ශ්‍රී ලංකාවේ පොලීසිය සිසුන් ඝාතනය කිරීමට එරෙහිව උතුරේ මහා වර්ජනයක්

General strike in northern Sri Lanka over police killing of students

අපගේ වාර්තාකරුවන් විසිනි, 2016 ඔක්තෝබර් 26

පසු ගිය 20දා රාත්‍රියේ, පොලීසිය විසින් යාපන විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ― චුන්නාකම්හි බුවන්රාජ් සුලක්ෂන් හා කිලිනොච්චියේ නඩරාජා ගජන් ― ඝාතනය කිරීමට එරෙහිව උතුරේ දෙමල ජනතාව ඊයේ හර්තාලයක් පැවත්වූහ.

රජයේ කාර්යාල, පාසල්, පුද්ගලික ව්‍යාපාර හා කඩසාප්පු වසා දැමුනු අතර සියලු ම වර්ගයේ ප‍්‍රවාහන සේවාවන් නතර කෙරුනේ, උතුරේ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරම ඇතුලු දිස්ත්‍රික්ක පුරා දසදහස් ගනනක් ජනතාව වැඩ කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සමගිනි.

සඳුදා උදේ, යාපන විශ්වවිද්‍යාලයේ දෙමල හා සිංහල සිසුන්, ගුරුවරුන් හා කම්කරුවන් ඇතුලු ව 1000ට වඩා වැඩි පිරිසක් පලාත් සභා කාර්යාලය පිටත පොලපාලි ගියහ. කොලඹ විශ්වවිද්‍යාලවල සිසුහු ද පොලිස් ඝාතනයට එරෙහිව විරෝධතා දැක්වූහ.

යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාව

සමාජ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව යතුරු පැදියක යමින් සිටි සිසුන් දෙදෙනා මියගියේ ඔක්තෝබර් 20වැනිදා රාත්‍රී 11.30ට පමන යාපනේ කොකුවිල් ―කුලප්පිඩි මංසන්ධියේ දී පොලීසිය විසින් වෙඩි තැබීම හේතුවෙනි.

පොලීසිය මුල දී වගකීම මග හැරීමට උත්සාහ කලේ, පොලිස් අන නොතකා ධාවනය කල මෝටර් බයිසිකලය හදිසියේ අරක්ෂක බැම්මේ වැදුනු බව තරයේ කියා සිටිමිනි. සිද්ධිය වූ අවස්ථාවේ ශිෂ්‍යයින් මත්පැන් පානය කොට තිබූ බව ද පොලීසීය පැවසී ය.

කෙසේ නමුත්, මරන පරීක්ෂනය කරන ලද අධිකරන වෛද්‍ය නිලධාරී (ජේඑම් ඕ) වාර්තා කලේ, සුලක්ෂන්ගේ ශරීරයේ මූනිස්සම් තුබුන බවත් ඔහු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බවත් ය. ඔහුගේ බයිසිකලය තාප්පයක හැපුනේ ජගන්ට තුවාල ඇති කරමිනි. ඔහු පසුව මිය ගියේ ය. සිසුන් මත්පැන් පානය කර තිබූ බවට සාක්ෂි නොමැති බව වෛද්‍ය වරයා පැවසී ය.

ඊයේ හර්තාලය කැඳවන ලද්දේ දෙමල ජාතික සන්ධානය සහ දෙමල එක්සත් විමුක්ති පෙරමුන තුල සංවිධානය වුනු විවිධ දෙමල පක්ෂ විසිනි. මෙම සංවිධාන ශිෂ්‍යයින්ගේ මරන සම්බන්ධයෙන් කම්කරු, පීඩිත හා තරුන ජනතාවගේ විරෝධය යටපත් කිරීමට දැඩි උත්සාහක් ගත්හ.

ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින්, විපක්ෂ නායක මෙන් ම ටීඑන්ඒ ප‍්‍රධානි ආර්. සම්බන්දන් පොලිස් ප‍්‍රහාරය “හෙලාදුටු” අතර “අපක්ෂපාතී පරීක්ෂනයක්” පැවත්වීමට හා සිසුන්ගේ මරනයට වගකිව යුත්තන්ට “දඬුවම් කරන” බව සහතික කරන ලෙස ද ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. ජනාධිපති වෙත සිද්ධිය වහාම දැන් වූ බවට කයිවාරු ගැසූ සම්බන්දන් “මේ පිලිබඳව වහාම පියවර ගැනීම” සම්බන්ධයෙන් ආන්ඩුවට ස්තුති කලේ ය.

උතුරු පලාත් සභා මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ඒ ආකාරයේ ම ප‍්‍රකාශනයක් නිකුත් කලේ, මහේස්ත‍්‍රාත්වරයා උචිත පරීක්ෂනයක් කරනු ඇතැ යි ඔහු බලාපොරොත්තු වන බව පවසමිනි. “මෙම කනගාටුදායක අවස්ථාවේ දී ඉවසිලිවන්ත වන්න”යි ඔහු ශිෂ්‍යයින්ගෙන් අයැද සිටියේ ය.

මෙම ප‍්‍රකාශන මුලුමනින් ම කුහකය. ඒවා සංඥා කරන්නේ දෙමල කම්කරුවන් හා තරුනයන් අතර වැඩෙන විරුද්ධත්වය මෙම සංවිධානවලට මෙන් ම ශ්‍රී ලංකා ආන්ඩුවට හා ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහට එරෙහිව පුපුරා යා හැකි බවට දෙමල ධනේශ්වර පක්ෂවලට ඇති භීතිය යි.

බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට එරෙහිව කොලඹ තන්ත‍්‍රයේ යුද්ධය අවසන් වීමෙන් වසර හතකට පසු, උතුරු නැගෙනහිර ජනතාව දරුනු සමාජ කොන්දේසි හා අඛන්ඩ මිලිටරි ග‍්‍රහනයට මුහුන දෙමින් සිටිති. අපරාධ මැඩීමේ බොරු ප‍්‍රකාශ යටතේ, පොලීසිය යොදා ගැනෙමින් තිබෙන්නේ ජනතාව මර්දනය කිරීමට හා බිය වැද්දීමට ය.

පාලුවටගිය යාපන නගරය

දකුනේ දී වතු කම්කරුවන්ගේ මෑත වැඩවර්ජන හා විරෝධතා මෙන් ම අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉදිරියට ඇදෙන උද්ඝෝෂන මගින් සංඥා කෙරෙන පරිදි ආන්ඩුව පුලුල් ජනතා විරෝධයකට මුහුන දෙමින් සිටී.

සිරිසේනගේ ව්‍යාජ “යහපාලනයට” ප‍්‍රශංසා කරමින් හා පොලිස් වෙඩි තැබීම වෙනුවෙන් ගොදුරු කීපයක් හොයා ගැනීමට හා පසුව එය වලලා දැමීමට උත්සාහ ගන්නා, ආන්ඩුවේ බොරු “පරීක්ෂන” ප‍්‍රචාරය කරමින් එය රැකීමේ පෙරමුනේම සිටින්නේ ටීඑන්ඒ හවුල යි.

ජනාධිපති ලෙස සිරිසේන බලයට පත් කිරීමට වොෂින්ටනය විසින් පිටුබලය දුන් කුමන්ත‍්‍රනයට සම්පූර්න සහාය දුන් දෙමල පක්ෂවලට, දෙමල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සමාජ අයිතීන් පිලිබඳව මොනම උනන්දුවක් හෝ ඇත්තේ නැත. එක්සත් ජනපද ගැති ආන්ඩුවට ඔවුන් සහාය දෙන්නේ දෙමල හා සිංහල කම්කරුවන් හා තරුනයන් සූරාකෑම මගින් ආර්ථික වාසි ලබා ගැනීමට ය.

යාපනයේ ගුරු සංගමය මගින් බෙදා හරින ලද අත්පත්‍රිකාවක් “අපක්ෂපාත පරීක්ෂනයක්” පිලිබඳ ටීඑන්ඒ ඉල්ලීම දෝංකාර නංවන අතර පරීක්ෂනය අධීක්ෂනය කරන මෙන් “ජාත්‍යන්තර හා ජාතික මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාකාරීන්ගෙන්”ඉල්ලා සිටී.

ශිෂ්‍ය සංගම් නායකයින් ප‍්‍රකාශ කලේ පෙලපාලි පවත්වන ලද්දේ ආන්ඩුවට එරෙහිව නො ව පොලීසියට එරෙහි ව බව යි. “සෑම දේක දී ම ආන්ඩුවට එරෙහි වීම වැඩකට නැත. මෙය පොලීසියේ වැඩක්”යයි ඔවුහු පැවසූහ. සිසුන් ඝාතනය කිරීම හෙලා දකිමින් සමාජවාදී සමානාතා පක්ෂය (සසප) විසින් නිකුත් කරන ලද අත්පත්‍රිකාව බෙදා හැරීමට ද ඔවුහු විරුද්ධ වූහ. සසප ක‍්‍රමානුකූලව දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ඇති අතර එල්ටීටීඊයට එරෙහිව කොලඹ පාලනයේ දශක ගනනාවක් දීර්ග යුද්ධයට ද විරුද්ධ විය.

පසු ගිය සතියේ යාපන විශ්විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම අත්වැරැද්දක් හෝ පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේ හිතුවක්කාරී ක්‍රියාවක් නො ව, එය යුද්ධය තුල දී වර්ධනය කරන ලද්දා වූ ද දැන් රට පුරා කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහිව යොදා ගනිමින් තිබෙන්නා වූ ද පොලිස් රාජ්‍ය ක‍්‍රමවේදයන් ඉදිරියට ගෙන යාමකි.

ශිෂ්‍යයින්ගේ මරනවලට එරෙහි දැවන්ත කෝපයට ප‍්‍රතිචාර වසයෙන්, යාපන මුර කපොල්ලේ රාජකාරියේ යෙදුනු පොලිස් නිලධාරීන් පස්දෙනාගේ වැඩ තහනම් කොට, අත්අඩංගුවට ගෙන නොවැම්බර් 4වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබා ඇත. ජනාධිපති සිරිසේන සිසුන්ගේ දෙමව්පියන්ට වන්දි ලබාදීමට ද පොරොන්දු වී ඇත.

ඊයේ විරෝධතාවට සහාය දුන් පුද්ගලයන් ගනනාවක් ලෝසවෙඅ සමග කතා කලහ.

“අපි මෙම හර්තාලයට සම්පූර්නයෙන් ම සපෝට්. අපට මිනීමැරුම වෙනුවෙන් සාධාරනය ඉටු වන්න ඕනෑ” යි එක් පුරවැසියෙක් පැවසී ය. “මිනී මැරීමට වග කිව යුතු එක ම අය පොලීසිය කියලා මම හිතන්නේ නෑ. ආන්ඩුව පසුබිම සකස් කරදී නැතිනම් මෙය සිදු වෙන්න බෑ”.

“මෙම ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ ‘යහපාලනය’ බව කියන අය ද මේවාට වග කිව යුතු ය. ටීඑන්ඒ ආන්ඩුවට සහාය දෙන්නේ ඔවුන්ගේම උවමනාකම් ආරක්ෂා කර ගන්න යි. ඔවුන් එවැනි පියවරයන්ට එරෙහිව සටන් නො කර නිශ්ශබ්දව සහාය දෙනවා. සිරිසේන බලයට ගේන්ට දර දිය ඇද්ද අය මේවට වග කියන්න ඕනෑ.”

2015 මැයි මාසයේ පාසල් ශිෂ්‍යාවක වූ විද්‍යා සිවලෝගනාදන් ලිංගිකව කෙලෙසා මරා දැමීමට එරෙහිව පැවති පුලුල් විරෝධතා හා ගැටුම් සම්බන්ධයෙන් හෝටල් කම්කරුවෙක් මෙසේ සඳහන් කලේ ය. “මම නිකම්ම විද්‍යා” මැරීමට එරෙහි පෙලපාලිය බලා ගෙන හිටිය විතර යි, පොලීසිය මට පහර දී සති දෙකක් රිමාන්ඩ් කලා. අන්තිමේ දී මම නිදහස් කලේ රු.200,000ක ඇප මත, නමුත් තවම නඩුව යනවා. ටීඑන්ඒ අපිව පාවා දුන්නා මිසක් අපිව ආරක්ෂා කලේ නෑ.”

විශ්වවිද්‍යාල සිසුවෙක් මෙසේ අදහස් දැක්වූයේ ය: “මහජනයාට එරෙහිව ප‍්‍රචන්ඩකම් නොකඩවා සිද්ධවන්නේ රට තුල ත‍්‍රස්ත විරෝධී නීති තවමත් තිබෙන නිසාත් පොලීසියට හා මිලිටරියට බලය තිබෙන නිසාත් ය. යුද්ධය අවුරුදු හතකට පෙර අවසන් වුනත් මිලිටරිය තවමත් උතුරු පලාතේ වාඩිලා ගෙන දෙමල මහජනයා හා ශිෂ්‍යයින් මර්දනය කරමිනුයි සිටින්නේ. වහා ම මෙහෙන් මිලිටරිය ඉවත් කර ගත යුතු යි.”

Share this article: