ජවිපෙ නායකයෝ දූෂනයට එරහි යුද්ධයක කපිතන්ලා ලෙස වෙස් බැඳ ගනිති

මිනුෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 නොවැම්බර් 13

ශ්‍රී ලංකා මහා බැංකුවේ භාන්ඩාගාර බැඳුම්කර නිකුතුවක දී සිදුවූ මුල්‍ය මගඩියක් පිලිබඳව ඔක්තෝබර් 28 දා මහජන ව්‍යවසාය පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප් ) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු වාර්තාව හා අදාල පරීක්ෂනය මුල් කරගෙන දූෂනයට එරහිව මහා යුද්ධයක තමන් යෙදී සිටින බව හුවා දැක්වීමේ ව්‍යායාමයක ජනතා විමුක්ති පෙරමුන යෙදී සිටී.

පාර්ලිමේන්තුවේ පවත්වන කතා හා ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමට අමතරව නොවැම්බර් 9 දා වන විට ජවිපෙ විසින් බැඳුම්කර සිද්ධියට අදාල වරදකරුවන්ට දඬුවම් පැමිනවීමේ යෝජනා කිහිපයක් ද ආන්ඩුවට ඉදිරිපත් කර ඇත.

බැඳුම් කර නිකුතුව සිදුවූ ආකාරයෙන් ද ඒ පිලිබඳව කෝප් කමිටුවට රජයේ විගනකාධිපති විසින් ඉදිරිපත් කර ඇති පරීක්ෂා වර්තාවලින් ද තහවුරු වන්නේ මහා මුල්‍ය වංචාවකට එම සිද්ධියේදී ඉඩ හැරුනු බවයි. මහා භාන්ඩාගාරය වෙනුවෙන් බැඳුම්කර නිකුතුව සිදුකරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවයි.

රුපියල් බිලියනයකට තීන්දුවී තිබී පසුව බිලියන දහයක් දක්වා ඉහල දැමුනු බැඳුම්කර නිකුත් කෙරුනේ එවකට මහා බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු මුදල් මන්ඩලය විසිනි. එම බැඳුම්කර මිලදී ගනු ලැබුවේ මහේන්ද්‍රන්ගේ බෑනා කෙනෙකු වන අර්ජුන් ඇලෝසියස් ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසිනි. රහස් තොරතුරු ලබා දීමකින් ගනුදෙනුව සිදු වූ බවට සැක කෙරේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ දූෂනය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය අහෝසි කිරීම තුරුම්පුව කරගෙන එම ආන්ඩුව කෙරෙහි පැතිර තිබූ මහජන විරෝධය ගසා කෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ මේ මුල්‍ය මගඩිය සිදුවී ඇත. දැන් රාජපක්ෂ සහ ඔහු වටා “ඒකාබද්ධ විපක්ෂය” ලෙස එකතුවී සිටින කන්ඩායම තමන්ගේ අපකීර්තිමත් අතීතය වසා ගැනීමට මේ සිද්ධිය යහමින් ගසා කයි.

මේ සියල්ලන් අබිභවා දූෂන විරෝධී සටන ගෙනයන්නේ තමන් බවට ජවිපෙ නායකයන් මැත දොඩවන්නේ රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය බලයට ගෙන ඒමට දර දිය ඇදීමෙන් කුප‍්‍රකට වී ඇති තමන්ගේ ප‍්‍රතිරූපය යලි පිරියම් කර ගැනීමටයි.

කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ය. අගමැති වික‍්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පාලන සභාගය හඳුන්නෙත්ති එම තනතුරට පත් කර ගත්තේ තමන්ගේ අයිතීන් පාගා දැමීම පිලිබඳ වාර්තා සහිත ධනපති ආන්ඩු පක්ෂ වලින් සහ විපක්ෂ වලින් සමන්විත වූ පාර්ලිමේන්තුව කෙරෙහි කම්කරුවන් හා දුගීන් අතර පැතිර පවත්නා විස්වාස භංගය තුනී කර ගැනීම සඳහා ඊට සුදු හුනු ගා ගැනීමේ එක් මං මුලා සහගත තැතක් ලෙසය.

කෝප් වාර්තාවට හඳුන්නෙත්ති ඉදිරිපත් කල “සභාපති තුමාගේ සටහනෙහි, රටේ මෙවැනි සංවාදයක් මතුවූ බව සඳහන් කර ඇත: “මහ බැංකු බැඳුම්කර වංචාවේ දූෂිතයන් හෙලිදරව් කර ජනතාවගේ මුදල් වංචා කිරීමට එරහිව නීතිමය කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් සැපයීමට කාරක සභාව සමත්වේද[?]”

“නමුත් එය (එම අභියෝගය) අනගි දේශපාලනික අත්දැකීමක් සහිතව නිම කිරීමට අපි සමත් වීමු” යයි හඳුන්නෙත්ති ප‍්‍රීතියෙන් පිනායමින් සඳහන් කරයි. ඔහු තවදුරටත් සඳහන් කලේ පරීක්ෂන වාර්තාව වනාහී “සාර්ථක ප‍්‍රතිපල ලබා අවසන් කිරීමට හැකි වූ.... පාර්ලිමේන්තුව තුලින් දූෂන විරෝධී සටන ජයගත් ඓතිහාසික මොහොතක් බවයි.”

හඳුන්නෙත්තිගේ හා ජවිපෙ මෙම “වික‍්‍රමය” ගැන ආන්ඩු පක්ෂ නායකයන් හා විපක්ෂය ද ජන මාධ්‍ය ද මේ දින වල මල් වෙඩි සංදර්ශන පවත්වති. වාර්තාව ආන්ඩුවේ “යහපාලනය” ලබා ගත් “ජයග‍්‍රහනයක්” යැයි අගමැති වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දූෂන විරෝධී සටන පාර්ලිමේන්තුව තුලින් ජයගැනීම පිලිබඳ හඳුන්නෙත්තිගේ ප‍්‍රකාශ ගැන අපට අඩුම ලන්සුවෙන් කිව හැක්කේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ඇස් වලට වැලි ගැසීමක් බවයි. වැඩිම වුනොත්, බැඳුම්කර මගඩියට සම්බන්ධිතව හිටපු මහා බැංකු අධිපති මහේන්ද්‍රන් හෝ තවත් නිලධාරියෙක් දඩ මීමෙක් ලෙස බිල්ලට දෙනු ඇත. තමන් ක්‍රියා කලේ තනතුරට පත් කල අගමැති වික්‍රමසිංහ යැයි මහේන්ද්‍රන් ප්‍රකාශ කර ඇතත් ඔහුද යහපාලනයේ ජයග්‍රහනය ගැන උදම් අනමින් නිදල්ලේය. දූෂිතයන් ලෙස චෝදනා ලැබ සිටින මැති ඇමතියන් එලෙසම ය. ඔවුන්ගෙන් ඥාති සංග‍්‍රහය ලැබූ සහ ලබන මහා ව්‍යාපාරිකයෝ යහතින් සිටිති.

“දූෂිතයන් හා දූෂිතයන්ගේ ආරක්ෂකයෝ” යන මාතෘකාවෙන් මේ දින වල ජවිපෙ ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වාගෙන යයි. ජවිපෙ නායකයන් බැට දෙන බවක් පෙන්වන්නේ හිටපු ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවේ මැති ඇමතියන්ට හා වත්මන් ආන්ඩුවේ මැති ඇමතියන්ටය. කොලඹදී නොවැම්බර් 2 දා පැවති රැස්වීමක දී ඔවුන්ට විරුද්ධව ජවිපෙ නායක හා පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක අනුර කුමාර දිසානායක බෙරිහන් දුන්නේ කම්කරුවන්, දුගීන් හා තරුනයන් මතක නැතිවීමේ රෝගයෙන් පෙලෙන බව සිතාගෙන විය යුතුයි. ඔහු සඳහන් නොකලේ හිටපු ජනාධිපතියන් වන චන්ද්‍රිකා කුමාරතුංගගේ හා රාජපක්ෂගේ ආන්ඩු මෙන්ම වත්මන් සිරිසේන ජනාධිපතිගේ පාලනය ද බලයට ගෙන ඒමට දර දිය ඇදීම මගින් තමන් එම ආන්ඩු වල දුෂන වලට හා අනෙකුත් ප‍්‍රහාර වලට දේශපාලනිකව වග කිව යුතු බවයි.

“දූෂිතයන්ට හා ආරක්ෂකයන්ට” උඩ පැන පැන තැලූ දිසානායක “පිරිසිදු ධනය ඇති අය” තම වැඩපිලිවෙල ගැන බිය නොවිය යුතු යැයි ප‍්‍රකාශ කලේය. දිසානායකගේ කනස්සල්ල තමන්ගේ ගෝරනාඩුව නිසා ධනපතියන් බිය වේය යන්න ගැනය. ඇත්තෙන්ම “දූෂිත” හා “අදූෂිත” ධනපතියන් බිය විය යුතු නැත. මන්ද යත් ජවිපෙ ප‍්‍රචාරය එල්ල වී ඇත්තේ දූෂිතයන්ගෙන් ශුද්ධ කල ධනවාදයක් පවත්වා ගත හැකි බවට, ධනපතිවාදයට එරෙහිව සටනේ යෙදී සිටින කම්කරුවන් හා තරුනයන් නොමග යැවීමට සඳහා ය.

ජවිපෙ පෙන්වන්නට තැත් කරන්නාක් මෙන් දූෂන හා වංචා ධනපති ක‍්‍රමය තුල හුදකලා හෝ අහම්බ ප‍්‍රපංච නොවේ. අධිරාජ්‍යවාදී යුගය “මහා පරිමාන දූෂනය, අල්ලස හා වංචාවන්ගෙන්” ගුනාංගීකරනය වූ නව මුල්‍ය කතිපයාධිකාරයකට මග සලසන පරපුටු මුල්‍ය ප‍්‍රාග්ධනය විසින් අරක්ගන්නා යුගයක් බව ලෙනින් පෙන්වා දුන්නේ මීට සියවසකට පමන පෙරය. විසි එක්වන සියවසේ මෙම වර්ධනයන් නව මානයන් කරා ගැඹුරු වී ඇත.

ඇමරිකාව ඇතුලු ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රට වලින් මෙන්ම චීනය, ඉන්දියාව, රුසියාව ඇතුලු රටවල් තුලින් ඔඩු දුවා ගිය වංචාව හා දූෂනය වාර්තාවන්නේ ද දූෂිත දේශපාලකයන් විසින් පෝෂනය කරන ඥාති-සංග‍්‍රහ ධනවාදයක් පැන නැගී ඇත්තේ ද මෙම තතු තුලය. ලංකාව තුල ප‍්‍රකාශයට පත්ව ඇත්තේ මෙම ලෝක වර්ධනයයි. ලෝක පරිමානව දැවැන්ත නය කන්දරාවක් බිහි වී ඇත්තේ මෙම වර්ධනයන්ගේ ප‍්‍රතිපල ලෙසය. නිෂ්පාදනය මගින් නොව මුල්‍ය වෙලඳ පොලේ සමපේක්ෂනය හා මගඩි මගින් ලාභ ගසා කෑමට ධනපතියෝ හැරී සිටිති.

මෙම වර්ධනයන්ගෙන් සලකුනු වී ඇත්තේ ලෝක ධනවාදයේ කුනු වීමේ නව කාල පරිච්ඡේදයකි. නයෙන් ඉහ වහා ගිය මුල්‍ය ප‍්‍රාග්ධනයට වටිනාකම් සූරා ගැනීම සඳහා නව ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේ යුද්ධ වලට ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් හැරී සිටින්නේ ද තම රටවල් තුලම කම්කරු පන්තිය දරුනු සූරා කෑමට යට කිරීමේ පොලිස් රාජ්‍ය විධි ක‍්‍රම උසි ගන්වා ඇත්තේ ද මෙම තතු තුලයි. දූෂන තුරන් කර ශුද්ධ ධනවාදයක් පිහිටුවා ගැනීම පිලිබඳව ජවිපෙ ගෙන යන ප‍්‍රචාරය මෙම සැබෑ තතු වසන් කර ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීමේ විසකුරු ප‍්‍රයත්නයකි.

දූෂිත ආන්ඩු බලයට ගෙන ඒමට උරදී ඇතිව තිබෙන අපකීර්තිය තුනී කර ගැනීමට ධනපති ක‍්‍රමය තුලම දූෂන විරෝධී සටන ගෙනයන ජවිපෙ කම්කරුවන් තරුනයන්ව මුලා කිරීමේ ව්‍යායාමය වේගවත් කර ඇත.

නොවැම්බර් 9 දා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කෝප් කමිටුවේ වාර්තාවෙන් එලිදරව් වී ඇති පුද්ගලයන්ට දඬුවම් දීමේ ඉල්ලීම් හයක් ඉදිරිපත් කර ඇත. අදාල පුද්ගලයන්ට එරහිව නීති මගින් ක්‍රියා කිරීම, මහේන්ද්‍රන් ආන්ඩුවේ සියලු තනතුරු වලින් ඉවත් කිරීම, පර්පෙචුවල් ට්‍රෙ‍ෂරීස් සමාගමට එරහි පියවර ගැනීම, පසුගිය දූෂනයන් පිලිබඳව ඉදිරිපත් කර ඇති වාර්තා අනුව ක්‍රියා කිරීම එම ඉල්ලීම් අතර වෙයි. මහජනයාගෙන් ඉල්ලා ඇත්තේ දූෂිතයන්ට එරහිව පියවර ගන්නා ලෙස ආන්ඩුවට බලකිරීමේ ව්‍යාපාරයක් ගොඩනැගීමට ජවිපෙ පිටුපස ගාල් වන ලෙසය.

නොවැම්බර් 7 දා ජනමාධ්‍යට කතාකරමින් ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක ප‍්‍රකාශ කලේ “වංචනිකයන්ට එරහි අරගලයේ තනි අයිතිය” ඇත්තේ ජවිපෙට බවයි. “වංචාවට දුෂනයට හා අපරාධවලට විරුද්ධ වීමට පමනක් නොව රට නව මගකට ගෙනයාමට බලවේගයක් ගොඩනැගිය යුතුයි. 2020 දී බලය ගන්නා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි.” කී රත්නායක “ජවිපෙ 2020 ට සූදානම්” යයි කීවේය.

රත්නායක ප‍්‍රකාශ කලේ 2020 දී මැතිවරනයෙන් තමන් බලයට දමා ගැනීමට ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු බවයි. මෙතෙක් දූෂිතයන් හා දූෂිතයන් ආරක්ෂා කල ආන්ඩු බලයට ගෙන ඒමට ක්‍රියා කල ජවිපෙ 2020 දී වෙනස් වන්නේ කෙසේදැයි රත්නායක පැහැදිලි කර නැත. බලයේ සිටි හා සිටින ආන්ඩු බලයට ගෙන ඒමේදී ද දූෂන අහෝසි කිරීම ජවිපෙ සටන් පාඨයක් වූ බව රත්නායක දනී.

ජවිපෙ ඉල්ලන්නේ ප‍්‍රධාන ධනපති පක්ෂ අපකීර්තියට පත්වී ඇති තතු තුල ධනපති ජනමාධ්‍ය වල ද උදව් ඇතිව තමන්ගේ ප‍්‍රතිරූපය ගොඩනගාගෙන ධනේශ්වර ක‍්‍රමය රැකීමේ කාර්යභාරය තමන් අතට ගැනීමට ඉඩ දෙන ලෙස ය.

ජවිපෙ මූලිකත්වය ගෙන දියත් කර ඇති දූෂන විරෝධී උද්ඝෝෂනය අනෙක් අතට සේවය කරන්නේ රුදුරු කප්පාදු වැඩ පිලිවෙලකින් ජීවන හා සමාජ කොන්දේසි ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ද තලා දැමීමට එරහිව කම්කරුවන් හා දුගීන් අතර ආන්ඩුවට පැතිරී වැඩී එන දැවැන්ත විරෝධය අවමංගත කිරීමටයි.

කම්කරුවන් තරුනයන් හෝ දුගීන් ජවිපෙ ඊනියා දූෂන විරෝධී උද්ඝෝෂනය ගැන තඹ දොයිතුවකට විස්වාස නොකල යුතුය. එය ධනවාදය රැකීමේ උද්ඝෝෂනයකි. දූෂනය හා වංචාව පිටු දැකිය හැකි වන්නේ එහි උල්පත වන ලාභ සූරා ගැනීම මත පාදක වන ධනපති ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා දුගීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. එම අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසකි.

මෙම වැඩ පිලිවෙල හා ඉදිරි දර්ශනය ලංකාව තුල ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයයි.

Share this article: