍්‍රධාන අංගයකි. දැනටමත් හම්බන්තොට වරායේ සහ මත්තල ගුවන්තොට යන ව්‍යාපෘතිවල කොටස් ඩොලර් බිලියන 10ක නයට චීනයට පැවරීමට එකඟවී තිබෙන බව ඔහු පෙන්වා දුනි.

දැනට අර්බුදයට පාත‍්‍රව පවත්නා තේ සහ රබර් වතු මේ සැලැස්මේ ප‍්‍රධාන අංගයක් බව පෙන්නුම් කරමින් ඔහු මෙසේ කීය: “නව ප‍්‍රාග්ධනය සහ වඩාත් කාර්යක්ෂම ව්‍යවසායන් ඇතුලු කරමින් ප‍්‍රාදේශීය වතු සමාගම් ප‍්‍රතිව්‍යුහගත කරනු ඇත.”

වික‍්‍රමසිංහ යෝජනා කරන්නේ, විදේශීය ධනපතියන්ට ඉඩම් විකිනීමේ දී කලින් පැනවී තිබුනු සීමාවන් ඉවත් කොට, වතුකරයද ඇතුලු ලංකාවේ ඉඩකඩම් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට විකුනා දැමීමේ වැඩපිලිවෙලකි.

මුලු රටම පුරා ජාත්‍යන්තර ධනපතියන් සඳහා ආයෝජන කලාප ගොඩනැගෙනු ඇත. ආන්ඩුවේ ප‍්‍රධාන වැඩසටහනක් වන මහනගර (වෙස්ටන් මෙගාපොලිස්) ව්‍යාපෘතිය ද මෙයට සම්බන්ධය.

වික‍්‍රමසිංහ මෙසේ ද කීය “දුප්පත්, පසුගාමී රටක් වන අප වර්ධනය ඉක්මන් කරගැනීමට නම්, රැකියා නිර්මානය කිරීමට නම්, මහා පරිමාන ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගත යුතුය. රැකියා වර්ධනය කර ගැනීමට නම් අප විසින් ආයෝජකයන් සඳහා සාධනීය වාතාවරනයක් තනාදියයුතු වේ.”

ආයෝජකයන් සඳහා ‘සාධනීය වාතාවරනයක්’ තනාදීම යනු, ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් මුලුමනින්ම පාගා දැමුනු ලාභ ශ‍්‍රම වහල් කඳවුරක් බවට සමස්ත ශ්‍රී ලංකාව පත් කිරීමයි.

ලංකාව ඉන්දියන් සාගරයේ වානිජ හා මූල්‍ය කේන්ද්‍රය බවට පත් කරගැනීමේ ඉලක්කය ඇතිව අපනයන සහ ආනයන පාලක පනත් ඉවත්කොට සිංගප්පුරුවේ බඳු අපනයන සහ ආනයන පාලක පනත් සහ මූලෝපායික භාන්ඩ පාලන පනත් ක‍්‍රියාත්මක කරන බවට ද ඔහු පාරම් බෑවේය. ඉන්දියාව සමග අටවගනු ලබන එට්කා ගිවිසුම ද, චීනය සහ සිංගප්පුරුව සමග නිදහස් වෙලඳ එකඟතාවන් ද මීට ඇතුලත්ය.

නව - ලිබරලීකරන වැඩපිලිවෙල නමින් ඔහු හඳුන්වන කම්කරු-පීඩිත ජනයාට එරෙහි මෙම ප‍්‍රහාරයන්, ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් දෙදෙනා ඇරඹු විවෘත ආර්ථිකයේ අලුත්ම පියවර බව ඔහු නිවැරදිව කියාසිටියේ ය.

කෙසේ නමුත්, ලංකාව මුහුන දී සිටින නය අර්බුදයේ පරිමාව සඳහන් නොකිරීමට වික‍්‍රමසිංහ පරෙස්සම් විය. ඔහුම පසුගිය මැයි මාසයේ සඳහන් කල පරිදි, පවත්නා සංඛ්‍යා ලේඛන වලට අනුව, රටේ මුලු නය ප‍්‍රමානය රුපියල් ට්‍රිලියන නවය (ඩොලර් බිලියන 60) ඉක්මවයි. මෙය රටේ නය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 75 කි. ආන්ඩුවේ බදු ආදායමෙන් සියයට 95.4ක් වාර්ෂිකව නය ගෙවීමට යෙදවෙයි. මේ වසරේ දී ඩොලර් බිලියන 14.5 ක් ද ලබන වසරේ දී ඩොලර් බිලියන 4ක් ද විදේශීය නය හිමියන්ට ගෙවීමට නියමිතය. මෙයින් තුනෙන් පන්ගුවක් පමන යලියලිත් කරන්නට සිදුව තිබෙන පොලී ගෙවීම් ය.

තත්වය තාවකාලික ව ලිහිල් කර ගැනීම සඳහා ඩොලර් බිලියන 1.5 ක නයක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජූලි මස පොරොන්දු වූයේ 2020 වනවිට ලංකාවේ රාජ්‍ය නය ප‍්‍රමානය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 68 දක්වා අඩු කරගත යුතුය යන දැඩි කොන්දේසිය පනවමිනි.

“ගෝලීය ආර්ථිකය සුවවී ගැනීම ට යත්න දරමින් සිටින තතු තුල, වෙනස් වෙමින් පවත්නා ආර්ථික ගතිකයන් මැදින් සාර්ථකව, සාවධානව යාත‍්‍රා කිරීමට ශ‍්‍රී ලංකාව සමත්ව ඇත” වික‍්‍රමසිංහ මෙහිදී කල සඳහන අතේ පැලෙන බොරුවකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ඔක්තෝබර් 5දා නිකුත් කල ප‍්‍රකාශයකින්මත් මෙම බොරුවේ පරිමාව ඉස්මතු කරයි. එහි මෙසේ වාර්තා විය: “2008 ලෝක මූල්‍ය අර්බුදයෙන් අටවසරකට පසු ලෝකය පෙරනුවුවිරූ නය විකල්ලයකින් පෙලෙමින් පවතී. විවිධ ආන්ඩුද, මූල්‍යාංශයට අයත් නොවන සංස්ථා වල ද මුලු නය දෙගුනව ඩොලර් ට්‍රිලියන 152 දක්වා ඉහල නැග තිබේ.”

1920-30 ගනන් වල මහා අවපාතයෙන් පසු ලෝක ධනවාදය මුහුන දී සිටින දරුනුතම අර්බුදය වන මෙය සුවපත්වනු වෙනුවට වඩාත් ගැඹුරු වෙමින් පවත්නා බැව් ධනේශ්වර ආර්ථික විශේෂඥයන් පවා පිලිගනිමින් පැවතිය දී වික‍්‍රමසිංහ එය වසන් කරන්නේ අර්බුදයේ මුලු බර වැඩකරන ජනතාව මත පැටවීම උදෙසා සිය වැඩපිලිවෙල සකස්කරගෙන ඇති හෙයිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ලෝකයේ සමස්ත නය ප‍්‍රමානය ලෝක දල ජාතික නිෂ්පාදිතය මෙන් සියය ට 225 කි. රාජ්‍ය නය පමනක් වර්ෂයක් ඇතුලත දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 79 සිට සියයට 85 දක්වා ඉහල නැග තිබේ.

මෙම නය ප‍්‍රසාරනය සිදුවූයේ 2008 අර්බුදයෙන් ඉක්බිත්තේ එක්සත් ජනපදය සහ අනෙකුත් ප‍්‍රධාන නයදෙන රටවල මහබැංකු ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම මගින් පොලීි අනුපාතික දැවැන්තව පහත හෙලා ලෝක නය පුලුල්ව ප‍්‍රසාරනය කරන ලද තතු තුලය.

එවන් තතු තුලද ලංකාව වැනි දුබල නය ගන්නන්ට වානිජ නය ලැබුනේ සාපේක්ෂ වශයෙන් ඉහල පොලී අනුපාතික වලටය. ලංකාවේ ඩොලර් බිලියන 60ක් ඉක්මවන සමස්ත නයෙන් අතිමහත් වැඩි පංගුව ලබාගෙන ඇත්තේ මෙම ඉහල පොලී අනුපාතික වලටය. ලෝක අර්බුදයේ නව මට්ටම් තුල ලංකාව වැනි දුබල නය ගන්නන් සඳහා කොන්දේසි තවත් උග‍්‍රවන ලකුනු පහල ව ඇත.

ලෝක අර්බුදය තවතවත් උග‍්‍ර කරමින් එක්සත් ජනපදය සහ අනෙකුත් ප‍්‍රධන නයදෙන රටවල් සිය බැංකු පොලී අනුපාතිකයන් ඉහලදැමීමට පියවර ගනිමින් සිටින බවත්, එවන් තතුතුල ජාත්‍යන්තර නයගනුදෙනු තවත් අර්බුදකාරී තත්වයකට ඇද වැටෙන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු හඟවා ඇත. “නය යදින බොහෝ රටවල් වලට ඉක්මනින්ම දුෂ්කර තත්වයකට මුහුන දීමට සිදුවනු ඇත. දැනටම මෙය සිදුවීම ඇරැඹී තිබේ” යයි එය පෙන්වාදෙයි.

මේ තත්වය හොඳින් දන්නා වික‍්‍රමසිංහ තම පන්තියෙන් “නිර්භීත ආරම්භකත්වයන් ද, අධිෂ්ඨානය ද” ඉල්ලා සිටින්නේ මෙම අර්බුදය වැඩකරන ජනතාව මත පැටවීමේ ප‍්‍රතිවිප්ලවවාදී කටයුත්තටය. යෝජිත ත‍්‍රස්තවාද විරෝධී පනතද ඇතුලු පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාවට නංවමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සැරසෙන්නේ පන්ති යුද්ධය සඳහාය.

Share this article: