ඇමරිකාවේ සසප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් අන්තර් ජාලය හරහා ඔබ අමතයි

US SEP presidential candidate Jerry White to address Sri Lankan public meeting via Internet

2016 ඔක්තෝබර් 21

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), "ලෝක යුද තර්ජනය හා ඇමරිකානු ජනාධිපතිවරනය" යන මැයෙන්, ඔක්තෝබර් 30දා සවස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ලබයි. ජනාධිපතිවරනයේ සසප අපේක්ෂක ජෙරී වයිට් අන්තර්ජාලය හරහා රැස්වීම අමතා කථාකරනු ඇත.

දකුනු ආසියාවේ හා ලෝකය පුරා වැඩකරන ජනතාවන්ට හා තරුනයින්ට, එක්සත් ජනපද ජනාධිපතිවරනයට තරඟ වදින එකම යුද විරෝධී පක්ෂය වන සසප උද්ඝෝෂනය ඉමහත් දේශපාලන වැදගත්කමක් දරයි. කලාපයේ අන් සියලු රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද ඊනියා "ආසියාවට හැරීම" නමින්, චීනයට එරෙහි වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී යුද මෙහෙයුම තුලට දැනටමත් ඇද ගෙන තිබේ.

ඇමරිකානු මැතිවරන නීති හා ධනපති මාධ්‍ය, එරට ජනතාවට තෝරාගත හැකි එකම විකල්පය, වෝල් වීදියේ හා පෙන්ටගනයේ හොරනෑව වන ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හෝ ෆැසිස්ට් වර්ගයේ ප්‍රකෝටිපති රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාගෙන් කෙනෙක් බව ඒත්තු ගැන්වීමට තැත් කරයි. ජනාධිපතිවරනයේදී මේ දෙදෙනා අතරින් කවරෙකු දිනුව ද රට තුල මර්දනය ද සමාජ අසමානතාව හා ආර්ථික අනාරක්ෂිත භාවය මෙන්ම, චීනයට හා රුසියාවට විරුද්ධ ඇමරිකානු යුද ප්‍රකෝපකරන ද උත්සන්න කෙරෙනු ඇත.

පසුගිය මාසයේදී පකිස්ථානයට එරෙහි ඉන්දියාවේ මිලිටරි ප්‍රහාරය, න්‍යෂ්ඨික අවි දරන දෙරට යුද්ධයේ මුවවිටට ගෙන ආවේය. ඇමරිකාව ඉන්දියාවටත් චීනය පකිස්ථානයටත් සහාය දැක්වීමේ කොන්දේසි තුල ඉන්දියානු උප මහාද්වීපයේ යුද්ධය, වේගයෙන් ගෝලීය ගැටුමක් බවට පෙරලිය හැකිය. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක‍්‍රියාමාර්ගයකින් සන්නද්ධවූ කම්කරු පන්තියට පමනක් මෙම අනතුර ජයගත හැකිය.

පසුගිය වසරේදී එවක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ, චීනය වෙත නැඹුරුවීමේ කාරනය මත බලයෙන් පහ කල තන්ත්‍ර මාරු මෙහෙයුම සමඟ ඇමරිකාවේ සමීප සම්බන්ධය, තවදුරටත් රහසක් නොවේ. චීනයට එරෙහි වොෂින්ටනයේ භූ-මූලෝපායික මිලිටරි ප්‍රකෝපකරනයන්හි ක‍්‍රියාශීලී සහචරයෙකු ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ වත්මන් ආන්ඩුව, ඇමරිකාවට හා ඉන්දියාවට සහාය දක්වයි.

අධිරාජ්‍යවාදී යුද්ධයටත් ධනපති ආන්ඩුවල කප්පාදු වැඩසටහන් වලටත් අව්‍යාජ විකල්පයක් සොයන සියල්ලන්ගෙන් සසප හා සසජාතශි ඉල්ලා සිටින්නේ, රැස්වීමට සහභාගී වන ලෙසත්, ඉන්දියානු උප මහාද්වීපයේ හා අනෙකුත් තැන්වල කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් ඉදිරියේ ඇති එකම ප්‍රගතිශීලී විකල්පය වන, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමට අප ගෙන යන අරගලය සමඟ එක් වන ලෙසත් ය.

රැස්වීමේ විස්තර:


දිනය හා වේලාව: ඔක්තෝබර් 30 ඉරිදා සවස 3.00


ස්ථානය: කොලඹ 7, විජේරාම මාවතේ අංක 123 දරන සව්සිරිපාය

Share this article: