ශ්‍රී ලංකා ජනාධිපති “ජාතිවාදය අවුස්සන්නන්” අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි

Sri Lankan president orders arrest of “inciters of racism”

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 නොවැම්බර් 23

ඩේලි මිරර් පත්‍රයට අනුව ඉරිදා පැවති ආරක්ෂක මංඩලයේ රැස්වීමක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “ජාතිවාදය අවුස්සන්නන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන පවතින නීතිය යටතේ (ඔවුන්) උසාවියට ඉදිරිපත් කරන” ලෙස පොලීසියට සහ ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දී ඇත.

මෙම නියෝගයට ක්ෂනික හේතුව ලෙස “ජාතිවාදය මර්දනය කිරීම” ඉදිරිපත් කරනු ලැබ ඇති නමුදු ආන්ඩුව විරුද්ධ පක්ෂ සහ කම්කරු පන්තියට එරෙහිව පුලුල් කඩා පැනීමක් සුදානම් කරමින් සිටින බව ඉන් ඇඟවුම් කෙරෙයි.

ජනාධිපති ලෙස ඔහුගේ ආන්ඩුව පිහිටුවා දෙවන සංවත්සරය එලඹෙන විට එක්සත් ජනපද ගැති ඔහුගේ ආන්ඩුව බරපතල දේශපාලන අර්බුදයකට ඇදවැටී ඇත. පාලක සභාගය සහ බලයෙන් පහකල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන විරුද්ධ පක්ෂ කන්ඩායම අතර කාකොටා ගැනීම උග්‍ර වෙමින් තිබේ.

ඉරිදා පැවති රටේ ප්‍රධාන ආරක්ෂක මංඩලයේ රැස්වීමට පොලිස්පති, සන්නද්ධ හමුදාවල ප්‍රධානීන් හා අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ සහ නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක ඇතුලු ආන්ඩුවේ ප්‍රධාන ඇමතිවරු කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇත.

ජාතිවාදය ප්‍රවර්ධනය කරන්නන් ට විරුද්ධව කටයුතු කිරීම සඳහා නව නීති පැනවීමේ හැකියාව ගැන සිරිසේන එහි දී විමසූ බව ඩේලි මිරර් පත්‍රය වාර්තා කලේ ය. ඒ සඳහා “අවශ්‍ය පියවර දැනමත් ගෙන ඇති” බවත් පවතින නීතිය යටතේ වුවත් “ජාතිවාදය අවුස්සන්නන් වසරක සිර දඬුවමකට යත් කල හැකි” බව අධිකරන ඇමති පැවසුවේ ය.

නොවැම්බර් 15 වෙනිදා සිරිසේනත් අගමැති රනිල් වික්‍රමසිංහත් දෙදෙනාම ආන්ඩුවට විරුද්ධ “දේශපාලන කුමන්ත්නයක්” ගැන අනතුරු ඇඟවූහ. ඔවුන් එම අනතුරු ඇඟවීම කලේ සිරිසේන බලයට ගෙන ඒමට සහයෝගය දුන් රාවය පත්‍රයේ 30 වෙනි සංවත්සරයේ දී ය.

ආන්ඩුව අස්ථාවර කිරීමේ උත්සාහයන් පවතින බවත් “ ජාතික සංහිඳියාව සඳහා යන ගමන වලක්වන්නට සංවිධානාත්මක වූ අතිවිශාල වශයෙන් මුදල් යොදවන පැහැදිලි දේශපාලන කුමන්ත්‍රන තිබෙන” බව සිරිසේන කීවේ ය. “ජාතිවාදී පිරිස් ආන්ඩු බලය ගැනීමට උත්සාහ කරන” බව වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ය.

සිරිසේන සහ වික්‍රමසිංහ නම් නොකී නමුත් “කුමන්ත්‍රන කරුවන්” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) තුල රාජපක්ෂ විසින් මෙහෙයවන කන්ඩායම බවට ඉඟි කලහ. වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයත් (එජාප) සමග සිරිසේනගේ ජාතික සමගි ආන්ඩුවට මෙම කන්ඩායම විරුද්ධය.

සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් විසින් කරනු ලබන ප්‍රකෝපකරනයන් එහි අත් ශතිමත් කර ගැනීම පිනිස ගසාකෑමට ආන්ඩුව තැත් කරයි. සිරිසේන සහ වික්‍රමසිංහ වර්ගාවාදයට විරුද්ධ නැත. 2009 දී පරාජයට පත් කල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට විරුද්ධව ගෙන ගිය වාර්ගික යුද්ධයේ දී බලයට පත් ආන්ඩුවල නායකයෝ ලෙස දෙදෙනාම සිටියහ. සිංහල-බෞද්ධ බහුතර පාලනය සඳහා අඛන්ඩව ඔවුන් සහයෝගය දෙන බවට දෙදෙනාම පොරොන්දු වී ඇත්තාහ.

සිංහල-බෞද්ධ අන්තවාදීන් විසින් ගෙන යනු ලබන ස්වෝත්තමවාදී උද්ඝෝෂනය මෑත මාසවල දී වඩාත් තීව්‍ර කර ඇත. සිංහල මිනිසුන්ට විරුද්ධව තිබෙන අධිකරන නඩු ඉදිරියට ගෙන ගියොත් කායිකව පහර දෙන බවට ෆැසිස්ට්වාදී බෞද්ධ භික්ෂු කන්ඩායමක් වන බොදු බල සේනාවට සම්බන්ධ භික්ෂුවක් පසුගිය සතියේ මඩකලපුවේ දී දෙමල ජාතික ග්‍රාමසේවක නිලධාරියෙකුට තර්ජනය කලේ ය. පසුගිය සතියේ කොලඹ පැවති ප්‍රසිද්ධ උද්ඝෝෂොනයක දී මුස්ලිම් ජනයාට විරුද්ධව ඒ හා සමාන තර්ජනයන් කල සිංහල ස්වෝත්තමවාදියෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු විය.

“සිංහලයන්ට හිංසා කරන්නන්ට” විරුද්ධව බොදු බල සේනාව ඉරිදා නුවර දී සත්‍යග්‍රහයක් පැවැත් වීය. හතර දෙනකු මරනයට පත්කරමින් හා සැලකියයුතු දේපල විනාශයක් සිදු කරමින් 2013 දී අලුත්ගම දී කල කලහය ඇතුලු මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයන් ට බොදු බල සේනාව කුප්‍රකට ය.

මේවා හුදකලා සිද්ධීන් නො වේ. බදු බල සේනාව ඇතුලු බොහෝ සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් රාජපක්ෂට සහයෝගය දෙයි. රාජපක්ෂ සහ ඔහුගේ සහචරයෝ “රනවිරුවන්” ව “පාවාදීම” ගැන ආන්ඩුවට චෝදනා කරති.

රාජපක්ෂට සහයෝගය දෙන පාර්ලිමේන්තු කන්ඩායම සති දෙකකට පෙර ශ්‍රී ලංකා පොදුජන පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටු වී ය. නැවත බලයට පත්වීමට උද්ඝෝෂොනය කරමින් සිටින රාජපක්ෂ ඉදිරි දිනක දී පක්ෂයේ නායකත්වය භාර ගන්න බව ඇඟවුම් කර ඇත.

රාජපක්ෂගේ උද්ඝෝෂනය අඩාල කිරීමේ උත්සාහයන් ගේ කොටසක් ලෙස ඔහුට හිත පක්ෂපාතී මාධ්‍ය ආයතන බිය ගැන්වීමේ ප්‍රයත්නයක ආන්ඩුව යෙදී සිටී. බලපත්‍රයේ කොන්දේසි උල්ඝනය කලේ ය යන චෝදනාව මත රාජපක්ෂ පවුල සමග සමීප සම්බන්ධකම් ඇති සීඑස්එන් රුපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය ජනමාධ්‍ය අමාත්‍යං ශය විසින් ඔක්තෝබර් මාසයේ දී අවලංගු කරනු ලැබීය. සිරිසේන විසින් මෑතදී කරන ලද කතාවක් විකෘති කල බවට චෝදනා කරමින් මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් දෙරන රූපවාහිනී නාලිකාවට ද තර්ජනය කලේ ය.

මාධ්‍ය වලට තර්ජනය කිරීම මෙම ආයතන දෙකට පමනක් සීමා නො වේ. එය විවේචනය කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව මාධ්‍යවලට යලි යලිත් පහර දෙයි. නිසි ලෙස නොහැසිරෙන මාධ්‍යවලට විරුද්ධව ආන්ඩුව කටයුතු කලයුතු බව වික්‍රමසිංහ පසුගිය සතියේ කීවේ ය. මාධ්‍යයන් ආන්ඩුව විසින් කරනු ලබන සාධනීය කටයුතු කිසිවක් දකින්නේ නැතයි සිරිසේන ඊයේ (22) වක්‍ර තර්ජනයක් කලේ ය.

රාජපක්ෂට සහයෝගය දෙන පක්ෂයක් වන සිංහල වර්ගවාදී මහජන එක්සත් පෙරමුනේ නායක දිනේෂ් ගුනවර්ධන පසුගිය සතියේ කල ප්‍රකාශයකින් ආන්ඩුවේ කුමන්ත්‍රන කතාවට තවත් තෙල් වත් කලේ ය. “රට තුල ප්‍රජාතන්ත්‍රවාදය වේගයෙන් පිරිහීම නතර කිරීමට ආන්ඩුව ක්ෂනික පියවර නොගත්තොත් මිලිටරි කුමන්ත්‍රනයක් ඇතිවිය හැකි” බවට ගුනවර්ධන පාර්ලිමේන්තුවට අනතුරු ඇඟවීය.

ගුනවර්ධනගේ හා රාජපක්ෂගේ උත්සුකතාව “ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීම” ගැන නො වේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහරදීමේ කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව රුදුරු ලෙස මාධ්‍ය මර්දනය කලේ ය.

ගුනවර්ධනගේ ප්‍රකාශය හෙලා දුටු ආන්ඩුව “දේශපාලන ස්ථාවරත්වය කඩාකප්පල් කර මහජනතාව තුල භීතිය නිර්මානය කිරීම” ට උත්සාහ කිරීම ගැන විපක්ෂ කන්ඩායමට චෝදනා කලේ ය.

කම්කරුවන්, ශිෂ්‍යයන් හා ගම්බද දුගීන් අතර වැඩෙන කැලඹීම ධනපති පන්ති පාලනයට තර්ජනය කරනු ඇතැයි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෙන් ම රාජපක්ෂ සමග පෙල ගැසී සිටින විපක්ෂ කන්ඩායම ද භීතියට පත්වී සිටිති.

වැටුප් වැඩිවීම් සහ යහපත් සේවා කොන්දේසි පිලිබඳ ඉල්ලීම මත කම්කරුවන්ගේ අරගල මාලාවක් පසු ගිය වසර පුරා මතු විය. වැටුප් වැඩිවීමක් ඉල්ලමින් හා වැඩ ප්‍රමානය ඉහල දැමීමට විරුද්ධව සැප්තැම්බර් මාසයේ දී දස දහස් ගනනක් වතු කම්කරුවෝ වීදිවලට ආහ.

අපනය ආදායම් සහ ආයෝජන පහත වැටීම සමග රටේ ආර්ථික අර්බුදය ගැඹුරුවෙමින් ඇත. මෙම වසරේ මුල් හය මාසය තුල අපනයන ආදායම සියයට 5.8 හා පසුගිය වසරේ විදේශ ආයෝජන සියයට 52.5 හෙවත් ඩොලර් බිලියන 4.5 සුවිසාල අගයකින් පහත වැටුනි. ආන්ඩුවේ විදේශ නය ඩොලර් බිලියන 65 දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත රාජ්‍ය නය ප්‍රතිශතය දල ජාතික ආදායමෙන් සියයට 76 කි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කයන්ට අනුව අය-වැය පරතරය අඩුකිරීම පිනිස රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය සඳහා වියදම් කප්පාදු කරන අතර කම්කරුවන් සහ දුගීන් මත දැවැන්ත බදු බර පටවන අය වැයක් ආන්ඩුව මෙම මාසයේ ඉදිරිපත් කලේ ය. ඉන් සතියකට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීමට පොරොන්දු වී ඇති එහි නය මුදලේ දෙවන වාරිකය නිදහස් කලේ ය. මූල්‍ය වෙලඳපලේ ඉල්ලීම් සැපිරීම පිනිස රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහකරනය සහ පුද්ගලීකරනය තීව්‍ර කිරීමට ද ආන්ඩුව තීරනය කර තිබේ. මෙම ප්‍රහාරයන් දැවැන්ත සමාජ පිපිරීම් වලට තුඩුදෙනු ඇත.

වැඩකරන ජනතාව අනතුරු අඟවා ගත යුතු ය. එය තියුනු පන්ති ආතතීන් ට මුහුන දෙන හැමවිටක දී ම කම්කරු පන්තිය බෙදීමට හා එහි මර්දනකාරී පාලනය තීව්‍ර කිරීම සඳහා වර්ගවාදය ඇවිස්සීම දසක ගනාවක් පුරාම පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක ම සාමාන්‍ය මෙහෙයුම් පිලිවෙත වී ඇත. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පියවරයන් සැලසුම් කර ඇත්තේ කම්කරු පන්තිය මර්දනය කිරීමේ පොලිස් රාජ්‍ය විධික්‍රම ශක්තිමත් කිරීම සඳහා මිස ජාතිවාදය සහ වර්ගවාදය කෙලවර කිරීමට නො වේ.

Share this article: