මෝඩයා කට අරී: ස්ලැවෝ ජිජැක් ඩොනල්ඩ් ට‍්‍රම්ප් අනුමත කරයි

The idiot speaks: Slavoj Žižek endorses Donald Trump

ඇන්ඩ්‍රෙ ඩැමොන් විසිනි, 2016 නොවැම්බර් 9

ස්ලෝවිනියාවේ උපන් ශාස්ත‍්‍රාලිකයෙකු සහ පශ්චාත් නූතනවාදයෙහි, මනෝ විශ්ලේෂක දර්ශනවාදයෙහි සහ ව්‍යාජ වාම දේශපාලනයෙහි ප‍්‍රමුඛ නියෝජිතයෙකු වන ස්ලැවෝ ජිජැක්, නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අනුමැතිය පල කරයි.

මහා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශයට ජිජැක් මෙසේ පැවසීය: “හිලරි, කල නොහැක්කා වූ දෙයක් වන සියල්ලන්ම ඈඳා ගත් සම්මුතියක් ගොඩනැගූ බැවින්, සැබෑ අනතුර වන්නේ ඇයයි. ට‍්‍රම්ප් දිනුවොත්, රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් යන මහා පක්ෂ දෙකටම මූලධර්ම කරා ගොස් තමන් ගැනම යලි සිතාබැලීමට සිදුවනු ඇත.

තවදුරටත් ඔහු පැවසුවේ, මෙය කිසියම් ආකාරයක මහා පිබිදීමකට හේතු වනු ඇති බවයි. ට‍්‍රම්ප්ට පක්ෂ වීම ආරක්ෂා කරමින් ජිජැක්, ට‍්‍රම්ප් ෆැසිස්ට්වාදය හඳුන්වා නොදෙන බව පැවසීය. ව්‍යාජ වාම දේශපාලනයේ ප‍්‍රධාන සමාජ පදනමක් වන, ශාස්ත‍්‍රාලීය සමාජ ස්ථරයේ සුරතලා වන ජිජැක්, ඔහුගේ “වාම” සගයෙකු වන සාහිත්‍ය විචාරක ටෙරී එගල්ටන් විසින් විස්තර කරනු ලැබුවේ වඩාත්ම බැරෑරුම් හා දීප්තිමත් යුරෝපියානු දාර්ශනිකයා ලෙසයි. එක් විචාරකයෙක් ඔහු ඇමතූයේ “සංස්කෘතික න්‍යායේ එල්විස්” [ඇමරිකාවේ ජනප‍්‍රිය රොක් ගායක වූ එල්විස් ප්‍රෙස්ලිට උපමා කිරීමකි. පරිවර්තක.] ලෙසයි.

ඇත්තවශයෙන්ම ජිජැක් යනු කුනුහරුප වල සිට දේවධර්මය දක්වාත් ඒ අතර පවතින සෑම දෙයක් පිලිබඳවත් පම්පෝරි සහගත වචන වලින් පිරි නමුත් බුද්ධිමය හරයක් නැති පොත් පල කරන, නරකම වර්ගයේ බුද්ධිමය වංචනිකයෙකි.

ඔහු පැබ්ලෝවාදී සහ රාජ්‍ය ධනවාදී කවයන් වඩම්මා ගෙන යන්නාවූ ශාස්ත‍්‍රාලික වංචනිකයින් සංකේතවත් කරයි. ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය ඔහු නම්කර ඇත්තේ, “නව වාමාංශයේ උත්කෘෂ්ට හඬ” යනුවෙනි.

ජිජැක්, නිව් ලෙෆ්ට් රිවීව් වැනි ව්‍යාජ වාම ප‍්‍රකාශන තුල ලැගුම් ගත්තෙකි. එයට ඔහු ලිපි දහයක් ලියා ඇත. ප‍්‍රතිට්‍රොට්ස්කිවාදී දේශපාලන ප‍්‍රවනතාවයන්ගේ ප‍්‍රකාශන හස්තයක් වන වර්සෝ බුක්ස් ඔහු ලියූ හෝ සංස්කරනය කල පොත් දුසිමකට වඩා පලකර ඇත.

ජිජැක් විසින් ට‍්‍රම්ප් අනුමත කරනු ලැබීම, ඔහු පසුගිය වසරවල හදිසියේ දකුනට ගමන් කිරීම සමග ගැලපී සිටියි. නව වාමාංශයේ මෙම දාර්ශනිකයා, සරනාගතයන්ට පහර දීම, සමාජය මිලිටරිකරනය කිරීම සහ දේශපාලනය වෙත මූලිකවම වර්ගවාදී ප‍්‍රවේශයක් ගැනීම අනුමත කර ඇත.

2015 දී පැරිසියේ සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට පසුව අවුලුවන ලද දක්ෂිනාංශික උන්මාදයට ප‍්‍රතිචාර දක්වමින්, 2015 නොවැම්බරයේදී ජිජැක් තර්ක කලේ, මැදපෙරදිගින් එන සරනාගතයින්ගේ අරමුන, බටහිර සංස්කෘතිය කෙලෙසීම බවයි. විසඳුමක් හැටියට ඉවසීමේ ගුනය පිලිබඳ මතය ප‍්‍රතික්ෂේප කරමින් ජිජැක් ප‍්‍රකාශ කලේ, අප අපේ නිදහසේ කොටසක් ලෙස සලකන අවමන් කිරීමේ ප‍්‍රතිරූප සහ නිර්දය උපහාසය දරාගැනීමට මූලධර්මවාදී මුස්ලිමුන්ට අමාරු වනු ඇති, බවයි.

මෙම වසර මුලදී ජිජැක් නිව් ස්ටේට්ස්මන් වෙත ප‍්‍රකාශ කලේ, ජර්මනියේ කොලෝන් නගරයේදී සරනාගතයන් අතින් සිදුවූයේ යැයි කියන ලද්දා වූත් පසුව බොරු චෝදනාවක් යැයි හෙලි වුනා වූත් ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධි, සංක‍්‍රමනිකයන්ට කරුනු පහදා දීමේ උත්සාහයන්, ඇදහිය නොහැකි මෝඩකමට උදාහරන ලෙස පෙන්වනු ලැබූ බවයි.

ඉහත සඳහන් කෙරෙන 2015 වසරේ ලියූ ලිපිය තුල ජිජැක් සඳහන් කලේ, (ලෝක ධනේශ්වරයේ ගොඩඒගත නොහැකි සිරවීමට විසඳුම වන්නේ, සමාජය මිලිටරි කරනය බවයි. ඔහු මෙසේ කියයි: “ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුනු සහිත බිම් මට්ටමේ ව්‍යාපාර අසාර්ථකත්වයේ ගිලීයන බවක් පෙනේ. එනිසා මිලිටරිකරනය තුලින් ලෝක ධනේශ්වරයේ විෂම චක‍්‍ර ය බිඳීම, එනම් ස්වයං පාලිත ආර්ථිකයන්ගේ බලය අවහිර කිරීම, සමහර විට හොඳම දේ වනු ඇත.”

එම ලිපියේම ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරන්නේ මෙසේය. “විමුක්තිමය දේශපාලනය, රූපික ප‍්‍රජාතාන්ත‍්‍රික පටිපාටියක් මගින් පමනක් සුජාතකරනය වන්නේය යන අනිවාර්ය සීමාවට යටත් විය යුතු නොවේ. නැත, මිනිසුන් බොහෝ කොටම, තමන්ට අවශ්‍ය කවරක්දැයි දන්නේ නැත, නැතහොත් ඔවුන් දන්නා දෙය ඔවුන්ට අවශ්‍ය නැත, එසේත් නැතහොත් හුදෙක් ඔවුන්ට අවශ්‍ය වන්නේ වැරදි දෙයයි.”

මෙම තේමාවන් ජිජැක් විසින් සංස්කරනය කර මෙම වසර මුලදී පලකරන ලද An American Utopia: Dual Power and the Universal Army (ඇමරිකානු මනෝරාජ්‍යයක්: බල ද්වෛතය සහ විශ්ව හමුදාව) යන වෙලුමේ සාකච්ඡාවට ගන්නා ලදී. එහි මෙසේ පැවසිනි: අපේ කාලයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ගොඩගත නොහැකි ලෙස බංකොලොත්වී ඇත්තේ, කොමියුනිස්ට්වාදය මියගොස් ඇතුවාක් මෙනි. එනිසා වාමාංශයට ඉතිරි ව ඇති එකම සැබෑ මූලෝපාය වන්නේ, සමාජය මිලිටරිකරනය කිරීම සහ විශ්ව හමුදාවක් තැනීමයි.

ජිජැක්, කවරදාටත් වඩා විවෘත ලෙස දක්ෂිනාංශික දේශපාලනය වැලඳ ගැනීම, ඔහු අයත් වන ඉසුරුමත් ව්‍යාජ වාම ශාස්ත‍්‍රාලික කවයන් දක්වන ප‍්‍රතිචාරයට සමාන්තරව ගමන් කරයි. මෙම කොටස් සංස්කෘතික අධ්‍යයන ක්ෂේත‍්‍රය මත ආධිපත්‍යය දරන අතර මානව ශාස්ත‍්‍ර විෂය ක්ෂේත‍්‍රයේ පුලුල්ව පැතිර සිටිති. ඔවුන්ගේ “පර්යේෂන” සමන්විත වන්නේ ඔවුන්ගේ දක්ෂිනාංශික මත සහ දේශපාලනය අඩු වැඩි වශයෙන් වසන් කිරීම සඳහා අර්ථ විරහිත වාංමාලාවන් හරඹ කිරීමෙනි. මෙම සමාජ ස්ථරය ප‍්‍රතිපත්ති විරහිත ය. දූෂිතය.

තමන්ගේම පෞද්ගලික පෝසත්කම හඹා යෑමේ මාර්ගයක් ලෙස අනන්‍යතා සහ ව්‍යාජ-වාම දේශපාලනය බදාගෙන සිටින සාමාජිකයන්ගෙන් සමන්විත ඉසුරුමත් ඉහල මධ්‍යම පන්තියේ සමාජ විද්‍යාත්මක අරටුව, මෙම තට්ටුවෙන් සමන්විත වෙයි. ඔවුහු, 1960 ගනන්වලදී පෙනී සිටි අධිරාජ්‍ය විරෝධය දැන් අත්හැර දමා ඇති අතර මිලිටරි මැදිහත්වීම්වල ගොරහැඩි සහාය-අපරාධකරුවන් බවට පත්වෙමින් සිටිති. තමන්ටම සුවිශේෂ වූ ජුගුප්සාජනක ස්වරූපයෙන් ජිජැක් ප‍්‍රදර්ශනය කර ඇත්තේ, මෙම වර්ගයේ දේශපාලනය සහ දෘෂ්ටිවාදය ගමන් කරන්නේ කොයිබටද යන්නයි: කෙලින්ම කානුපල්ලටය.

Share this article: