යාපනය සරසවියේ ශිෂ්‍යයින් දෙදෙනෙකු ගේ පොලිස් ඝාතනය, ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකවාදීන් පිලිබඳ හෙලිදරව්වකි

Police murder of two Jaffna University students expose Sri Lankan Tamil nationalists

කේ .නේසන් විසිනි, 2016 ඔක්තෝබර් 24

පසුගිය 20දා යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයින් දෙදෙනෙකු වූ පාවන්රාජ් සුලක්ෂන් හා නඩරාසා ගජන් මෝටර් බයිසිකලයක් පැද යමින් සිටිය දී පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලදී. එය සිදුවූයේ දිවයින පුරාම වේගයෙන් උත්සන්න වෙමින් පවතින පන්ති ආතතීන් මධ්‍යයේ ය. එක්සත් ජනපදය සැලැසුම් කල තන්ත‍්‍ර මාරු මෙහෙයුමෙන් අටවන ලද “යහපාලන” ආන්ඩුව වසර දෙකකට ආසන්න කාලයකට පසුව, කම්කරු පීඩිත ජනතාවගේ දැඩි විරෝධයකට මුහුනදී ඇත.

ආරක්ෂක ලේකම් කරුනාසේන හෙට්ටිආරච්චි මිනීමැරුම් යුක්තිසහගත කලේ, “උතුරේ පමනක් නො වේ, දකුනෙත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. කිසිවෙක් මෙය දිවයිනේ උතුරේ දෙමල ජනතාවට විශේෂ කොට සැලකිය යුතු නැත” යි පවසමිනි. නීතිය හා සාමය තහවුරු කිරීම සඳහා “අවශ්‍ය නම්, පොලීසියේ ආධාරයට මිලිටරිය සූදානම්ව තබා ඇතැයි” ඔහු පැවසීය.

පොලීසිය, මාධ්‍ය හා දෙමල ජාතිකවාදීන් මුලින් උත්සාහ කලේ ඝාතනය හදිසි අනතුරක් ලෙස මවා පෙන්වීමට ය. දෙමල ජාතිකවාදීන්ගේ වෙබ් අඩවි පොලිස් ඝාතනය “කනගාටුදායක සිදුවීමක්” ලෙස හඳුන්වා දුන්නේ, එක්සත් ජනපද ගැති ශ්‍රී ලංකා ආන්ඩුව ආරක්ෂා කරමිනි.

පශ්චාත් මරන පරීක්ෂනයේ දී, අධිකරන වෛද්‍ය නිලධාරීන් එක් අයෙකුගේ පපුවේ හා හිසේ තිබී මූනිස්සම් සොයා ගත් අතර, දෙවැනි ශිෂ්‍යයා මරනයට පත් වූයේ බරපතල අභ්‍යන්තර තුවාල නිසා බව නිගමනය කෙරුනි. පොලීසිය යතුරුපැදි කරු ඉදිරියෙන් මැදිහත්වීම නිසා ඔහුට බයිසිකලය පාලනය කර ගත නො හැකි ව වේගයෙන් පාරේ පසෙක බිත්තියෙහි හැපී ඇති බව පෙනේ.

අපරාධය වූ ස්ථානය ආසන්නයේ ජීවත් වන අය, පලමුව ඔවුන්ට වෙඩිහඬ ඇසුනු බවත්, ඔවුන් එලියට පැමින බලන විට, පොලීසිය තුවාල ලත් සිසුන් ගෙනයාමට සූදානම් වෙමින් සිටි බවත් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

විරෝධය දැක්වීමට සිය ගනනක් විශ්වවිද්‍යාල සිසුන් හා ජනතාව රෝහල ඉදිරිපිට රොක් වූ අතර, මරනය හදිසි අනතුරක් බවට පොලීසිය කල ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කලහ.

දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජා තත්වය සමනය කිරීමට කඩිනමින් එහි පැමිනියේ ය. සිද්ධිය පිලිබඳ නිල කතාන්තරය තොරොම්බල් කරමින් සිටි සේනාධිරාජාට සිසුන් කෝපයෙන් විරෝධය දැක්වූයේ “මෙය ඇක්සිඩන්ට් එකක් නොවේ. මෙය ඝාතනයක්” යැයි කෑ ගසමිනි. සේනාධිරාජා එම ස්ථානයෙන් පල්ලම් බැස්සේ “මැරුනු අයගේ පවුල්වලට සාධාරනය ඉටුවනු ඇති” බවට විශ්වාසය පල කරමිනි.

ශිෂ්‍යයින්ගේ විරෝධතාව අතරතුර දී, ටීඑන්ඒ නායක සම්බන්ධන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග නැගෙනහිර පලාතේ පැවති ජාතික පාරිසරික සම්මේලනයේ මුලසුන හෙබවී ය. පොලිස් ඝාතනය ගැන සම්බන්දන් වචනයක් හෝ නො පැවසීය; ඊට පටහැනිව ඔහු සිරිසේනට ප‍්‍රශංසා කරමින්, එක්සත් ජනපද ගැති ආන්ඩුව සමග සන්ධාන ගත විය.

“රටේ ජීවත්වන ජනතාව අතර එක්සත්කම හා අවබෝධය ඇති කිරීමට ආන්ඩුව බැරෑරුම් උත්සාහයක් ගනිමින් සිටින බවට ජාත්‍යන්තර ප‍්‍රජාව අතර මතයක් ගොඩනැගී තියෙනවා. ඒවා අනාගතයේ දී සාර්ථක වීමට අපි ජනාධිපති හා ඔහුගේ ආන්ඩුව සමග සහයෝගී ව කටයුතු කල යුතු ය” ඔහු පැවසී ය.

සම්බන්දන් පොලිස් ඝාතන හෙලාදැකීම ප‍්‍රතික්ෂේප කිරීම හුදකලා සිද්ධියක් නො වේ. දෙමල ජාතිකවාදීහු ස්ථීර ලෙස ම පොලීසියේ ප‍්‍රහාර ආරක්ෂා කරති. 2015දී, උසස් පෙල ශිෂ්‍යාවක වූ විද්‍යා සිවලෝගනාදන් බිහිසුනු ලෙස ඝාතනය කල අවස්ථාවේ දී උතුරු පලාත සිසාරා දැවන්ත විරෝධතා මතුවිය. යාපන උසාවිය ඉදිරිපිට දී විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටුනු අතර, පුද්ගලයන් 130කු පමන අත්අඩංගුවට ගැනුනි.

විරෝධතාව පාලනය කිරීමට ටීඑන්ඒ නායකයින් පොලීසිය සමග වැඩ කලේ, රාජ්‍ය දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් හෙලා දකිමිනි. උතුරු පලාත් සභා මහ ඇමති සී.වී. විග්නේශ්වරන්, “අපි පොලීසිය සමග සහයෝගයෙන් වැඩ කල යුතුවා මිස ඔවුන් හතුරන් ලෙස දැකිය යුතු නෑ. අපියි පොලීසියයි අතර විරසකයන් ඇති කරන්ට උත්සාහ කරමින්, හා තත්වය කඩාකප්පල් කරමින් සිටින ද්වේෂ සහගත මිනිස්සු ඉන්නවා.”

ටීඑන්ඒ හා අනෙකුත් දෙමල ජාතිකවාදී කන්ඩායම් අන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා විශාල වසයෙන් ආරක්ෂක හමුදා මත වාරුවෙති. සිවිල් යුද්ධය අවසන් වී වසර හතකට පසු, වරප‍්‍රසාදිත තුනී ස්ථරයකට පිටතින් සිටින සෑම අයකු ම ජීවත්වන්නේ, යුද්ධය විසින් ඇති කරන ලද විනාසයේ සෙවනැල්ල යට ය. ජනතාවගේ ජීවන තත්වයන් නංවාලීමට ආන්ඩුව හෝ උතුරු පලාත් සභාව කල දෙයක් නොමැත.

මත්ද්‍රව්‍ය ජාවාරම්, හොරකම් හා මැර කල්ලි කටයුතු පෙන්වමින්, පොලීසිය තර කෙරේ. අගෝස්තුවේ දී, දෙමල බස කතා කරන තවත් පොලිස් භටයින් 400ක් යොදවනු ලැබ පවතී. යාපන විශ්වවිද්‍යාලය ආසන්නයේ හා යාපන අර්ධද්වීපයේ ප‍්‍රධාන ස්ථානවල, “ත‍්‍රස්තවාදය පිටුදැකීම” පිනිස පුහුනු කරනු ලැබ ඇති විශේෂ කාර්ය බලකාය රැඳවීම ද විග්නේශ්වරන් විසින් පිලිගන්නා ලදී. 19දා, දෙමල ජාතිකවාදීන්ගේ දෙමල බස කතා කරන අලුතින් පිහිටුවන ලද, ටමිල්වින් නම් වෙබ් අඩවිය විශේෂ මෝටර් සයිකල් පොලිස් ඒකකය ප‍්‍රදර්ශනය කරන වීඩියෝ පටයක් උජාරුවෙන් විසුරුවා හැරියේ ය. ඊට පසුදා, පොලීසිය මෙම ශිෂ්‍යයින් දෙදෙනා ඝාතනය කලේ ය.

150,000කට වැඩි හමුදා භට පිරිස් සහිත මිලිටරි වාඩිලෑමේ ද ඉන්දියාවේ සිට පෝක් සමුද්‍රසන්දිය හරහා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයට දැඩි නාවික හමුදා රැකවලෙන් බේරි ආ නො හැකි වීමේ ද තතු තුල, හමුදාව හා පොලීසිය මෙම සාපරාධී කටයුතු පිටුපස සිටින බවට ජනතාව සැක කරති. මැර කල්ලි මෙහෙයවීම හා මංකොල්ල කෑම් පිලිබඳව නිතරම සැකය යොමුවන්නේ, මිලිටිරි ඔත්තු සේවා වෙතය.

ශ්‍රී ලංකා ආන්ඩුව හා උතුරු පලාත් සභාව උත්සාහ දරන්නේ පොලිස් රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීමට ය. මෙය යාපන මහාධිකරන විනිසුරු මානික්කවාසගන් ඉලන්චේලියන් විසින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ලද කාරනයකි. නැගෙනහිර පලාතේ සේවය කරන ලද කාලයේ සිය කටයුතු මතකයට නංවමින්, ඔහු මෙසේ පැවසී ය; “සන්ධ්‍යා කාලයේ දී ආක‍්‍රමනශීලීව වීදි සංචාරය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායට නියෝග දීමට මම මගේ අධිකරන බලය පාවිච්චි කලෙමි. පුද්ගලයන් පස් දෙනෙකුට වඩා රැස්වීම නීති විරෝධී යයි නිවේදනය කල අතර ඒවා උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට ද නියෝග කලෙමි.”

පුද්ගලයන් ගනනාවකට මරන දන්ඩනය නියම කර ඇති ඉලන්චේලියන් මරන දන්ඩනය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහු නිතරම චූදිතයෙකුගේ ඇප ඉල්ලීමේ අයිතිය හා කල් තැබීම සඳහා නීතිඥයින්ගේ ඉල්ලීම් ද ප‍්‍රතික්ෂේප කලේ ය. සිවිල් යුද්ධය අතරතුර ශ්‍රී ලංකා ආන්ඩුවේ යුද අපරාධ පිලිබඳ ව මොන යම් හෝ ජාත්‍යන්තර පරීක්ෂනයකට ඔහු විරුද්ධ විය. “අධිකරනයේ ස්වාධීනත්වය සඳහා ඔහුගේ ප‍්‍ර‍්‍රතිපදානයන්” පිලිගනිමින් 2001දී වොෂින්ටනය ඔහු එක්සත් ජනපදයේ ගෞරවනීය පුරවැසියෙකු කලේ ය. සැබවින් ම, ඔහු පිලි ගැනුනේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සඳහා ඔහු ඉටු කරන ලද සේවය වෙනුවෙනි.

දෙමල ජාතික පක්ෂ ඉලන්චේලියන්ගේ අත්තනෝමතික ක‍්‍රමවේදයන්ට විරුද්ධවූයේ හෝ මහජනයාට එරෙහි පොලිස් ප‍්‍රචන්ඩකම් හෙලාදුටුවේ හෝ නැත. ටීඑන්ඒ, දෙමල ජාතික මහජන පෙරමුන (ටීඑන්පීඑෆ්), හා දෙමල මහජන කවුන්සිලය ශිෂ්‍යයින් දෙදෙනාගේ ඝාතනය සඳහා ආන්ඩුවේ වගකීම නිශ්චිතව ම ප‍්‍රතික්ෂේප කලහ.

ආන්ඩුව හා එහි වොෂින්ටන් අනුග‍්‍රාහකයින්ට දෙන විවෘත සහයෝගය පෙන්නුම් කරමින් ඔවුන් අවධාරනය කරන්නේ, සිරිසේනගේ අපක්ෂපාතී පරීක්ෂන, අපරාධය සිදුකල පොලිස් භටයින් පස් දෙනා අත්අඩංගුවට ගැනීම, අපරාධය විභාග කිරීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හා ඔත්තුසේවා නිලධාරීන් යොදවා තිබීම පිලිබඳව යි. ඔවුන් උත්සාහ කරන්නේ ශිෂ්‍යයින්ගේ නීත්‍යානුකූල කෝපය අවමංගත කිරීමට හා ඝාතනයේ දේශපාලන වගකීම වසා දැමීමටත් ය.

Share this article: